Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විගමුව ගිරි අබා රජමහ විහාරය

මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් වේ. ජනවහරට අනුව විගමුව ගිරි අබා රජ මහ විහාරය කාවන්තිස්ස රජුගේ මස්සිනා කෙනකු වන ‘ගිරි අබා’ නම් ප්‍රාදේශීය රජකු විසින් කරවන ලද බව පැවසෙතත්, බෝධිවංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපනය කර ඇති හෙයින් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව යන්නේ ය. මාතර – කතරගම මාර්ගයෙහි රත්න සිට වීරකැටිය මාර්ගයෙහි කිලෝමීටර් 03 ක් පමණ ගිය තැන මෙම විගමුව ගිරි අබා රජමහා විහාරය පිහිටා ඇත. මෙම ප්‍රදේශයට ‘විගමුව‘ යන නම ලැබී ඇත්තේ කාවන්තිස්ස රජු සමයේ ගිරිනුවර (ගිරුවාපත්තුව) රජුට අයත් වී කොටස් එකතු කරන ලද ස්ථානය, වශයෙන් බව ජනවහරේ සඳහන් ය.


1 විහාර මන්දිරය 2.වර්තමාන බෝධීන් වහන්සේ 3.වත්මන් සංඝාවාසය 4.දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානය

මෙම විහාරස්ථානය වටා ඇති මනරම් කුඹුරු යාය අදත් එලෙසම දක්නට ඇති අතර ගිරිඅබා රජුට මෙම කුඹුරු යායෙන් එකතු කළ රාජ්‍ය භාගය එක් රැස් කළ ස්ථානය ලෙස ‘වී ගොමුව‘ විගමුව ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි කල්පනා කළ හැකි ය.

1930 පැවති මහා නියඟයට හසුවීමෙන් මෙහි ගල්පර්වතය මුදුනේ තිබු දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ විනාශ වී ඇත.

එවකට මෙහි විහාරාධිපති පදවිය ඉසිලූ පොලොම්මාරුවේ සෝනුත්තර හිමියන්ගේ මූලිකත්වයෙන් පැරණි බෝධියෙන් ලබාගත් අංකුරයකින් වර්තමාන බෝධීන් වහන්සේ රෝපනය කර ඇති බව සඳහන් ය. මෙහි දැනට පවතින විහාර මන්දිරය පොලොම්මාරුවේ සෝනුත්තර හා අම්බල අත්ථදස්සී යන නායක හිමිපාණන් වහන්සේලා විසින් ඉදිකරවා ඇත. සීමා මාලකයද අම්බල අත්ථදස්සී හිමිපාණන් වහන්සේගේ කාලයේ ඉදිකරන ලද්දකි.

මෙහි ඇති බ්‍රාහ්මී අක්‍ෂර සහිත සෙල් ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් කියවා ඇති බව දැන ගන්නට ඇතත් තොරතුර වාර්තාගත වී නැත. මෙම ස්ථානයෙන් සොයාගෙන ඇති සහස්ස මල්ල හා ලීලාවතී රාජ්‍ය යුගයන්ට අයත් කාසි, සමූහයක් හා සෙල්මුවා මල් අසුන නිසා මෙහි නෂ්ඨාවශේෂවු විහාරයක් තිබූ බව සනාථ වේ.

මෙහි විහාරාධිපති පදවිය උසුලන ලද පොලොම්මාරුවේ සොනුත්තර හිමි, අම්බල අත්ථදස්සී හිමි, උඩයාලේ සෝනුත්තර හිමි, දොඩම් පහළ ජිනරතන හිමි, දොඩම් පහළ රතන ජෝති හිමි, පල්ලේගම විමලානන්ද හිමි, බටඅත හේමසිරි හිමි යන නායකහිමිවරු මෙම ස්ථානය ආගමික සංස්කෘතික අතින් වැඩිදියුණු කර ඇත.

දොඩම් පහළ රතනජෝති නායක හිමියෝ දොළොස් දහස් ගිරුවා රට ප්‍රධාන සංඝනායක පදවිය උසුලමින් මෙම ප්‍රදේශයට මහත් ආගමික ශාසනික සේවාවක් ඉටු කොට 1993 මැයි මස 19 දින අපවත් වූහ.

මේ හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ පූජ්‍ය බෝදාගම වන්දිම හිමිපාණන් වහන්සේ දැනට තායිවානයේ ප්‍රධාන සංඝනායක ධූරය උසුලති. වර්තමාන සංඝාවාස සහිත නව ඉදිකිරීම් සිදු කෙරෙන ලද්දේ උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුවයි.

විහාරස්ථානයේ ස්වර්ණමය යුගය වන දොඩම්පහළ රතනජෝති හිමිපාණන් වහන්සේගේ සමයේ විහාරයේ වඩාත් දියුණුව ඇති විය. උන්වහන්සේ ශිෂ්‍යයෝ වන ශාස්ත්‍රවේදී කුඹුක්වැවේ, පඤ්ඤාකිත්ති, ආචාර්ය බලනරුවේ සිරිනිවාස, බැරගම උදිත හිමිවරුන් අදත් ශාසනික මෙහෙවරෙහි නිරතව සිටිති.

වර්තමාන විහාරාධිපති බෝගමුවේ විමලරතන හිමි, සමග කපරැල්ලේ විමලජෝති හිමි, විගමුව ගිරි අබා රජ මහ විහාරයේ වර්තමාන දියුණුවට උර දෙමින් ප්‍රදේශයට මහත් ආගමික ශාසනික මෙහෙවරක් ඉටු කරති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම විගමුව ගිරි අබා රජමහා විහාරස්ථානයේ පුරා විද්‍යාත්මක තොරතුරු විමසන්නට පියවර ගත හොත් ගිරුවා පත්තුවේ ආගමික සංස්කෘතික හා ශාසනික ඉතිහාසයට නව ආලෝකයක් ලැබෙන බව පෙන්වාදිය හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.