Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජය යනු විවිධාකාර චර්යාවන්ගේ් එකතුවකි. සම්බුදු දහමේ දැක්වෙන අයුරින් අඳුරෙන් අඳුරට යන, අඳුරෙන් ආලෝකයට යන, ආලෝකයෙන් අඳුරට යන සහ ආලෝකයෙන් ආලෝකයට පිය මනින මිනිසුන් අප අතර වේ. ඉන් වඩාත් සුදුසු වන්නේ කුමක්දැයි වටහාගෙන ඤාණාන්විතව කටයුතු කිරීම අප සතු වගකීම වේ.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඓතිහාසික ආගමික දිනය අසිරිමත් වෙසක් පොහොය දිනයයි. ඒ අසිරිමත් සම්බුදු සිරිත මෙනෙහි කරන ඕනෑම කෙනකුගේ සිතට දැනෙනුයේ මහත් සැනසීමකි. අස්වැසිල්ලකි.

ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ සමස්ත මානව සමාජයට උන්වහන්සේගේ අපරිමිත කරුණාවෙන් හා මෛත්‍රීයෙන් සැනසීමට පත්කළ සේක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය තෙවරක්ම ලැබීමට තරම් අපේ රට භාග්‍යවත් වූ බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

දෙසැටක් මිස දිටු මත පැතිර තිබූ යුගයක සසර පිරූ පාරමී දම් බලයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සේක. අදිටන පාරමිතා බලයක් බවට පත්කර ගත් උන්වහන්සේ තම ඒකායන අපේක්ෂාව වූ ලොවුතුරා බුද්ධ රාජ්‍යයට පත්ව අපමණ ජනතාවට පිහිට වන විට සමාජය මිස දිටුවෙන් කෙමෙන් ඈත් වූ බව පෙනේ. සමස්ත සමාජයම කෙමෙන් ඒ අසිරිමත් දහම අනුගමනය කරන පිරිසක් බවට පත්විය.

එසේ වුවද බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කරදර බාධක හිරිහැර ද බොහෝය. ඒ සියල්ල ඉවසා වදාළහ. ඒ උන්වහන්සේගේ් තාදි ගුණයයි. අටලෝ දහමින් කම්පිත නොවූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිතම අසිරියෙන් පිරී තිබේ.

මෙවන් දිනයක ඒ උතුම් බුදුගුණ මොහොතක් හෝ මෙනෙහි කළ හැකිනම් භාග්‍යයක් නොවන්නේද?

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමෙන් සදහම් ආලෝකයෙන් ඒකාලෝක වූ මෙම ලක් දෙරණ බොදු හැදියාවෙන් පෝෂණය වූ දේශයකි.

සම්බුදු දහමේ ආභාෂයෙන් ඔපවත් වූ මෙරට ජනතාව බෞද්ධ සංස්කෘතිය අනුව යමින් වසර සිය දහස් ගණනක් පුරා ආ අතීත ගමන් මග විශිෂ්ටය. මෙරට බොදුනුවෝ අධ්‍යාත්මික සුවයට යොමු වූවාසේම ආර්ථික දියුණුවටද මං පාදා ගත්හ.

ජීවමාන බුදුරජාණන් වහන්සේ අප රටේ වැඩ සිටින්නා සේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ මෙරට වැඩ සිටීම දේශයේ වාසනාවකි. ගෞතම මහ බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට උපකාරී වූ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණ ලැබීමට තරම් අපේ රට භාග්‍යවන්තය. එසේ ඓතිහාසික පූජනීය උරුම රැසකට හිමිකම් කීමේ වාසනාව ලැබී ඇති අපේ මවුබිම අන් කවර රටකට සම කළ හැකිද?

ඒ ඓතිහාසික උරුමයන් දෙස විමසිල්ලෙන් බලන කල අපේ මවුබිම කෙතරම් නම් වාසනාවන්තද? යහපත් රටක්ද?

කෙසේ වුවද අතීතයේ විසූ හෙළ රජ දරුවන් තම දිවි දෙවැනි කොට රට දැය සුරැකීමට කළ මෙහෙවර ඓතිහාසික ය. ඒ ප්‍රෞඞ ඓතිහාසික උරුමය රැක ගැනීමට දැයේ පිනට පහළ වූ රාජ්‍ය නායකයකු වර්තමානයේ අපේ රට කරවන බව සමාජය පිළිගෙන ඇත. රටේත් ජනතාවගේත් භාග්‍යයට උපන් එම ජනනායකයා නම් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමාය.

‘ඔබ සැමගේ සිතුවිලි කැටිකොට මිනිසා ගොඩ නගා පවුල රකින්නටත්, පවුල ගොඩ නගා ගම රකින්නටත් ගම ගොඩනගා රට රකින්නටත් රට ගොඩ නගා ලොව දිනන්නටත් ‘මහින්ද චින්තනය’ නම් වූ මගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළෙමි.

