Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

දැන් අහස් කුස ද වලාවන් පහ වී ගොස්ය. වෙසක් සඳ මුදුන් වෙමින් තිබේ. රිදී වන් සඳ රැස් පැතිරී ගෞතමයන් පමණක් නොව මුළු ලොවම නැහැවී යයි. සන්ධ්‍යාවේ අනපේක්ෂිත කම්පනයෙන් සැලී භීතියට පත්ව ගිය වන සත්තු සුවසේ කල් ගෙවන්නට වන්හ. කුරුල්ලෝ කැදලි තුළ සැතපුනාහ. රුක් මුදුනින් ගිලිහෙන පලුපත් පවා ඉතා හෙමින් බිමට පාත්වෙයි. මැදියම් රැය එළැඹියේය.නූල් පොටක් සේ ඇමිණී ගිය අතීත දිවි ගමන දැකීමෙන් ශ්‍රමණ ගෞතමයන් සිටියේ මහත් විරාගී සිතිනි.
 


ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ චේතෝ විමුක්තිය කිසිවකට සම කළ නොහැකි විය. උන්වහන්සේට දැන් කිසිදු භව පැවැත්මක් නැත. භාග්‍යවතුන් වහන්සේ ගේ පින් සිරුර යම්තාක් පවතිද්ද ඒ තාක් දෙව් මිනිස් කැළට සිය නෙත් සඟළින් මේ අසිරිමත් පුරුෂෝත්තමයාණන් නැරඹිය හැකිය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආයුෂ ගෙවී යාමෙන්, සිරුර බිඳීයාමෙන්, පහන නිවී ගියා මෙන් පිරිනිවනට පත් වූ පසු, ඒ ස්වර්ණවර්ණ වූ අනුපම ශෝභා සම්පන්න සුගත් බුදු බඳ කිසිවකුට දකිනු නොහැකි වනු ඇත.

ගිම්හානය උදා වී තිබිණි. නේරංජනා නදියේ ගලාගිය දිය කඳ තුනී විය. ගයාවේ වන තීරය පුරාම පිපී ගිය බෙලි මලින් ද නා මලින් හා ඇහැළ මලින්ද සුවඳ විහිදිණ. පෙරදා රැයෙහි හදිසියේ වට වරුසාවෙන් තෙමුණු පොළවෙන් හැමුවේ නැවුම් සුවඳකි. ගිගිරි සලන හංසයෝ පැන් සොයා නදිය වෙත පියාඹා ආහ. ශ්‍රමණ ගෞතමයන් ද ඒ හිමිදිරියේ නදිය වෙත ගොස් පැන් සනහා ගෙන මිහිරි පැන් වැළඳී. හේ නදී තීරයේ සුදු වැලි තලාවේ කෙළවර වූ අතුපතර විහිදා සෙවණ දුන් වනස්පතී නුග රුක වෙත එළඹියේය. ඒ රුක්සෙවණේ් සංඝාටිය සිව් ගුණ කොට අතුරා ඒ මත කය සෘජු කොට පළඟක් බැඳ වාඩි විය. ගෞතමයන් ගේ හිත සමාහිතය. සන්සුන්ව ගලා බසිනා නදියක් සේය. තමන් වෙත කිසිවකු පැමිණෙන හඬ ගෞතමයන්ට ඇසුණි. හේ වසා සිටි දෙනුවන් විවර කෙළේය. සේනානී ගමේ සිටුදියණී සුජාතාව දෝතින් අල්ලා ගත් රන් බඳුනක් හිස තබාගෙන එන්නීය. ඇගේ සේවිකාව අත නිල් මහනෙල් කලඹක් ද පැන් කෙණ්ඩියක් ද විය.

රන්වන් සිරුරින් බබළන ශ්‍රමණ ගෞතමයන් දුටු කල්හි සුජාතාව ගේ නෙත්සිත් පිනා ගියේය. ඕ ප්‍රමුදිත වූවාය. රන්තලිය පසෙකින් තැන්පත් කළ ඈ ශ්‍රමණ ගෞතමයන්ට දණ නමා වැන්දාය. ඉක්බිති ඕ ඒ රන්තලියේ වසුන්හළ කල්හි ගිතෙල් මුසු මිහිරි කිරිබතෙක මධුර සුගන්ධය හාත්පස සිසාරා හමා ගියේය. ඕ ශ්‍රමණ ගෞතමයන් ගේ මැටි පාත්‍රය ගෙන ඉතා පරෙස්සමෙන් ඒ කිරි පිඬු බෙදුවාය. යළි එය දෝතින්ම ගෙන මහත් හරසරින් යුතුව නැමී ශ්‍රමණ ගෞතමයන්ට පිළි ගැන්වූවාය. අනතුරව ඕ ඒ සේවිකාව අත තිබූ මහනෙල් මල් මිටිය ගෙන එයින් මල බැගින් ශ්‍රමණ ගෞතමයන් වටා තැන්පත් කළාය. යළි පසෙකට වී මහත් සැදැහැයෙන් යුතුව දෝත් නගා වැඳගෙන ශ්‍රමණ ගෞතමයන් වළඳින අයුරු බලා සිටියාය. වළදා නිමා වූ කල්හි ඒ පාත්‍රයටම පැන් පිළිගැන්වූවාය. පිරී ඉතිරී ගිය බැතිසිතින් යුතු සුජාතාවෝ බිම වැතිරී නැමී මේ අසිරිමත් මුණිවරයාණන්ට වන්දනා කොට සිය සේවිකාව සමග ආපසු ගියහ. ගෞතමයන් ඒ වනස්පතී රුක් සෙවණේ ම දිවා විහරණය කෙළේය.

