Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සමාජ දර්ශනයට අනුව ජීවිතය සාර්ථක කර ගැනීමට අනුගමනය කළයුතු මූලික පියවර තුනකි. එනම්.... දානය, සීලය හා භාවනාව යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ය.දානයෙන් ත්‍යාගශීලී ගුණය මුල් කරගෙන බෙදා හදාගෙන භුක්ති විඳීමත් සියලුම වත්පිළිවෙත් සත්චාරිත්‍ර යුතුකම් හා ආමිස පූජාවත් නියෝජනය වේ. සීලයෙන් කය හා වචන දෙකේ මිනිස්කම, චරිතවත්කම, සීලාචාරකම, බෞද්ධකම, මහණකම තහවුරු කෙරේ.

පුද්ගලයාගේ කය වචන දෙක්හි පැවැත්මත්, සිතෙහි ක්‍රියාකාරීත්වයත් මුළුමනින්ම පාලනය වන මෙහෙයුම් බලවේගය හෙවත් පද්ධතිය සිතයි. ඒ බලධාරි සිත දෙස ආපසු හැරී බැලීමට ඇති මනෝවිද්‍යාත්මක උපක්‍රමය භාවනාවයි. සිතින්ම සිත දෙස බැලීමට ඇති ක්‍රම ශිල්පය ද එයම වේ. සිත දෙස බැලීමට, හඳුනා ගැනීමට, ශක්තිමත් කර ගැනීමට,ජය ගැනීමට, හික්මවා ගැනීමට, සංවර කර ගැනීමට ඇති මනෝවිද්‍යාත්මක උපක්‍රමය ලෙසට “භාවනාව“ හඳුන්වාදිය හැකි ය. මුළු මහත් පුද්ගල ජීවිතයේත්, සමාජ ජීවිතයේත් සියලුම ක්‍රියාකාරකම් පද්ධතියේත්, මැවුම්කාරයාත්, පාලකයාත්, ක්‍රියාකාරිකයාත් සිතය. එම සිතෙහි මනුස්සකම, චරිතවත්කම, බෞද්ධකම හා විමුක්තිය සලසා ගැනීමට ඇති මනෝවිද්‍යාත්මක උපක්‍රමය හෙවත් ක්‍රමවේදය “භාවනා” නමින් හඳුන්වනු ලබයි.

දාන, ශීල, භාවනා යන තුන් පින්කිරියවත් වලින් වැදගත්ම අංගය “භාවනාවයි”. එපමණක් ද නොව දස පුණ්‍යක්‍රියා, දසකුසලක්‍රියා, දස පාරමී, දසරාජ ධර්ම, සත්තිස්බෝධිපාක්‍ෂික ධර්ම යනාදී සියලුම සදාචාර ධර්ම භාවනාවේ පරිස්කාර හෙවත් පිරිකර හැටියට පරිවාර කුසල් හැටියට හඳුන්වාදීම සුදුසු ය.

දානයෙන් පමණක් සීලය හා භාවනාව යන උසස් ගුණ නොවැඩේ. එයින් තෘෂ්ණාව තදංග වශයෙන් තාවකාලිකව යටපත් කිරීමට හා තුනී කිරීමට පමණක් ඉඩ ලැබේ. මුවනොසෑහෙන සේ නිතර වර්ණනා කරනු ලබන අටපිරිකර සහිත සංඝගත දක්‍ෂිණාවකින් මහා කඨින දානයකින් කළ හැක්කේ ද එපමණකි. එම කාමාවචර පින්කම් මඟින් තණ්හාව තාවකාලිකව යටපත් කිරීමට වර්ණනාවේ තරමටම ලැබේදැයි සාධාරණ සැකයක් ඇති වූවද කිසියම් ප්‍රමාණයකට සසර ගමනට අවශ්‍ය වන භවභෝග හා යස ඉසුරු මඟ වියදම් සපයාදීමට යහපත් උපතක් ලබාදීමට බෙහෙවින් උපකාරී වේ.

