Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සත්වයා’ නම් වූ ඒ ස්කන්ධ පහක සාපේක්‍ෂ පැවැත්ම

බුදුදහම දේශනා කැරෙන තැන්වල නිරන්තරයෙන් ඇසෙන්නා වූ, එහි වැදගත් ඉගැන්වීමක් ලෙස සැලකෙන පංචස්කන්ධය පිළිබඳ විමසුමකි, මේ ලිපිය, සත්වයා තුළ නැති නොවන සුළු, වෙනස් නොවන සුළු දෙයක් ‘ආත්මය’ යන්නෙන් එකල ප්‍රකාශ විය. බුදුහිමියන් විග්‍රහ කළේ ආත්මයක් පිළිබඳ වූ එම දෘෂ්ටිය සදොස් බවය. එය මන:කල්පිතයක් බවය. ඊශ්වර නිර්මාණවාදය හා සදාකාලික ආත්මය ගැන අදහස බැහැර කරන බුදුසමය, මනුෂ්‍ය චිත්ත සන්තානය පිළිබඳ ගැඹුරු වූ, සාරගර්භ වූ ධර්මයක් හෙළිකරයි. මමය, මාගේ ය යනාදී වශයෙන් පවතින්නා වූ තණ්හා - මාන බැහැර කරන දර්ශනයක් එයින් හෙළිකැරෙයි.

සත්වයා, පුද්ගලයා, ලෙස හඳුනාගන්නේ මේ පංචස්කන්ධයමය. පංචස්කන්ධයෙන් බැහැර කිසිවක් සත්වයා තුළ ඇතැයි බුදුහිමියෝ නොවදාළහ. දුක්ඛ සත්‍යය විස්තර කරන කල්හි ‘මහණෙනි, දුක නම් පංච උපාදානස්කන්ධයම යැයි ‘සංඛීත්තෙන පංචුපාදනස්කන්ධා දුක්ඛා’ යනාදී ලෙස බුදුපියාණෝ වදාළහ. එනම් පංචස්කන්ධය හා දුක අතර වෙනසක් නැති බවත්, පංචස්කන්ධයම දුක බවත් ය. නිරතුරු පංචස්කන්ධය වෙනස් වෙයි. නිත්‍ය නොවේ. එහෙයින් දුකමය. පංචස්කන්ධයම දුක විනා ඒ තුළ රැඳුණු සත්වයෙක් දුක් විඳින බවක් එයින් අදහස් නොවෙයි. ‘දුක්ඛ මෙවහි නකෝවි දුක්ඛිනෝ කාරකෝ න කිරියාව විජ්ජති’ යනුවෙන් විසුද්ධි මග්ගයෙහි ඒ ගැන කියැවෙයි. දුක වෙතත්, දුකට පැමිණි කිසිවෙක් නැත. සත්වයා නමින් හැඟෙන්නේ පොදු පංචස්කන්ධයම ය. ඒ හැර මමය යනුවෙන් පුද්ගලයෙක් නොමැත. සත්වයා, පුද්ගලයා යනු, පංචස්කන්ධයමැයි එනම්, 1. රූප ස්කන්ධය, 2. වේදනා ස්කන්ධය, 3. සංඥා ස්කන්ධය, 4. සංස්කාර ස්කන්ධය, 5. විඤ්ඤාණ ස්කන්ධයයි.

රූපස්කන්ධය පෙණ පිඩුවකට ද, වේදනා ස්කන්ධය දිය බුබුළකට ද, සංඥා ස්කන්ධය, මිරිඟුවකට ද, සංඛාර ස්කන්ධය කෙසෙල් කඳකටද, විඤ්ඤාණ ස්කන්ධය මායාවකට ද පෙණ පිණ්ඩුපමං රූපං...” යනාදී ලෙසින් සංයුක්ත නිකායේ (ඛන්ධ සංයුක්තයෝ)උපමා කොට දක්වයි.

රූප ස්කන්ධය 1. පඨවි 2. ආපෝ 3. තේජෝ 4. වායෝ 5. චක්ඛු 6. සෝත, 7. ඝාණ 8. ජිව්හා 9. කාය 10. රූප 11. ශබ්ද 12.ගන්ධ 13. රස 14. පොට්ඨබ්බ 15. භාව රූප 16. හෘදය රූප 17. ජීවන රූප 18. ආහාර රූප 19. පරිච්ඡේද රූප 20. කාය විඤ්ඤත්ති රූප 21. වචී විඤ්ඤත්ති රූප 23. ලගතාරූප 24. මුදුනාරූප 25. උපචය රූප 26. සන්තති රූප 27. ජරතා රූප 28. අනිච්චතා රූප යනුවෙන් කොටස් විසි අටකට බෙදෙයි. මෙහි මුලින්ම සඳහන් මහා භූත රූප සතර මුල් වෙයි. එය අමිශ්‍රය. අනිකුත් රූප එහි සම්මිශ්‍රණයකි.

