Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නොපසුබට අදිටනින්  ලොවට පිළිසරණක් වූ සැබෑ විරුවාණෝ

පරම සත්‍යය සොයා බෝධිසත්වයන් වහන්සේ දිගු කලක් සසර සැරිසරමින් පෙරුම්දම් පිරූ ආකාරය විස්මය ජනක ය. පරම සත්‍යය අවබෝධ කර ගනිමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදා ගැනීම උදෙසා බෝසතුන් වහන්සේ සසර දී විවිධ දුක් කරදර විඳි අයුරු, ජාතක කතා ඇසුරින් අවබෝධ කර ගත හැකි ය. ඉතා දුෂ්කර ක්‍රියා මාර්ගයක් ඔස්සේ අවබෝධ කර ගත් පරම සත්‍යය ධර්මය, කිසි ගුරු මුෂ්ටියක් තබා නොගෙන තම ශ්‍රාවක සමූහයාට පහදා දුන් එකම ශාස්තෘවරයා ද භාග්‍යවතුන්වහන්සේ ය.

ලොව විවිධ ක්ෂේත්‍ර තුළින් බිහි වූ වීරයන් ගැන ඉතිහාසයේ කියැවෙයි. ඒ හැම වීරයන්ගේම පරමාර්ථවලට වඩා උතුම් පරමාර්ථයක් සඳහා කැපවීමෙන් ක්‍රියාකොට ‘පරම සත්‍යය’ ලොවට හෙළිකර දුන් භාග්‍යවතුන් වහන්සේ, මහා වීරත්වයට පත්වූහ. එසේ පරම සත්‍යය හෙළිකර දෙමින් ලෝක සත්ත්වයාට නිවන් මග පෙන්වාදීම උදෙසා උන්වහන්සේ විඳි දුක් කරදර හිරිහැර අප්‍රමාණ ය, අනන්තය. ඒ සඳහා ආත්මභාව දහස් ගණනක ඉපිද ඇස්, ඉස්, මස්, ලේ අඹු දරුවන් හා ජීවිතය ද පරිත්‍යාග කළ සේක. බුද්ධත්වය ලබන ආත්මයේදී පවා සය අවුරුදු දුෂ්කර ක්‍රියාවක යෙදීමට සිදුවිය. සෙසු සියලු වීරයන්ගේ වීරක්‍රියා තුළ පෞද්ගලිකත්වය ගැබ් වී තිබුණත් භාග්‍යවතුන් වහන්සේගේ මහා වීර ක්‍රියාවේ ඇත්තේ පොදු හා ලෝකෝත්තර අරමුණු ය. මේ අනුව සෙසු සියලු වීරයන්ගේ වීර ක්‍රියාත්, භාග්‍යවතුන් වහන්සේගේ මහා වීර ක්‍රියාවත් අතර ඇත්තේ සම කළ නොහැකි විශාල පරතරයෙකි. එබැවින් උන්වහන්සේ මහා වීර දසබල, ජිත, ශාක්‍යසිංහ ආදී නම්වලින් හඳුන්වනු ලැබිණි. බුද්ධත්වයට පත්වන්නට පෙර පවා තුසිත දෙව්ලොව දේව සමූහයා උන්වහන්සේට අමතන ලද්දේ මහාවීර යන උත්තම, ආමන්ත්‍රණයෙන් බව, ‘කාලො යං තෙ මහා වීර - උප්පජ්ජ මාතුකුච්ජියං’ (මහාවීරය, මවුකුස ඉපදීමට මේ සුදුසු කාලයයි) යන දේවාරාධනාවෙන් පෙනෙයි.

මනු ලොව ඉපදුණු සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දැක සසර කළකිරීමට පත්විය. ඉන්පසු වහාම ගිහිගෙයින් නික්ම ගොස් සත්‍යය කුමක්දැයි සොය සොයා (කිං සච්ච ගවේසී) නා නා තවුසන් වෙත යොමු විය. නමුත්, ඔවුන්ගේ් තපස් ක්‍රම තුළින් පරම සත්‍යය අවබෝධ කර ගැනීමට නොහැකිබව වැටහිණි. අනතුරුව අත්තකිලමථානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් අත්හැර දමා මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාත්මක කළහ. මධ්‍යම ප්‍රතිපදාව පුරමින් අති විශාල කරදර බාධක රාශියක් මැද, බෝ මැඩදී පරම සත්‍යය අවබෝධ කර ගනිමන් ලොවුතුරා බුද්ධත්වයට පත් වූ සේක. බෝමැඩදී ඇති වූ වෙනස ප්‍රබෝධය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි බව දහම් පොතපතේ් දැක්වේ. අසීමිත පී‍්‍රතියට පත් භාග්‍යවතුන් වහන්සේ තමන් ලද අවබෝධය ලෝකයා හමුවේ ප්‍රකාශ කිරීම සඳහා පස්වග මහනුන් සොයා වැඩම කළහ. එසේ වැඩම කොට අත්තකිලමතානු යෝගයේත් කාමසුඛල්ලිකානු යෝගයේත් ආදීනව අවබෝධ කරදී මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මඟ පෙන්වූ අයුරු බුද්ධ චරිතයේ සඳහන් වේ. බෝ මැඩදී තමන් ලත් ඤාණය , ප්‍රබෝධය, පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි’ යනුවෙන් එහිදී සඳහන් කැරිණි.

සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මහා වෙහෙසක් දරා බොහෝ ගුණදම් සපුරා දුක් වේදනා විඳ ලොවුතුරා බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ මහා භාරතය පුරා ප්‍රසිද්ධියට පත්විය. බුදුන් වහන්සේ මහා සංඝයා පිරිවරා ගෙන ගමින් ගමට වැඩම කරමින් තමා අවබෝධ කරගත් පරම සත්‍යය ලෝවැසියන්ට දේශනා කර වදාළහ. එය ශ්‍රවණය කිරීමට දස දහස් ගණන් උවැසි උවැසියෝ දැඩි උනන්දුවෙන් රැස් වූහ. එසේ රැස් වූ පිරිස් අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ සමුදාය මෙනෙහි කරමින් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළහ. එසේම සාමාන්‍ය ජනතාව තම ජීවිත තුළ යහගුණ වර්ධනය කර ගැනීමටත් බුදුරදුන්ගේ ආදර්ශය අනුව පිළිපැදීමටත් පුරුදු වූයේ

බුදුන් වහන්සේ දේශනා කළ දහම නිසි ලෙස අවබෝධ කරගත් නිසා ය.

පරම සත්‍යය සොයා බෝධිසත්වයන් වහන්සේ දිගු කලක් සසර සැරිසරමින් පෙරුම්දම් පිරූ ආකාරය විස්මය ජනක ය. එතුමා සසරදී නොකළ පරිත්‍යාගයක් නැත. තම අත් පා පවා කපා දමද්දී එය සිදුකළ අය කෙරෙහි මෛත්‍රී වැඩීම ඉල්ලූ අයට තමන් සතු වස්තු පරිත්‍යාග කිරීම, ජීවිතය විනාශ වී ගියත් තමන් සතු ගුණදහම් රැකීම, කිසි සත්ත්වයකුට හිංසාවක් පීඩාවක් හෝ අලාභ හානියක් නොකිරීම, සත්‍ය වචනයට භාවිතා කිරීම ආදී දහසකුත් එකක් වීර ක්‍රියා පුරුදු පුහුණු කළේ ආත්මාර්ථය සඳහා නොවේ. පරම සත්‍යය අවබෝධ කර ගනිමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදා ගැනීම උදෙසා බෝසතුන් වහන්සේ සසර දී විවිධ දුක් කරදර විඳි අයුරු, ජාතක කතා ඇසුරින් අවබෝධ කර ගත හැකි ය.

භාග්‍යවතුන් වහන්සේ තරම් සත්‍යයට ගරු කළ සත්‍යය වෙනුවෙන් දිවි පිදූ මහා වීරයෙක් ලොව තවත් නැත. බෞද්ධ ප්‍රතිපදාව සත්‍ය ගවේෂණය පිණිස පිළියෙළ වූවකි. ඉන් ලෝක සත්ත්වයාට සැලසුණු සෙත අනන්ත ය. අප්‍රමාණ ය. බුද්ධ, සම්බුද්ධ, සම්මා සම්බුද්ධ යනුවෙන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ මුලින්ම පරම සත්‍යය අවබෝධ කර ගත් ලොව ශ්‍රේෂ්ඨතම උතුමා බැවිනි. බෞද්ධ ජනතාව වැඳුම්, පිදුම් කරන්නේ බුදුන් වහන්සේගේ සිරුරට නොව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අනන්ත අප්‍රමාණ දුක්විඳ පරම සත්‍යය අවබෝධ කර ලබාගත් බුද්ධ මහිමට ය. බුද්ධියට වැඳුම් පිදුම් කරන; බුද්ධිය අගතැන්හි ලා සලකන ආගම, බුද්ධාගමයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට පත්ව වසර 2600 කට ආසන්න කාලයක් බුදු දහම පවතින්නේත් අදත් මිනිසුන් භාග්‍යවතුන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නේත්, දිනෙන් දින ලෙව බුද්ධිමතුන් ලක්ෂ ගණනින් ඒ දහම පිළිගන්නේත්, එබැවිනි. සත්‍යයෙන් තොර යමක් වේ නම් එය බුදුදහම නොවේ. බෞද්ධයාගේ වැදගත් වූ ද, භාරදූර වූද වගකීම වන්නේ සැමවිට සත්‍යයේ පිහිටීමයි.

