බුදුරජාණන් වහන්සේ 19 වර්ෂයක් වැඩ විසූ ජේතවනාරාම විහාර භූමියෙහි නටබුන් දැකීම හා උන්වහන්සේ වැඩහුන් ස්ථානයෙහි පිරිනිවන් මඤ්චකයේ සැතපෙන ආකාරයෙන් සාදා තිබෙන පිළිම වහන්සේ සහ එහි ශ්‍රී පාදය අසළ කඳුළු පිසදමමින් සිටින සේ තනා තිබෙන ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ සිටි පිළිමයද දැකීම සිත් කම්පා කරවන්නකි. තවද බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ප්‍රත්‍යය දායකයා වූ අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාමය ඇතුළු අනෙකුත් ආවාස ගෘහ ද, කොසම්බ කුටිය, ශාරිපුත්‍ර කුටිය, අංගුලිමාල කුටිය බුදුරදුන් සැතපී වදාළ ආසනය, උන්වහන්සේ පරිභෝග කළ අවුරුදු 2000 ක් පැරැණි ආනන්ද බෝධිය හා චිංචිමානවිකාව ගිලුණු පොකුණ ද බලා ගතිමු. 

මෙයට වසර පනහකට පෙර දඹදිව වන්දනාවේ යෑම එතරම් පහසු කරුණක් නොවීය. එවැනි කාලයක දඹදිව වන්දනාවේ නිරත වූ ඒ.ඩී. ජාලිස් අප්පුහාමි මහතා සිය අත්දැකීම් කුඩා පොතක් වශයෙන් එළිදක්වා තිබේ.ඔහුගේ මිනිපිරියක වන පොල්ගස්ඕවිට සිසිල නිවසේ පදිංචි කේ.ඩී.කමලාවතී මහත්මිය ළඟ ඇති එම පොත්පිංචෙහි පිටපත් කේ.ඩී. සිරිසේන මහතා විසින් අපට ලබාදෙන ලදී. අප එය මෙහි පළ කැරෙනුයේ එම දින සටහන් වත්මන් පාඨකයන්ට රසවත් අත්දැකීමක් වන බැවිනි.

ඒ.ඩී. ජාලිස් අප්පුහාමි මහතා 1899 පෙබරවාරි මස 10 වන දා පොල්ගස්ඕවිට සියඹලාගොඩ දී උපත ලබා ඇත්තේ නිවුන් දරුවකු ලෙසය. ඔහුගේ නිවුන් සොහොයුරා ඒ.ඩී.බ්‍රම්පි නම් විය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් කෝපි වගාව ආරම්භ කළ කාලයේ කඳුකරයට සංක්‍රමණය වූ ඔහුගේ වැඩිමහල් සහෝදරිය හා මස්සිනා සමග වාසය කිරීම සඳහා ජාලිස් අප්පුහාමි මහතා පේරාදෙණිය ගොඩගන්දෙණිය වෙත ගොස් තිබේ. එහිදී පේරාදෙණිය කුසුමචේතියාරාම ශ්‍රී භාරතී පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු වූ සිය මස්සිනා ගේ නිවසේ සිට ඔහු පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇත. ඉන්පසු සිලෝන් ටී එස්ටේටි සමාගමේ ගලහ තේ කර්මාන්ත ශාලාවේ වඩු කාර්මිකයකු වශයෙන් ඔහු රැකියාවක නිරත වී ඇත.

අවිවාහක ජීවිතයක් ගත කළ ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු සිය උපන්ගම වන සියඹලාගොඩ පැමිණ නිවුන් සොහොයුරා සමග වාසය කැර 1966 දී වනගත වූ බව පැවැසේ.

පුණ්‍යානුමෝදනාවක් හා දඹදිව වන්දනා ගමනක් නමැති එම පොතෙහි ඇතුළත් දින සටහන් සියල්ල අපි මෙසේ පළ කරන්නෙමු.

වන්දනා ගමන පිටත්වීම

ශ්‍රද්ධාවෙන් බෞද්ධයෙකු විසින් විශේෂයෙන් දර්ශනය කළ යුතු සතර ස්ථානයන් සහිත දඹදිව සිද්ධස්ථාන හා දර්ශනීය ස්ථාන වන්දනා මානන කිරීමට හා බැලීමට කොළඹ කොල්ලුපිටියේ කේ.ඇම්. පෙරේරා මහතුන්ගේ මාර්ගදේශකත්වය ලැබූ අපේ වන්දනා කාර කණ්ඩායම 1952 නොවැම්බර් මස 7 වන දින රාත්‍රි 7 ට පමණ කොළඹ කොටුවේ දුම්රියපලේ සිට දුම්රියෙන් පිටත්විය.

