Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික වෙසක් උත්සවය වෙහෙරහේන රජ මහා විහාරයේ දී

බෞද්ධයා නිසි මඟට ගැනීමේ අරමුණ ඇතිව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සංවිධාන ජාලයක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරන අතර, වෙසක් පොහොය දිනය වන විට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල මට්ටමින් බල මණ්ඩල 17 ක් බිහිවෙනු ඇත. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ව්‍යවස්ථාවට සමගාමීව ගමක වෙසෙන සියලු බෞද්ධයන් බෞද්ධ ආකල්ප මෙන් ම ක්‍රියාවන් තුළින් ද යහමඟට ගැනීමට මෙමගින් හැකිවනු ඇත.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2553 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජාතික වෙසක් උත්සවය සඳහා මාතර දිස්ත්‍රික්කය තෝරා ගැනීම පිළිබඳව පළමුව අපගේ සතුට ප්‍රකාශ කර සිටිමු. සම්බුද්ධත්වයට පත්වීමෙන් 2600 සම්බුද්ධ ජයන්තිය සමරා 2011 වසරේදී එය උත්කර්ෂවත් ලෙස සැමරීම පිණිස විසිවැදෑරුම් වැඩ සැලැස්මක් සමග ලෝකය හමුවේ ජාතියක් ලෙස සදාචාර සම්පන්න තම අභිමානය කියාපෑමේ ආගමික සංස්කෘතික දියුණුවත් මේ තුළින් විද්‍යාමාන වනු ඇත.වර්තමාන අතිගරු ජනාධිපති තුමා ශාසනමාමකව ඉටු කරන අනුපමේය වූ මෙහෙවර තවත් ශක්තිමත් කරමින් ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යාංශය සෑම වසරකම වෙසක් උත්සවය වෙනුවෙන් ජාතික වෙසක් උත්සවයක් සංවිධානය කිරීම බෞද්ධ වූ අපට කරන ලද මහත් වූ ගෞරවයකි.

2009 වර්ෂයේ දී ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය තෝරා ගත්තා පමණක් නොව ඒ සඳහා විශ්ව කීර්තියට පත් වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරස්ථානය තෝරා ගැනීම ද ප්‍රශංසනීය බව කිව යුතුය. මේ තුලින් දිස්ත්‍රික්කයේ පමණක් නොව දකුණු ලක්වැසි සෑම බොදුනුවෙකුගේ ම හදවත තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කරලීමට හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි. 2009.05.05 දින ජාතික වෙසක් උත්සවය මාතර වෙහෙරහේන රාජමහා විහාරස්ථානයේ දී පවත්වන අතර, එදිනට විශේෂ වැඩ සටහන් සමුදායක් සංවිධානය කොට ඇති අතර විහාර භූමිය ඇතුළු ප්‍ර‍්‍රදේශය එකම වෙසක් කලාපයක් බවට පත් කිරීමට ද කටයුතු යොදා ඇත.

මීට සමගාමීව මාතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මගින් විශේෂ වෙසක් වැඩසටහනක් සංවිධානය කොට ඇත. බාල, තරුණ, මහලු සියලු දෙනාගේම අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩිදියුණු කිරීම, පුද්ගලයාගේ සිතිවිලි මෙන් ම චර්යා ධර්මයන් ගෙන් ද, මිනිසත්කම අගයන මිනිසකු කිරීමේ ඉතාමත් වෙහෙසකර ක්‍රියාදාමයක ආරම්භයක් කර ගැනීම, අපගේ අරමුණයි.

මැයි 8 වැනි දින වෙසක් පුන් පොහෝදා ශීල සමාදාන කටයුතු හා දානමාන පින්කම් ධාතු ප්‍රදර්ශන මෙන් ම ආගමික කටයුතු වලට පමණක් සීමා කිරීම අපගේ පිළිවෙත විය යුතුයි. දන්සැල් ආදිය පැවැත්වීමේ දී ද බැතිබරව හා සද්ධා සම්පන්නව ප්‍රමිතියකින් ඒවා සංවිධානය කරන ලෙස දැනුම් දී ඇති අතර 9 වැනි දින සිට 12 දක්වා දින හතරක් විවිධ උත්සව හා වෙසක් කූඩු ප්‍රදර්ශන , භක්ති ගී, පෙරහැර වැනි දෑ සංවිධානය කිරීමට කටයුතු ‍ෙයාදා ඇත.

බෞද්ධයා නිසි මඟට ගැනීමේ අරමුණ ඇතිව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සංවිධාන ජාලයක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරන අතර, වෙසක් පොහොය දිනය වන විට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල මට්ටමින් බල මණ්ඩල 17 ක් බිහිවෙනු ඇත. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ව්‍යවස්ථාවට සමගාමීව ගමක වෙසෙන සියලු බෞද්ධයන් බෞද්ධ ආකල්ප මෙන් ම ක්‍රියාවන් තුළින් ද යහමඟට ගැනීමට මෙමගින් හැකිවනු ඇත. ග්‍රාමීය බෞද්ධ සංගම් දිස්ත්‍රික්කයේ සෑම බෞද්ධ ගමකම ග්‍රාම නිලධාරි හා ගමේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බිහි වන අතර, එවැනි සංගම් 600 කට අධික ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා ම බිහි වීමට නියමිතය.

මීට අමතරව දහම් ගුරු සංගම් බිහි කිරීම , ගුරු පුහුණු වැඩසටහන් හා සිසු නිපුනතා සඳහා සහභාගි වන ගුරුවරුන් පුහුණු කිරීම ආදී දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන් සමුදායක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිරියේ දී බෞද්ධ සංගම් මගින් ආර්ථික සංවර්ධනය තුළින් ජනතාව යහමඟට ගැනීම සඳහා ගෙවතු වගා සංග්‍රාමයක් ද දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වනු ඇත.

ඒකීය රටක් ලෙස හෙට දවසේ දී සිංහ ධජය එසවෙන විට බෞද්ධ චර්යාවන් ගෙන් ද පොහොසක් මිනිසෙකු ද බිහි කිරීම අපගේ අරමුණයි.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ලෙස සියලු ජනතාවගෙන් අප කරන ඉල්ලීම නම් වෙසක් සතිය නිමිත්තෙන් සෑම නිවසක ම බෞද්ධ කොඩියක් ඔසවන ලෙසත්, පොල් තෙල් පහන් 10 ක් දල්වන ලෙසත්, වෙසක් පොහෝ දින සුදුවතින් සැරසී විහාරස්ථානයට පැමිණීම හා ගමන් බිමන්වල යෙදෙන ලෙසත් සුරාවෙන් හා සූදුවෙන් තොරව මෙම වෙසක් සතිය අධ්‍යාත්මික ගුණ වගාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙසත් ශාසනමාමකව ඉල්ලා සිටිමු.

තුනුරුවන් ගුණ බලයෙන් සැමට චිර ජීවනය ලැබේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.