Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාපයට- විපතට මඟ සලසන සතර අගතිය

යමක් සඳහා උත්සාහය සහ සැලැසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය.

අසීමිත දක්ෂතා සමුදායකින් සහ සහජ බුද්ධියකින් සමන්විත මිනිස් උපත දුර්ලභ බව ‘මනුස්සත්තා පටිලාභෝ දුල්ලභෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මෙසේ උපත ලබන මිනිසා බාහිර ලෝකය හා සම්බන්ධ වී සිතූ සේ ක්‍රියා කර අසහනය හෝ සහනය ළඟා කර ගනියි.

මෙහිදී හොඳ, නරක කුසල්, අකුසල් නිවැරැදි ලෙස වටහා නොගෙන කාම සුඛයන් හඹායමින් ජීවිතය විඳවීම හෝ යථාර්ථවාදීව ලෝකය දැක ජීවිතයේ සුන්දරත්වය විඳීම පුද්ගල වගකීමක් බවට පත්ව ඇත. එසේම තාවකාලික වූ ලෞකික සැපතින් මිදී සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පවා හැකියාව ඇත්තේ මිනිසාට බව බුදුන් වහන්සේ පරමාදර්ශීව අනුදැන වදාළහ. එහෙත් මෙලොව උපදින මිනිසා විසින් තිදොරින් කරනු ලබන අකුසල කර්ම ශක්ති ප්‍රබල වීම, නැවත මිනිසත් බවක් ලැබීම දුර්ලභ වීමට හේතුවනු ඇත.

ඒ පිළිබඳ මනා අවබෝධයක් ලත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මිනිසාගේ උභයාර්ථ සාධනය පිණිස සද්ධර්මය දේශනා කළහ. උන්වහන්සේ විසින් දේශිත ධර්මයේ අන්තර්ගත සෑම අනු කුඩා අර්ථයකින්ම ලෞකික හෝ ලෝකෝත්තර සැපතට මඟ පෙන්වා දී තිබීම. සුවිශේෂත්වයකි. ඒ බව ‘දීඝ නිකායේ’ සිඟාලක සූත්‍රයෙන් ද මනාව පැහැදිලි වෙයි.

හිමිදිරි උදෑසනක තෙත් වූ වස්ත්‍රයෙන් යුතුව සදිසා නමස්කාර කරමින් සිටි සිඟාල ගෘහපති පුතුට බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ආර්ය විනයේ සදිසා වැඳීම, එය නොවන බවයි. එවිට ඒ කෙසේ කළ යුතු දැයි සවිස්තරව දේශනා කරන ලද සිඟාල පුත්‍රයා බුදුන් වහන්සේට ආයාචනා කළේ ය. උන්වහන්සේ පළමුව දේශනා කොට වදාළේ සතර ක්ලේශ ප්‍රහීණ කරන ලෙසක්, සතර අගතියෙන් සහ විනාශ මුඛ සයෙන් මිදෙන ලෙසත් ය. එවිට දෙලොව ජයගෙන, මරණින් මතු සුගැති සම්පත් හිමි කර ගත හැකි බවත් බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්හ.

සතර ක්ලේශ - ප්‍රාණඝාතය, සොරකම, අනිසි, ලෙස කාමාශ්වාද ලැබීම, මුසාවාදය

සතර අගති – ඡන්ද, දෝෂ, භය, මෝහ

විනාශ මුඛය – මත් භාවිතය, නොකල්හි වීදි සංචාරය, දර්ශන නැරඹීමට යෑම, සූදු ක්‍රීඩාව, පාප මිත්‍ර ඇසුර සහ අලස බව.

මෙහිදී අප අවධානය යොමු වන්නේ සතර අගති පිළිබඳවයි.

ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තතී

නිහීයති තස්ස යසෝ කාල පක්ඛේව චන්දිමා

ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාති වෘකති

ආපුරති තස්ස යසො සුක්ඛ පකෙඡව චන්දිමා

ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.

