UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශික්‍ෂා පද සමාදන්වීමේ දී උපදින චිත්ත චෛතසික ධර්මයන් තැන්පත් සන්සුන් ස්වභාවයෙන් යුක්ත වන හෙයිනුත්, සමාධි ප්‍රඥා යන කුසල ධර්මයන්ගේ පිහිටීමට ආධාර වන ස්වභාවයෙන් යුක්ත වන හෙයිනුත් ශීල නම් වෙයි. තවදුරටත් මෙය සරලව පැහැදිලි කරන්නේ නම් මෙසේ ය.

කාය වාචානං සමෝධානං සීලං

කාය වචන දෙකෙහි සංවර බව ශීලයයි. සිල්වත්කම සිතෙහි ඇතිවන කෙලෙස්, දැවිලි සංසිඳවා සීතල කරන හෙයින් ද ශීලය යයි කියනු ලැබේ.

ශීලය දෙවදෑරුම් ය.

1. චාරිත්‍ර ශීලය සහ 2. වාරිත්‍ර ශීලය යනුයි.

1. චාරිත්‍ර ශීලය,

චාරිත්‍ර යනු හැසිරීමයි. ගුරුවරුන් දෙමව්පියන්ට මෙන්ම, දාගැබ්, බෝධි ආදියට සැලකීම සහ වත් සම්පන්න වීම චාරිත්‍ර නම් වෙයි.

2. වාරිත්‍ර ශීලය

වරදින් වැළකීම වාරිත්‍ර නම් වෙයි. වාරිත්‍රයෙන් තොර වූ විට චාරිත්‍රයක් නැත. සැලකිය යුතු අය, නොසැලකිය යුතු අය, තැන නොතැන නොදැන හිතුවක්කාරී ලෙස හැසිරෙන අය තුළ චාරිත්‍රයක් නැත. වරදින් වැළකීමට නම්, සිත කීකරු කර ගත යුතු ය. පළමුව හොඳ සිරිත් පුරුදු කරගෙන ශීලාචාර විය යුතු ය. එවිට ප්‍රාණඝාතාදියෙන් වැළකී චාරිත්‍ර සම්පන්න සිල්වතෙකු වීමට පුළුවන. චාරිත්‍ර වාරිත්‍රාදී වශයෙන් ශීලයෙහි නොයෙක් ප්‍රභේද ඇත. ඒ ශික්‍ෂා පද සංඛ්‍යාව වශයෙන් සහ අංග වශයෙනි.

ශීලයෙහි ප්‍රභේද

1. පංච ශීලය 2. අෂ්ටාංග ශීලය 3. බ්‍රහ්මචරියා පංචමක ශීලය 4. ඒක භක්තික ෂටික ශීලය 5. ආජිවාෂ්ටමක ශීලය 6. දශ ශීලය 7. සාමනේර ශීලය 8. උපසම්පදා ශීලය යනුවෙනි.

පංච ශීලය

ඉතා අඩු ශික්‍ෂා පද සංඛ්‍යාවක් ඇත්තේ පංච ශීලයටය. පංචශීලය උතුරුකුරු දිවයින් වැසියන් ගේ ස්වභාවයෙන්ම පවතින ශීලයයි. එබැවින් එය ප්‍රකෘති ශීලය නමින් හැඳින්වෙයි. තෙරුවන් සරණ ගිය කෙනකු විසින් පිහිටිය යුතු පළමු ශීලය මෙයයි. පංචශීලය ගිහියන් විසින් ආරක්‍ෂා කරගත යුතු උතුම් වූ ශීලයයි. එබැවින් එය ගිහියාට නිත්‍ය ශීලයකි. එසේම සමාජ ධර්මයකි.

