Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


පිළිවෙතින් ද බුදුරදුන් පුදමු

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුකට පත් සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් ඔවුන් සසරින් ගොඩලනු වස් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමී දම් පූර්ණය කොට අර්ථානුගත සිද්ධාර්ථ කුමාර නමින් උත්පත්තිය ලැබීම ගිහිසැප හැරගොස් සාවුරුද්දක්ම දුෂ්කර ක්‍රියාකොට සුසංයුත වූ ඉඳුරන් ඇතිව පස්මරුන් දිනා සතුස්සත්‍යාවබෝධ කොට බුදුබව ලැබීම, පන්සාළිස් වසරක් තිස්සේ බුද්ධ කෘත්‍යයන් නිමවා කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සල්වනයෙහි සිංහ සෙය්‍යාවෙන් සැතපී මහපොළොව කම්පා කෙරෙමින් පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ වෙසක් පොහෝ දිනය සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරති. අතිශය සුවිශේෂී මෙම වෙසක් පුන් පොහෝ දිනයේදී දානාදී ආමිස පූජාවෙන් පමණක් නොව සීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවෙන් ද සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ පූජාකිරීමට කටයුතු කිරීම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ ජනතාව සතු පරම යුතුකමකි.

අවම වශයෙන් පංචශීලයවත් ආරක්ෂා කොට සාරධර්ම පිරි ධර්මානුකූ®ල, සාමකාමී සමාජයක් නිර්මාණය කර ගැනීමට ඉටාගත යුතුය. පස්පවින් භරිතව ජීවිතය ගෙවීමෙන් තමන් පමණක් නොව සමස්ත සමාජයම විනාශ මුඛයට ඇද වැටෙනු නොඅනුමානය, මනාව පන්සිල් සුරැකීමෙන් මිනිස් සමාජය තුළ පවත්නා බොහෝ ගැටලු විසඳා ගත හැකිය.

වර්තමාන ගිහි සමාජයෙහි පමණක් නොව පැවිදි සමාජයෙහි ඇතැම් භික්ෂූන් වහන්සේ ද ධර්ම විනය මාර්ගයෙන් බැහැරව පරිහානියෙහි ගමන් කරනු දක්නට ලැබේ. මෙම ශෝචනීය තත්ත්වය මඟහරවාගෙන ශාසනාරක්ෂාව ඇතිකර ගැනීමට අපේ නායක ස්ථවිරයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින්ද මෙම වෙසක් මහෝත්සව දිනයේදී අධිෂ්ඨාන කර ගැනීම යෝග්‍ය වන්නේ ය.

වෙසක් දිනය නිමිති කොට නිරර්ථක දේ සිදු කිරීමෙන් වැළකී ධර්ම විනය මාර්ගය අනුගමනය කිරීම වඩාත් ඵලදායක වන්නේ ය. ලෝකවාසී සියලු දෙනාටම සාමය, සතුට පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් උදාවේවායි කරුණාධ්‍යාශයෙන් ප්‍රාර්ථනා කර සිටුම්හ.


සම්බුදු උපත සැපතකි

බුදුවරුන්ගේ උපත සත්වයාගේ හිතසුව පිණිස වන්නේ්ය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උපතත්, සම්බුද්ධත්වයත්, පරිනිර්වාණයත් යන තෙමඟුල සිදු වූ අසිරිමත් වෙසක් පොහෝ දිනය වනාහි ලෝවැසි බෞද්ධයින්ට ඉතා වැදගත් දිනයකි. ආමිස වශයෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන්ද සමස්ත ලෝවැසි බෞද්ධයන් අනේකවිධ පුදපූජා පැවැත්වීම මෙදින ඇති සුවිශේෂි ලක්ෂණයයි. බුදුන් වහන්සේ වනාහි අපරිමිත ගුණස්කන්ධයෙන් හෙබි සකල ලෝවැසියන්ගේ උභයාර්ථ සංසිද්ධිය උදෙසා, සර්වකාලීන වටිනාකමකින් යුත් නෛර්යානික වූ සද්ධර්මයක් දේශනා කළ අසමසම ශාස්තෘවරයෙකි.

‘බුදෙධාපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පංපිචෙ අඤ්ඤමභාසමානො....’