8 වන දා

උදේ මන්නාරම් දුම්රියපළින් බැස ලංකා මුදල් ඉන්දියා මුදල්වලට මාරුකොට ගෙන නැවත නැග ඉලැක්ට්‍රික් ලිපෙන් උයා පිළියෙල කරගත් දවල් ආහාරය ගත් අපි පැය 2 කින් පමණ ඉන්දියාවේ දනුස්කොඩියට සේන්දුවීමු. එහිදී රේගුවේ නිලධාරීන් විසින් අපේ බඩු පරීක්‍ෂාකිරීමෙන් පසු මදුරාසියට යෑම පිණිස දුම්රියට නැග ගතිමු. සැතපුම් 75 ක් පමණ යනතෙක් වැල්ල නිසා ගොවිතැන් ආදියක් නැතත් එතැන් සිට රටඋළු කර්මාන්තය හා මදුරාසියට සමීපවන විට පොල් වැවිල්ලද පෙනේ.

9 වන දා

උදේ මදුරාසි දුම්රිය පළින් බැස ධර්මපාල විශ්‍රාම ශාලාවට ගිය අපේ පිරිස සවස මොටෝරිය වලින් සැතැපුම් 6 ක් මග ගෙවා විශාල පුස්තකාලයක් බැලීමට ගියහ. එහි ලෝකයේ පුරාණ හා වර්තමාන ග්‍රන්ථ ලක්‍ෂ ගණනක් තිබේ. බොහෝ ග්‍රන්ථ කර්තෘවරයන්ගේ නම් සඳහන් පින්තූර ද එල්ලා තිබේ. ඉංගිරිසි ජාතික නෝනාවරු 4 දෙනෙක් මෙහි භාරව සිටිති. මෙහි පැමිණෙන අයට කරුණු පැහැදිලි කරදීමට සිංහල මහතුන් දෙතුන් දෙනෙක්ද වෙති. මෙහි බුද්ධ ධර්මය ලියූ පුස්කොළ පොත් 19000 ක් තිබෙන බව ඔවුන්ගෙන් දැනගතිමු. මෙය බලා ආපසු විශ්‍රාමශාලාවට පැමිණියෙමු. ලංකාවේ සිට මදුරාසියට දුර සැතපුම් 300 ගණනකි.

10 වන දා

රාත්‍රි දුම්රියෙන් කල්කටාවට යෑමට නැගුණ අපට රෑ දවල් දුම්රියේම ගතවිය. දැන් දුම්රිය කෙළින්ම උතුරට යන හෙයින් මදුරාසියේ පැවති උෂ්ණය නැතිව ගොස් ක්‍රම ක්‍රමයෙන් ශීතල අධික වන්නේය. මෙසේ රාත්‍රි අප ගමන් කළ දුම්රිය 12 වන දින උදේ විශාල දුම්රිය පළකට පැමිණියේය. දවල් කාලය නිසාත් සමතලා භූමිය නිසාත් පෙනෙන තෙක් මානයේ වී සහ එළවලු ගොවිතැන් දක්නට තිබේ. ඉක්බිති ක්‍රිෂ්ණ ගංගාවේ අතු ගඟක සැතපුමක් තරම් දිග පාලමක් ද පසුකර ගිය අප විසින් කඳුගැට කීපයක් හා පොළොවේ කළුපාට සාරවත් පසද දක්නා ලදී. තවද එළවලු ගොවිපළ වල රාත්‍රියේද වැඩ කිරීම සඳහා අඩි 10 බැගින් දුර පිහිටුවා තිබෙන ලයිට් කණුද දුටුවෙමු. ඊළඟට විශාල ගව බැටළු රංචු ගණන් දුටු අපි ගොධාවරී නදියේ සැතැපුමකට වඩා දික් වූ පාලමද පසුකොට දෙපස පොල් වගාවෙන් යුත් වතුපිටිද බලමින් ගොස් කල්කටා මහා නගරයට පැමිණියෙමු. මදුරාසියේ සිට කල්කටාවට දුර සැතපුම් 320 ක් පමණ වෙයි.

12 වන දා

උදේ 10 ට පමණ කල්කටා දුම්රිය තුළින් බැස මොටෝරිය වලින් පිටත් වූ අපේ පිරිස සැතපුම් 6 ක් මග ගෙවා ගොස් අනගාරික ධර්මපාලතුමන් කරවන ලද ධර්මරාජික විහාරස්ථ විශ්‍රාම ශාලාවට පැමිණ නවාතැන් ගත්තෝය. මෙදින පස්වරුවේ කල්කටා නගරයේ පිහිටි මහා සත්වෝද්‍යානයද බලන්නට ගියෙමු. එහිදී මූණෙන් පමණක් වල් ඌරා වැනි අනෙක් හැමතින්ම අලියාට සමාන දියේ සිටින හිපපොටේමස් නැමැති සතාද වෘකයා හා වැළිපොළඟාද දක්නා ලදහ. කල්කටා නගරයේ හැම වීදියකම සිවු මහල් පස් මහල් ගෙවල් තිබේ. ලංකාවේ නුවර පෙරහැර කාලයේ මෙන් එහි සැම වීදියක්ම වාගේ මහ සෙනග නිතර පිරී සිටිනවාද දුටුවෙමු.

