Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම අවුරුදු මංගල්‍ය පෙරහර 14 දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රී පැවැත්වේ. උඩරට පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් ද අලි ඇතුන්ගෙන් යුතුව පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් ඉතා අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

එදින රාත්‍රී සුභ නැකැත් අනුව කතරගම මහාදේවාලයෙන් පිටත්වන දේව පෙරහර ගණදේවාලය, කිරිවිහාරය ඉදිරිපසින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්‍ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහා වීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපසින් පෙරහර ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසුව පෙරහර යළිත් මහා වීදියේම ගමන්කර මහා දේවාලයට ගෙවදීම සිදුකෙරේ. පෙරහර ගමන් කරන වීදි බෞද්ධ කොඩිවලින් සරසා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කෙරේ.

පෙරහර සමයේ පුදබිමට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.