Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


 

මේ සුරාව පානය කරන ඇත්තෝ ඌරු පැටවුන් මෙන් අධම කුල ඇත්තවුන් සමඟ එක් වෙනව. නිරාහාරව දුක සේ බිම සයනය කරනව. දුර්වර්ණ වී නින්දාවට පැමිණෙනවා. එබඳු ගුණ ඇති සුරායෙන් පිරුණු මේ කළය මිල දී නොගන්නේ ඇයි?

දිනක් සක් දෙවිඳු ‘මිනිස් ලොව වසන කවුරුන් දෙමවුපියන්ට නොසලකද්ද, කවුරුන් පවුකම්හී යෙදී සිටිත්දැ’ යි දිවැසින් බලන්නේ, සැවැත්නුවර වසන සබ්බමිත්ත නම් රජතුමා සහ ජනතාව උත්සවශ්‍රීයෙන් සුරාපානය කරන්නට සූදානම් වී සිටින බවයි දැක්කේ. ‘මේ රජ සුරාවට ලොල්ව ගියහොත් මුළු රටම විනාශ වෙනවා’ යි සිතූ සක් දෙවිඳු සුරාවෙහි ආදීනව ජනතාවට අවබෝධ කරන්නට උපක්‍රමයක් හිතුවා. එසේ සිතා බමුණු වෙසක් මවාගෙන, රා කළයක් අතින් ගෙන, අහසෙහි පෙනී සිටිමින් ඒ සුරාවෙහි ගුණ කියන්නට පටන් ගත්තා. ‘ මේ සුරා කළය කවරෙක් ගන්නවා දැ’යි අසමින් අහසෙහි සැරිසරන්නට පටන් ගත්තා.

මේ දර්ශනය දුටු සබ්බමිත්ත රජතුමා ‘බ්‍රාහ්මණය, නුඹ කොයි සිට ද එන්නේ? අහසේ සිටින ඔබගේ ශරීරයෙන් විදුලි කිරණ මෙන් රශ්මිය විහිදෙනවා. අහසේ ගමන් කරන ඔබ මේ කළය මිලදී ගන්නවාදැයි අහනව. නුඹ කව්ද? ඔය කළයේ තිබෙන්නේ මොනවා දැයි බ්‍රාහ්මණයාගෙන් විචාලා.

බමුණු වෙසින් සිටි ශක්‍ර දේවේන්ද්‍රයා කතා කළා. ‘මහරජ, මෙය ගිතෙල් කළයක්වත්, මීපැණි කළයක්වත්, තල තෙල් කළයක්වත්, උක්සකුරු කළයක්වත්, නොවෙයි. මේ කළයේ ඇත්තේ බොහෝ ආදිනව ඇති දෙයක්. දැන් ඒ ආදිනව මොනවාදැයි කල්පනාවෙන් අහන්න.

මෙහි ඇති සුරාව බී ගමන්කරන තැනැත්තාට නිරුපද්‍රිතව ගමනක් යාමට හැකිවෙන්නේ නැහැ. ඔහු පෙරලෙනව. වැටෙනව ප්‍රපාතයකට හෝ වළකට හෝ මඩවලකට හෝ ගවර වළකට වැටෙනව. එසේම ඔහු අනුභව නොකට යුතු දේවල් ම අනුභව කරනව. ඉතින් ඔය කී දේ ගෙනෙන මේ සුරාව පිරි කළය මිලදී ගෙන බොන්න.

ඒ විතරක් නොවෙයි, මේ සුරාව බීවහොත් සිහිය විකල් වෙනව. කිසි කෙනෙකුන්ගේ ආරාධනයක් නොමැතිව ගී කියැවෙනව. විලි නැතිව නටනව. ඉතින් මේ සුරා කළය මිල දී ගන්නවා ද? මේ සුරාව බී වෙරිමත් වන තැනැත්තා නිගණ්ඨයකු වගේ ගමෙහි හෝ වීථියෙහි හෝ හැසිරෙන්නේ නිර්වස්ත්‍රයෙන්. ඔහු සිහිමුළාවෙන් බොහෝ වේලා මූර්ඡා වී නිදනව. එබඳු ගුණ ඇති මේ සුරා කළය විකුණනවා. මිලදී ගන්න. බොන්න.

