Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සහජීවනයට මඟ පෙන්වන ‘චූල ගෝසිංහ සූත්‍රය’


 පුද්ගලයා සහ සමාජය අතර සහජීවනය ගොඩ නඟා ගන්නේ කෙසේ ද? යන්න හා එය පුද්ගල සහ සමාජ සංවර්ධනය සඳහා භාවිත කරන්නේ කෙසේ ද? යන්න චූල ගෝසිංහ සූත්‍රයෙන් විස්තර වේ. විශේෂයෙන් ම නූතන ලෝකයේ බහුලව යොදා ගන්නා කණ්ඩායම් වැඩ යන සංකල්පය තුළ අන්තර්ගත න්‍යායාත්මක හා ප්‍රායෝගික අදහස් රැසක්ම මෙම චූල ගෝසිංහ සූත්‍රයේ ඇතුළත්ව ඇති අයුරු පෙන්වාදීමට පුළුවන.

සෑම සමාජයක්ම නිර්මාණය වීමේ දී පුද්ගලයාට හිමි වන්නේ ඉතා ඉහළ අගයකි. එසේ වූවත් සමාජ විද්‍යාඥයන් අර්ථ දක්වන ආකාරයට පුද්ගලයන් සිටිය පමණින් සමාජයක් බිහි නොවේ. ඒ සඳහා පුද්ගලයා ක්‍රියා සහ අන්තර් ක්‍රියා පැවැත්විය යුතු වේ. මෙම ක්‍රියා සහ අන්තර් ක්‍රියා පැවැත්වීමේ දී පුද්ගලයා හා අන්‍යයන් අතර ගොඩ නැගෙන සබඳතාව තුළින් සමාජයක අඛණ්ඩ පැවැත්ම තහවුරු වේ.

ඔවුන් අතර ගොඩනැගෙන සම්බන්ධය යහපත් නම් එකී සමාජයේ සමාජ අනුකලනය ශක්තිමත් වේ. සමාජ ප්‍රගමනය වඩා හොඳින් සිදු වේ. නමුත් සමාජ සම්බන්ධය ගැටුම් සහිත නම් එකී සමාජයේ සමාජ ඒකාබද්ධතා බිඳ වැටේ. මේ නිසා යහපත් සමාජ පැවැත්මකට පුද්ගල සහජීවනය එසේ නැතිනම් එකිනෙකා අතර පවත්නා යහපත් ජීවන පැවැත්ම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

සහජීවනයෙන් යුතු පුද්ගලයන් හා සමාජයක් නිර්මාණය කර ගැනීමට මඟ පෙන්වන වටිනා සූත්‍ර ධර්මයක් ලෙස මජ්ඣිම නිකායේ මහා යමක වග්ගයේ “චූල ගෝසිංහ සූත්‍රය” හඳුන්වා දිය හැකි ය. අනුරුද්ධ, නන්දිය හා කිම්බිල යන භික්‍ෂූන් වහන්සේලා තමන් සහජීවනයෙන් යුතුව තම පැවිදි දිවිය ගත කරන ආකාරය පිළිබඳව බුදුන් වහන්සේට හෙළිදරව් කරන විස්තරයක් මෙම සූත්‍රයෙහි අන්තර්ගත වී තිබේ.

පුද්ගලයා අතර සහජීවනය ගොඩ නඟා ගන්නේ කෙසේද? යන්න හා එය පුද්ගල සහ සමාජ සංවර්ධනය සඳහා භාවිත කරන්නේ කෙසේද? යන්න මෙම සූත්‍රයෙන් විස්තර වේ. විශේෂයෙන් ම නූතන ලෝකයේ බහුලව යොදා ගන්නා කණ්ඩායම් වැඩ යන සංකල්පය තුළ අන්තර්ගත න්‍යායාත්මක හා ප්‍රායෝගික අදහස් රැසක්ම මෙම චූල ගෝසිංහ සූත්‍රයේ ඇතුළත්ව ඇති අයුරු පෙන්වාදීමට පුළුවන. මූලිකවම පුද්ගලයන්අතර සහජීවනය ඇති කර ගැනීමට අවශ්‍යවන පොදු කාරණා කීපයක් සූත්‍රය ඇසුරෙන් හැඳින ගත හැකි ය. ඒවා නම්

01. සමගිව කටයුතු කිරීම (සමග්ගා)
02. සතුටුව කටයුතු කිරීම (සම්මෝදමානා)
03. විවාද රහිතව කටයුතු කිරීම (අවිවාදමානා)
04. වෙන් නොවී කටයුතු කිරීම (ඛීටරෝදකී භූතා)
05. පි‍්‍රය ශීලීව කටයුතු කිරීම (අඤ්ඤ මඤ්ඤං පිය චක්ඛු සම්පස්සන්තා)

යන කරුණුයි.