රූපය වෙනස් වෙයි. මොහොතින් මොහොතම වෙනස් වෙයි. ළදරු රූපය තරුණ රූපයක් වෙයි. එය යළි මහලු බවට පත්වෙයි. ස්ථිර වූ ආත්මයක් ඒ තුළ නැත. නිතර වෙනස්වී විනාශය කරා පැමිණෙයි. ඉතා කුඩා පෙණ බුබුළු රාශියක් ඒකාබද්ධවීමෙන් විශාල පෙණ බුබුළක් නිර්මාණය වෙයි. ස්වල්ප වශයෙන් එකතු වී විශාල ගං ජලස්කන්ධයක් සෑදේ. කුඩා පෙණ බුබුළු සිඳී බිඳී යයි. ගං ජලස්කන්ධය ද ස්ථිර නැත. එය මුහුදට ගලයි. පෙණපිඬු යළි එකතු වෙයි. ජලයද එපරිද්දෙන් අලුත්වෙයි. රූපස්කන්ධයද එපරිදිය. රූපය බිඳෙයි, වෙනස් වෙයි, වෙනත් රූප පහළ වෙයි. පෙණ බුබුළු මෙනි.

වේදනා ස්කන්ධය සැපවේදනා දුක් වේදනා හා සැපදුක් වේදනාවන්ට අයත් නොවන මධ්‍යස්ථ වේදනා යැයි වෙදනා වර්ග තුනකි. කායික මානසික, සියලු වේදනා, වේදනා ස්කන්ධය වෙයි. ඇස රූපය සමග ගැටීමෙන් වේදනා ඇතිවෙයි. දිව රසය සමග ගැටීමෙන් වේදනා ඇති වෙයි. එපරිදි කය, මනස ද වේදනා හට ගැනීමට හේතුවෙයි. පි‍්‍රය රූපයක් දකින්නා ඇස නිසා සුඛ වේදනාවක් ලබයි. අපි‍්‍රය රූපයක් ගැටීමෙන් දුක් වේදනා උපදියි. මධ්‍යස්ථ රූපයක් වේ නම් එය උපේක්‍ෂා සහගත වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක් වෙයි. මධුර වූ සංගීත ශබ්දය, සැප වේදනාවකි. අමිහිරි කර්ණ කටුක ශබ්ද දුක්වේදනා වෙයි. නාසයට දිවට ශරීරයට ද එපරිදිමය. සොම්නස් හා දොම්නස් වේදනා ද, මධ්‍යස්ථ වේදනාද එසේ පහළ වෙයි. සොම්නස් වේදනාව ස්ථිර නැත. වේදනාව ද ස්ථිර නැත. මධ්‍යස්ථ වේදනා ද අස්ථිර ය. සෑම වේදනාවක්ම මොහොතින් මොහොත වෙනස් වෙයි. දියබුබුළු මොහොතින් විනාශයට පත්වන්නාක් මෙනි.

සංඥා ස්කන්ධය, තෙවැන්න ය. එය කායික හා මානසික අරමුණු හඳුනා ගනියි. එය සත්‍ය වශයෙන් ඇති දෙයක් නොවේ. ‘ගොනා’ කී විට එහි සත්‍ය වශයෙන් එබඳු සත්වයෙක් නැත්තේ ය. ගොනා හැඳින්වීමට අපි ‘ගොනා’යැයි කියමු. කකුල් හතර, අං, වලිගය, ආදී ලෙස කොටස් රාශියක් එහි වෙයි. ඒ සියල්ල ලෝක ව්‍යවහාරයෙහි පවත්නා සම්මුති පමණකි. පෙති, කෙමිය, පාට සුවඳ යනාදී කොටස් එකතු වූ තැන, මලකි. එයද අස්ථිර ය. පරමාර්ථ සත්‍යයක් නොවේ. ඒ අනුව සංඥා යනු මුලාවකි. රැවටීමකි. මායාවකි.