මේ සුරාව පානය කළහොතින්, වෙව්ලමින්, හිස බමවමින්, අත් දිගු කරමින්, දැවමුවා යන්ත්‍ර රූපයක් මෙන් නටන්නට හැකිවෙනව. එබැවින් මේ සුරා කළය මිල දී ගන්න.

ඒ විතරක් නොවෙයි, ගින්නෙන් දැවුණකු සේ නිදන්නටත්, සිවලුන් විසින් ඇද කනු ලබන්නටත් වධ බන්ධනයකට පැමිණීමටත් මේ සුරාපානයෙන් ඉඩ ලැබෙනව. ඉතින් සම්පත් නසාගෙන පිරිහීම සඳහා මේ සුරා පිරුණු කළය මිලදී ගෙන බොන්න.

නොකිය යුතු දේවල් කියන්නටත් ගිලිහුණු ඇඳුම් සහිතව සභාවක සිටීමටත්, කුණු තැවරුණු වමනයේ ගැලී සිටීමටත් හැකිකම මේ සුරා පානයෙන් ලැබෙනව. එබැවින් මේ සුරා කළය මිලදී ගෙන බිව්වොත් නරකද?

‘හැමටම වඩා ලොක්කා මමයි’ සිතන්නටත් ‘මේ මහපොළව මගේ යැයි’ සිතන්නටත් ‘සතර දිසාවට අධිපති රජෙකු වුනත් මට සමාන නැතැ’යි සිතන්නටත් හැකිවන්නේ මේ සුරාව බිව් විටයි. ඉතින් මේ සුරා පිරුණු කළය මිල දී ගන්න.

අහංකාරවීම සඳහාත්, කලහ කිරීම සඳහාත්, කේලාම් කීම සඳහාත්, නිර්වස්ත්‍රව දිවීම සඳහාත්, සොරුන්ගේ හා ධූර්තයන්ගේ නිවාසවලට බැස ගැනීම සඳහාත් මේ සුරා කළය මිල දී ගෙන බොන්න.

ධන ධාන්‍ය රන්රිදී මුතු මැණික්, කෙත්වතු, ගව මහිෂ ආදි වස්තු විනාශ කර ගැනීම සඳහාත්, කුල සිරිත් විනාශ කර ගැනීම සඳහාත් මේ සුරා පිරුණු කළය මිලදී ගන්න.

ලෝකයේ ධනයෙන් හා වස්ත්‍රාලංකාර ආදියෙන් සමෘද්ධිමත්ව සිටි පවුල් හිඟන්නන් බවට පත්වූයේ මේ සුරාපානය නිසයි. එසේ වීමට කැමති නම් මේ සුරා පිරුණු කළය මිලදී ගන්න. එපමණක් නොවෙයි. සුරාපානය කළ දුෂ්ට මිනිස්සු මවට හා පියාට ආක්‍රෝශ පරිභව කරනව. නැන්දණිය භාර්යාව යැයි සිතා අතින් අල්ලා ගන්නව. ලේලිය භාර්යාව යැයි සිතා අතින් අල්ලා ගන්නව. එබඳු හැසිරීමක් සඳහා මේ සුරා පිරුණු කළය මිල දී ගන්න.

