Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දකුණු ලක එකලු කළ ජාතික වෙසක් උත්සවය වෙහෙරහේනේදී

ගෞතම බුදුරදුන්ගේ 2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජ මහා විහාරය කේන්ද්‍රකොට මාතර දිසාව පුරා වෙසක් කලාපයක් ලෙස නම් කර ශාසනාරක්‍ෂක බල මණ්ඩල 17 තුළ උත්කර්ෂවත් අන්දමින් ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර දිසා ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

මේ සඳහා මැයි මස 5 වන දා සිට 11 වන දා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

එම උත්සවයට සමගාමීව විශේෂිත පින්කම් මාලාවක් පැවැත්වේ. එහිදී සීල සමාදානය මූලිකත්වය ගනී. ඊට අමතරව ශතාධික මහ සඟරුවන උදෙසා හීල , දාවල දානය පූජා කැරේ. බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී පින්කම් රැසක් එදින පුරා පැවැත්වේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ අනුශාසනා පරිදි විහාරාධිපති මාතර දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති කෑගල්ලේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩල, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය මාතර දිසා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලීසිය, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාතර බෝධි ආරක්‍ෂක සභාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය හා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන වල අනුග්‍රාහකත්වයෙන් හා සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය පැවැත්වේ.

එම ජාතික වැඩසටහනට සමගාමීව රදම්පළ ශ්‍රී නාගවනාරාමයේ ජයශ්‍රී මහා බෝධි අංකුර රෝපණය කිරීමද, මාතර ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල රාජ මහා විහාරය, ඇතුළු විහාරස්ථානවලදී දාන ශීල භාවනා ආදී පින්කම් රැසක්ද පැවැත්වේ. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් වෙසක් ‘බුදුසරණ’ පත‍්‍රය ධර්ම දානය සඳහා නොමිලයේ බෙදාදීම සිදුකැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.