අට සිල්

පංච ශීලයට අමතරව පොහොය දිනවල රැකිය යුතු අධි ශීලයකි. අට සිල් සමාදන් වූ අය එය තිස් පැයකට හෝ හැට පැයකට සීමා කරගනිති. එම සිල් සමාදන් වූ කාලය තුළ වතාවත් වලින්, භාවනාවෙන්, ධර්මශ්‍රවණයෙන් සහ ධර්ම සාකච්ඡා වලින් ද යුක්තව කල් ගෙවිය යුතු ය. අට සිල් මෙලෝ වශයෙන් බොහෝ ප්‍රයෝජනවත් වූ ශීලයකි. විවිධ කම්කටොලු වලින් යුත් අයට සිල් සමාදන් වූ කාලය තුළදී එක් වේලක් වළඳා විවේකීව පිරිසුදු අදහසින් කල් ගෙවීම නිරෝගීතාවයට ද හේතු වෙයි. ශීලයෙන් සිත පිරිසුදු කරගැනීම සසර පුරුද්දට ගොස් නිර්වාණ සම්පත්තිය ලැබීමට ද හේතු වේ.

විශේෂයෙන් බොහෝ අය උපෝසථ ශීලය නොහොත් අෂ්ටාංග ශීලය සමාදන් වන්නේ පොහොය දිනවලදී පමණි. එහෙත් උපෝසථ ශීලය පිහිටිය යුතු ප්‍රකෘති පොහොය දින අටක් තිබේ. ඒවා නම්,

පුර පක්‍ෂය – පංචමි, අඩමි, චාතුද්දසි, පණ්ණරසික යන සතරක්,

අව පක්‍ෂය – පංචමි, අට්ඨමි, චතුද්දසි අමාවසි යන සතරක් ය.

පුර පක්‍ෂයේ පොහොය සතර සහ අව පක්‍ෂයේ පොහොය සතර යන අටය.

නියම උපෝසථ ශීලයෙහි පිහිටන අය මෙම අට දවස්වලට පෙහෙවස් සමාදන් විය යුතු ය. මෙම පොහොය දින අටට පෙර දින සහ පසු දිනත් සමග පෙහෙවස් විසීම පටිජාහරණ උපෝසථ නමින් හැඳින්වේ. වස් තුන් මාසය පුරා හෝ පෙරවස් පවාරණ දින සිට පසු වස් පවාරණ දින දක්වා මාසයක් පුරා හෝ පෙරවස් පවාරණ දින සිට පසළොස් දිනක් පුරා හෝ පෙහෙවස් සමාදන් වීම ප්‍රාතිහාර්ය පක්‍ෂ ක්‍රමය නමින් හැඳින්වේ.

1. පාණාතිපාතා වෙරමණී සික්ඛා පදං සමාදියාමි 2. අදින්නාදානා වෙරමණි සික්ඛා පදං සමාදියාමි 3. අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛා පදං සමාදියාමි 4. මුසාවාදා වෙරමණී සික්ඛා පදං සමාදියාමි 5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛා පදං සමාදියාමි 6. විකාල භෝජනා වෙරමණී සික්ඛා පදං සමාදියාමි 7. නච්ච ගීත වාදිත, විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන, විභූසනට්ඨානා වෙරමණී සික්ඛා පදං සමාදියාමි. 8. උච්චා සයන මහාසයනා වෙරමණී සික්ඛා පදං සමාදියාමි.

අදහස

1. මම පර පණ නැසීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 2. මම නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 3. මම සප්ත විධ මෛථුනයෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 4. මම බොරු කීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 5. මම සුරාපානයෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 6. මම විකාල භෝජනයෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 7. මම නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දැකුම් සහ මල් සුවඳ විලවුන් දැරීම, සැරසීම, අලංකාර වීම ආදියෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. 8. මම උස් අසුන්, මහ අසුන් පරිහරණය කිරීම වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.

පරිසරය

සිල් සමාදන් වීමට සුදුසුම ස්ථානය විහාරස්ථානයයි. ඒ සඳහා ප්‍රසිද්ධ විහාරස්ථාන අවශ්‍ය වන්නේ නැත. තම නිවසට නුදුරු ගමේ විහාරස්ථානය මේ සඳහා සුදුසු ය. එසේ නොමැති නම් තම නිවසින් පිට සුදුසු තැනක් තෝරා ගැනීමට පුළුවන.

සිල් සමාදන් වීම

අටසිල් පද දන්නා කෙනකුට මෙම ශීලයෙහි පිහිටිය හැක. එසේ නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනකු මගින් සිල් ලබා ගැනීමට පුළුවන. සිල් පද සමාදන් වූ ඔබ දැන් ශීලයෙහි පිහිටා ඇත.