කවරම හෝ සමාජයක පුද්ගලයන් අතර සහජීවනය ගොඩ නඟා ගැනීමට සමගි බව අතිශය වැදගත් වේ. පුද්ගලයන් සමගි සම්පන්නව සිටිනතාක් ඔවුන් තුළ යහපත් ජීවන පැවැත්මක් ඇති කර ගත හැකි ය. සමගිය බිඳ වැටීම ගැටුමේ ආරම්භයයි. එය සහජීවනය විනාශ කර දමයි.

ඒ වගේම සහජීවනය ඇති කිරීමට බලපාන තවත් කාරණයකි. පුද්ගලයන් අතර පවතින සබඳතා සතුටු සිතින් යුතුව පවත්වා ගැනීම තුළින් එකිනෙකා අතර උද්යෝගය වැඩිදියුණු වේ. ප්‍රසන්න බව ඇතිවේ.

පුද්ගල සහජීවනය බිඳ වැටීමට මුල්වන කරුණක් සේ වාද විවාද ඇතිවීම පෙන්වාදිය හැකි ය. වර්තමානයේ බොහෝ අය කිසිදු හරයක් නොමැති කාරණා පිළිබඳ නිමක් නැති වාද විවාද කරමින් කාලය ගත කරන අයුරු බහුලව දැක ගත හැක. එහිදී ඔවුන් තමන්ගේ වටිනා කාලය විනාශ කර ගැනීමත්, එකිනෙකා අතර පවතින සහජීවනයට බාධා පමුණුවා ගැනීමත් සිදු කර ගනියි. නමුත් චූලගෝසිංහ සූත්‍රය අපට කියා දෙන්නේ විවාද රහිත බව අප අතර යහපත් ජීවන පැවැත්මක් ඇති කරන බවයි. එය පුද්ගලයාට හා සමාජයට යන දෙඅංශයට ම වැඩ දායක වන බවයි.

එසේම බෙදී වෙන් නොවී එකට එක්ව කටයුතු කිරිම ද සහජීවනයේ ප්‍රමුඛ ලක්‍ෂණයකි. පුද්ගලයන් අතර විවිධ බෙදීම් නිර්මාණය වූ විට පොදු එක් අරමුණක් කරා සාර්ථකව ළගා විය නොහැක. ඒ නිසා එකට එක්වීම, එක්ව කටයුතු කිරීම පුද්ගල පැවැත්ම හා සමාජ පැවැත්ම තහවුරු කරනු ලබයි. එමෙන් එකිනෙකා පි‍්‍රයශීලීව ඉතාම ප්‍රසන්නව පි‍්‍රය වූ ඇසින් යුක්තව සබඳතා පැවැත් වීම ද සහජීවනය සඳහා හේතු වේ. එහිදී සෑම දෙනාම එකිනෙකා දැකීමට පි‍්‍රය කරයි. එවිට සිදු කරන කාර්යය පවා උනන්දු ජනකව පි‍්‍රය උපදවන ලෙස කිරීමට හැකියාවක් ඇතිවේ.

සමාජය තුළ සහජීවනය ගොඩ නැංවීමේ දී එක් එක් පුද්ගලයා තුළ ඇති පුද්ගල ආකල්ප ද බලපානු ලබයි. මේ නිසා සහජීවනය සඳහා පුද්ගල ආකල්ප සකසා ගත යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් චූල ගෝසිංහ සූත්‍රයෙහි කරුණු දැක්වේ. එහිදී මතු කරගත හැකි කාරණා කිහිපයක් වේ. එනම්,

01. තමා සබඳතා පවත්වන පිරිස තමාට ලාභයක් සේ සිතීම (ලාභා වතමෙ)

මෙහිදී සෑම පුද්ගලයෙක්ම තමාට වටිනා බව, ප්‍රයෝජනවත් බව එක් එක් පුද්ගලයා සිතයි. එවිට සෑම දෙනා කෙරෙහි ම එක්වන් සිතින් කටයුතු කිරීමට හැකි මානසික මට්ටමක් ඔවුන් තුළ නිර්මාණය වේ. එය සහජීවනය සඳහා හොඳ පදනමක් ඇති කරයි. ඒ වගේම එක් එක් පුද්ගලයා අනෙක් පුද්ගලයාට කරදරකාරයෙකු පීඩා ගෙන දෙන්නෙකු බවට පත් නොවේ. හැම දෙනාටම හැම දෙනාම වටිනා සම්පතක් සේ සිතයි. එවිට තමා අවට සිටින්නන් ලාභයක් සේ තමාට දැනෙයි.