13 වන දා

රාත්‍රි දුම්රියෙන් රජගහ නුවරට යෑමට පිටත්ව 14 වන දින බක්වාපූර් දුම්රියපළින් බැස එතන සිට කුඩා කෝච්චියෙන් ගොස් රජගහ නුවරට පැමිණ එහි බුරුම බෞද්ධයන් විසින් කරවන ලද විශ්‍රාම ශාලාවේ නවාතැන් ගන්නා ලදුව සවස පුරාණ දේ බැලීමට ගියෙමු. බිම්බිසාර රජුගේ මාලිගාව සහ ඒ රජු විසින් කරවා බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද ප්‍රථම ආරාමය වූ වේළුමනාරාමය ද බලා ආපසු පැමිණියෙමු. මෙහි බොහෝ ස්ථාන දැනට හින්දුකාරයන් විසින් කෝවිල බවට හරවා ගෙන තිබේ.

15 වන දා

උදේ ගිජ්ක්‍ධකූට වෙපුල්ල වෙභාර ඉසිගිලි පාණ්ඩව යන පර්වත පස අජාසත් කුමරුන් සිය පිය රජු සිර කළ ස්ථානය ජීවකයාගේ, අඹ වනය , මද්දකුච්ඡි විහාරය සූකර ඛත නම් ලෙන් විහාර , බිම්බිසාර රජු බුදුන් දැකීමට එද්දී නතර වූ තැන දෝලාවෙන් බැස පයින් පිටත් වූ තැන, කාශ්‍යප මුගලන් ආනන්ද යන මහරහතුන් වහන්සේ වැඩසිටි ගුහා, ධර්මශෝක රජතුමාට විහාර 84000 ක් කරවා එහි නිදන් කිරීමට සර්වඥ ධාතු ලැබුණු පාෂාණ චෛත්‍යය, ප්‍රථම ධර්ම සංගායනාව කළ සප්තපර්ණි ගුහාවද බලා වැඳ පුදා ගතිමු.

නැවතත් එදින පස්වරු කුඩා දුම්රියෙන් සැතපුම් 4 ක් ගොස් බැස පයින් සැතපුම් 3 ක් ද ගොස් පැරණි බෞද්ධ මහා විශ්වවිද්‍යාලයක් වූ නාලන්දාවට පැමිණියෙමු. පෙනෙන ප්‍රමාණයට මේ විද්‍යාල භූමිය දිගින් සැතපුමක් හා පළලින් සැතපුම් භාගයක් පමණ වෙයි අඩි 12 ක් පමණ උස් වූ ගඩොල් බිත්ති තවමත් හොඳකාරව පවතී.16ය8 කාමරද එහි ඇතුල් බිත්තිවල පොත් තැබීමට සකස්කළ තැන්ද සක්මන් මළුද ගඩොලින් රවුමට බඳිනලද තවමත් පලුද්දක් නැතිව තිබෙන ළිඳක්ද දුටුවෙමු. තවද එහි කෞතුකාගාරයේ ලෝකඩ පාට ගල් මැටි යන මෙයින් සාදන ලද බුදු පිළිම සහ දේවරූපද බලාගෙන ආපසු රජගහ නුවරට ආවෙමු.

16 වන දා

උදේ රජගහ නුවර සිට බස්රියෙන් ගයා නගරයට පැමිණ එහි මහාබෝධි සමාගමයට අයත් විශ්‍රාම ශාලාවෙහි අපේ බඩු බාහිරාදිය තබා පුද පූජාදියට වුවමනා දේ පමණක් රැගෙන නැවතත් බස්රියෙන් සැතපුම් 12 ක් ගොස් (එහාට කළුවර වැටෙන වේලාවූ) 5 ට පමණ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධි විහාරස්ථානයට ළඟා වීමු. මෙදින රාත්‍රී අප වන්දනාකාර පිරිසේ හැම දෙනාගෙන්ම රැස් කරන ලද පොල්තෙල්, ඉටිපන්දම්, කපුරු, හඳුන්කූරු, පන්දම්, විළඳ, කොඩි ආදියෙන් ශ්‍රී මහා බෝධිරාජයාට පූජා පවත්වා අලංකාර පහන් පූජාවක් ද කරන ලදී.

17 වන දා

උදේ එළකිරෙන් පිසූ ආහාරද දෙපට සිවුරක් ද අඩි 30 ක් පමණ දිග කොඩි වැලක්ද රැගෙන පෙරහැරෙන් ගොස් බෝධීන් වහන්සේට පූජාකොට වන්දනා මාන කරගන්නා ලදී. ඉක්බිති අනිමිෂ ලොචන ස්ථානය චංක්‍රමණ ස්ථානය, රත්නාඝරය, අජපාල න්‍යග්‍රොධ වෘක්‍ෂය, මුචලින්ද විල, රාජායතන ස්ථානය යන බුදුරජාණන් වහන්සේ සත් සති ගත කළ තැන්ද, නෙරංජනා ගංගාවෙන් එතෙර සේනානි නම් ගම සුජාතා සිටු මාලිගය, සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වැළඳූ ස්ථානය, බලා වැඳ පුදා ගෙන ගයා නගරයේ මහාබෝධි විශ්‍රාම ශාලාවට පැමිණ නවාතැන් ගතිමු.