තම අනුගාමිකයන්ට මත වාදවලට වහල් නොවී, නුවණ මෙහෙයවා නිදහස් ලෙස සිතීමට හා තීරණ ගැනීමට පුරුදු කළ එකම ශාස්තෘවරයාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය. එසේම, තමන් වහන්සේගේ ධර්ම දේශනාවලට පැහැදි විවිධ ආමිස පූජා කිරිමට ඉදිරිපත් වූවන්ට ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි යෙදෙන්නෝම නිසි ලෙස තමන් ගේ් පුදන්නෝ වෙත් යැයි වදාරා ඔවුන් අධ්‍යාත්මිකව වර්ධනය කොට පරම සත්‍යය දෙසට වඩාත් නැඹුරු කිරීමට, පියවර ගත් උතුමාණෝ භාග්‍යවතුන් වහන්සේ ය. ඉතා දුෂ්කර ක්‍රියා මාර්ගයක් ඔස්සේ අවබෝධ කර ගත් පරම සත්‍යය ධර්මය, කිසි ගුරු මුෂ්ටියක් තබා නොගෙන තම ශ්‍රාවක සමූහයාට පහදා දුන් එකම ශාස්තෘවරයා ද භාග්‍යවතුන්වහන්සේ ය. තමන් වහන්සේ අවබෝධ කර ගත් උත්තරීතර පරම සත්‍යය, අන්‍යයන් විසින්ද අවබෝධ කර ගනු දැක්ම උන්වහන්සේගේ එකම අභිලාෂය විය. තමන් වහන්සේගේ අනුගාමිකයන් නිදහස් චින්තකයන් බුද්ධිමතුන් වනු දැක්මට භාග්‍යවතුන් වහන්සේ නිරතුරු කැමැති වූ සේක. සත්‍යය කුමක්දැයි නොදැන මුලාවට පත්ව සිටි නිගණ්ඨනාථපුත්තාදී ෂඩ් ශාස්තෘවරුන්ගේ හා බමුණන්ගේ වැරැදි ඉගැන්වීම නිසා අතරමංව සිටි පිරිස ඉතා විශාල ය. ඔවුන්ට මිථ්‍යා මතවාද තුළින් ඉවත්ව නිවැරැදි මගට අවතීර්ණ වීමට අවශ්‍ය සියලු මග පෙන්වීම් මාර්ගෝපදේශකත්වය කිසි මසුරුකමකින් තොරව ලබාදීමට, භාග්‍යවතුන්වහන්සේ ක්‍රියා කළ සේක. ජාති, කුල ආගම් ආදී කිසි භේදයක් නොසැලකිණි. ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය, උනන්දුව ඇති පුද්ගලයන් සොයා සැතපුම් ගණන් දුර වැඩම කර ධර්ම දේශනා කළ සේක. මහා දුක් කන්දරාවක් මැද දැඩි ආයාසයකින් අවබෝධ කර ගත් පරම සත්‍ය ධර්මයම බුදුන් වහන්සේ තමා ගුරු තන්හි ලා සැලකූ® සේක.

අලි, කොටි, වලසුන් වැනි රුදුරු වන සතුන්, දරුණු විෂ නයි පොළඟුන් ආදී භයානක දේ සහිත ඉතා දුෂ්කර ගිරි ශිඛරයක් නිවැරැදි මඟකින් තරණය කළ අයෙක් අන්‍යයන් ද එම දුෂ්කර ගිරිශිඛරයෙන් ගොස් අපේක්ෂා කරන තැනට පමුණුවනා සේ භාග්‍යවතුන්වහන්සේ ද ඉතා දුෂ්කර ක්‍රියා පිළිවෙතකින් අවබෝධ කර ගත් පරම සත්‍යය ශ්‍රාවක පිළිවෙතකින් අවබෝධ කර ගත් පරම සත්‍යය, ශ්‍රාවක සමුහයාට අවබෝධ කරවා නිවනට පමුණුවා ලූ සේක.

භාග්‍යවතුන් වහන්සේ දිගු කලක් සසර සැරිසරමින් අවබෝධ කර ගත් පරම සත්‍ය ධර්මය මෙලොව පරලොව සෙත සදන්නකි. සදාකාලික සුවය වන නිවනට මග පෙන්වන්නකි. එබැවින් ඔබත් නොපමාව එමඟ ගොස් පරම සුවයට පත්වනු මැනවි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.