සීලයෙන් දාන සීල දෙක වැඩුණත් එයින් භාවනාවක් වැඩෙන්නේ ද නැත. ඒ දෙකෙන් හා ආමිස පූජාවෙන් භාවනාවට අවශ්‍ය කරන සූදානමක්, පරිසරයක් ගොඩනැඟේ. එහෙත් භාවනාවෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවම වැඩේ. තණ්හාව මුල් කොටගත් කෙලෙස් උපාදාන හා සංයෝජන තදංග හෙවත් (මොහොතකට) විෂ්කම්භන (කාලයකට) සමුච්ඡේද (මුළුමනින්ම) යනාදී වශයෙන් පියවරෙන් පියවරට ප්‍රහීණ කරගැනීමටත් ඇති එකම මඟ “භාවනාවයි”. එහෙත් භාවනාව සඳහා අවශ්‍ය වන කායික මානසික හා භෞතික පරිසරය ගොඩනඟා ගැනීම හා විධිමත්ව සූදානම් වීම සඳහා දානය, වත්පිළිවෙත් හා ආමිස පූජා ඇතුළත් වන චාරිත්‍ර සීලයත්, පංච සීලයත්, උපෝසථ සීලයත්, දස සීලයත්, සාමණේර සීලයත්, ඇතුළත් වන චාරිත්‍ර සීලයත් පූර්ව කෘත්‍ය වශයෙන් පූර්ව පියවර වශයෙන් අත්‍යවශ්‍ය වෙයි.

“භාවෙති කුසලෙ ධම්මෙ ආසෙවෙති වඩ්ඩෙති එතා යාති භාවනා” යනාදී වශයෙන් ත්‍රිපිටකයේ නිර්වචනය කරනුයේ “යම් චේතනාවක් කරණ කොට ගෙන කුසල ධර්මයන් වඩයිද, වැඩිදියුණු කරයි ද ඒ චේතනාව භාවනාව“ බව ය. භාවනාවේ ප්‍රභේද - සමථ හා විපස්සනා යනුවෙන් ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකකි. එකී භාවනා ක්‍රම දෙක වෙන වෙනම විමර්ශනයට ලක් කිරීම වැදගත් වේයැයි හැඟේ.

01. සමථ භාවනාව - පංච නීවරණයන් තදංග හා විෂ්කම්භණ වශයෙන් තාවකාලිකව කාලයකට හරි යටපත් කරන, සංසිඳුවන, සමථයකට පත් කරන, භාවනාව සමථ භාවනවයි. මෙය සමාධියත්, සමාධිය මඟින් සිතත් දියුණු කර ගැනීමට උපකාරී වන බැවින් සමාධි භාවනාව චිත්ත භාවනාව යන නම් වලින් ද හඳුන්වාලයි. බුදුරදුන් විසින් අනුමත කරන ලද සමථ භාවනා ක්‍රම (40) හතළිහකි. එයින් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, උපසමානුස්සතිය යන හතර හැර සෙසු භාවනා වෙනත් ශාසනවලද පුරුදු පුහුණු කළ හැකි ය. සමථ භාවනා ක්‍රම මඟින් නීවරණ තදංග හා විෂ්කම්භන වශයෙන් තාවකාලිකව යටපත් කිරීමටත්, කෙලෙසුන්ගේ ව්‍යතික්කම (ක්‍රියාත්මක) හා පරියුට්ඨාන (නැඟී සිටින) අවස්ථා වළක්වා ගැනීමටත් ලෞකික සමාධිය දියුණු කරගෙන ධ්‍යාන හා අභිඥා උපදවා ගැනීමටත් ඒ මඟින් බඹලොව උපත ලබා ගැනීම නොහොත් බ්‍රහ්මස්ව භාව්‍යතාවයට පත්වීමටත් අවස්ථාව සලසා ගත හැකි ය. නමුත් ඒ කිසිවකින් ආර්ය මාර්ගයට ඇතුළත් විය නොහැකි ය.