සන්ධ්‍යා සමය පැමිණෙත්ම හේ නදියෙන් මෙතෙරට ආයේය. වාලුකා තීරයේ සිට ගයාවේ වනය දෙසට ශාන්ත ගමනින් පියවර තබන ශ්‍රමණ ගෞතමයන් දෙස සොථිය බමුණා බලා සිටියේ ය. හේ කලකින් දුටු මේ පි‍්‍රය ශ්‍රමණයන්ට කුමක් පුදන්නේ දැයි කල්පනා කෙළේය. හේ තමා රැගෙන යමින් සිටි කුස තණවලින් මිටි කීපයක් ගෙනවුත් ශ්‍රමණ ගෞතමයන් පිදීය. ශ්‍රමණ ගෞතමයන් කුස තණ ද අත ඇතිව දැහැන් වැඩීමට සුදුසු රුක් සෙවණක් සෙවීය. අතුපතර මනාව විහිදී ගිය හරිත වර්ණ පතින් සිලි සිලි නද දෙන මනහර ඇසතු රුක දුටු පමණින්ම ගෞතමයන් ගේ් නෙත් සිත්පහන් වී ගියේය. එතැනට පැමිණි ගෞතමයන් රුක් සෙවණේ පෙර දිගට නැමුණු පෙදෙසේ ආසනයක් සේ මනාව සමතලා වී ගිය බිම් කඩක් දක්නට ලැබුණි. හේ ඒ මත කුස තණ අතුරා සංඝාටිය සිව්ගුණ කොට නමා එළා ගති. නේරංජරා නදිය දෙසට මූණ ලා උඩුකය සෘජු කෙරෙමින් පළඟක් බැඳ වාඩි වීය. නෙත් සඟළ කෙමින් වැසී ගියේය. හේ තම ආධ්‍යාත්මය තිරසර ලෙසින් අමතන්නට විය.

‘එම්බා ගෞතමය, ඒ තෙපි බොහෝ කලක් මුළුල්ලේ දුක් කම්කටොලු වින්දාහුය. එහෙත් තෙපි තවමත් මේ චාරිකාවේ තෙරක් නොදුටු විරූය. බලව!.... කොපමණ වෙර විරියක් නම් වැඩුවාහු ද? මුළු දිවියම, මුළු දිවියම කැප කළා නොවේද? එහෙත් කිම, තෙපි අජර අමර වූ ඒ සනාතන පරිශ්‍රද්ධිය සාක්ෂාත් කළාහු ද? නැත. එහෙත් ගව් ගණන් දුර ගලා බසින නදියේ පවා නිමාවක් තිබේ. තොප ගේද මේ ආධ්‍යාත්ම චාරිකාවේ නිමාවක් තිබිය යුතුය. එසේය. එම්බා ගෞතමය, සිතට ගනුව! මේ වනාහී තොපගේ අවසාන ප්‍රයත්නය වන්නේ ය.’

ගෞතමයන් තීරණාත්මක මොහොතට එළැඹියේ ය. ස්වකීය ජීවිතයේ අවසානය හෝ සනාතන විමුක්තිය හෝ දෙකින් එකක් තෝරාගත යුතුªවිය. ගෞතමයන් ගේ තිරසර අදිටන වජ්‍රමය පර්වතයක් සේ වී. හේ තදින්ම සිතට ගති.

ඒකාන්තයෙන් ම මේ සිරුරෙහි සම් නහර ඇට ඉතිර වෙතොත් ඉතිරි වේවා! යම් ඒ මාංශයකුත්, රුධිරයෙකුත් ඇත්ද එය වියලී, සිඳී දැවී යතොත්, එසේ වේවා! මියයන්නේ නම් එසේ වේවා! මෙපමණ කලක් මුළුල්ලේ ගෞතමයන් පැතූ® ඒ පරමෝත්තම අමා නිවන සාක්ෂාත් නොකොට හේ මේ ආසනයෙන් යළි නො නැගිටින්නේ ය!