02. තමන් සමග කටයුතු කරන සාමාජිකයන් ඇති තැනක් නැති තැනත් (හමුවෙහි /නොහමුවෙහි) ඔවුන් පිළිබඳ මෛත්‍රියෙන් ක්‍රියා කිරීම, (මෙතතං කාය කමමං)

මෛත්‍රියෙන් කතා කිරීම (මෙතතං වචී කමමං)
මෛත්‍රියෙන් සිතීම. (මෙතතං මනෝ කම්මං)

මෙහිදී සුවිශේෂී අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ සබඳතා පවත්වන පුද්ගලයන් හමුවෙහි හා නොහමුවෙහි ඔවුන් පිළිබඳ මෙත් සිතින් ක්‍රියා කිරීම, කථා කිරීම පමණක් නොව සිතින් සිතීම ද, මෛත්‍රියෙන් යුක්තව සිදු කිරීමයි. සමාජයේ ජීවත් වන බොහෝ අය පුද්ගලයා ඇති තැන හොඳින් කටයුතු කරන අතර නැති තැන ඊට පටහැනිව ක්‍රියා කරයි.

කෙනකු සම්දන්ධව කතා කිරීමේ දී ද ඇති තැන එක් ආකාරයකිනුත් නැතිතැන තවත් ආකාරයකිනුත් කථා කරයි.

නමුත් එසේ ආකාර දෙකකට ක්‍රියා කිරීම පුද්ගලයන් අතර පවතින යහ පැවැත්මට බාධා ගෙන දේ. මේ නිසා මනා සහජීවනයක් ගොඩ නඟා ගැනීමට නම් එක් එක් පුද්ගලයා පිළිබඳ ක්‍රියා කිරීම, කතා කිරීම පමණක් නොව සිතින් සිතීමත් මෙත් සහගතව කළ යුතු වේ. පවත්වන සබඳතා ආධ්‍යාත්මික බැඳීමකින් යුතුව සිදු කළ යුතු වේ.

03. පොදු ආකල්පයකින් ක්‍රියා කිරීම

එක් එක් පුද්ගලයාගේ ආකල්ප වලින් බැහැරව පොදු ආල්පයකින් කටයුතු කිරීම සහජීවනය ඇති කරලීමට මං සලසයි. එසේ නොමැතිව එක් එක් පුද්ගයාගේ ආකල්පය අනුව යම් කටයුත්තක් සිදු කරන්නට ගිය විට විවිධකාරයේ අපහසුතාවලට විවිධ බාධා කිරීම් වලට යටත් වීමට සිදුවනු ඇත. එමෙන්ම පුද්ගලයන් අතර ඇති යහපැවැත්ම බිඳ වැටීමට ඉඩකඩ නිර්මාණය වනු ඇත. ඒ නිසා පොදු ආකල්පයකින් ක්‍රියා කිරීම දිගු කාලීනව යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ලබයි.

04. සිතින් එක්වන්ව ක්‍රියා කිරීම

පුද්ගලයන් ලෙස ශාරීරිකව විවිධතා දැකගත හැකි වූවත් සෑම දෙනකුම එක්වන් සිතින් සිතීම පුද්ගල හා සමාජ සහජීවනය ඇති කරයි.පුද්ගලයා තුළ ඇති මානසික බැඳීම ඉන් ශක්තිමත් කරයි..ඒ නිසා අප සෑම දෙනාම එක් සිතින් ක්‍රියා කළ යුතුය යන ආකල්පය සෑම පුද්ගලයකුම ඇති කර ගත යුතු ය. එය සහජීවනයේ පදනම වඩාත් ස්ථාවර කිරීමට මඟ පාදනු ලබයි.