18 වන දා

උදේ ගයා නගරයේ සිට දුම්රියෙන්, බෞද්ධ පොත් පත්වල අති ප්‍රසිද්ධ වූ බරණැස් නගරයට ගොස් එහි සිට බස්රියෙන් සැතපුම් 6 ක් දුර ගමන් කොට අනගාරික ධර්මපාලතුමා විසින් කරවන ලද මූලගන්ධකුටි විහාරස්ථානයට පැමිණ වන්දනාකොට ගෙන එහි මහාබෝධි විශ්‍රාම ශාලාවෙහි නැවතුණෙමු. මෙහිදී ස්වාමීන් වහන්සේලා 12 නමක විසින් වදාරන ලද පිරිත් ධර්මදේශනාවකට ද කන්යොමු කළෙමු.

19 වන දා

දාවල 12 නමකට සාංඝික දානයක් ද පූජා කරගත් අපේ පිරිස ධර්මපාල ස්වාමීන් වහන්සේ අපවත් වූ කාමරය සහ ආදාහන කළ ස්ථානයද බලා පැරණිදේ බැලීමට පිටත් වූහ එහිදී වම්මික චෛත්‍යය, ධම්මචක්ක සූත්‍රය දේශනා කළ ස්ථානය, මෛත්‍රී බෝසතුන් විවරණ ලැබූ තැන, ධම්ම දෙවි විහාරය, නිඝණ්ඨනාථ පුත්‍ර ආශ්‍රමය, ධම්මාශෝක රජු කළ සම්මුඛ චෛත්‍යය ධම්මරාජික චෛත්‍යය, ධාතු චෛත්‍යය හා අශෝක ස්තම්භයද අප විසින් දක්නා ලදහ. තවමත් ඉතා පිරිසුදු රසවත් ජලය ඇති අවුරුදු 2000 ක් පැරණි ළිඳක්ද සිවුරේකඩ ගණනට ඉරවලු දමා මේතාක් වපුරන කුඹුරක් ද දැක ගන්නට ලැබිණ.

20 වන දා

සවස මූලගන්ධකුටි විහාරයේ සිට බස්රියකින් බරණැස් නගරයට ගොස් එතැන් සිට රාත්‍රී දුම්රියෙන් පසුදින (21 වනදා) උදේ වනතුරු ගමන්කොට නැවතත් බස්රියෙන් සැතපුම් 33 ක් ගොස් සැවත් නුවරට පැමිණ එහි නැවතුම් හලක සිටියෙමු. බුදුරජාණන් වහන්සේ 19 වර්ෂයක් වැඩ විසූ ජේතවනාරාම විහාර භූමියෙහි නටබුන් දැකීම හා උන්වහන්සේ වැඩහුන් ස්ථානයෙහි පිරිනිවන් මඤ්චකයේ සැතපෙන ආකාරයෙන් සාදා තිබෙන පිළිමවහන්සේ සහ එහි ශ්‍රී පාදය අසළ කඳුළු පිසදමමින් සිටින සේ තනා තිබෙන ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ සිටිපිළිමයද දැකීම සිත් කම්පා කරවන්නකි. තවද බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ප්‍රත්‍යය දායකයා වූ අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාමය ඇතුළු අනෙකුත් ආවාස ගෘහද, කොසම්බ කුටිය, ශාරිපුත්‍ර කුටිය, අංගුලිමාල කුටිය බුදුරදුන් සැතපී වදාළ ආසනය, උන්වහන්සේ පරිභෝග කළ අවුරුදු 2000 ක් පැරණි ආනන්ද බෝධිය හා චිංචිමානවිකාව ගිලුණු පොකුණ ද බලා ගතිමු.

22 වන දා

සැවැත් නුවර සිට පයින් සැතපුම් 12 ක් ගොස් නේපාලයෙහි පිහිටි ලුම්බිණියට පැමිණ විශ්‍රාම ශාලාවක නැවතුණෙමු. අධික ශීතල නිසා රාත්‍රී කාලය විශ්‍රාම ශාලාව තුළම ගතකොට පසුදින (23 වනදා) එදා ලුම්බිණි ශාල වනෝද්‍යානයෙහි සිද්ධාර්ථ කුමරුවන් උපන් ස්ථානය බැලීමු. දැනට මෙහි ස්ථානය දැනගැනීම පිණිස උස කුළුණක් බැඳ යකඩ වැටකින් වටකර තිබේ.

මේ ස්ථානාදිය බලා නැවතත් පයින් සැවැත් නුවරට පැමිණ 27 වන දින දක්වා එහි විශ්‍රාම ශාලාවේ නැවති සිටියෙමු. මේ අතර කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල්උයනෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කල ස්ථානය හා දොණ නම් බමුණා විසින් සර්වඥ ධාතු බෙදාදුන් ස්ථානය බැලීමට ගියෙමු.