දෝස - යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.

භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.

මෝහ - මෝඩකමෙන් අගතියට යෑම.

සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සඳහන් යටකී පළමු ගාථාවෙන් ප්‍රකාශ වන්නේ මෙම කරුණු සතරින් යමෙක් අගතියට පත්ව කටයුතු කරන්නේ නම්, අව පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ඔහුගේ යසස පිරිහෙන බව යි. එසේ අගතියට නොයන තැනැත්තාගේ යසස පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් වර්ධනය වන බව දෙවැනි ගාථවෙන් අර්ථවත් වෙයි.

මිනිසාගේ නිරන්තර උත්සාහය තම අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ආදියෙන් උපරිම ඵල නෙළාගැනීම යි. එසේම හැකි උපරිමයෙන් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රිය පිනවීම යි. මේ පිළිබඳ බුදුසමය කිසිවිටකත් ගිහි පිරිසට තහනමක් පනවා නැත. සියලු ලෞකික සැප දැහැමි ලෙස උදාකර ගන්නා අයුරු සිඟාලෝවාද, පරාභව, ව්‍යග්ඝපජ්ජ, මංගල, උග්ගහ සහ කරණීයමෙත්ත ආදී සූත්‍ර දේශනා මඟින් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

සියලු සුඛයන් ඉටු කර ගැනීම පිණිස දැහැමි මාර්ගයන් බුදු සමය ඉදිරිපත් කොට තිබිය දී මිනිසා තෘෂ්ණාධිකව නිරන්තර තරගයකට අවතීර්ණව සිටියි. ඊට හේතුව ඔහු සතර අගතියෙන් අගතියට පත්ව සිටීමයි. ධනය, බලය, තනතුරු හෝ යම් පුද්ගලයෙක් කෙරෙහි දැඩි ලෙස ඇති කර ගන්නා කැමැත්ත, භය, ද්වේෂය හෝ මෝහය හේතුකොට ගෙන තම මනස දූෂිත වී යයි එවිට හේ, කුමන තරාතිරමක උගතකු වූවත් ඔහුගේ නුවණ මොටව ගිය පිහිතලයක ඇති මුවත හා සමාන වෙයි. එයින් අවශ්‍ය කාර්ය කළ නොහැකි ය. එසේම දූෂිත වූ සිතකින් ගන්නා වූ තීරණ ද නිෂ්ඵල වන්නේ ය. බුද්ධ කාලයේ සිටි දිසාපාමොක් ඇදුරුතුමා හා අහිංසක සිසුවා අතර ඇති වූ අමනාපය විශාල විපතක් බවට පත් වූයේ අගතිගාමී වීම නිසා බව පැහැදිලි ය. මෙම පඬිවරයා ඡන්දයෙන් අගතියට යෑම නිසා ගෝලයින්ට ඔහු ද්වේෂයෙන්, බියෙන් හා මෝහයෙන් ද අගතියට යැවීමට හැකි විය. අවස්ථාවක් එළඹෙන තෙක් බලා සිටි ගුරුවරයා ගුරු පඬුරු ලෙස මිනිස් ඇඟිලි දහසක මාලයක් පුදන ලෙස අහිංසකට නියම කළේ ය. ගුරු ගෞරවය හේතු කොටගෙන ‘අහිංසක’ ගුරු ඉල්ලීම ඉටු කරමින් සිටියේ, එය තමා නසන්නට යොදන ලද උපක්‍රමයක් බව නොදැනය.