මගේ සිහිනය නිවහල් ජාතියකි. නිල්ල පැතිරුණු රටකි. අටුකොටු පිරුණු හෙටකි. දැහැමි මිනිසෙකි.

සිහල දමිළ මුස්ලිම් බර්ගර් ලක්මවගේ් සියලු දරුවන් අපේක්ෂා දැල්වුනු දෑසින් අප දෙස බලා සිටිනා බව මම දනිමි.

ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කළ හැක. ඒ විශ්වාසය මා සතුව තිබේ. නිසැකවම මම එය ඉටු කරන්නෙමි. අභියෝගයන්ට ආදරය කරමු ලක්මවට සුබ අනාගතයක් තිළිණ කිරීමට අපි සැවොම එක්ව පිය නගමු’ ‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළෙහි මෙසේ සඳහන් වේ.

බොහෝ අයට බොහෝ කලක සිට කල නොහැකි යැයි ඇතැම් විට මෙරට මෙන්ම විදේශයන්ද පිළිගෙන තිබූ භාරදූර කාර්යයන් දිවි දෙවැනි කොට ප්‍රායෝගිකව ක්‍රියාවෙන් ඔප්පු කළ හැකි බොහෝ දේ එම වැඩපිළිවෙළ මගින් ඉටුකර ඇත. එබැවින් අසීරු යැයි, අපහසුයැයි කියා කළ නොහැකි දෙයක් නොමැති බව තිර අදිටනින් ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇත. අතීත දහම් කතාවක්ද අපට මෙහිදී අපට සිහිපත් වේ.

රජගහනුවර පිහිටි ඒ නිවසට සිරිකත වැඩියේ ඒ කුමාරා උපන් පසුවය. කුමරාගේ පියා සතු කුඩා ඉඩම් කැබැල්ලෙන් ලොකු අස්වැන්නක් ලැබිණ. ඒ අස්වැන්න විකුණු පසු රන් මසුරන් රැසක් ලැබිණි. පෙර පැවැති ණය තුරුස් ද වහා ගෙවා දැමිණ. අලුතෙන් ඉඩම් ගැනීමටද පියාට හැකිවිය. මහා සමෘද්ධිමත් බවක් ඒ නිවසට පැමිණියේ ය.

ඒ සමෘද්ධිය අසල්වැසියන්ගේ විස්මයට හේතු විය. ‘අර වාසනාවන්ත දරුවා නිසාමය ඔය සමෘද්ධිය ලැබුණේ’ ඔවුහු කීහ. නිවසට සමෘද්ධිය ගෙන ආ නිසාම ඒ දරුවාගේ නම සමිද්ධ විය. සමිද්ධ රූමත්ය. සියල්ලෝම ඔහුට පි‍්‍රයමනාප වූහ.

එම කතාවේ සඳහන් පරිදි පුද්ගලයා ගොඩනැගීමට නම් එම පුද්ගලයා සතු සැඟවී ඇති හැකියාවන් හා දක්ෂතාවයන් ඉස්මතු කරවිය යුතුය. එම හැකියාවන් හා දක්ෂතාවයන් සමාජයට ප්‍රයෝජනවත් ඒවා විය යුතුය. ඒ සඳහා සමෘද්ධි ව්‍යාපාරය ලෙස බැංකු පද්ධතියෙන් ණය හෝ සමාජ සංවර්ධන අංශයෙන් ජීවනෝපාය ආදී වශයෙන් කුමන කුමන හෝ අංශයෙන් අදාළ කටයුතු සිදු කරනු ලබන්නේ පුද්ගලයා සතු හැකියාවන් සහ දක්ෂතාවයන් ඉස්මතු කරවීමටය. එමෙන්ම දිළිඳු බව තුරන් කිරීමට ය. එසේ පුද්ගලයාගේ් දිළිදුබව අඩු කිරීමට ඔවුන්ගේ සිතිවිලි සමුදායේ පටන් දිළිඳු බව අඩු කිරීමට ඔවුන් උසස් මට්ටමකට රැගෙන යායුතුය. ඔවුන්ගේ් හැකියාවන් ඉස්මතු කරවිය යුතුය.