හේ ඉතා ශාන්ත වූ සිතින් යුතුව ආශ්වාස - ප්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටුවා ගති. සිත කෙමින් සමාහිත වී සුපහන් වී සංසිඳී යනු ගෞතමයන්ට දැනිණ. කාය දරථ සංසිඳී ගියේය. චෛසික දරථ සන්සිඳී ගියේය. සිත කය සුවපත්ව අහසේ පාවෙන සුදු වලාකුළක් සේ සංසිඳී යනු දැනිණ.

රන්වන් වෙසෙක් සඳ පෙරදිග අහස තලයෙන් උදාවිය. තාරුකා මතු ස අහසේ විසිරී බබළන්ට පටන් ගති. එහෙත් එකෙණෙහිම අහස් කුස පැතිරී හමා ආ අන්ධකාර වලාපෙළින් සඳ වැසී ගියේය. මහා කුණාටුවක ලකුණු පහළ වී. අහස පුරාම විදුලි කෙටිලි පැතිරිණ. බිහිසුණු හෙණ හඬ නැගිණ. වැහි බිඳු එක දෙක ඇදහැලෙන්නට පටන් ගති. සැනෙකින් මේ ධරණී තලය සෙලවී ගිගුම් දෙන්නාක් මෙන් විය. හදිසියේ මතු වූ මේ ලොමු දහගැන්වෙන බිහිසුණු හඬින් වනසත්තු භීතියටත් කම්පනයටත් පත්වූහ. වියරු වැටුණු හස්ති රාජයෙක් රුක් කඳක් පෙරලමින් වනය දෙවනත් කරන්නට පටන්ගති. වනාන්තරය කම්පනය කරවමින් සිංහ ගර්ජනාවක්ද පැතිර ගියේය.

ඒ හා සමඟම අනෙකුත් සිවුපාවෝද කැදලි තුළ හුන් කුරුල්ලෝ ද එක හඬින් භීතියෙන් මරලතෝනි දුන්හ. චණ්ඩ මාරුතයෙන් කැලඹීගිය මහ සයුරේ ඝෝෂාවටත් වඩා ඒ හඬ බලවත් වී කිසිවකු තමන් ගේ නම කියමින් මහා හඬින් කෑ ගහන්නා සේ ගෞතමයන්ට ඇසිණි. කවුදෝ තම අසලට පැමිණ පොළව සෙලවෙන සේ ගාම්භීර අඩි තබමින් ඔබ - මොබ යනු ඇසිණ.

එහෙත් ඒ කිසිවෙකින් ශ්‍රමණ ගෞතමයන් ගේ් අධිෂ්ඨාන ශක්තිය නොලෙස්විණි. හේ නෙත්යුග විවිර නොකළේය. ඒ සමාධිපත් සිතේ් දැඩි වීර්යයෙන් යුතුව සිහිය රැඳවීය. එහෙත් වරින් වර බාහිර අරමුණෙහි සිත විසිරෙනු ශ්‍රමණ ගෞතමයන් දිටි. සමාධිය තුළම ඇති අරමුණ විමසීමේ ගතියත් විතර්කයත් නිසා මෙය සිදුවන බව වහා හඳුනා ගත්තේ ය. හේ ඒ විතර්ක විචාරයන් ගේ් ආදීනවයන්, පීඩාවන්, අපහසුවත් ගැන වටහා ගෙන තව තවත් ගැඹුරට ඒ ආනාපාන සති අරමුණෙන්ම සිත සමාධිගත කෙළේය. පළමු දැහැන ඉක්මවා දෙවෙනි දැහැනට සිත පත් විය. විතර්ක විචාරයන් සංසිඳී ගොස් ආධ්‍යාත්ම ශාන්ත සුවයක් මතු වී සිත මනාව තැන්පත් විය.

කය පුරා සුඛයත්, පී‍්‍රතියත් පැතිරී යනු දැනිණ. ඉන් ගත - සිත පිනායයි. උල්පතෙකින් නොනැවතී ගලා එන සිසිල් දිය දහරක් සේය.

ගෞතමයන් තව තවත් සිත සමාහිත කෙළේය. සංසිඳවා ගති. ඒ පී‍්‍රතියද ඉක්මවා ගොස් තෙවන දැහැනට සිත පත්විය. සිතත් කටයුත් අමුතු සැනසීමක් දැනිණ. පැන් පිරීගිය පොකුණක දියෙහිම ගිලී ගත් පියුම් කැකුළක් සේ වී.

හේ තවත් ගැඹුරට සිත සන්සිඳ විය. ආශ්වාස - ප්‍රශ්වාස මුළුමණින්ම සංසිඳී ගියේය. පී‍්‍රතියත් සුවයත් ඉක්මවා ගියේය. මනා සිහිනුවණින් යුතු ශාන්ත උපේක්ෂාවකට සිත පත් වී ගිය සිවුවන දැහැනට ද සම වැදිණ.