27 වන දා -

රාත්‍රී සැවැත් නුවර සිට දුම්රියෙන් අවුත් පසුදින (28 වනදා) උදේ දුම්රිය පළකින් බැස අශ්ව කරත්ත වලින් ආග්‍රානුවර ලෝකප්‍රසිද්ධ ටජ්මහල් ප්‍රාසාදය බැලීමට ගියෙමු. මෙය මුස්ලිම් රජෙකු විසින් සිය බිසව සිහිපත්වීම පිණිස කෝටිගණන් වියදම් දරා අවුරුදු ගණනක් කාලය ගෙවා කිරිගරුඬ ගලින් නිමකරවන ලද විශාල ගොඩනැඟිල්ලකි. මෙය බලා සවස දිල්ලි නගරයට දුම්රියෙන් අවුත් බිර්ලා මන්දිරයෙහි නවැතැන් ගතිමු.

29 වන දා -

උදේ බිර්ලා මන්දිරය බැලීමු. මෙය බිර්ලා නමැති සිටුවරයෙකු විසින් සිය වියදමින් කරවා මහජනයා සඳහා පරිත්‍යාග කරන ලද්දකි. මේ සඳහා කෝටි ගණනක් වියදම් කළ බවද දැන ගතිමු. සියලු ජාතිකයන්ටම මෙහි නවාතැන් දීමට නියමකර තිබේ. හින්දු භක්තිකයන් සඳහා සෑම කාමරවල කෝවිල් තනා තිබේ.

මෙහි බුද්ධ විහාරයද වැඳගන දිල්ලි නගරයේ ප්‍රසිද්ධ කෞතුකාගාරයද බැලීමට ගියෙමු. මේ ගොඩනැගිල්ලද කෝටි ගණනක් වියදමින් නිමවන ලද්දක් බව පෙනේ. දින කීපයකින් වත් එහි තැන්පත් කරන ලද පැරණිදේ බලන්නට බැරිතරම්ය. එහිතුළ විශාල බුදු පිළිමයක් හා ධාතූන් වහන්සේ 4 නමක් ද වැඩ සිටිති. මේ මන්දිරයේ ආරක්‍ෂාව සඳහා තුවක්කු ගත මුරකරුවන් සිටිනවාද දුටුවෙමු. තවද මහාත්මා ගාන්ධි තුමාට උග්‍ර ජාතිවාදියෙකු විසින් වෙඩි තබන තැනද ඔහුගේ සොහොනද බලාගෙන රාත්‍රී දුම්රියෙන් සාංචියේ ධාතු නිධානෝත්සවයට සහභාගි වීමට ගියෙමු.

30 වන දා

උදේ සාංචි දුම්රියපළින් බැස සැතපුම් කාලක් පමණ දුර ගොස් භෝපාල ආණ්ඩුව විසින් තාවකාලිකව සාදා තිබුණු කූඩාරම්වල නවාතැන් ගතිමු. විශාල කැළෑවක්ව පැවති මේ ප්‍රදේශය සැරියුත් මුගලන් ධාතු නිධානෝත්සවය නිමිතිකොටගෙන භෝපාල ආණ්ඩුව විසින් නගරයක් බවට පමුණුවා තිබිණ. මෙය ඉන්දියාවේ අධිකව ශීත පවත්නා ප්‍රදේශයක් බැවින් වන්දනාකාරයන්ගේ ප්‍රයෝජනය පිණිස තැනින් තැන විශාල උණුවතුර කල්දේරම් ද, ඔවුන්ට නිදාගැනීමට ඇඳන් දහස් ගණනක් ද සපයා තිබිණි. මුස්ලිම් භක්තිකයෙකු වූ මහාරාජාකෙනෙකුන් යටතේ පවත්නා භෝපාල ආණ්ඩුව විසින් සාංචි විහාරය සෑදීමට ලොකුමුදලක් දීමෙන් හා මේ ධාතු නිධානෝත්සවය පිළිබඳ හැම කටයුතු ඉතා හොඳින් සංවිධානය කරවීමෙන්, බුද්ධාගමට සහ බෞද්ධ ලෝකයාට කරන ලද්දේ මහත් සැලකිල්ලකි. ගෞරවයකි. එහෙයින් මහාරාජ ප්‍රධාන හෝපාල ආණ්ඩුව බෞද්ධ ලෝකයාගේ කෘතඥතාවට හිමිවිය යුත්තේ ය.

