Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුළු පොළොවට අධිපති වීමෙන් ලබන සක්විති රජකමට වඩා, දෙව්ලොව යාමට වඩා, සියලු ම ලෝකයන්ට අධිපති වීමටත් වඩා සෝවාන් ඵලය ලැබීම උතුම් ය සෝවාන් වූ තැනැත්තා ඉදිරියට උත්පත්තිය ලබන්නෙ ආත්ම භාව හතක් පමණයි. ලොව කිසිම කෙනකුට ඔහුව වෙනස් කරන්නට බැහැ. නැවත පෘථග්ජනයෙක් කරන්නට බැහැ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“පථව්‍යා ඒක රජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බ ලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං”

සැදැහැවත් පින්වතුනි,

අද අපගේ ධර්ම දේශනය සඳහා තෝරා ගත්තෙ, ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ ලෝක වග්ගයේ 12 වැනි ගාථාවයි.

ලෝකයේ උතුම්ම දේ සෝවාන් ඵලය බව කියැවෙන මේ ගාථාව දේශනා කර ඇත්තේ, අනේපිඩු මහා සිටුතුමන්ගේ පුත් කාල කුමාරයා නිමිති කරගෙනයි.

අනාථ පිණ්ඩික කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වගේම, එදා සැවැත් නුවර හිටිය මහා ධනපතියායි. බුදුදහම අසීමිත භක්තියක් මෙන්ම ත්‍රිවිධරත්නයට මහත් ලැදියාවක් දැක් වූ එතුමා, අති විශාල ධන සම්භාරයක් වැය කරමින්, ජේතවනාරාමය නමැති විහාරය ඉදිකරල බුදුපාමොක් මහා සංඝයාට පූජා කළ බව බොහෝ ම ප්‍රසිද්ධ කාරණයක්. බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලයෙන් වැඩිම කොටසක් ගත කළෙත් ජේතවනාරාමයෙයි. “ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ” යනුවෙන් පටන් ගන්නා හැම සූත්‍ර ධර්මයක් ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම විහාරයේ වැඩ වාසය කරමිනුයි.

අනේපිඬු සිටුතුමාට දියණියන් තුන් දෙනෙකුත් එක පුතෙකුත් හිටිය. මහා සුභද්‍රා, චුල්ල සුභද්‍රා, සුමනා දේවී යන දියණියන් තුන් දෙනා පියතුමන් වගේම බොහෝම ශ්‍රද්ධා සම්පන්න, සෝවාන් ඵලලත් අය වුණත්, කාල කියන පුතා ඊට හාත්පසින්ම වෙනස්. අඩුම තරමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින, තමන්ගේ පියා විසින් සාදවන ලද පන්සලටවත් ගියේ නෑ. හැබැයි වැරැදි කළෙත් නෑ. දිනපතා ම ගෙදර පැවැති දාන මානාදියට සහභාගි වුණෙත් නෑ. පුතාගෙ මේ හැසිරීම අනේපිඬු සිටුතුමාට හරි වේදනාවක් උනා. එතුමා නිතරම කල්පනා කළේ තමන්ගේ පුතා ධර්ම මාර්ගයට ගන්නෙ කොහොමද කියන එක ගැනයි. ඔහොම ඉන්න කොට, සිටුතුමාට හොඳ උපායක් කල්පනා වුණා. පුතාට කථා කරල කිව්ව පුතේ අද පෝය දවසනේ පුතා අද පන්සලට ගිහිල්ල සිල් සමාදන් වුණොත් මං කහවනු පන්සීයක් අද හවස ආපු හැටියෙම දෙනවයි කියල. කාලට ඛ්රි සතුටුයි. කහවණු 500 ක් කියන්නෙ ඉතා විශාල මුදලක්. කාල කුමාරය පන්සලට ගිහින් සිල් ගත්ත. සිටුතුමාටත් හරි සතුටුයි. තමන්ගෙ උපාය හරිගිය එක ගැන. හවස ගෙදර ආපු හැටියෙම කෑම කන්නෙත් නැතුව තාත්තගෙන් පොරොන්දු වූ මුදල ඉල්ලා ගත්තා.

ඊළඟ පෝය දවසෙ, සිටුතුමා පුතාට කථා කරල කිව්ව, අද පන්සලට ගිහින් එකම එක බණ පදයක් මතක තියාගෙන ඇවිත් මට කිව්වොත් කහවණු දහසක් ම දෙනවය කියල. කාල පන්සලට ගිහිං බන අහගෙන ඉන්නව කහවනු දහසක් ලබා ගැනීමේ ආශාවෙන්. කොහොම හරි එක බණ පදයක් පාඩම් කරගන්න හිතාගෙන අහගෙන හිටියත්, එකක්වත් පාඩම් හිටියෙ නෑ. ධර්ම දේශනාව අවසානයේ දී සියලුම ධර්මය අවබෝධ වීමෙන් සෝවාන් ඵලයට පත්වුණා.