ගෞතමයන්ගේ සිත ඉතා ආලෝකවත් විය. නිසංසල විය. අනෝතත්ත ෂල සේ අචල විය. ඉන්ද්‍රඛීලයක් සේ ඉතා සියුම් විය.

ශ්‍රමණ ගෞතමයන්ට තමා මෙතෙක් පසුකොට ආ දිවි ගමන සිහිවිය. සමාධිමත් ආලෝකය තුළින් සිතුවම් පටක් සේ එය දිස් වී ගියේය. කෙමෙන් අතීතයේ ද ඈතට ගියේය. යොවුන්වියේ සිට ළදරු විය තෙක් දුටුවේය. කුඩා රන් පියුමක් සේ මායාදේවිය ගේ කුසෙහි සිටිනු හේ දුටුවේය. ගෞතමයන් තව තවත් අතීතයට සිත යොමු කළේය. සිතුවම් පට දිග හැරේ . දැන් හේ තුසිතයේය. ඒ තුසිතයේ කෙසේ ගත කළේද කියා මැනවිත් දැන ගත්තේය. සිත තවත් අතීතයට යොමු කළේය. සිය ගණනින් නොව දහස් ගණනින් නොව, කල්ප කෝටි ගණනින් අපරිමිත වූ අනන්ත වූ භවෝත්පත්තීන් සිහිකළ හැකි විය. එකල විඳින ලද සැප දුක් ද කළ කී දෑ ද මනාව සිහිකළ හැකි විය. යම් සේ පුරුෂයෙක් මේ ගම අතහැර වෙන ගමකට යයිද නැවත ඒ ගමින් ගමට යයිද යළි පෙරළා පැමිණෙන හේ එය නැවත සිහි කරන්නේ යම් සේ ද එසේම විය. ශ්‍රමණ ගෞතමයන් අතිශයින්ම විස්මයටත් සංවේගයටත් පත් විය.

අහෝ! මේ දිවි ගමන වනාහී පෙර කෙළවරක් නොපෙනෙන තරමට අනවරාග්‍රය. අහෝ! ගෞතමයන් ද මෙපමණ දිගු කලක් මුළුල්ලේ මේ මායාකාරී සසරේ සැරිසරා තිබේ!

හේ අපමණ කලකිරීමට පත්විය. මිදෙනු කැමැති සිතම පහළ විය. නොවැළඳගන්නා සිතම පහළ විය. ශ්‍රමණ ගෞතමයන් සමාධියෙන් ලත් විනිවිද යන සුළු ඒ ප්‍රභාස්වර ආලෝකය ආපසු හැරවීය. ඒ සැණින් ම පළමු සමාධියට ම සිත පත් වී දැඩි ඒකාග්‍රතාවයක සිත වැළඳගති. වඩාත් තැන්පත් වී ශාන්ත ද වී. මෙය වනාහි පූර්ව - නිවාස- අනුස්මෘත ඥානය වශයෙන්ද ප්‍රථම විද්‍යාව පහළ වීම වශයෙන් ද ශ්‍රමණ ගෞතමයන් විසින් හඳුනා ගන්නා ලදී.

දැන් අහස් කුස ද වලාවන් පහ වී ගොස්ය. වෙසක් සඳ මුදුන් වෙමින් තිබේ. රිදී වන් සඳ රැස් පැතිරී ගෞතමයන් පමණක් නොව මුළු ලොවම නැහැවී යයි. සන්ධ්‍යාවේ අනපේක්ෂිත කම්පනයෙන් සැලී භීතියට පත්ව ගිය වන සත්තු සුවසේ කල් ගෙවන්නට වන්හ. කුරුල්ලෝ කැදලි තුළ සැතපුනාහ. රුක් මුදුනින් ගිලිහෙන පලුපත් පවා ඉතා හෙමින් බිමට පාත්වෙයි. මැදියම් රැය එළැඹියේය.

නූල් පොටක් සේ ඇමිණී ගිය අතීත දිවි ගමන දැකීමෙන් ශ්‍රමණ ගෞතමයන් සිටියේ මහත් විරාගී සිතිනි. හේ යළි විමසා බැලී තමන් සේම අන් සතුනුත් කවර හෙයින්ද මේ භව බන්ධනයට බැඳී සිටින්නේ කියා. නැවතත් අහෝ! එය වනාහී ඉතාම සංවේගදායි ද දුක්ඛදායි ද වේ. ශෝචනීය හා විචිත්‍ර ද වේ.

යම් සේ සිවුමංසලක උඩුමහල් තුළ ඇති මැඳුරක් විය. එහි සඳළු තලයට පැමිණෙන නෙත් ඇති පුරුෂයෙක් හාත්පස සිසාරා බලයි. එවිට විසිතුරු මන්දිර ද දිළිඳු පල්පත් ද සල්පිල්ද ඒ ඒ නිවෙස්වලට ඇතුළුවන පිටවෙන ජනයා ද මගතොටේ ඇවිද ජනයාද දකින්නේද, එසේමය ගෞතමයන්ගේ මේ දැක්ම.