යනුවෙන් දක්වා ඇති පරිදි උන්වහන්සේ තුළ පැවතී මෙකී අසීමිත ගුණ සමුදාය වර්ණනාතික්‍රාන්තය. එය පවසා නිමකළ නොහැක්කකි. ඉතා සංක්‍ෂේප වශයෙන් අරහං ආදි වූ එකී ගුණ සමුදාය නව වැදෑරුම් කොට දක්වා සැදැහැති ගිහි පැවිදි බෞද්ධයින් නිතර වන්දනාමාන කරනුයේ මේ නිසාවෙනි. තෘෂ්ණා දාසත්වයෙන් එකිනෙකා පරයා නැඟී සිටීමට වෙර දරනා ලෝකයක් තුළ අල්පේච්ඡතා, සන්තුට්ඨිතා වැනි සරල සුගම දිවි පෙවෙතක් ඇති කර ගැනීමටත්, කරුණා මෛත්‍රී ආදී මානුෂීය ගුණාංගවලින් පිරි ජනසමාජයක් නිර්මාණය කිරීමටත් වෙසෙසින් ඉවහල් වන උන්වහන්සේගේ එකී උතුම් දේශනා නූතන ලෝකයට වඩාත් අවැසි යුගයක්ව පවතී. ශ්‍රී ලංකාව දෙස බලන කලද පුරා දශක තුනක් පමණ කාලයක් බිහිසුණු යුද්ධයෙන් පීඩා විඳි රටකි. සිංහල, දෙමළ, මුස්ලිම් වැනි ශ්‍රී ලාංකිකයින්ට එකී යුද්ධය නිමාව දකින මෙවන් මොහොතක බෞද්ධාගමේ උතුම් හරයන් තුළින් පෝෂණය වූ ඔවුනොවුන් අතර සමානාත්මතාවය හා සුහදත්වය වර්ධනය කර ගනිමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට මෙවර වෙසක් පොහොය දින අදිටන් කරගන්නේ් නම් එය ඉතා වැදගත් කොට සැලකිය හැකිය. ලාංකීය ජනතාව තුළ පමණක් නොව සමස්ත ලෝකවාසීන් තුළම බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට බුදුපියාණන් වහන්සේගේ මෙකී නිර්මල දහම් මඟ සැමට ඉවහල් වේවායි ප්‍රාර්ථනය කරම්හ. රත්නත්‍රයානු බෙලෙන් සැමට යහපතක්ම වේවා.


දහම් මඟට යොමු වේවා

ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළවීම ලොවට උතුම් සැපතකි.

සිදුහත් ගෞතම මහ බෝසතාණන්ගේ උපත, සම්බුද්ධත්වාවබෝධය, සම්බුද්ධ පරිනිර්වාණය යන අසිරිමත් තෙමගුල සිදු වු එම ඓතිහාසික වෙසක් පොහොය ලෝකවාසි බෞද්ධ ජනතාවගේ අනුස්මරණීය ආගමික දිනයයි. ලොකු කුඩා සියලු දෙනා ඒකාරාශි වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් මේ සමය තුළ තම තමන්ගේ දිවි පෙවෙතට සම්බුදු දහමේ ආලෝකය උදාකර ගැනීමට කටයුතු කිරීම බෞද්ධ ජනතාව සතු උදාර වගකීම වේ.

බෞද්ධ ජීවන රටාවේ එකිනෙකට බද්ධ වී ඇති යහ ගුණ දම් ඇතුළත් ආචාර ධර්ම පද්ධතිය ප්‍රගුණ කරමින් බුදුපියාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැන, අනුදැන වදාළ අරි අටඟි මගෙහි ගමන් කිරීමට විශේෂ අදිටනක් අද වැනි ආගමික දිනයක ඇති කර ගනිමු. බෞද්ධ දර්ශනයේ හරය එසේ තම ජීවිතවලට ශක්ති පමණින් ළඟා කර ගැනීමම මහඟු වෙසක් පින්කමක් වනු ඇත.

සම්බුදු දහම තුළ අඩංගු බොහෝ දෑ අනුගමනය කිරීමෙන් අපගේ ප්‍රායෝගික ජීවිතවලට මහත් ආලෝකයක් උදාවනු නිසැකය.

තෙරුවන් සරණයි!


මෙත් වැඩිය යුතු මොහොතක්

බුදු වසින් 2553 වන වසර සපිරෙන මෙම වෙසක් පුණ්‍යෙීත්සවය බෞද්ධ ලෝකයාට උත්තරීතර දිනයකි. තිලෝගුරු බුදුරදුන්ගේ දහම් මග ඔස්සේ ක්‍රියාත්මක වන ලාංකික ජනතාවටද මෙවන් උතුම් දිනයක් තවත් නොමැති තරම්ය. ලොකු කුඩා සියලු දනන්හට ලොව්තුරු සුවය පසක්වන මෙම වෙසක් සමයෙහි උන්වහන්සේගේ ඉගෙනුම් මග අනුව ක්‍රියාත්මක වන්නට සුදුසුම අවස්ථාව දැන් එළඹී ඇත. පුරා වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති කුරිරු යුද්ධයක අවසානයෙහි අප සැමගේ මෙත් සිත් පැතිරවිය යුතුª යුගය උදා වී ඇත. කවරෙකු කවර කරුණු මත හෝ ඇරැඹි සාපරාධි යුද්ධයක හේතුවෙන් මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත පිරිස් අතිශය පීඩනයට, දරිද්‍රතාවයකට, අසරණ භාවයකට පත්ව ඇත. ඔවුන් වෙත කිසිදු භේදයකින් තොරව පිළිසරණ විය යුතු, පිහිට විය යුතු අවස්ථාවකට පැමිණ ඇත්තෙමු. අතීතයෙහි කවර තරමේ හෝ වාසනාවකට අප පත්වූයේ නමුදු ඒ කිසිවක් සිහි නොකොට අප උගත් දහම අනුව පිළිසරණ විය යුතු අවස්ථාවක අපි පසුවන්නෙමු. එය අපගේ් සැබෑ බෞද්ධ ප්‍රතිපදාවයි.