ඒ බව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ, පාත්‍රයත් අරගෙන අනේපිඬු සිටු මාලිගයට වැඩම කළා. කුමාරයත් උන්වහන්සේගෙ පිටුපසින් බොහෝම ශාන්ත දාන්ත විදියට ගමන් කළා. මේක දැක්ක සිටුතුමාට වැටහුණා. අද නම් කිසියම් වෙනසක් ඇති වෙලා තියෙන බව කෝකටත් පොරොන්දු මුදලත් සූදානම් කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිගන්නට මාලිගාවෙ දොරටුව ළඟට වෙලා හිටිය. සෝවාන් වෙච්ච කුමාරයට දැන් ලැජ්ජයි. බුදුහාමුදුරුවන් ඉදිරිපිට දී තාත්ත මුදල් දේවිය කියල. එහෙම උනොත් හොරේ අහුවෙනව. අනිත් එක දැන් කුමාරයගෙ හිතේ වස්තු තණ්හාවත් නෑ. කොහොම උනත් බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් පිළිගත් සිටුතුමා උන්වහන්සෙ වඩා හිඳුවල, පොරොන්දුව විදියට හම පුතාට බොහෝම සතුටින් කහවනු දහස දුන්නා. කුමාරයා, ලජ්ජාවෙන් ඒක ප්‍රතික්‍ෂේප කළේ දැන් තමන්ට වස්තුව අවශ්‍ය නැති බව ප්‍රකාශ කරමිනුයි. ඒ අවස්ථාවෙ බුදුරජාණන් වහන්සේ, කුමාරයා, සෝවාන් ඵලයට පත්ව ඇති බව පහදල දීල අර මුලින් සඳහන් කළ ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඔය තමයි නිදාන කථාව.

දැන් අපි බලමු මොකක්ද මේ ගාථාවෙ තේරුම කියල “පථව්‍යා ඒකරජ්ජෙන” මුළු පොළොවට අධිපති වීමෙන් ලබන සක්විති රජකමට වඩා, සග්ගස්ස ගමනේ නවා” දෙව්ලොව යාමට වඩා, සබ්බ ලෝකාධිපබ්බේන” සියලු ම ලෝකයන්ට අධිපති වීමටත් වඩා සෝතාපත්ති ඵලං වරං” සෝවාන් ඵලය ලැබීම උතුම් ය. ඒ කියන්නෙ, සරලව තේරුම් කළොත් මේ ලොකෙ ලැබිය හැකි සියලු දේටම වඩා සෝවාන් ඵලය ලැබීම උතුම් බවයි. පින් දහම් කිරීමෙන්, පෘථග්ජන පුද්ගලයකුට ලෞකික වශයෙන් ලබාගන්නට පුළුවන් මහා සම්පත්ති තුනක් මේ ගාථාවෙ මුල් පද තුනෙන් කියැවෙනව. එකක් සක්විති රජකම මුළු ලෝකයටම අග රජු වීමයි සක්විති රජකම කියන්නෙ. අහසින් යන්නට පවා ශක්තියක් ඔහුට ලැබෙන බවයි බණ පොතේ කියැවෙන්නෙ. අනික් උපභෝග, පරිභෝග සම්පත් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වන අන්දමට සක්විති රජ කෙනෙක් කියන්නෙ “ථූපාර්හ” පුද්ගලයෙක්. බුදු, පසේබුදු, මහ රහතුන්ට වගේම සක්විති රජුටත් චෛත්‍යයක් හදල වන්දනමාන කිරීම සුදුසු ය. එහෙත් එය මෙලෝ වශයෙන් ඉහළම තනතුර වුණත් සෝවාන් ඵලය ලැබීම තරම් උතුම් වන්නේ නැහැ.

දෙවැනි කාරණේ දෙව්ලොව යාමයි. බොහෝ දෙනා පින් කරන්නේ දෙව් ලොව යන්නයි. ශක්‍ර සම්පත් ලබන්නයි. කාම ලෝකයේ ඉහළම සැපත ඒකයි. ඒත් එය සෝවාන් ඵලය තරම් උතුම් නෑ.

සබ්බ ලෝකාධිපච්චේන කියන්නෙ මුළු කාම ලෝකයටම අධිපති බව ලැබීමයි. එය ලබා ගැනීම ඉතා දුෂ්කරයි. ඒ උනත්, එයත් සෝවාන් ඵලය තරම් උතුම් නැහැ.