ගෞතමයන් සිතා ගත නොහැකි තරමට විස්මයට පත් විය. සංවේගයට පත් විය. මේ මායා ලෝකයේ සැඟ වී ගිය රහස් සෙමින් සෙමින් එළිදරව් වෙමින්ය තිබෙන්නේ.

අහෝ! එසේනම්, මේ පැවැත්මේ නිර්මාපකයා තමන්ගේම කර්මයයි! එසේ නම් සියලු සත්ත්වයන්ටම සිටින්නේ තම තමන්ම කරුණු ලබන කර්මය ම පිළිසරණ කොට, කර්මයම පිහිට කොට, කර්මයම හිතවතා කොට, කර්මය ම දායාද කොට නොවේද? අහෝ! තම තමන් කළ කර්මානුරූපව ම සැකසෙන භවයන්හි ඒ ඒ සත්ව ලෝකවල ඉපදෙමින්, මියයමින්, යළි යළිත් ඉපදෙමින් මියයමින්, ජාති, ජරා, මරණ වැළඳගෙන අපමණ දුකට ගොදුරු වූ අනේක සතුන් ගේ දිවි පැවැත්ම දුටුවේය. මේ දැක්ම වනාහී ද්විතීය විද්‍යාව වශයෙන් සැලකිය හැකි දිව්‍යං - චක්ෂූර්- අභිඥානය යයි ශ්‍රමණ ගෞතමයන් විසින් හඳුනා ගන්නා ලදී.

මැදියම් රැයද ඉක්ම යමින් තිබිණ. පුන්සඳ පෑල දිගට බර වී ගියේය. මුළු අහස් තලයම සිනිඳු වීදුරුවෙන් කළ පියස්සක් මෙන් වී. බමර කඩුපුල් පිපී සුවඳ හමා ගියේය. ගෞතමයන් පිට දී සිටි ඒ ඇසතු වෘක්ෂයේ දලුපත් සෙමින් නැලවෙමින් පවන් සලන්නට වන.

යම් සේ කඳු මුදුනෙක ඉතා පිරිසුදු දිය ඇති පැන් පොකුණක් වෙත නෙත් ඇති පුරුෂයෙක් යයි. හේ ඒ පොකුණේ නොකැළඹුණු දිය තුළින් පොකුණු පත්ල තෙක් විනිවිද දකියි. දියේ පිහිනන නා නා මසුන් ද, සක් බෙල්ලන්ද, කැටි කැබිලිති ද, පෙඳ පාසි ද සියල්ල මනාව හඳුනා ගනියි.

එසේම ශ්‍රමණ ගෞතමයෝ ද නොකැළඹී ශාන්ත වී ගිය විලක් සේ වූ තම සිත දෙස බලමින් එහි සියලු අභිරහස් සොයන්නට පටන් ගත්හ. සිත දෙස බලා සිටිද්දීම සියල්ල එකාත්වම නොව බෙදී වෙන් වී විසිරී මනාව වැටහෙමින් විදර්ශනය වී ගියේය. සිතේ මායා සකසන ඉන්ද්‍ර ජාලිකයාව අල්ලා ගති. මේ මායාවේ දොරටු සයකි. ඒ ඇස, කන, නාසය, දිව, කය හා සිතයි. මේ දොරටු තුළින් ගලා එන අරමුණු ඔස්සේ මන මෝහනය විය. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා සිතිවිලිවලටය. සිත එයින් වින්දනයට පත් විය. ඒ වින්දනයේ ම ඇලී ගැලී වෙලී ගියේය. එයම විය තණ්හාව. ඒ ආශා කළදේ තදින්ම වැළඳ ගති. ඒ නිසාම කර්මය නම් වූ විස්මිත චාලක ශක්තිය රැස්වෙන්ට පටන් ගති. පැවැත්ම සකස් විය. එතන උපත සිදු විය. උපත යම් තැනක ද ජරා, මරණ, දුක් දොම්නස් එතැන විය.

මේ හේතු- ඵල දහමේ ඉන්ද්‍රජාලය තව තවත් විමසා බැලීය. සැබැවින් සාරවත් කිසිවක් නොවීය. සියල්ල තුළ තිබුණේ් හිස් බවකි. මහ භූතයන්ගෙන් හටගත් දේ පෙණ පිඬක් සේය. වින්දනය දිය බුබුලක් සේය. රූප, ශබ්ද, ආදියේ වර්ණ හා හැඩ හඳුනා ගැනීම මිරිඟුවක් සේය. කර්ම රැස්වීමත්, විපාක විඳීමත්, කෙසෙල් කඳක අරටු සෙවීමක් සේය. මේ සියල්ලේ පැවැත්ම සකසන සිත මුළුමනින්ම මායාවක් සේය.