02. විපස්සනා භාවනාව -

ජීවිතය හා ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන් ඇත්ත ඇති සැටියට විවිධාකාරයට දැකීමට, බැලීමට, අවබෝධ කර ගැනීමට උපයෝගී වන්නේ “විපස්සනා භාවනාවයි.” විපස්සනා යනුවෙන් ද සිංහලයෙන් “විදසුන්” යන නම්නුත් හැඳීන්වේ. මේ භාවනා ක්‍රමයට ප්‍රඥා භාවනාව, ත්‍රිලක්‍ෂණ භාවනාව, සතර සතිපට්ඨාන භාවනාව, යනුවෙන් ද හඳුන්වනු ලබයි. තවද එය ‘සති සම්පජඤ්ඤ භාවනාව, ත්‍රිශික්‍ෂා භාවනාව, ආර්ය භාවනාව, සප්ත විසුද්ධි භාවනාව හා සකල ක්ලේශ සමුච්ඡේද භාවනාව‘ ලෙස හැඳින්වීමද අර්ථවත් ය. මහා සතිපට්ඨාන සූත්‍රයේ දී විදර්ශනා භාවනාව කර්මස්ථාන හෙවත් ක්‍රම (21) විසි එකකට ඇතුළත් වනසේ දේශනා කොට ඇත. එම විදර්ශනා භාවනා ක්‍රමය බුද්ධ ශාසනයේ හැර ලෝකයේ අන් කිසිම ආගමක, දර්ශනයක, ශික්‍ෂණයක, ප්‍රතිපදාවක කිසිම දිනක ඇතුළත් නොවේ. එය බුදුදහමට, ආර්ය මාර්ගයට පමණක් ආවේණික වූ එකායන වූ භාවනා ක්‍රමයයි. එහෙයින් සමථයානික අධිගමලාභියෙකුට වූවද විදර්ශනාවෙන් තොරව ආර්ය මාර්ගයට, ත්‍රිශික්‍ෂාවට, ආර්ය අෂ්ටාංගික මාර්ගයකට, සප්ත විසුද්ධියට, සම්මා දිටිඨියට ඇතුළත් වීමට ඉඩක් නොලැබේ. සමථයානික අධිගමලාභියාටත්, අධිගම නොලැබූ විපස්සනායානිකයාටත් ඇත්තේ, ඒකායන වූ නිර්වාණ මාර්ගයකි. එකම නිවනකි. සමථයානික ලාභියකුට එම සමාධිය පාදක කරගෙන විදසුන් වඩා මඟ ඵල ලැබීම බෙහෙවින් පහසු වේ. එහෙත් මුලදී සමථයෙන් ධ්‍යාන හා අභිඥා ලැබීමට බලවත් පරිශ්‍රමයක් දැරිය යුතුව ඇත. එබඳු පසුබිමක් නැති විපස්සනායානිකයාට මඟඵල ලැබීම දුෂ්කර කාර්යයක් වූවත් ධ්‍යාන උපදවා ගැනීම සඳහා වටරවුමක යාමකින් තොරව නිවන පසක් කරගත හැකි ය.

ඒ දෙපිරිසටම මඟඵල ලැබීම සඳහා රූප ධ්‍යාන තත්ත්වය පසුකළ යුතුව ඇත. සමථයානිකයා ධ්‍යානවල එල්බ ගනී. එබැවින් ඔහුට නැවත ඒවාට සමවැදිය හැකි ය. අභිඥා උපදවා ගත හැකි ය. විපස්සනා යානිකයාගේ මාර්ග ඥානයට පෙරාතුව ක්‍ෂණිකව ඇතිව ධ්‍යාන සිත් (මහග්ගත සිත්) ඒ ක්‍ෂණයෙහිම ත්‍රිලක්‍ෂණයට හැඟෙන නිසා එහි එල්බ ගැනීමක් සිදු නොවේ. එබැවින් එම ආර්යයන්ට ඒ ධ්‍යාන වලට නැවත සමවැදීමේ හෝ අභිඥාලාභීන්ට මෙන් අද්භූ®ත හාස්කම් කිරීමේ හෝ අවස්ථාවක් නොලැබේ.

මේ පිළිබඳ විමතියක් ඇති උගතුන් විසින් “චුල්ලගෝපාල සූත්‍රයත්” පරිනිර්වාණ මඤ්චකයේදී සුභද්‍ර පරිබ්‍රාජකයාගේ ප්‍රශ්නයට දී ඇති පිළිතුරත් සිහියෙන් හා නුවණින් කියවා බැලීමෙන් නිවැරැදි අවබෝධයක් ලබාගත හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.