සැරියුත් මුගලන් ධාතු නිධානෝත්සවය

30 වන දින දවල් 2 ට සාංචි දුම්රියපළේ සිට ධාතු පෙරහර පිටත් විය. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය තැන්පත් ජවහර්ලාල්නේරු තුමා දෑගසව් ධාතු කරඬුව හිසමත තබාගෙන පළමුව ගමන්ගති. ඊටපසුව මහා රාජාවරු 10 දෙදෙනකුන් පමණ ද මහා සංඝයාවහන්සේද ගමන් ගත්හ. ඊළඟට ගමන් කළේ අපේ වන්දනාකාර පිරිසය. අනතුරුව මහමුහුද ගොඩගමන් ගත්තාක් මෙන් මහ සෙනඟවිය. පොලිස් හමුදාවේ ආරක්‍ෂාව හා සංවිධානය ඇතිව පෙරහැර සාංචි විහාරස්ථානයට පැමිණිපසු මහා සභාවක් පැවැත්විණි. පළමුවෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකුන් විසින් පන්සිල් දෙනලදී. පන්සිල් සමාදන් වූයේ සිංහල වූ අපේ පිරිසේ අය පමණකි. අනෙක් ජාතිකයෝ ඔවුනොවුන් මුහුණු බලමින් පුදුමයෙන් මෙන් උන්හ. නේරුතුමා ප්‍රධාන අයගේ හා ස්වාමීන් වහන්සේලාගේ කථාවලින් පසු සභාව අවසන් වූවා ය. ඉක්බිති මහා රාජාවරුන් සමග නේරුතුමා මහා සංඝයා වහන්සේ ඉදිරිපිට දෑගසව් ධාතු කරඬුව, දාගැබක ආකාරයෙන් ගොඩනඟන ලද අලුත් විහාර මන්දිරයෙහි තැන්පත් කෙළේ ය. මහා රාජාවරුන් සහ ස්වාමීන් වහන්සේලා විහාර මන්දිරයෙන් පිටතට පැමිණි පසු පළමුවනු අපේ වන්දනාකාර පිරිසටද දෙවනුව අනෙක් ජාතිකයන්ටද ධාතුන් වහන්සේ දැක වැඳපුදා ගැනීමට ඉඩ සලස්වන ලදී.

සංචි විහාරයේ ඉතිහාසය - වීපවක්‍රවර්ත්තීවූ ධර්මාශෝක මහරජුට වේදිස නගරයෙහි දේවි නම් බිසොවක වූ බවත් ඒ බිසොවන්ගෙන් මහින්ද සංඝමිත්තා යන දෙදරු කෙනෙකුන් ලැබුණු බවත් ඉතිහාසයෙහි ප්‍රසිද්ධ දෙයකි. පසුව ධර්මාශෝක රජතුමා විසින් සිය පිය බිසොව උපන් වේදිස නගරයෙහි සැරියුත් මුගලන් ධාතුන් වහන්සේද නිදන් කොට මේ සාංචි ස්තුපය කරවන ලදී. පසු කාලයක ගරා වැටුණු සාංචි ස්තූ®පය සෑරූ ඉංගිී‍්‍රසි ජාතික පුරා විද්‍යාඞ්‍යක්‍ෂකයෙකුට සැරියුත් මුගලන් ධාතුන් ලැබී ඒවා බ්‍රිතාන්‍යයට ගෙනගොස් වික්ටෝරියා කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ඒ ධාතුන් වහන්සේලා මහාබෝධි සමාගමය බාරේ ඉන්දියාවට එවන ලදුව ඒවා පෙර තුබූ තන්හිම තැන්පත් කිරීමේ මහෝත්සවයයි යට සඳහන් කරන ලද්දේ. මේ සැරියුත් මුගලන් ධාතු නිධානොත්සවයට සහභාගිවීමට ලැබීමද අපේ වන්දාගමනේ් උසස් ප්‍රතිඵලයක් ලෙස සලකමු. එසේම බුද්ධ වර්ෂ 236 යේ පොසොන් පුරපසළොස්වක් දින මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස අපේ ලංකා ද්වීපයේ බුද්ධ ශාසනය පිහිටුවා දියුණු කිරීම පිණිස පැමිණියේද මේ වේදසගිරි විහාරයේ සිටය. ඒ ස්ථානය සියැසින් දකින්නට ලැබීමද භාග්‍යයකි. සාංචි ස්තුපය යනු වේදිසගිරි විහාරයේ වර්තමාන නාමය බවද සැලකිය යුතුයි.

දෙසැ. 1 වන දා -

සාංචි විහාරය අවට සිද්ධස්ථාන බැලීමට හා වන්දනාවටද අපේ කාලය ගතවිය. මෙහිදී රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ නිදන් කළ තැන් 13ක් ද, පැරණි සංඝාවාස 30 ක්ද, මෙහෙණින් වහන්සේලාගේ ආවාසද, ඉතා සියුම් ගල් කැටයම් ද පැරණි වටිනා දේ රැස්කර තිබෙන කෞතුකාගාරයද බැලීමු. තවද ධර්මාශෝක රජතුමා විසින් කරවන ලද ගල්ලෙන් විහාරද දක්නට ලැබිණි. එහි සිද්ධාර්ථ කුමාරොත්පත්තිය ආදී බුද්ධ චරිතයේ බොහෝ සිදුවීම් ද ගලින්ම නෙළා තිබේ.

2 වන දා -

රාත්‍රී දුම්රියේ ගමන් කොට පසුදින (3 වනදා) දුම්රියපළකින් බැස බස්රියෙන් සැතපුම් 30 ගණනක් ගොස් අජනතාවට පැමිණියෙමු. ලෝක ප්‍රසිද්ධ අජන්තා චිත්‍ර තිබෙන්නේ මෙහිය. ධර්මාශෝක රජ තුමා විසින් කරවන ලද මෙය ගල්ලෙන් විහාර 24 කින් යුක්තය. කාලය මද බැවින් අපට බලාගත හැකිවූයේ විහාර 16 කි.