මෙයයි යථාර්ථය සත්‍ය වූ ස්වභාවය. එහෙත් මෙය නොදැනීම නම් අවිද්‍යාවෙන් යුතුවීම නිසා තණ්හාව හටගති. එයමය සිතේ පැවත්මට සරුකෙත වූයේ. මායාකාර සිත විසින් ‘මම’ මවන ලදී. ‘මගේ’ මවන ලදී ‘ආත්මය’ මවන ලදී. එහෙත් සැබැවින්ම ඇත්තේ හේතු- ඵල දහමක් පමණි. එය ද වෙනස් වීම නම් සදාතනික ධර්මතාවයට යටත්ය.

එසේනම් කුමක්ද කළ යුත්තේ? මේ යථා දර්ශනය ඇතිකර ගැනීමයි.

ඒ තුළින් විද්‍යාව උපදී. ඤාණයත්, ප්‍රඥාවත්, ආලෝකයත් උපදී. එවිට අවිද්‍යාව දුරුවේ. අවිද්‍යාව නොමැති තැන තණ්හාවට ඉඩක් නැත. එයද දුරු වී යයි. එවිට බැඳී ගිය සිත නිදහස් වී යයි. සියල්ලෙන්ම නිදහස් වී යයි.

එකිනෙකට උපකාරයෙන් පවතින මේ හේතු- ඵල දහමේ පවතින අනිත්‍යතාව ශ්‍රමණ ගෞතමයන් හට පසක් වෙන්නට පටන් ගතී. ඒ නිසාම දුක සැකසෙන හැටිත් ‘ආත්මය’ කියා ගත හැකි දෙයකින් තොර නිසාම දුක් පවතින බවත් අවබෝධ වෙන්නට පටන් ගති.

‘අහා!....එසේ නම් මේ පැවැත්ම දේව මැවීමක් යයි සිතීම, සිතේ් පැවැත්ම තහවුරු කර ගැනීමේ ආශාවෙන් හා සිතේ දුබලතා වසා ගැනීමේ අදහසින් සිත විසින් මවාගන්නා ලද්දක්. අහෝ! කෙතරම් විස්මිත ද මේ සිත! ඕම් කාරයාත්, පරමාත්මයත්, සත් - චිත් ආනන්ද වූ බ්‍රහ්මනුත්, සර්ව¢ව්‍යාපී ඊශ්වරයාත් හිත විසින්ම.....මවන ලදී. සියල්ල ඉබේ හට ගත්තේ යයි සිතීමද මයාවට අයත් ය.

මේ පැවැත්ම සදාකාලික යැයි කීමද මායාවට අයත්ය. හේතුන් සැකසෙන තාක් ඵල හට ගනී. හේතුන් නැති වන විට ඵල නැති වී යයි!! එය ලෝ දහම’ අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ ශ්‍රමණ ගෞතමයන්ට එය පසක් විය.

මේ සියල්ලම ඉතාම පැහැදිලිව අවබෝධ වෙද්දී ශ්‍රමණ ගෞතමයන් තුළ ඒ සියල්ල ගැනම කලකිරීමක් හා උපේක්ෂාවක් හටගති. සිත පරම ෂරාගි වී. විද්‍යාව තුළින් ලත් ප්‍රඥා ලෝකයෙන් අවිදු අඳුරු දුරු වී ගියේය.

තණ්හාව ක්‍ෂය වී ගියේය. සියලු භව රැහැන් සිඳී - බිඳී ගොස් සියලු වැළඳ ගැනීම්වලින්, බන්ධන වලින්, දුක් දොම්නසින්, ජාති, ජරා, මරණයෙන් සිත මිදී නිදහස් වී ගියේය.

දිවි පරදුවට තබා බොහෝ කලක් මුළුල්ලේ සොය සොයා ගිය ඒ අමරණීය වූ සනාතන වූ, පරම පිවිතුරු වූ හේතු - ඵල දහම ඉක්මවා ගියා වූ අසංඛත ධාතුව වූ ඒ අමා නිවන සාක්ෂාත් කළේ ඉක්මවා ගිය වූ අසංඛත ධාතුව වූ ඒ අමා නිවන සාක්ෂාත් කෙළේ වී. එය වනාහී තෘතීය විද්‍යාව වශයෙන් සැලකිය හැකි ආශ්‍රව - ක්‍ෂයකර- ඥානය යයි ශ්‍රමණ ගෞතමයන් විසින් හඳුනා ගන්නා ලදී.

ලොවේ කිසිවකුගේ උපකාරයෙන් හෝ මඟ පෙන්වීමෙන් හෝ පිහිටාධාරයෙන් තොරව කිසිදු ඥානවාදයකින් හෝ ශ්‍රැතිවාදයෙකින් තොරව, තෙමේම ස්වකීය පරම උදාර වීර්යයෙන් හා පරම ගම්භීර බුද්ධිඞ ප්‍රභායෙන්ම ඒ අමෘතය සාක්ෂාත් කෙළේය. එතුමාණෝ දැන් සම්‍යක් සම්බුද්ධයාණෝය. සකල ලෝකයට අග්‍රේසර වූ භාග්‍යවත් සමිදාණන් අසිරිමත් වූහ. අසමසම වූහ.

