Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඈත ගිරි හිසින් අබිසෙස් ලද දිනිඳු සිය රශ්මිධාරා වලින් වලා පටල සිත්තම් කරයි. කෙමියෙන් මිදුනු මල් පෙත්තක දැවැටුණ මුතු පිනි කඳුළු රිවි රැසින් මන්දාස්මිතව දිළෙයි. මකරන්දයෙන් ඔකඳ වුණු, සිහිල් පවන් රොදක් සිත් සතන් ගිම් නිවාලන ඔසුවක් වැනි ය. තණ පත් අග පින්න බිඳිමින් මේ දියණිය පියමනින්නේ මහා භූත සිටුවරයකුගේ කෙත්යායට එන විලෝපිතයන් (කුරුල්ලන්) එළවා දැමීමටයි. හාත්පස සිසාරා කිරිවැදි බිමට බර වූ ගොයම් කරල් ය. කරදරකාරී කුරුල්ලන් පලවා හැරීම දුෂ්කරය.

පවන් රළක් හා පෙමින් බැඳුණු ඇල් ගොයම ඈ දෙනෙත් පෙති සිහිලසකින් පිරිමදියි.රන් කරලින් ගැවසී ගත් සරුසාර වෙල්යාය සිසාරා ඒ මේ අත දුවමින් කුඩා දියණිය කුරුල්ලන් පළවා දැමීමට වහා පියවර ගත්තාය. රැයක් කුසගින්නේ සිටි කුරුල්ලන් තම බඩපුරවා ගැනීම සඳහා යුද්ධයකට සැරසුනාක් මෙන් කලබලකාරී ලෙස කඩා පනියි.

දිනයේ හෝරා කිහිපයක් ගෙවී ගිය බව වත් ඇයට මතක නැත. කෙත කාගේ වුවත් ඇයට කම් නැත. රන් කරලින් බර වූ කුඹුරු යාය නිසා ඇය පී‍්‍රතියෙන්, චමත්කාරයෙන් කුල්මත් වී සිටී. ඊෂ්‍යාවක්, තරහක්, වෛරයක් නැත.

දඩ පැල පිහිටා ඇත්තේ වෙල් යාය මධ්‍යස්ථානයකය. හිරු දැන් මධ්‍ය ලක්‍ෂය පසුකර ඇත. හිරු අවරට බරවී ඇත. දැන් දැන් ඇයට බඩගින්න සියලු ගින්නට වඩා මහමෙරක් ලෙසට විශාලයි. ඒ සඳහා වෙනදා සිටු ගෙදරින් ලැබෙන ඉඳුල් බත ද තවම කිසිවකුත් ගෙනාවේ නැත. දඩ පැලේ කලින් ගෙනෙන ලද භාජන ඇත. ඇය තීරණයක් ගත්තා ය. මේ මහා කෙත්යායකි. මෙයින් වී කරල් පහක් හයක් කඩා ගත්තාට හානියක් නොවේ. ඒ නිසා වී කරල් ටිකක් කඩා ගෙන පොරි බවට පත්කර කෑමට පුළුවන.

එහෙත් ඇය වෙල්යායේ ඈත ඉසව්ව වෙත ගොස් වැඩියෙන්ම කුරුල්ලන් හානි කරන තැනකට ගියේ තවත් සිදුවිය හැකි හානිය අවම වීමට අවකාශය සලසා ගැනීමටය. එසේ අවසානයෙන්ම කඩාගත් වී කරල් පහක්, හයක් ගෙනා ඇය දඩ පැලේ තිබූ කබලක දමා බැදගෙන පොරි බවට පත් කර ගත්තා ය.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයට එක කරුණකින් දෙකකින් පමණක් දෙවැනි වන ධූතාංගධාරීන් අතරින් අග්‍ර කෙලෙස් ධූතගධාර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සතියක් සමාධි සුවයෙන් වැඩ සිට එදින උදේ ඉන් මිදෙන දවසයි. දින හතක් විමුක්ති රසය අනුභව කරමින් සිටි උන් වහන්සේ එදින කබලිකහාරය සඳහා දනක් ලැබිය යුතු ය. මෙය මහා පින් ලැබෙන අවස්ථාවකි. දායකයාට මහා කරුණා සමවතට සම වැදුණු, කාශ්‍යප මහරහතන් වහන්සේ තමාගේ පිහිට සැලසිය යුත්තේ කවරකුට දැයි බලන්නේ මේ දියණිය වාසනා ගුණය ඇතිමුත් එදිනම මරණයට පත්වන බව දැක ඇයට සෙත සැලසීමේ අරමුණින් පාසිවුරු ගෙන පූලිත ලෙනින් නික්ම ලාජා දියණිය සිටින කෙත්යායට අභිමුඛව නියර මතින් පියවර මනින්න විය.