තවද මෙම මොහොතෙහි ශ්‍රී ලාංකික පිරිස් තුළ අසරණ වූවන්හට පිළිසරණ වීමේ ගුණය ඉස්මතුව දැක්වෙන්නේ නම් වෛරී වුවන්ගේ් සිත් අවෛරී වනු ඇත. එය යුද්ධයෙකින් කළ නොහැකි දක්ෂතාවකි. සහෝදරත්ව හැඟීම් පිබිදෙනු ඇත. ජාත්‍යන්තර වශයෙන් ද අපගේ් සුහදශීලි කාරුණිකභාවය පිළිබඳ ප්‍රකාශ කෙරෙනු ඇත. දැනටද අප ත්‍රිවිධ හමුදාව දක්වනු ලබන මානුෂවාදී ප්‍රතිපදාව කවර තරමේ නම් අගයකින් යුක්තද එය අප සැමට මහඟු ආදර්ශයකි. පටු හැඟුමන්වලට ඉඩ නොදී මෙම වසරෙහි අසරණයන්ට පිළිසරණ වීමට අපට හැක්කේ නම් එය උතුම් වූ සම්බුද්ධ පූජාවක් වනු ඇත. අනෙකුත් ආමිස ප්‍රතිපත්ති පූජාවන් ද කරන අතරත් මෙකී මානුෂවාදී ප්‍රතිපදාවෙහි ද නිරතවන්නට තරම් අපි ලක්වැසියෝ කාරුණික බව අපි දන්නෙමු. දැනටද දහස් සංඛ්‍යාත පිරිස් මේ සඳහා වන සූදානම් කැපවීම අපි අගයන්නෙමු. මෙත් සිත් පෙරටුව මෙම සම්බුද්ධත්ව වසරෙහි පිළිසරණ විය යුත්තන්ට පිළිසරණ වීමේ ගුණයෙහි පිහිටමු. සැමට උතුම් වෙසක් මංගල්‍යයක් වේවා!


‍ගුණගරුක සමාජයක් බිහිකරමු - අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක

මහා කරුණාවෙන් සියලු ලෝ සතුන් වෙත නිවන් මග හෙළිකළ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ් අපරිමිත ගුණ සමුදාය සිහිකරමින් ලොව පුරා බෞද්ධ ජනතාව මහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව උතුම් වූ තෙමඟුල සමරන මෙකල බුද්ධ ධර්මයේ වූ මූලික හරයන්ට අනුව තම ජීවිත හැඩ ගසාගෙන ගුණගරුක සමාජයක් බිහිකිරීමට දායක වන ලෙස සෑම ජනකොටසකටම මම ආයාචනා කරමි. බුදු දහමින් පෝෂණය වූ මානව සමාජයක් හා උදාර සංස්කෘතියක් අපට උරුම වී ඇත. ක්‍රෝධය, වෛරය ආදි නරක සිතුවිලි වලින් තොරව අන්‍යන්ට ගරු කරමින් උසස් මිනිසුන් ලෙස ජීවත්වීමට හැකි ධර්ම මාර්ගයත් සමාජය පෙළන දුෂ්චරිත වලින් යුතුව ජීවත් වීමෙන් ඇතිවන මිනිසාගේ පරිහානියත් බුද්ධ ධර්මයේ මැනවින් දේශනා කර ඇත. සියලු වාද භේද දුරලා සාමකාමී ශ්‍රී ලංකාවක් බිහිකිරීමට ඇවැසි සෑම කාර්යයක්ම රජය මගින් ඉටුකර ගෙන යන මේ මොහොතේ, යළි ගුණගුරුක සමාජයක් ස්ථාපිත කිරීමට උවමනා කරන සයෝගය ලබාදීම ඔබ සැමගේ සමාජමය යුතුකමකි.

උතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මහත් පීඩාවකට පත්ව උන්හිටි තැන් අහිමි ව සිටින ජන කොටසට උදව් උපකාර අවශ්‍ය වී ඇති මේ මොහොතේ අසරණයන්ට පිහිටවීමේ මහඟු පුණ්‍යකර්මය වෙසක් සතිය තුළ ඉටුකිරීමට අවස්ථාව උදා වී ඇත.ශ්‍රී ලංකාවාසීන්ට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි පතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.