සාර සුපූජිත - ඒ වජිරාසනයේ
සුසමාහිත - සිත් සමාධියේ
පුණු පොහෝ දා වෙසඟේ
ආලෝකය පැතිරී යනවා...//

රාග විරාගිත - ඥාන ප්‍රභාවිත වී
භව රෑන බිඳී - දුක සෝක සිඳී
පුණු පෝදා වෙසඟේ
ආලෝකය පැතිරී යනවා....//

මාර පරාජිත - පරමාති බල වී
සිත සීත අමා නදියේ
නිවී නිවී සැනසී යනවා
පුණු පෝදා වෙසඟේ
ඒ ලෝක සිවංකරයාණෝ...//

මිනිස් ලොව නම් පැන් පොකුණෙහිම ජනිතව, එහිම හැදී වැඩී ඒ පැනින් උඩට මතු වී ගොස්, යළි පැන් නොතවරාගත් සියපත් විදහා දසත සුවඳ හමන පියුමක් සේ වීය ඒ භාග්‍යවතාණන්!

ගයාවේ වන තුරු සෙවණක හුදෙකලා මිනිසකු ගේ මනසක වූ මේ අසිරිය පරිසරය සිසාරා පැතිරී ගියේය. පහ වූ වලා ඇති අහසේ විජ්ජුලතා පැතිරී ගර්ජනා නැගී ලෝධා කම්පිත වී. වෙසක් පුන් සඳ බැස යද්දී හිරු මඬ රැස් විහිදා සිනාසුණි. වන මල් රොන් සලා සුළඟ හා මුසුවී. පිල් කළඹ විදහාගත් මයුරයෝ නාගයන් හා නෘත්‍ය දැක්වූහ. සිංහයන් ගේ ඇකයෙහි හා පැටිත්තෝ කෙළි සෙල්ලම් කළහ. ව්‍යාඝ්‍ර ධේනුවගේ තන පුඩුයෙන් මුව පැටව් කිරි උරා බිව්වාහ. මුගටීහු නාගයන් හා උසුළු - විසිළු කළහ. ඒකාන්තයෙන් මංගල්‍යයක් වී. පී‍්‍රති ප්‍රාමෝද්‍යයෙන් කුල්මත් වී. ලෝම හර්ෂ දැන වී. අචින්තනීය වී.

ඒ භාග්‍යවතුන් වහන්සේ පරම පිවිතුරු නිකෙලෙස් සිතින් යළි රූප සමාපත්තීන්ට සමවැදිණ. එය ඉක්මවා අරූප සමාපත්තීන්ට ද සමවැදිණ. එයද ඉක්මවා සංඥා වේදනා මුළුමනින්ම සංසිඳීගිය නිරෝධ සමාපත්තියට සම වන්හ. ඒ පරම ශාන්ත අමා සුවයේ ගැලී සතියක් පුරාම වැඩ හුන්හ. ඒ සතිය ඇවෑමෙන් ඒ අමා නිවන් සමවතෙන් මිදී පියවී ස්වභාවය හඳුනාගත්හ.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ චේතෝ විමුක්තිය කිසිවකට සම කළ නොහැකි විය. උන්වහන්සේට දැන් කිසිදු භව පැවැත්මක් නැත.

භාග්‍යවතුන් වහන්සේ ගේ පින් සිරුර යම්තාක් පවතිද්ද ඒ තාක් දෙව් මිනිස් කැළට සිය නෙත් සඟළින් මේ අසිරිමත් පුරුෂෝත්තමයාණන් නැරඹිය හැකිය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආයුෂ ගෙවී යාමෙන්, සිරුර බිඳීයාමෙන්, පහන නිවී ගියා මෙන් පිරිනිවනට පත් වූ පසු, ඒ ස්වර්ණවර්ණ වූ අනුපම ශෝභා සම්පන්න සුගත් බුදු බඳ කිසිවකුට දකිනු නොහැකි වනු ඇත.

ඉදින් යමෙක් උන්වහන්සේව දකිනු කැමැත්තෝ නම් උන්වහන්සේ සොයාගත් ඒ ධර්මයේම හැසිර ඒ අමා නිවනම සාක්ෂාත් කොට උන්වහන්සේව දැක්ක යුතු.

සියලු ආශාවෙන් හා කෙලෙසුන් ගෙන් වෙන්වී ගිය, සදා පිවිතුරු පරම පිවිතුරු, ඒ බුදු සිත දෙස භාග්‍යවතුන් වහන්සේ බලා සිටියහ. ඒ සිතේ වූ ශාන්ත පිවිතුරු ස්වභාවය දුටු උන්වහන්සේ ගේ දිව්‍යමය තොල් සඟළ අතරින් අනායාසයෙන්ම උදානයක නිකුත් වී ගියේය.