ඊළඟට සිත සමාධි ගත කර ගැනීමට උනන්දු විය යුතු ය. සමාධිය යනු සිතෙහි ඇති කරගන්නා එකඟ බවයි. ධ්‍යානලාභීන් සමාධිගතවීමෙන් සිතෙහි එකඟ භාවයක් ඇති කර ගනී. එය සිතෙහි ඇතිවන නිශ්චලතාවයයි.

සිත සමාධිගත වීමෙන් ප්‍රඥාව වැඩේ. මේ අනුව දැන් ඔබ ශීල, සමාධි, සහ ප්‍රඥා යන උත්තරීතර මඟට එළඹ සිටී.

සිල් ආරක්‍ෂා කර ගැනීම

පන්සිල්වල දී මෙන් නොව අටසිල් සඳහා ශික්‍ෂා පද අටක් ආරක්‍ෂා කරගත යුතු ය. මෙම ශීලය ආරක්‍ෂා කර ගැනීමට සිල් පදවල අදහස මෙන්ම ඒවායේ ඵල විපාකද හඳුනා ගැනීම වැදගත් වෙයි. පංචශීලයෙහි දැක්වෙන පළමු ශික්‍ෂා පදය අට සිල්වලටද පළමුවැන්නයි. පාණාති පාතා වෙරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එය දැක්වෙයි.

ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය යන්නෙන් පර පණ නැසීම පමණක් නොව තමාගේ පණ නැසීමත් යන දෙකම අදහස් කෙරේ. සතෙකුගේ ප්‍රාණය නැති කිරීමෙන් ඔහු මතු භවයක ඉපදුන විට ආයුෂ කෙටිවේ. දුගී, දුප්පත් වේ. ප්‍රාණඝාත කරන අයගේ ජීවිතය සතෙකුගේ පහර දීම ආදියෙන් කෙළවර වෙයි. සත්ව ඝාතනයෙන් වැළකී සිටින අයගේ සිත් තුළ කරුණාව මෛත්‍රිය වැඩේ. ඒ නිසා බොහෝ අය අතර පි‍්‍රය මනාප වෙයි. සතුන්ගෙන් හිරිහැර නො පැමිණේ. මතු උපදින ආත්මවල පිරිපුන් දේහයක් ඇතිවේ. නිරෝගී වේ. දීර්ඝායුෂ ලබයි.

අදින්නාදානා

අන් සතු දෙය පැහැර ගැනීම අදින්නාදානයයි. නුදුන් දෙය ගැනීමයි. සොරකමයි. සොරකම නින්දාවකි. අනෙක් අය පිළිකුල් කරති. නීතියෙන් ද දඬුවම් ලැබේ. ණයට ගෙන ණය පැහැර හැරීම, අමතක කොට සිටීම, කිරුම් මිනුම් වලින් වංචා කිරීම, රජයේ දෙය, සඟ සතු දෙය, පොදු ජන දෙය යන අදහසින් වෙනත් මුවාවකින් කරන දේ ද සොරකමට අයිතිය. සොරකම් කරන අය සතර අපායේ උපදිති. උපන් ජාතියෙහි දුප්පත් වේ.

අබ්‍රහ්මචර්යා

සප්තවිධ මෛථුනයෙන් වැළකීම අබ්‍රහ්ම චර්යාවයි. මෙය බ්‍රහ්මයන්ගේ හැසිරීමයි. සිල් සමාදන්වූවෝ එම බ්‍රහ්මයන් රකින බ්‍රහ්මචර්යාවෙහි යෙදිය යුතු ය. එය උතුම්ම ශීලයයි.

මුසාවාදා

මුසා යනු මුළාවයි. සත්‍යය සඟවා අනුන් රවටනා බස් කීම මුසා වාදයයි. මුසාවාදය මහා සාවද්‍ය ද අල්ප සාවද්‍ය ද වේ. බුදුරජාණන් වහන්සේ බෝසත් කල නොකළ එකම පාපය බොරු නොකීමයි. මුසාවාදය සමග ඇතිවන තම වැරදි තුනකි.