එම භාරදූර කාර්ය ඉටුකරවීමේ වගකීම පැවරී ඇත්තේ නිලධාරීන් වන අප වෙතය. අදාළ සියලු කටයුතු සාර්ථකවීම සඳහා නිලධාරීන් ලෙස අප ඊට ඇපකැප විය යුතුය. ඒ අප වැටුප් ලබන පිරිසක් නිසාය. අප යම් රැකියාවකින් වැටුපක් ලබන්නේ් නම් ඊට සරිලන සේවයක් හෙවත් වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමද අප වෙත පැවරී ඇති වගකීමකි. එසේ නම් ඉහත කී යහපත් දැක්ම යටතේ රටේ සංවර්ධනයට ඔවුන් දායක කරවා ගැනීම අවශ්‍යය. සමාජය යනු විවිධාකාර චර්යාවන්ගේ එකතුවකි. සම්බුදු දහමේ දැක්වෙන අයුරින් අඳුරෙන් අඳුරට යන, අඳුරෙන් ආලෝකයට යන, ආලෝකයෙන් අඳුරට යන සහ ආලෝකයෙන් ආලෝකයට පිය මනින මිනිසුන් අප අතර වේ. ඉන් වඩාත් සුදුසු වන්නේ කුමක්දැයි වටහාගෙන ඤාණාන්විතව කටයුතු කිරීම අප සතු වගකීම වේ. ඇතැම්විට මනුෂ්‍යයාගේ නොදැනුවත්කම මත ඔහුගේ ජීවිතය අඳුරෙන් අඳුරට යාමට ඉඩ ඇත. එබැවින් ඔහුගේ ගැටලු නිරාකරණය කර අඳුරෙන් මුදවා ගෙන ආලෝකය කරා ඔහු ගමන් කරවීමට මාර්ගෝපදේශකත්වය සැලසිය යුතුය. සම්බුදු දහම පරලොව සඳහා පමණක් නොවේ. එය බුද්ධිමත් මනුෂ්‍යයන් විසින් මෙලොවදීම අනුගමනය කර සිය ජීවන මට්ටම උසස් කරගතයුතු වටිනා මාර්ගෝපදේශකත්වයක් සලසන උතුම් දහමකි. ඒ බව බොදුනුවන් නිතර දෙවේලෙහි සිහි කර මංගල සූත්‍රය ආදී සූත්‍රයන්හි අඩංගු ධර්මෝපදේශ අධ්‍යයනය කළ යුතුය.

සම්බුදු දහමේ උතුම් ධර්මෝපදේශයන්හි ආභාෂය නොලද බටහිර ඇතැම් රටවැසියන් බොහෝ භෞතික දියුණුව උදාකර ගත්තද ඔවුනට පැන නැගී ඇති ගැටලු එමටය.

ලෝකයේ පවතින අර්බුද අතර ආර්ථික අර්බුදයද ප්‍රධානය. එහෙත් වත්මනෙහි ආර්ථික අර්බුදවලින් බොහෝ රටවල් පෙලුණද අපේ රටේ ජනතාව වාසනාවකට මෙන් එවන් තත්ත්වයකට මුහුණ පා නොමැත. ඊට හේතුව නම් නොසැලෙන අදිටනින් රටට නිසි නායකත්වයක් සැපයීමය.

අපේ රටේ ජනතාව පරිත්‍යාග කිරීමෙහි පුදුමතරම් කැපවන පිරිසකි. ඒ සම්බුදු දහමින් ලද ආභාෂය නිසාය. යහපත් දිවි පැවැත්මක් ගත කිරීමේදී උත්සාහය අධිෂ්ඨානය අත්‍යවශ්‍යය. එමෙන් ම පෞද්ගලික ජීවිතයේදී වේවා, කාර්යාලයේ දී හෝ රැකියා ස්ථානයේදී හෝ වේවා, මගතොට වේවා, බස්රිය දුම්රිය වේවා, බුදුදහමේ ආභාෂය ලද තැනැත්තාට නොවරදින යහ පැවැත්මක් ඇත.

ආයතනයක් වේවා රටක් වේවා යම් දැක්මක් මත කටයුතු කළ යුතු විට සියලු අනුගාමිකයන්, නිලධාරීන්, සංවිධාන ඒ හා කටයුතු කරන්නේ නම් අදාළ දැක්ම සාක්ෂාත් කර ගැනීම අපහසුවක් නොවනු ඇත.

දුප්පත්කම අවම කිරීමේ අපේ දැක්ම තුළ අපේ නිලධාරීන් හා සංවිධාන කටයුතු කිරීමෙන් එය සාක්ෂාත් කර ගත හැකි බව අප අවබෝධ කරගත යුතු වේ.

උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා යන යහපත සලසන උතුම් සම්පත් පිළිබඳව අප අවධානය යොමු කළ යුතුවේ.

සැහැසිකමෙන් තොර දහඩිය මහන්සියෙන් ධනය ඉපයිය යුතුවේ

. එමෙන්ම එසේ උපයන ධනය පරිහානියට යා නොදී රැක ගත යුතුවේ. කලණ මිතුරු ඇසුරෙන් දැඩි ලෝභයෙන් ආශාවෙන් මිදී සමව දිවි පවත්වා ගැනීමද අපේ වගකීම වේ.

අපේ අරමුණ හා දැක්ම වෙනුවෙන් ඇප කැපවීමේ බලවත් අදිටන මේ උතුම් වෙසක් පෝදා සිත් තුළ ධාරණය කර ගනිමු. සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.