උපදින - යළි යළි මේ
තෙරක් නොමැති ගමනේ
සොය සොයා ඇවිද්දෙමි
සන්තාප තැවුල් අතරේ
මේ කුටිය සදන්නා - කව්රුන්ද කිය කියා
දුකකි අහෝ! ලොව - යළි යළි ඉපදේ නම්

මේ කුටිය තනන වඩුවා
හඳුනා ගත්තෙමි මා
නුඹට නැවත කිසිදා
මේ කුටිය සදනු නොහැකී

කැණිමඬලත් මා සිඳ දැම්මේ
පරාලයන් සුණු විසුණු කෙළේ
සිඳී බිඳී යද්දී - සියල්ලම
හා! සිත විසංඛාර ගත වී!
ඒ තණ්හා ආසාවෝ
සදා නොපෙනී ගියෝ!

භාග්‍යවතුන් වහන්සේ සති කීපයක්ම ගයාවේ කල්ගත කළහ. බොජුනෙන් නොව මිහිරි පැන් පොදකින්ම සාපිපාස නිවී ගියේය. දිනක උන්වහන්සේ තමා අවබෝධ කරගත් අසිරිමත් දහම ගැන සිත් යොමාලූහ. මෙය වනහී ඇදහීමෙන් තොරව, රුචියෙන් තොරව ශ්‍රවණ මාත්‍රයෙන් තොරව, පරිවිතර්කයෙන් තොරව, දෘෂ්ටියෙන් බැස ගැනීමෙන් - තොරව තම තම නැණ පමණින් සාක්ෂාත් කොට හඳුනාගත යුතු දහමක් විය.

එහෙත් මේ සාලංකාරී සාටෝපවත් සාඩම්බර ජනයා තර්කයත්, ඥානවාදයත්, ශ්‍රැතිවාදයත්, ආත්මවාදයත්, නා නා දෘෂ්ටිවාදයත් ද ග්‍රහණය කරගෙන සිටිති. මේ නැසෙන වැනසෙන ලෝදහම සාර වශයෙන් ම වැළඳගෙන සිටී. මායාවේම රැවටී දුක් - වේදනාවේම කැලතී තම තමා ගැන වාගාඩම්බර දොඩමින්, කාමයන්හි මුසපත්ව සිටිත්, අහෝ! මේ ජනයා කෙසේ නම් පරම පිවිතුරු සිතකින් දැකිය යුතු මේ දහම තේරුම් ගන්නද? එකෙනෙහිම උන්වහන්සේට සොඳුරු උපමාවක් වැටහී ගියේය.

මේ ලෝකය වනාහී මනහර පියුම් පිපි පොකුණක් වැන්න. එහි දියෙහි කිමිදී ගිය ඉතා ළපැටි පියුම් කැකුලු ඇත. මෝරා යමින් දියෙන් උඩට නැගෙන පියුම් පොට්ටු ඇත. මැනවින් මෝරා ගිය, දියෙන් ගොඩනැගී පිපෙනු කැමැති සොඳුරු පියුම් ඇත. ළහිරු රැස් වදිත්ම ඒවා පිපී විකසිතව සුවඳ හමනු ඇත. මේ ලෝවැසියන් ගේ් සිත්හසර ද එසේය. දුසිරිත් ඇති මහ රජස්කයෝ ද, සුසිරිත් ඇති අල්ප රජස්කයෝ ද, බොහෝ කොට කීවත් අවබෝධ නොවන්නෝද, යමක් කී පමණින් ම අවබෝධ කරගන්නෝ ද ඇත්තාහ. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ මුව විවරකොට සොඳුරු හැඟුමෙක් පළ කෙළේය.

‘අමා දොර විවර වී ගියා
නැණ ගුණැති දනන් හට
යොමා දෙසවන් මනා
සැදෑ සිත් පුබුදුවා
අසත්වා! අසත්වා
ඒ අමත දුන්දුභී!

මේ අසිරිමත් දහම දෙසන්නට ඉතාම සුදුසු වූ කාලාම ගෝත්‍ර ආලාරයන් ගැනත්, රාම් පුත් උද්දකයන් ගැනත් භාග්‍යවතුන් වහන්සේ සිහි කළහ. එහෙත් අහෝ! මහත් අවාසනාවෙකි. මේ මිහිරි අමා දහම් අසන්නට පෙර ඔවුහු මෙලොව හැර ගොස්ය. අනතුරුව එකල උන්වහන්සේට උපස්ථානයෙන් සංග්‍රහ කළ පංච වර්ගීය භික්ෂූන් ගැන සිතූ®හ. ඔවුහු නැණවත්ය. දිරිමත්ය. මේ දහම දක්නට සමත් වෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.