අජන්තා විහාර විස්තර

මෙහි විහාර කාමර සියල්ලම උස අඩි 34 ක් පමණ ද පළල අඩි 16 ක් පමණද වෙයි. අංශවල භික්ෂූන් වහන්සේගේ් වාසය පිණිස කාමරද බොහෝ ගුණනකි. හැම විහාර ගෙයක් තුළම බුද්ධ පර්යංකයෙන් වැඩසිටින බුදු පිළිමය බැගින් තිබේ. විහාර ගෙවල් ඇතුලේම වතුර ගැනීමට ළිං සාදා ඇත. ඉතා සිනිඳු ඔපමට්ටමින් යුතු අඩි 2 ක් උස ඇති භික්ෂූන් වහන්සේලාගේ් සැතපෙන ආසනද වෙයි. බිත්ති වල දැනට ලංකාවේ අලුත් විහාරවල තිබෙන විදියටම දේවරූප වෙස්සන්තරාදී ජාතක කථාද ධම්මචක්ක දේශනා විලාසයද නෙලා තිබේ. මෙහි ඇති දෙමහල් ගල්ලෙන් නිර්මාණය පුදුම එලවන සුළුය. මෙහි සොල්දර තට්ටුව එය උසුලන කුණු එයට නගින තරප්පුව යන මේ සියල්ලම තනි ගල හාරා කොටා තිබේ. කණුවල ඉතා සියුම් කැටයම් දක්වා ලැබේ. කණුවල ඉතා සියුම් කැටයම් දක්නා ලැබේ. ගලින් නිම වූ වහලේ පරාල හා රිප්පත් බේරා කොටා තිබීම එදා ශිලා ශිල්පීන්ගේ දක්ෂකම මැනවින් පැහැදිලි වන්නකි. මේ විහාරයන්හි උඩ සහ බිත්තිවල ඒ කාලයේ අඳීන ලද චිත්‍රයන්හි සායම තවමත් හොඳින් පවතී.

බලවත් ශ්‍රද්ධාවකින් යුක්තව මහත් වියදමක් දරා දක්ෂ ශිල්පීන් ලවා දුටුවන් මනනෙත් තුටුකරවන පරිද්දෙන් කරවා තිබෙන මේ විහාර ගෘහයන් හි බුදු පිළිමවල අත් පා නාස් ආදිය කඩාබිඳ දැමීමෙන් ආගමික වස්තුවක හෝ කලා වස්තුවක වටිනාකම නොදත් දුෂ්ටයන් විසින් කර තිබෙන විනාශය පමණක් සිත් කම්පාකරවන සුළුය.

3 වන දා -

අජන්තාවේ සිට බස් රියෙන් සැතපුම් 40 ක් මඟ ගෙවා ඇල්ලෝරාවට පැමිණියෙමු. මේ ප්‍රදේශය ලංකාවේ මහනුවර පළාත මෙන් කඳු සහිතය. මෙහි තිබෙන්නේත් අජන්තාවෙහි මෙන් ගල්ලෙන් විහාරය. ඒවා ගණනින් 14 කි. මෙයද ධර්මාශෝක රජතුමා විසින් කරවන ලද්දකැයි කියති. තෙමහල් ගල්ලෙන් විහාර කරවා තිබීම පමණක් අජන්තාවට වඩා ඇල්ලෝරාවෙහි ඇති ප්‍රධාන වෙනසයයි සැලකිය යුතුය. එහෙයින් පළමුවෙන් ඈතට පෙනුණේ තට්ටු තුනේ ගෙවල් පේලියක් මෙනි. මෙහි එක එක විහාර කාමරයේ බුදු පිළිමය බැගින් තිබේ. ඒ බුදු පිළිමද ධර්ම දේශනා කරන ලීලාව පුටුවක වැඩහිඳින සැටිය. සිවුරු එකාංශකොට පෙරවාගෙන සිටින අකාරය යනාදී විවිධාකාරවලින් නෙළා තිබේ. සුසිවි විවරණය ධම්මචක්ක දේශනාව හා දේව රූප මෙහිත් ගලින්ම නිමකර \;බ්. භික්ෂූන් වහන්සේලා 500 කට එකවර වැඩ හිඳ දන් වැළඳීමට ප්‍රමාණවත් විශාල ශාලාවක්ද ඉගෙනීමට අඟල් 6 ක් උසැති බංකු පේලිද කොටා තිබේ. අජන්තාවෙහි මෙන් මෙහිද තනි ගලේ දිගටම තැනින් තැන තෙමහල් විහාරද, එහි සොල්දර තට්ටුවද තරප්පු පේලිද උඩවහලේ පරාල හා රිප්පද ගල සැරීමෙන් පෙන්වා කොටා තිබේ. මේ විස්තර තොරතුරු බලාගෙන අපි රාති‍්‍ර දුම්රියෙන් බොම්බාය බලා පිටත්වීමු.