එසේම සුරා බී මත්වූ දුෂ්ට ස්ත්‍රියකට මාමාටත්, ස්වාමි පුරුෂයාටත් ආක්‍රොශ පරිභව කිරීමට හැකිකම ලැබෙනව. දාසයකු වුවත්, අසල්වැසියකු වුවත්, ස්වාමිපුරුෂයා ලෙස සලකා ඔහු සමඟ අනාචාරයේ හැසිරීමට පුළුවන්කම ලබාගන්නව. එබඳු පුළුවන්කම් ලබාදෙන මේ සුරා පිරි කළය මිල දී ගන්න.ඒ විතරක් නෙවෙයි. මේ සුරාව පානය කිරීමෙන් ධර්මයෙහි හැසිරෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ හිංසා කිරීමට පුළුවන්කම ලැබෙනව. එයින් ම ඔහුට අපායට යෑමට මග පෑදෙනව. මෙබඳු ආනිශංස ලබාදෙන සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගෙන පානය කරන්න.

තවද, මේ සුරාව පානය කරන ඇත්තෝ ඌරු පැටවුන් මෙන් අධම කුල ඇත්තවුන් සමඟ එක් වෙනව. නිරාහාරව දුක සේ බිම සයනය කරනව. දුර්වර්ණ වී නින්දාවට පැමිණෙනවා. එබඳු ගුණ ඇති සුරායෙන් පිරුණු මේ කළය මිල දී නොගන්නේ ඇයි?

තවද, මේ සුරාව පානය කරන්නෝ ශාපයෙන් පෙළුණු ගවයන් මෙන් නිදනවා. මිනිසුන්ට දැරිය නොහැකි දුක්දෙන සුරාව පිරුණු මේ කළය මිල දී ගන්න. විෂඝෝර සර්පයකු මෙන් දුරුකළ යුතු වූ විෂ සහිත මේ සුරාව ඉතින් ඔබ පානය කරන්නේ නැද්ද?

පෙර මේ සුරාව පානය කළ අන්ධක වෙණ්හුපුත්ත නම් දස බෑ රජවරු මුහුදු තෙර හැසිරෙමින් ඔවුනොවුන්ට මොහොලින් පහර දුන්නා නේද? එබඳු ගුණ ඇති මේ සුරාව පිරුණු කළය මිල දී ගන්න. තවද, මහරජ, පෙර අසුරයෝ සුරාව පානය කොට තව්තිසා දෙව්ලොවින් චුත වූ බව ඔබ දන්නේ නැද්ද? ඉතින් කෙසේ නම් ඔබ මේ සුරාව නිරර්ථක එකෙකැයි සිතා පානය නොකරන්නේද?

එසේ ඇසුවේ බමුණු වෙසින් සිටි ශක්‍ර දේවේන්ද්‍රයා යි.

එවිට සබ්බමිත්ත රජතුමා පැහැදී කතා කළා.

‘බ්‍රාහ්මණය, නුඹ ඉතා අනුකම්පා සහිත හිතවැඩ කැමැත්තෙක්. මම ඔබගේ වචන මැනවින් පිළිපදිනව. මම ඔබට ගම්වර පහක් ද, දාසීන් සියයක්ද, ගවයන් සත් සියයක්ද, අජානීය අශ්වයන් යෙදූ රිය දහයක් ද තෑගි කොට දෙනව. මට වැඩ කැමති ඔබ මාගේ ගුරුවරයා ලෙසද මම හිතනවා’ මෙසේ පැවසුවේ සබ්බමිත්ත රජතුමාය.

අනතුරුව කතා කෙළේ ශක්‍ර දේවේන්ද්‍රයා ය. ‘මහරජ, ඔබ මට දුන් තෑගි සියල්ල ම ඔබට ම වේවා! මා දෙවියන්ට අධිපති ශක්‍රයා යි. මා කී අවවාද පිළිගෙන, සුරාපානය අතහැර, ධර්මයේ ඇලී කුසල් දහම් හි හැසිරෙන්න’.

සබ්බමිත්ත රජතුමාට ආශිර්වාද කළ ශක්‍ර දේවේන්ද්‍රයා නොපෙනී ගියේය.

(කුම්භ ජාතකය ඇසුරෙනි)

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.