ඔය කියාපු සම්පත්ති තුනම කාම ලෝකය හා සම්බන්ධ ලෞකික ඒවා සෝවාන් ඵලය ලෝකෝත්තර සම්පත්තියක්, සෝවාන් ඵලය ලබා ගත්තාය කියන්නෙ ඉස්සරවෙලාම නිවන් දැක්කාය කියන එකයි.

නිවන් අවබෝධ කර ගත යුත්තේ පියවරවල් හතරකින් සෝවාන්, සකෘදගාමි, අනාගාමි, අරහත් කියන්නෙ එම පියවර හතරයි. සෝවාන් ඵලයට පත් උනාම ඊළඟ පියවරවල් තුනක් ලැබෙනවාමයි. මේ ජාතියේදී ලබා ගන්නට බැරි උනත්, කවද හරි ලැබෙන එක ස්ථිරයි. බුද්ධාගම අනුව සෝවාන් වූ තැනැත්තා ඉදිරියට උත්පත්තිය ලබන්නෙ ආත්ම භාව හතක් පමණයි. “සත්තක්ඛත්තු පරම” කියන්නෙ ඒ නිසයි. පෘථග්ජන පුද්ගලයකු සෝවාන් උනාම ‘දළ්හං අසංහාරියා’ කියල විස්තර කරනව. ලොව කිසිම කෙනකුට ඔහුව වෙනස් කරන්නට බැහැ. නැවත පෘථග්ජනයෙක් කරන්නට බැහැ. ඔහු ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ට වෙලා අවසානයි.

සෝවාන් වීම, අර කලින් සඳහන් කළ දුර්ලභ තනතුරු ලබන තරම් ලෙහෙසි පහසු නෑ. ඒ සඳහා සුදුසුකම් හතරක් සම්පූර්ණ විය යුතුයි. ‘සප්පුරිස සංසේවෝ, සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පටිපත්තී, චත්තාරි සෝතාපත්ති අංගානි, මූලානි වේදිතබ්බෝ’ යන පාඨයෙන් කියැවෙන්නේ ඒ හතරයි.

සත් පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් සත්පුරුෂයකු වීම, බණ ඇසීම, එය නුවණින් අවබෝධ කර ගැනීම හා ඒ අනුව ජීවිතය සකස් කර ගැනීම සෝවාන් ඵලය ලැබීමට අවශ්‍ය මූලධර්ම බවයි එයින් විස්තර වන්නේ. බුදු දහමේ දැක්වෙන විදියට සත්පුරුෂයකු වීමට කාරණා හතක් සම්පූර්ණ විය යුතු යි. මව්පියන් පෝෂණය කිරීම, කුළ දෙටුවන් පිදීම, මෘදු වචන කථා කිරීම, කේළාම් නොකීම, මසුරු මළ දුරු කිරීම, සත්‍ය වචන කීම සහ ක්‍රෝධ නොකිරීම සත්පුරුෂ ධර්ම ලෙස සඳහන් වෙනව. කිසියම් පෘථග්ජන පුද්ගලයකු තුළ මේ ගුණධර්ම පවතිනවා නම් ඔහු සත් පුරුෂයෙක්, සෝවාන් වීම සඳහා ඒ ගුණධර්ම අනිවාර්ය අවශ්‍යතාවයක්

දෙවැනි කරුණ ධර්ම ශ්‍රවණයයි. සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය මංගල කාරණාවක් බව “කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං” යන දේශනා පාඨයෙන් පැහැදිලි වෙනව. තුන්වැනි කරුණ, ඒ ශ්‍රවණය කළ ධර්මය, යෝනිසෝ මනසිකාරයෙන්, හොඳ සිහි බුද්ධියෙන් සති, සම්පජඤ්ඤයෙන් වටහා ගැනීමයි. හතරවැනි කාරණය ඒ වටහාගත් ධර්මය අනුව ජීවිතය ගොඩනඟා ගැනීමයි. ඒ කියන්නෙ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමයි.

සෝවාන් වීම කෙසේ වෙතත්, ඊට මග හෙළි කර ගැනීම පවා හිතන තරම්, කියන තරම් ලේසි පහසු නැති බව මෙයින් තේරුම් ගන්නට පිළිවන්.

ඊළඟට අපි තේරුම් ගත යුත්තේ, සෝවාන් වීම කියන්නෙ කුමක්ද කියන එකයි. බුදු දහම අනුව, සත්වයා සසර බැඳ තබන, සසර ගමන දික් කරන සංයෝජන ධර්ම දහයක් තියෙනවා. සංයෝජන කියන්නෙ බරපතල කෙලෙස් වර්ගයක් මේවා ඇතිවෙන්නෙ, පවතින්නෙ හිතේ, සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන්නෙ ඒ දහයයි. සෝතාපත්ති මාර්ග ඤාණය ලැබෙන විට, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීණ වෙනව. සක්කාය දිට්ඨි කියන්නෙ මමය, මාගේ ය කියන හැඟීම. මමත්වය තෘෂ්ණාව ඇති වෙන්නෙ මමත්වය නිසයි. සක්කාය දිට්ඨිය නැති වුනාය කියන්නෙ තෘෂ්ණාව උපදින හේතුව නැති වීමයි. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් නැවත පෘථග්ජනයෙක් නොවෙන්නෙ ඒ නිසයි.