එහෙත් පසුව බුදු රදුන් දැක පියවි සිහි ලැබ සතර අගතියෙන් හා සියලු ක්ලේශවලින් මිදුණු අහිංසක, අංගුලිමාල මහ රහතන් වහන්සේ බවට පත්විය. මෙසේම දේවදත්ත හාමුදුරුවන් ද ඇතුළු බොහෝ දෙනා සතර අගතියෙන් අගතියට පත්ව විපත් සිදුකරගත් ආකාරය, ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. වර්තමානයේ ද ගිහි පැවිදි උභය සමාජ සංස්ථාවන්හි යම් පිරිහීමක් සිදුවන්නේ නම්, ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අගතිගාමී වීම බව, කරුණු සොයා බැලීමේ දී පැහැදිලි වෙයි.

පවුල් සංස්ථාව තුළ ජීවත් වන මව, පියා ඇතුළු සාමාජිකයන් ආයතනයක් පිරිස් රටේ දේශපාලකයන් ආදී වශයෙන් ගත් කළ ඔවුනොවුන් අතර තිබිය යුතු සුහද බව, මානුසික කැමැත්ත අදාළ ක්‍ෂේත්‍රයේ දියුණුවට මහෝපකාරී වෙයි. එහෙත් මෙම කැමැත්ත දැඩිලෙස ඇති කර ගැනීම ඡන්දයෙන් අගතියට යෑමකි. එම නිසා ඔහු නොවුන් අතින් යම් අසම්මත ක්‍රියාවක් සිදු වුවහොත්, අදාළ පුද්ගලයා තමන්ගේ කෙනෙකි යන දැඩි හැඟීම හේතු කොටගෙන වැරැද්ද නොකියයි. දුටුවන් එය පෙන්වාදීමට නොපෙළෙඹන අතර, වැරැද්ද සාධාරණ කරන්නට ද ප්‍රයත්න දරයි. මෙවැනි තත්ත්ව පවුල් සංස්ථාව තුළ නිර්මාණය වුවහොත් වැඩිහිටියන් බවට පත්වන දරුවෝ දිනක තම මවුපියන්ට විරුද්ධව කැරැලි ගැසීමට පෙළඹෙති. ආයතනයක නම් එය පිරිහීමට හේතුවකි. එසේම පක්‍ෂයක, රටක, ජාතියක විනාශයට ද හේතු වෙයි. යටකී දැඩි කැමැත්ත හෙවත් ඡන්දය නිසා සුළු කරුණක දී පවා සැකය හරහා ද්වේෂය, භය, මෝහ ආදී වශයෙන් සතර අගතියටම ගොස් ඔවුනොවුන් විනාශ කර ගන්නා ප්‍රේම සම්බන්ධතා ද ජන මාධ්‍ය මගින් දැන ගත හැකි ය. මේ ආකාරයට යමෙක් නිසා හෝ යමක් අරබයා සතර අගතියෙන් අගතිගාමී වන මිනිසා, තමා ඉදිරියේ ඇති විනාශය නොසළකා හරියි. අවසානයේ, මහත් වූ දුකට පත්වෙයි.

ජීවිතයේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයේ දී මෙම සතර ධර්ම වලින් අගතියට යෑම, ඊට බාධාවකි. යමක් සඳහා උත්සාහය සහ සැලසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. හේතු ඵල දහමට අනුව, ලොව පවතින සියල්ල අනිත්‍යය . ඒවායේ ස්වභාවය ඇතිවීම ක්‍ෂයවීම හෙවත් දිරා යෑම සහ තිබුණ තත්ත්වයෙන් වෙනස්වීම යි. මෙසේ යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය. එහෙත් තම අවශ්‍යතා සඳහා සැලසුම් සකසා අගතියට නොයා උපේක්‍ෂාවෙන් හෙවත් මධ්‍යස්ථව කටයුතු කිරීමෙන් අපේක්‍ෂා ඉටු කරගත හැකි ය. පැමිණෙන විපත් ද අවම කරගත හැකි ය. එසේ සෑම විට උපේක්‍ෂාව පුරුදු කර ගැනීම හේතු කොටගෙන සතර අගතියෙන් මිදිය හැකි වන අතර එය බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන් සැපතට ද මඟ වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.