UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීපාද සිද්ධස්ථානයට විදුලි ආලෝකය ලබා දෙන බවට බාරයක් වීමේ ආගමික උත්සවය 1947 නොවැම්බර් 02 වන දින මහත් අභිමානයෙන් සිදුවිය. එවකට ප්‍රවාහන හා රජයේ වැඩ අමාත්‍යවරයා වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ය. එතුමාත් නෝර්ටන් බ්‍රිජ් විදුලිබල ව්‍යාපෘතියේ සෙසු නිලධාරීනුත් මෙවන් භාරයක් වූයේ නෝර්ටන් බ්‍රිජ් ව්‍යාපෘතිය බාධාවකින් තොරව සාර්ථකවත්, කඩිනමින් නිම කිරීම් වස් සියලු ආශීර්වාදයත්, රැකවරණයත් ලබා දෙන ලෙස ශ්‍රීපාද අඩවියට අධිපති සමන් දෙවියන්ගෙන් ඉල්ලීම සඳහා ය.

ප්‍රථම රාජ්‍ය සභාව ආරම්භවීමටත් පෙර 1924 වර්ෂයේ ප්‍රථමයෙන්ම නෝර්ටන් බ්‍රිජ් ජලවිදුලි ව්‍යාපෘතිය, ආරම්භ කර තිබුණි. එසේ වූයේ නමුදු අනපේක්‍ෂිත බාධා පැමිණීම මෙහි කටයුතු අඩපණ වීමට බලපෑවේ ය. භාරයක් වීමේ ප්‍රධාන අරමුණ වූයේ මෙම බාධකයන් මඟ හරවා ගැනීමට ය.

අනපේක්‍ෂිත බාධා හේතුවෙන් මෙහි කටයුතු අතහැර තිබුණද නැවතත් මේ ජාතික ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණින් 1938 වර්ෂයේ ටෙන්ඩර් කැඳවන්නට විය. ඒ අනුව හින්දුස්තාන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම 1939 වර්ෂයේ දී මෙහි කටයුතු භාරගෙන වැඩ ආරම්භ කළේ ය. ඒ සමගම ලෝක සංග්‍රාමය ආරම්භ විය. එම සමාගමට ද තවදුරටත් මේ කාර්ය පවත්වාගෙන යෑමට හැකියාවක් නොවීය. එබැවින් ඔවුන් මෙයින් ඉවත් වීය.

මේ සඳහා විදුලිබල දෙපාර්තමේන්තුව ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය. ඒ 1942 වර්ෂයයි. ඔවුන්ගේ වැඩ අතිශයින් මන්දගාමී විය. එනිසාම අපකීර්තිමත් නාමයක් මෙයට ලැබුණි. එය අන් අයගේ හාස්‍යයට ලක් වූ ව්‍යාපෘතියක් බවට ද පත්විය. 1947 වර්ෂය මෝසම් වර්ෂාපතනය අධිකව ලැබූ වර්ෂයක් විය. එයින් වූ පාඩුව අති විශාලය. නායයෑම ජල ගැලීම් හේතුවෙන් ජීවිත විනාශ විය. මේ විදුලිබල ව්‍යාපෘතියට සම්බන්ධ සේවකයන් විසිදෙනෙකුගේ ජීවිත අවාසනාවන්ත ලෙස මේ නිසා අහිමි විය.

වරින් වර එල්ල වූ බාධා ව්‍යසන අප්‍රමාණය, නිලධාරීන්ගේත්, සේවකයන්ගේත් සිත් අධෛර්යට පත් විය. මේ ජාතික කාර්යයට බාධා පමණුවන අදශ්‍යමාන බලවේගයන් ක්‍රියාත්මක වන බව ඒ හා සම්බන්ධ නිලධාරීන්ගේත්, සේවකයන්ගේත් සිත්වල රැව් දෙන්නට විය. සමනළ අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට භාරයක් වීම මැනවයි ඔවුන්ගේ සිත් කියන්නට වූයේ ඒ නිසා ය.