4 වන දා -

ඇල්ලෝරාවේ සිට සැතපුම් 800 ක් පසුකර ගෙන දුම්රියෙන් බොම්බා මහා නගරයට පැමිණ එහි මහා බෝධි විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන බහුජන විහාරයද බලා වැඳපුදා ගතිමු.

ලංකාවට පැමිණීම

අපේ වන්දනාකාර පිරිස මදුරාසියේ සිට අහස් යාත්‍රාවෙන් කොළඹට පැමිණීමට නියම කරගත් බැවින් කලින් දැන් වූ පරිදි අහස් යාත්‍රා පිළිබඳ කන්තෝරුවෙන් 9 වන දින උදේ 8 ට වෑන් රියක් ධර්මපාල මන්දිරයට පැමිණ අප එහි ගෙන ගියේය. එහිදී අප හැම දෙනෙකුන්ම කිරා බලා සටහන් කොට අපේ බඩුබාහිරිදායද කිරි ලේපල් අලවා බාරගන්නා ලදී. ඉක්බිති එතැන් සිට සැතපුම් 8 ක් දුර වූ ගුවන් තොටුපළට ගෙන ගිය පසු දවල් 11.30 ට අහස් යාත්‍රාවට නැග හිඳ ගතිමු. හරියට දවල් 12 ට අහස් යාත්‍රාව ගුවන් තොටුපලින් පිටත් විය. එවිට සියලුම ගෙවල් හා ගස් ආදිය යට බහින්නාක් මෙන් පෙනිණි. වහාම අහස් යාත්‍රා සේවිකාව අපවෙත පැමිණ ටොපි නම් රස කෑම හා තේ ගෙනවුත් දී ඊට පැය කාලයක පසු කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරන ලද දවල් ආහාරය ගෙනවුත් දුන්නාය. දවල් 1 ට යාපනයට පැමිණි අහස් යාත්‍රාවෙන් බැසගත් අපේ පිරිසට ගුවන් නැවතුම්හලට යාමට නියම විය. එහිදී දොස්තර මහතෙක් පැමිණ අප පරීක්ෂා කෙළේය. ඉන්පසු ඉන්දියා මුදල් ලංකා මුදල්වලට මාරුකර ගන්නා ලදී. එතැනින් දවල් 1.30 ට පිටත් වූ අපේ අහස් යාත්‍රාව දවල් 2 ට රත්මලානේ ගගන යාත්‍රාඞගනයට පැමිණියෙන් අපේ වන්දනාගමනේ් අවසානය නිදුකින් හා සන්තෝෂයෙන් බැලිය හැකි විය. වන්දනාකාර පිරිසේ ඔවුනොවුන්ගෙන් සමුගත් මම මා පිළිගැනීමට එතැනට පැමිණ සිටි නෑදෑ පිිරිසත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ සියඹලාගොඩ නම් මා උපන් ගමට පැමිණියෙමි. මෙතෙක් අප වන්දනාව සඳහා සංචාරය කළ දුර ප්‍රමාණය සැතපුම් 6000 ක් පමණ වෙයි.

නිවාසස්ථානයට පැමිණීම

මා උපන් ගමේ නෑදෑ මිත්‍රයන් මැද සන්තෝෂයෙන් හා වන්දනා ගමනේ තොරතුරු කියමින් දින කීපයක් ගත කළ මම 14 වන දින දුම්රියෙන් පේරාදෙණියට පැමිණ මා දායකත්වයෙන් බැ¼ඳී කි‍්‍රයාකරන පේරාදෙණිය කුසුමචේතියාරාම ශ්‍රීභාරති පිරිවෙන් විහාරස්ථානයෙදී ඒ පිරිවෙන් විහාරාධිපති ගරු පණ්ඩිත වටිනාපහ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ලවා රාත්‍රි ධර්ම දේශනාවක් පවත්වා චීවරයක් සහ විශුද්ධි මාර්ගය නැමැති ධර්ම පුස්තකයද ධර්ම පූජා වශයෙන් පුදකොට අවසන්හි එහි රැස්ව සිටි පිරිස සහිත සදෙවක ලෝකයාටද මාගේ පරලෝ සැපත් දෙමවුපියන් ප්‍රධාන ඥාති වර්ගයාටද මා විසින් මේ වන්දනා ගමනින් දාන ශීල භාවනාදී වශයෙන් රැස්කර ගත් පුණ්‍ය සම්භාරය සතුටු සිතින් පමුණුවන ලදී. මෙසේ මාසයකුත් දින අටකින් පරිමිත වූ මගේ දඹදිව වන්දනා ගමන නිදුක් නිරෝගිව අවසන් කර ගැනීමෙන් බොහෝ කලක් මාතුළ පැවති ප්‍රාර්ථනාවක සමෘද්ධියෙන් ප්‍රමුදිතව 15 වන දින මාගේ නිවාසස්ථානය වූ මහනුවර දිස්තිරික්කයේ ගලහට පැමිණියෙමි.