1. පිසුණා වාචා - කේලාම් කීම යනුවෙන්ද හැඳින්වෙයි. පිළුණු වදන්යයි කීමට ද පුළුවන.

2. ඵරුසා වාචා,- අනුන්ගේ සිත් රිදවන අමිහිරි වදන් කීමයි.

3. සම්පප්ප්‍රලාප - හිස් වදන් කීමය. දෙලොවටම වැඩ නැති වචන ප්‍රකාශයයි.

සිල් සමාදන් වූ අය මෙම සියලු ප්‍රකාශ වලින් වැළකී සිටිය යුත්තෝ වෙති.

සුරාමේරය

මත්වන සිහි විකල්වන දියර, කුඩු, දුම් ආදිය ගැනීමෙන් වැළකීම මෙම ශික්‍ෂාපදයෙන් දැක්වෙයි. මත් දේ ගැනීමෙන් අනුන් සමග කෝලාහල ඇතිවීමට හේතු වේ. ධනය හානිවේ. සිල් සමාදන් වූ අය සෙසු ජනයා මෙම පාප කර්මයෙන් මුදාගැනීමට කටයුතු කළ යුතු ය.

විකාල භෝජනා

නොකල්හි ආහාර ගැනීමෙන් වැළකීමයි. පෙරවරු කාලයෙන් පසු කාලය විකාලයයි. අතීතයේ සිට තපස් සහ ශ්‍රමණ අය ඉර හැරීමෙන් පසු ආහාර ගැනීමෙන් වැළකී සිටියහ. මෙය ශරීරය සැහැල්ලුව තබාගැනීමට උපකාර වේ. සිල් සමාදන් වූවන්ට හොඳින් භාවනා කටයුතු වල යෙදීමට පුළුවන.

නච්ච ගීත, වාදිත,

නැටුම් ගැයුම් වැයුම් විසුළු දසුන්, සහ මල්, ගඳ විලවුන් දැරීම, සැරසීම අලංකාර වීමෙන් වැළකීම ශ්‍රමණ පිළිවෙතය. සිල් සමාදන් වන ගිහියා ද දවසකට හෝ ගිහිගෙයින් ඈත් වූ කෙනකු බැවින් මෙයින් වැළකිය යුතු ය. මෙය ආශාවන් මැඩ පැවැත්වීමටත්, ඉන්ද්‍රිය සංවරයටත් උපකාර වේ.

උච්චා සයන මහා සයන

උස් වූ ආසන සැප ඇති ආසන පරිහරණයෙන් වැළකී සිටීමයි. මෙය සැපවත් දෙයින් වැළකී සිටීමට හුරු කිරීමකි. සිල්වත් අයගේ නිහතමානී භාවයට සහ කාය සංවරයට මෙය හේතුවේ.

සීලයෙහි අනුසස්

සිල් සමාදන් වූ අය එම කාලය තුළ දී මෙම ශික්‍ෂාපද අට ආරක්‍ෂා කර ගෙන සිටීම උතුම් වූ පින්කමකි. ශීලයෙහි තිබෙන එකම ආනිසංසය විපිළිසර නොවීමයි. එයට අමතර අනුසස් පහක් ද ඇත. ඒවානම්,

1. සිල්වත් අය අනවශ්‍ය වියදම් නොකරන නිසා පොහොසත් වේ. 2. කීර්තිමත් කෙනෙකු වෙයි. 3. නිර්භීත කෙනෙකු වේ. 4. මුළා නොවී කලුරිය කරයි. 5. මරණින් මතු දෙව් ලොවක උපදී.

ශීලයෙහි පිහිටනු යේ සමථ විපස්සනා වැඩීමට මුලින්ම කටයුතු පූර්වෝපාය වශයෙන් බව සිතාගත යුතු ය. සියලු ගුණධර්මයන්ගේ හටගැනීමට ශීලය භූමියයි. එබැවින් ශීල භූමිය සම්පාදනය කොට ඉන් මත්තෙහි සමථ විපස්සනාදී ගුණධර්ම වැඩීමට අප්‍රමාද විය යුතු යි.

 

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]