ව්‍යාපෘතිය භාර අමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ප්‍රමුඛ විදුලි බල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවක පිරිස ද 1947 නොවැම්බර් 02 වන දින නෝර්ටන් බ්‍රිජ්හි සුධර්මාරාම විහාරස්ථානයට රැස් වූහ. මහා සංඝරත්නය ද, දහස් සංඛ්‍යාත සැදැහැවත්හුද එහි වූහ. එහි වූ සුමන සමන් දේවාලයේ දී සමනළ අඩවියට අරක්ගත් සුමන දෙවියන් ප්‍රධාන පළාත්භාර සියලුම දෙවිවරුන්ට භාරයක් වූහ. ජාතික වස්තුවක් වූ නෝර්ටන් බ්‍රිජ් විදුලිබල ව්‍යාපෘතිය බාධාවන්ගෙන් හා අනතුරු වලින් තොරව ඉදිරියට ගෙන යෑමටත්, එකී කාර්යෙහි නියැලෙන නිලධාරීන් හා සේවකයන් උපද්‍රවයන්ගෙන් තොරව ආරක්‍ෂා කර දෙන ලෙසත් මෙකී ව්‍යාපෘතිය අවසන් වූ විගස තුනුරුවන් උදෙසා පුද පූජා පවත්වා සුමන සමන් දෙවියන් ප්‍රධාන පළාත් භාර සියලුම දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන බවත් ශ්‍රී පාදස්ථානයට හා එහි ගමන් මග විදුලි එළියෙන් ආලෝක කරන බවත් එම භාරයේ අරමුණ විය.

එය ආශ්චර්යවත් සිද්ධියක් විය. විදුලිබල ව්‍යාපෘතියට නව ජවයක් එයින් පසු ඇති විය. බාධාවන්ගෙන් තොරව සියලු කටයුතු කෙරුණේ ය. 1950 මාර්තු 04 වන සෙනසුරාදා දිනය පුර පසළොස්වක් පොහොය දිනයකි. ශ්‍රී පාද පූජා භූමියට විදුලි එළිය ලබාදෙන දිනය එය විය. මේ අභිමානවත් ඓතිහාසික උත්සවයට එවකට අග්‍රාණ්ඩුකාර තැන්පත් සෝල්බරි සාමිවරයාටත් අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාටත් ආරාධනා කර තිබුණද දෙදෙනාම ගිලන්ව සිටි බැවින් සහභාගි වන්නට නොහැකි විය. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මේ මහා ජාතික ව්‍යාපෘතියේ භාර අමාත්‍යවරයා වූ බැවින් එතුමා මෙහි සම්භාවනීය රාජ්‍ය නියෝජිත විය. මහානාහිමිවරුන් ප්‍රමුඛ සතර දිග් භාගයෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය දේශනා කළ මංගල පිරිත් දේශනා මධ්‍යයේ හා රැස්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මකර තොරණ විවෘත කළේ ය. එතැන් සිට සිරිපා මළුව දක්වා මහා පෙරහරකි. මේ මහා පෙරහරට සම්බන්ධ වූ සුවිශේෂී ආගන්තුක සුදු ජාතික කාන්තාවක් වූවා ය. ඇය මාග්‍රට් මේරි ගිෆිත් නම් වූවා ය. ඇයගේ දෙනෙතින් දුටු ඒ අසිරිමත් සිදුවීම මෙරට පුවත් පතක පළ කරන්නට The Miracle of the Moon නමින් ලිපියක් සැපයූවා ය. මේ ඇයගේ විස්තරයයි.

දිවයිනේ සතර දෙසින් පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවත්හු එහි වූහ. මහා සඟරුවනත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාත් පෙරටු කොට ගත් මහ පෙරහර සිරිපා මුදුන දක්වා ඇදෙන්නට විය. සැදැහැවතුන්ගේ සාධුකාරය ප්‍රදේශය පුරා පැතිරෙන්නට විය. එවිට වේලාව රාත්‍රී 08.30 පමණ විය. සුළු නින්දකට පෙර අප සිටි කුඩා කුටියෙන් එළියට පැමිණියේ සිරිපා මුදුනේ චමත්කාරය විඳින්නට ය. රැස්ව සිටි වන්දනා කරුවන් චන්ද්‍ර මණ්ඩලය දෙසට ඔවුන්ගේ අත් දිගු කරමින් මහත් විස්මයෙන් යුතුව යමක් නරඹන අයුරු දුටුවෙමි. මිහිදුම් මඩල ද හාත්පස පැතිරී තිබුණි. මහත් කුතුහලයෙන් මම ද ඔවුන් අතරට වීමි. එහි දර්ශනය මට අදහා ගන්නට නොහැකි විය. පූර්ණ චන්ද්‍ර මණ්ඩලය වටා රවුම් හතරක් සේ වැටී රවුම් හතරක් එහි විය. එය බුද්ධ රශ්මි ධාරාවන් යැයි ඔවුහු කීහ. එය විස්මිත මනස්කාන්ත දර්ශනයක් විය.

සිරිපා මුදුනින් විහිදුණු විවිධ වර්ණයෙන් යුත් ආලෝක ධාරාවක් අපට දැක ගන්නට හැකි විය.

