UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ ලෙස ධාර්මිකව ධනය රැස් කරගන්නා එම ධනය තම ප්‍රයෝජනයට ගෙන අන් අයට ද දී නින්දා නොලැබ දෙව්ලොව යයි. සැබෑ ලෙස නිර්ලෝභී ධනවතුන් සෙවීම අද ඉතා දුෂ්කරය. නිර්ලෝභීත්වය ඇති ධන කුවේරයෝ මෙලොවත් පරලොවත් යන මඟ දිනති.

සමහරු නිනව්වක් ඉවසිල්ලක් නොමැතිව දිවා රෑ ධනය රැස් කිරීමට වෙහෙසෙති. ඉන්දියාවේ අනිල් අම්බානි නම් ලෝකයේ අංක එකේ ධනවතා මුම්බායි නගරයේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා තට්ටු 40 ක අධි සුඛෝපභෝගී ගොඩනැඟිල්ලක් තැනුවේ ය. අනිල් අම්බානි මේ සඳහා ඇමරිකානු ඩොලර් දසලක්‍ෂ ගණනක් වියදම් කළ බව කියැවේ. එහෙත් මුම්බායි නගරයේ දුප්පත් ඉන්දියානුවන් කෝටි එකහමාරක් ජීවත්වන අතර මුම්බායිහි ඇති ධාරා නමැති මුඩුක්කු ප්‍රදේශයේ ලක්‍ෂ දහයකට වඩා ජනතාවක් ජීවත් වෙති. මුම්බායි දුම්රියපළ අවට 90, 000 කට වැඩි පිරිසක් රාත්‍රියේ සීතලෙන් මහමග ගත කරති. මුම්බායි නගරයේ ජීවත්වන කෝටි එකහමාරක ජනගහනයෙන් තුනෙන් එකකට ස්ථිර නිවාස නොමැති වාතාවරණයක අනිල් අම්බානි මෙතරම් සුවිසල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ගැන මැදහත් ඉන්දියානුවෝ සිය කනස්සල්ල පළ කරති. අම්බානිට ඉන්දියානු රුපියල් කෝටි 1000 කට වඩා වියදම් කර සාදන ලද ගොඩනැඟිල්ලේ සුවසේ සිටිය හැකි වූවත් ඔහුගේ සහෝදර ජනතාව තවමත් සීතලෙන් මිරිකෙමින් දූවිලි තවරා ගනිමින් මහ මඟ නිදියන බව අමතක වී ඇතැයි මැදහත් ඉන්දියානුවෝ පෙන්වා දෙති. අනිල් අම්බානිට පෙර ලොව ප්‍රධාන ධනවතාවූයේ ඇමරිකානු ජාතික, බිල්ගේට්ස්ය. බිල්ගේට්ස් පරදා අනිල් අම්බානි ප්‍රධාන තැනට පත්විය. යළි ඔහු දෙවන තැනට පත්වී ඇතැයි පෝබස් සඟරාව මෑතකදී වාර්තා කළේ ය.

ලොව ධනවතුන් මෙසේ ක්‍රියා කරද්දී එදාවේල සරිකරගැනීමට නොහැකිව ලතවන ජන කොටස් කෙතරම් කටුක දිවියක් ගෙවන්නේ දැයි ලෝකයාට රහසක් නොවේ. රුසියාවේ ගොර්බචොෆ් ගේ පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු රුසියානු ධනකුවේරයන් එළිබැසීම දැන් ආරම්භ වී තිබේ. අක්කර දහස් ගණනක් අයිති කර ගනිමින් ගම්බද ප්‍රදේශවල ද තම මාලිගා තනන රුසියානු ධානකුවේරයන් ගේ මාලිගාපිටුපස බැටළුවන් විසිතිස් දෙනෙකුගෙන් සිය ජීවිකාව රැක ගන්නා රුසියානුවන් සෙවීම අපහසු නැත. ඇමරිකාවේ වොරන් බුෆෙට්, පෝල් ගේල් ඇලන්, සෞදි අරාබියේ රජකුමරකුවන අල්වාල්ඩ් ලැරීඑලිසන්, ඇලිස්, හෙලස් ජිම් ජේම්ස්, රොබට් යන වෝල්ටස් පවුලත් කෙනත්ෆේමිය, බ්‍රයිට්රෝසිං ඉන්ග්වර් කම්ස්රූඩ් යන ලෝකයේ ප්‍රධාන ධනවතුන් අද ක්‍රියා කරන්නේ තම සහෝදර ජනතාව ගැන තකමින් නොව තමන්ගේ ධනය වැඩි කර ගන්නා මාර්ග සොයමිනි. බුදු දහමේ දැක්වෙන පරිදි මිනිසකුට ධනය අවශ්‍ය වන්නේ අන්‍යයන්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරනු සඳහා ය.