“ලාජා දියණිය” තමා සූදානම් කරගත් පොරි ඈත වෙල් එළිය දෙස බලාගෙන අනුභව කරන්නට සූදානම් වෙනවාත් සමගම ඈතින් දර්ශනය වුණු රන්වන් සිවුර නෙත ගැටිණි. ශාන්තය, සන්සුන්ය. ප්‍රසන්නය. මහා සතුටකි. ශාන්තව තමා සිටින ඉසව්වට වඩින ශ්‍රමණයෙකි. පී‍්‍රතියක්, සතුටක්, සොම්නසක් ඇතිවිය. කිසිවකුත් නැති මේ පාලු කෙත්යායේ මිනිස් රූපයක් දැකීමත් ඇයට සතුටකි. ඇය බොහෝම සතුටින් තමා සකසා ගත් පොරි ටික මහරහතන් වහන්සේට පූජා කළා ය. මහ රහතන් වහන්සේ පුලින ලෙන වෙත ආපසු වැඩියේය. ඈතින් ඈතට වඩින ශ්‍රමණ රූපය නෙත් දල්වා බලා සිටි ඇය නැවත කුඹුරේ අවසාන මායිමට ගොස් වී කරල් කඩා ගෙන එන අතරමඟදී නාගයෙකු දෂ්ට කළා ය. සිහිමුර්ජා විය. පේනමායිමක කිසිවකු සිටියේ නැත. උෂ්ණත්වය ආයුෂ, විඤ්ඤාණය පහවිය. තවත් භවයක මිඳීම හෙවත් මරණය සිදුවිය.

සත්වයා ඉපිද මැරෙයි. යළි ඉපදෙයි. සසරේ තතු එලෙසය. ඇගේ අවසාන චුති චින්තය ප්‍රභාස්වරය.

මහරහතන් වහන්සේට පොරි පූජා කිරීමට ලැබීම නිසා ඇය සිටියේ සතුටින් ය. නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව නැවත භවය ඇතිවීමට වාසනාව තිබිණ. හිතේ කසල නැති නිසා භවාන්තයෙන් වැසී නැත. පෙර භවය දැකීමේ ඥානය පහළ වූවා ය.

තමා දෙව්ලොව ඉපදීමට හේතුව පෙර මනුෂ්‍ය දියණියක්ව සිටි කල දුප්පත් දියණියක් වූවා ය. කාශ්‍යප මහරහතන් වහන්සේට පොරි පූජා කිරීමෙන් මෙම තත්ත්වයට පත් වූ බව දැන නැවත නැවත පින් රැස්කර ගැනීමේ අභිලාෂය ඇතිවිය. මනුෂ්‍ය දියණිය වෙස් ගෙන පුලින ලෙන වෙත පැමිණියා ය. කාශ්‍යප හිමියෝ සමාධි සුවයෙන් වැඩ සිටිනසේක.

කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටින ලෙන අවට මළුව පවිත්‍ර කර පැන් පෙරා තබා මල් නෙළා තබා ඇය යන්නට පුරුදු වූවා ය. දින ගෙවී ගියේ ය. කිසිවකු තමා සිටින ලෙනට පැමිණ වතාවත් කරන නමුත් කිසි දිනක කතා කර නැතිවම යන බවත් පෙනෙන්නට විය.

මෙනිසා මේ පිළිබඳ සෙවීමට ඉටා ගත් කාශ්‍යප හිමියෝ දිනක් විපරම් කර බැලීය.

පුදුමයකි! තරුණ කාත්තාවක් හිමිදිරියේම පැමිණ මේ සියලු වතාවත් කර යන්නට සැරසෙයි. උන්වහන්සේ ඇය ආමන්ත්‍රණය කළේ ය. නැගණිය ඔබ මෙහි පැමිණීම දෝෂ වන්නේ ය. මෙතෙක් මා තනිව කරගත් වත් මම කරගමි. මින් පසු මෙහි නොඑන්නෙ නම් මැනවි යැයි පැවැසීය.

දුක සිතිණ, කළ කිරිණ, හැඩීම වළක්වාගත නොහැකි විය. පින් කිරීමට අවස්ථාව නොලැබුණ හෙයින් බොහෝ සෙයින් දුක් වූවා ය.

දෙවුරම වැඩ සිටි ශාන්ති නායකයාණන්ගේ ඤාණ දැලට හසු විය. ඇයට පිහිට වීම සඳහා නිර්මිත බුද්ධ කාය ඇය ඉදිරියේ මවා අමා දහම් සයුරේ ගිල්වමින් දහම් දේශනා කළසේක. දහම් අවසන ලොවී ලොවුතුරු සැපයීම මූලික දොර විවර කරගනිමින් නැවත කිසිදිනක සතර අපායේ නොවැටෙන ලෙස දොරටු දමා සෝවාන් මගඵල සාක්ෂාත් කරගත්තාය.

පුඤ්ඤං චේ පුරිසො කයිරා
කයිරා තෙතං පුනපුනං
තමිහිජන්දං කයිරාථ
පුඤ්ඤස්ස වුචචයො

පින් කරන නැනැත්තෝ නැවත නැවත පිං කිරීමට කැමැත්තාහ.

එසේ පින් කරන්නේ සුවය ගෙන දීමට හේතු වන්නේ ය. යන ගාථා ධර්මය ඇය සඳහා දේශිත ධර්ම පාඨයයි. ඔබ සැමට ධර්ම ඥානය පහළ වේවි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.