චූලගෝසිංහ සූත්‍රයෙහි අනුරුද්ධ හිමියන් පිඬු සිඟා වැඩීම, දාන ශාලාව පවිත්‍ර කිරීම, ජලය සැපයීම ආදි වතාවත් පිළිබඳව කරන පැහැදිලි කිරීම් ආශි‍්‍රතව එහිදී හඳුනාගත හැකි කරුණු කීපයක් වේ. එනම්,

01. තමාට පැවරී ඇති කාර්යය භාරය මැනවින් වටහාගෙන එය සිදු කිරීම.
02. පරිහරණය කරන භෞතික සම්පත් නිසි ලෙස ස්ථාන ගත කිරීම.
03. අන් අය කාර්යය ඉටු කරන තෙක් බලා නොසිටීම.
04. තම කාර්යය භාරය ඉටු කිරීමෙන් පසු වුවද අන් අයගේ කටයුතු වලට සහයෝගය දීම.
ඒ සඳහා වාද නොකිරීම.

පුද්ගල සහජීවනය ඇති කර ගැනීමේ දී තමාට නියමිත කොටස පමණක් කිරීම හෝ තමාගේ වැඩ අන්අයට පැවරීම හෝ ඉටු කිරීමට ඇති කටයුතු සම්බන්ධව වාද කිරීම හෝ ඉටු කිරීමට ඇති කටයුතු සම්බන්ධව වාද කිරීම හෝ අර්ථ විරහිතය. සෑම දෙනාම එකට එක්ව එකාවන්ව සියලු කටයුතු ඉටු කිරීම කළ යුතු වේ. හැම විටම අනුන්ට ඇගිල්ල දිගු කිරීමට සූදානම් වූ විට එකිනෙකා අතර කිසිදු සහජීවනයක් ගොඩනඟා ගත නොහැකි ය. ඒ නිසා වඩා හොඳ සහජීවනයක් ඇති කර ගැනීම සඳහා තම කාර්යයභාරය නිසි පරිදි, නිසි වේලාවට ඉටු කළ යුතු වේ.

එසේම සහජීවනය ඇති කර ගැනීමේ දී වැදගත් වන තවත් සංකල්පයක් අනුරුද්ධ හිමියන් බුදුන් වහන්සේට පැහැදිලි කරනු ලබයි. එනම් පස් දිනකට වරක් සියලු දෙනාම එකට එක් වී කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත්වීමයි. මෙය පුද්ගල හා සමාජ සහජීවනය සඳහා අතිශය වැදගත් වන කරුණකි. තම කණ්ඩායම තුළ කළ නොකළ දේ, හරි වැරදි දේ හා ඉදිරියෙහි සිදු කළ යුතු දේවල් පිළිබඳ නිවැරැදි සම්මුතියකට පැමිණීම එම කණ්ඩායමේ ඉදිරි පැවැත්ම ශක්තිමත් කිරීමට හේතු වේ. එය පුද්ගල මෙන්ම සමාජයීය ලෙස වඩාත් වැදගත් වේ. එයින් හොඳ එකමුතු බවක් කණ්ඩායම තුළ නිර්මාණය වේ. සූත්‍ර අවසානයෙහි පුද්ගලයා තුළ ගොඩ නැගෙන සහජීවනය පවුල් ඒකකය තුළ මෙන්ම ගම නගරය හා රට තුළද ගොඩනැගෙන බව සඳහන් වේ. ඒ අනුව සහජීවනයෙන් යුතු යහපත් සමාජ පද්ධතියක් බිහි කිරීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීමක් මෙම චූල ගෝසිංහ සූත්‍රය මගින් ලබා දෙන බව සඳහන් කළ හැකි ය. එම නිසා පෙර කී කරුණු පිළිබඳව වඩාත් හොඳින් අවධානය යොමු කර සමගිව, සතුටුව, විවාද රහිතව, වෙන් නොවී පි‍්‍රය ඇසින්, තමා සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් මහත් ලාභයක් ලෙස සිතමින්, ඔවුන් හමුවෙහිත් නොහමුවෙහිත් ඔවුන් පිළිබඳ මෙත් සිතින් සිතමින් ක්‍රියා කරමින්, කථා කරමින් තමන්ට නියමිත කාර්යයන් පිළිබඳ වාද නොකරමින් හා ඒවා නිසි ලෙස ඉටු කිරීමෙන් සහජීවනයෙන් යුතු ඵලදායී සමාජයක් බිහි කිරීමට සෑම දෙනාම අදිටන් කර ගත යුතු ය. ඒ සඳහා සෑම දෙනාම ක්‍රියා කළ යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.