සංස්කාර ස්කන්ධය නම් ‘චෛතසික’ය. ලෝභය, ද්වේෂය, මෝහය, උඩඟු බව, ඊර්ෂ්‍යාව, මානය වැනි අකුසල, චෛතසික ද අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල චෛතසික ද ඊට අයත් වෙයි. කර්මය සිත මුල් කරගෙනම පවතියි. ‘චේතනාහං භික්‍ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා (මහණෙනි, මම චේතනාවම කර්ම යැයි කියමි. වේනනාවෙන් සිතා කියන්නේ වචනයෙන් හෝ මනසින් කර්ම කෙරේ.) යනුවෙන් විස්තර කරනු ලබන කර්ම, කුසල හෝ අකුසල සංස්කාර ගණයට වැටෙයි. මේ සංස්කාරයන් හි හරයක් නැත. ඊර්ෂ්‍යා ආදී අකුසල කර්ම සංස්කාරයන්ගෙන් දුක ලැබෙයි. එය ද ස්ථිර නැත. අද්වේෂ ආදී කුසල සංස්කාරයන්ගෙන් සැප ලැබෙයි. එයද තාවකාලිකය. මේ කිසිවක් සාර ලෙස සැලකීම, නුසුදුසු ය. සිය දස්කම් නිසා මානයට පත්වන්නා කරනුයේ අර්ථ හීන ක්‍රියාවකි. තමා මානාධික වීමෙන් යළි බිඳ වැටෙන බව ඔහුට අමතක වෙයි. ඔහුගේ අදක්‍ෂතාව නිසා යළි හීනමානයට පත්වෙයි. කෙසෙල් ගසේ හරය සෙවීම අපහසු ය. එමෙන් සංස්කාරයන්ගේ හරය සෙවීම ද කළ නොහැකි ය. වේදනා ස්කන්ධයද, සංඥා ස්කන්ධයද, සංස්කාර ස්කන්ධයද, ඇස කණ, නාසය, දිව, කය, මනස යනාදී වශයෙන් පවතින ඉන්ද්‍රියයන්ගේ අරමුණු සමග ඒ එකිනෙක සය වැදෑරුම් වෙයි.

විඤ්ඤාණ ස්කන්ධයද, ෂඩ් ආයතන මගින් ලැබෙන ෂඩ් අරමුණු විෂය කොට පවතින්නකි. එය ඉන්ද්‍රිය සමග බැඳී පවතියි. ඇස හා රූප ඇසුරෙන් ‘චක්ඛු විඤ්ඤාණ’ පහළ වෙයි. කණ හා ශබ්ද ඇසුරෙන් ‘සෝත විඤ්ඤාණ පහළ වෙයි. නාසය හා ගන්ධ නිසා සාරු විඤ්ඤාණ ද, දිව හා රස නිසා ජීව්හා විඤ්ඤාණ ද, කය හා ස්පර්ශ නිසා කාය විඤ්ඤාණ ද මනස හා ධර්ම නියා මනෝ විඤ්ඤාණ ද පහළ වෙයි. විඤ්ඤාණය, රූප, වේදනා, සංඥා, සංස්කාර නියාම පහළ වන බවත්, ඉන් බැහැරව ඇති නොවන බවත්, බුදුහිමියෝ වදාළහ. (සංයුක්ත, නිකාය) විඤ්ඤාණය, සිතයි. එය මොහොතින් ඇතිවෙයි. නැතිවෙයි. එය පුදුමාකාර ය. සෑම දෙයකටම මුල් වන්නේ, සිතයි. ඇතැම් කරුණු සැප යැයි, සිත කියයි. ඇතැම් කරුණු දුක යැයි සිත කියයි. පුද්ගලයා, මුළාවට, මායාවට පත් කරවන්නේ සිතයි. සිතේ බලමහිමය නොයෙක් තැන්හි විස්තර වෙයි. (ධම්මපද චිත්තවග්ග බලන්න) ලෝකයෙහි මායාකාරයා සිතයි.

සත්වයා පුද්ගලයා පංචස්කන්ධයෙන් බැහැර වූවක් නොවේ. රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදිය ‘මම’ නොවේ. ආත්මයක් ලෙස ගත හැකි කිසිවක් එහි නැත. වෙනස් නොවන කිසිවක් එහි නැත. ඒ සියල්ල අනිත්‍යය, දුක්ඛය, අනාත්මය.ඒ පංචස්කන්ධයෝ පැහැදිලි ලක්‍ෂණය. එබැවින්, එය වටහාගෙන දහමට අනුව ක්‍රියාකිරීම, ජීවිතය ජය ගැනීමේ මඟයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.