ඔහු ආශාවන් නැති කළ කෙනෙක්. විචිකිච්ඡා කියන්නෙ රත්නත්‍රය පිළිබඳ ව හෝ ධර්මය පිළිබඳව හෝ ඇති කර ගන්නා සැකයයි. එහෙම සැකයක් ඇති වුනාම ධර්මය අවබෝධ කර ගන්න බෑ. වර්තමානයේ අපට වෙලා තියෙන්නෙත් ඕකයි. අපි නොයෙක් නොයෙක් මත වාද වල එල්ලිලා නොයෙක් මිථ්‍යා දෘෂ්ටිවල පැටලිලා සැක ඇති කර ගන්නවා. අපට ඇත්ත පේනව. ඒත් ඒක වටහා ගන්නට බෑ. විචිකිච්ඡාව ප්‍රහීණ වුනාය කියන්නෙ නව ලෝකෝත්තර සද්ධර්මය පිළිබඳ විශ්වාසය තහවුරු වීමයි. සීලබ්බත පරාමාස කියන්නෙ වැරදි ප්‍රතිපත්තිවලින් විමුක්තිය ලබා ගන්න පිළිවන් ය කියන මිථ්‍යා විශ්වාසයයි. විමුක්තිය ලබා ගන්න පිළිවන් ඒකායන මාර්ගය බෞද්ධ මාර්ගයයි.

ඒ අනුව සීලබ්බත පරාමාස සංයෝජනය ප්‍රහීණ වෙනවාය කියන්නෙ බෞද්ධ මාර්ගය අනුත්තර වූ විමුක්ති මාර්ගය බව තහවුරු වීමයි. මේ සංයෝජන ප්‍රහීණ කරල සෝවාන් වන තැනැත්තා, මේ භවයේදී ම හෝ ඉදිරි ආත්ම භාව හතක් තුළදී ඉතිරි සංයෝජන හතක් ප්‍රහීණ කරල අමා මහ නිවන් සුවය සාක්‍ෂාත් කර ගැනීම නියතයක්. ඒක කාටවත් වෙනස් කරන්ට බැහැ.

දැන්, මේ පින්වතුන්ට යම් ප්‍රමාණයක වැටහීමක් ලැබෙන්නට ඕනෑ සෝවාන් වීම කියන්නෙ බොහොම බැරෑරුම් කාර්ය සාධනයක් බව. අර මුලින් කියාපු ලෞකික මහා සම්පත්වලට වඩා සෝවාන් ඵලය උතුම් වන බව අනේපිඬු සිටුතුමාට දේශනා කළෙත් ඒ නිසයි. කාල කුමාරයා ලබා ගත්තෙ ඒ උතුම් තත්ත්වයයි. අපි කවුරුත්, මුළු ජීවිත කාලය පුරාම වෑයම් කළ යුත්තේ ඒ උතුම් තත්ත්වය ලබා ගැනීමටයි. අනාගතයෙදී, මෛත්‍රී බුදුරජාණන් වහන්සෙගෙ කාලෙදී සෝවාන් ඵලය ලබා ගන්නට බලාපොරොත්තු වෙන එක වැරදියි. මොන අහේතුවකින් හරි ඒ වෙන කොට අපි ත්‍රිහේතුක ප්‍රති සන්ධියක් ලබා නොසිටියොත්, ඒ අරමුණ නිෂ්ඵල වෙලා යන්න පිළිවන්.ඒ නිසා, මේ මොහොතෙ ඉඳලම සත් පුරුෂයෙක් වීමට, ධර්ම ශ්‍රවණය කිරීමට, යෝනිසෝ මනසිකාරයට, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමට උත්සාහ ගන්න. ඒ ඇසුරින් සිත දියුණු කර ගන්නට උත්සාහවත් වන්න. එතකොට, අපට මොන හේතුවක් නිසා හෝ සෝවාන් ඵලය ලබන්නට බැරිවුණත්, යහපත් මනුෂ්‍යයකු ලෙස, ජීවත් වෙන්න පිළිවන්.

යහපත් මනුෂ්‍යයකු ලෙස ජීවත් වෙමින් මාර්ගඵල ලබාගෙන නිර්වාණාවබෝධය සඳහා සෑම දෙනාම වීර්ය කටයුතුයි.

ඔබ සැමට තෙරුවන් සරණයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.