භුත්තා භොගා භතා භච්ඡා -
විතිරණ්ණ ආපදාසු මේ
උද්ධග්ගා දක්ඛිණා දින්නා -
අථොපඤ්ච ඛලීකතා
උප්පට්ඨිතා සීලවන්තො -
සඤ්ඤතා බ්‍රහ්ම චාරයො
යදත්ථං භොගංවිච්ඡෙය්‍ය
පණ්ඩිතො ඝර මාවසං
සා මෙ අත්ථො අනුප්පත්තො -
කතං අනනුතාපියං
ඒතං අනුස්සරං මච්චො -
අරිය ධම්මේ ඨිතො නරො
ඉධෙචේව නං පසංසන්තී -
පෙච්ච සග්ගේච මෝදතීතී

මෙම ගාථාවේ අදහස සරලව දක්වතොත්, මා විසින් කෑම බීම ආදිය ඉතා හොඳින් කරන ලදී. පෝෂණය කළ යුතු මවුපිය සහෝදර සහෝදරාදීහු පෝෂණය කරන ලද්දාහ. විපත්තිවලදී වියදම් කිරීමද කරන ලදී. පරලොව යහපත පිණිස පවත්වන්නා වූ දානාදී කටයුතු කරන ලදී. නෑයෝ ය, ආගන්තුකයෝ ය, මියපරලොව ගියාහුය රජවරු ය. දේවතාවෝය යන පස්කොටස උදෙසා දීමනා දෙන ලදී. සිල්වතුන්ට උවටැන් කරන ලදී. ගිහි ගෙහි වසන්නෙක් යම් ප්‍රයෝජනයක් තකා ධන සම්පාදනය කෙරේ නම් ඒ ප්‍රයෝජනය මා විසින් ලබන ලදී. මෙසේ කරන ලද ඒ යුතුකම් ඇති පුද්ගලයා ආර්ය ධර්මයෙහි පිහිටියෙකි. නුවණැත්තෝ ඔහුට මෙලොවදීත් පසසත් හෙතෙම පරලොවහිදීත් සන්තෝෂ වේ.

පත්ථකම්ම සූත්‍රයේ මේ ගාථාවට අනුව තම ධනය වැය කරන පුද්ගලයන් අද සොයා ගැනීම උගහට ය. සැබෑ ලෙස ධාර්මිකව ධනය රැස් කරගන්නා එම ධනය තම ප්‍රයෝජනයට ගෙන අන් අයට ද දී නින්දා නොලැබ දෙව්ලොව යයි. සැබෑ ලෙස නිර්ලෝභී ධනවතුන් සෙවීම අද ඉතා දුෂ්කරය. නිර්ලෝභීත්වය ඇති ධන කුවේරයෝ මෙලොවත් පරලොවත් යන මඟ දිනති.

බුදුන් වහන්සේ දක්වා ඇති පරිදි සමහරුන්ගේ ධනය රාක්‍ෂාධිගෘහිත විල් වැනි ය. එවැනි විලක ඇති ජලය කිසිදු ප්‍රයෝජනයක් නැතිව නියඟයෙන් වියළීයන්නාක්මෙන් විනාශ වී යයි.

ධනය හරිහම්බ කළාට රැස්කළාට මදිය. එය අන් අයගේ යහපත සඳහා ද වැය කළ යුතු ය. අපේ පැරැන්නන් අසරණයන්ට පිහිටවෙමින් තමන්ගේ ජීවිතයද යහපත් කර ගනිමින් ඉතා පරාර්ථකාමී ජීවිත ගතකොට ඇත්තේ සැබෑ මනුෂ්‍යයන් ලෙස ජීවත්වෙමින් බව අප හඳුනාගත යුතු ය.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]