අපි විස්මයට පත් වීමු. අදහා ගන්නට නොහැකි වූ මේ ආශ්චර්ය කුමක්දැයි අසල වූ කෙනකුගෙන් ඇසීමි. ඔහු පැවැසුවේ ඒ බුදුරැස් මාලා විහිදුණු බවයි. එසේ විහිදුණු විවිධ වර්ණයෙන් යුත් රැස් ධාරාව චන්ද්‍ර මණ්ඩලය වටා එලෙසින්ම රවුම් හතරක් ලෙස දිස්වන්නට විය. සිදු වූයේ කුමක්දැයි අපගේ සිත්වලින්ම ආවර්ජනය කරන්නට වීමු. සත්‍ය වශයෙන්ම වූයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි විය. සැබවින්ම එය විස්තර කර දෙන්නට නොහැකිවිය.

මේ මහා ජාතික ව්‍යාපෘතියේ නියමුවා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ට උපහාර පුදන්නට ඇය අමතක නොකළා ය. මේ මහා කාර්යයේ නියමුවා ඔහු ය. සිරිපා මළුවට යන ගමන් මඟ විදුලි එළියෙන් ආලෝකමත් කිරීමේ පුරෝගාමියා ඔහු ය. මල්මාලාවකින් ද තොරව ඉතා නිහතමානීව සැදැහැවතුන් අතරට වී ඔවුන් සමග පූජාවට සහභාගි වී සිටින අයුරු යන්තමට අපි දුටුවෙමු. එසේම මේ ඓතිහාසික උත්සවයේ දී එතුමා සිදුකළ කථාවද මෙහිදී දක්වා ඇත්තේ මෙසේ ය.

“අතිශයින්ම නිහතමානීවූත්, උණුසුම් වූත් මාගේ ඉල්ලීම මෙයයි. අනාගතයේ දී අතොරක් නොමැතිව සිරිපා වන්දනාව සඳහා පැමිණෙන මහජනතාව මෙහි ඇති නවීන පහසුකම් හා වටිනාකම් මැනවින් දකිනු ඇත. එබැවින් ඒ හැමගෙන්ම මම ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. මෙකී නෝර්ටන් බ්‍රිජ් විදුලිබල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උරදුන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ සියලු දෙනාත්, ඔවුන්ගේ අරමුණු හා කැපවීම් පිළිබඳවත් අපේ දේශයේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීමත් හෘදයාංගමව කෘතවේදීත්වයෙන් සිහිපත් කරන ලෙසය. ඔබලා කුමන ආකාරයේ දිවිපෙවෙතක් ගත කළ ද අපේ දේශයේ සෞභාග්‍යය හා සාමය සඳහා අප හැමට එකට එකතුව ඉදිරියට යා හැක්කේ එවිට ය.” ශ්‍රී පාදස්ථානයටත් මුළුමහත් දිවයිනටත් ලබාදුන් ඒ ඓතිහාසික සමාරම්භක අභිමානවත් ආගමික උත්සවය දෙනෙතින් දැක ගැනීමටත් ඊට සහභාගිවීමටත් ලැබීම භාග්‍යයක් සේ මාග්‍රට් මේරි ගි‍්‍රපිත් මහත්මිය සැලකුවාය.

බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩුණු සැදැහැවතුන්ගේ සාධුකාර නාදයත් මහා සංඝරත්නය දේශනා කළ පිරිත් සජ්ඣායනාවත් අසන්නට ලැබීම ඇයගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධියක් විය. ඇය තම ලිපිය අවසන් කරන්නේ මෙසේ ය.

“මෙම ඓතිහාසික අවස්ථාවට මඟ පෑදු නෝර්ටන් බ්‍රිජ් වැඩබිමේ සේවය කළ සියලු සේවකයන්ගේ නාමයන් ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල අමාත්‍යවරයාගේ නාමයද ශ්‍රී පාදය පවත්නේ යම්තාක් කල්ද, ඒතාක් කල් කෘතවේදී කිසිවෙකුටවත් අමතක කළ නොහැකි ය.”

ජෝන් එම්.සෙනෙවිරත්න විසින් සම්පාදිත Sri pada (Adam’s peak) නම් ග්‍රන්ථයෙන් මේ ලිපිය උපුටා ගන්නා ලදී.  The miracle of the moon නමින් සුදු ජාතික කාන්තාවක් වූ මාග්‍රට් මේරි ග්‍රිපිත් මහත්මිය එකල මෙරට ඉංගී‍්‍රසි පුවත් පතකට ලියු මේ ලිපිය එම ග්‍රන්ථයට ඇතුළත් කර තිබිණි.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]