Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් අධ්‍යාපනය

දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි වර්තමානයේ මවුපියන් විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. එය ඉතා යහපත් ප්‍රවණතාවකි. අප රටේ විශාල අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව, දෛනික පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය තුළින් විකාශය කෙරෙන ප්‍රවෘත්ති මගින් අපට දැගන්නට ලැබේ. මේ භයානක උවදුරින් රට මුදා ගැනීම හුදෙක් දඬුවම් වැඩි කිරිම මඟින්, පමණක් කළ හැකි දෙයක් නොවේ. දඬුවම තාවකාලික විසඳුමක් පමණි. මේ සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලබාදිය යුතු ය. සදාචාර සම්පන්න, ගුණගරුක, දරු පරපුරක් බිහි කිරීම මඟින් මෙම බරපතල උවදුරින් රට ගලවා ගත හැකි ය. ඒ සඳහා හොඳම මඟ දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයයි.

දහම් පාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වන කරුණු කිහිපයකි. සාමාන්‍ය පාසල්, බොහෝවිට ඥානය (දැනුම) ලබාදෙන්නා වූ මාර්ගයක් වන අතර, ගුණය (සදාචාර පැවැත්ම) ලබාදීම සිදුවන්නේ ඉතාම අල්ප ප්‍රමාණයකින් බව, පාසල් වල දරුවන්ගේ සදාචාර පැවැත්ම ලෙස බලන විට, මැනවින් පැහැදිලි වේ.

උදාහරණයක් වශයෙන් එක් පාසලක සිසුන් කණ්ඩායමක්, තවත් පාසලකට කඩාවැදී, එම පාසලේ සිසුන්ට පහරදීම, ගුරුවරු සහ සිසුන් අතර ගැටුම්, විදුහල්පතිවරුන්ට පහරදීම ආදිය ඉන් සමහරකි. එක්තරා ප්‍රසිද්ධ පාසලක සිසුන් කිහිපදෙනෙක් එකතු වීආයුධ පෙන්වා, නිවාස කිහිපයක් මංකොල්ලකෑම මෑතකදී වාර්තා විය.

මෙය, කෙතරම් දුරදිගට ගොස් තිබේද කිවහොත්, එක්තරා පෞද්ගලික පන්තියක සිසුවෙක්, තමා වෙනදා වාඩි වූ ස්ථානයේ වෙනත් සිසුවෙක් වාඩිවීම නිසා එම ශිෂ්‍යයාට පිහියෙන් ඇන ජීවිතය හානි කළ බව මෑතකදී වාර්තා වූ අභාග්‍යසම්පන්න සිදුවීමකි. අගනුවර ප්‍රසිද්ධ පාසල් අසල පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය තිප්පොලවල් තුළ මත්කුඩු පාවිච්චි කරමින් සහ අසභ්‍ය නිල් චිත්‍රපට බලමින් සිට අත්අඩංගුවට පත්වූ අය අතර, පාසල් සිසුන්ද සිටින බව, පොලිස් වාර්තා වලින් දැනගන්නට ලැබේ. මෙම සිදුවීම් ඇසුරින් දරුවන්ගේ ගුණය කෙතරම් දුරට පිරිහී ඇත්ද යන්න සනාථ වේ. මේ අවාසනාවන්ත තත්ත්වයෙන්, දරුවන් ගලවා ගැනීමට හොඳම මඟ දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමයි. මෑතකදී බාල අපරාධකරුවන් සම්බන්ධ සිදුකරන ලද සමීක්‍ෂණයකදී, ඔවුන් අතර එක් අයෙක්වත් දහම් පාසල් වලට යන හෝ දහම් පාසල් ගිය දරුවන් නොවූ බව වාර්තා විය. මෙය දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දෙන හොඳම සාධකයකි.

දහම් පාසල් සියල්ලම වාගේ පවත්වනු ලබන්නේ ආගමික පරිසරයකය. බෞද්ධ දහම් පාසල් සියයට, සීයක් වාගේ විහාරස්ථානවල පවත්වනු ලැබේ. දහම් පාසලට පිවිසෙන දරුවා, සාමාන්‍ය පාසලට පැමිණෙන අයෙක් මෙන් නොව, දාගැබ, බෝධිය, පිළිම වහන්සේ යන වන්දනීය ස්ථාන තිබෙන ශාන්ත පරිසරයකට පිවිසේ. බුදුගෙය ඇතුළත ඇති, ශාන්ත ස්වභාවයෙන් මනස සමාධියට පත්වේ. සුදෝ සුදු දාගැබ, මඳ පවනින් සැලෙන බෝධීන් වහන්සේ, ළමා මනස තුළ අපූර්ව චමත්කාරයක් ඇති කරවයි. විහාරගෙය තුළබිත්තිවල අඳින ලද ජාතක කථා නැරඹීමෙන් බෝධිසත්වයන් වහන්සේගේ ආදර්ශවත් චරිතය තුළට දරුවා මනසින් පිවිසේ. දරුවා මේ නිසා ස්වයං ශික්‍ෂණයක් ඇතිකරගනී. සාමාන්‍ය පාසල්වල මෙම ශික්‍ෂණය දරුවා තුළ ඇතිකරලීමේ මඟ විරලය.

සාමාන්‍ය පාසල් වල බුදුදහම ඉගැන්වීමට වෙන් වී ඇති කාල පරිච්ඡේදය පැයකටත් අඩුතරම් ය. විෂය දැනුම ලබාදීම හැරුණවිට ඉන් එහා යමක් සිදුනොවේ. බෞද්ධ දහම් පාසල් උදේ අටට පමණ ආරම්භ වේ. පළමුව තිසරණ සහිත පංචශීලය සමාදන් වි, බොහෝ විට, මල් ගිලන්පස පූජාවන්ටද සහභාගී කරවා අනතුරුව මධ්‍යහ්න එක පමණ වනතුරු අධ්‍යාපන කටයුතු සිදුකෙරේ. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, අභිධර්මය, බෞද්ධ සංස්කෘතිය ආදී විෂය රාශියක් ඉගැන්වෙන අතර, ඊට අමතරව භාවනා වැඩසටහන් ආදී ප්‍රායෝගික වැඩවලට සහභාගී කරවීම, දහම් දැනුම සම්බන්ධ ප්‍රශ්න විචාරක වැඩසටහන් වලට නිරත කරවීම, කථික තරග මගින් කථිකත්වය ප්‍රගුණ කරවීම ආදී දෑ සිදුකරනු ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් මඟින් මනා පෞරුෂයකින් හෙබි, ගුණ නැණ දෙකින් පිරිපුන් දරුවෙක් සමාජයට බිහි කිරීමට දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයට හැකිවේ.

බුදුපියාණන් වහන්සේ තරම් පුද්ගලයින්ගේ සිත හඳුනාගත් වෙනත් ශාස්තෲවරයකු නොමැති තරම් ය. උන්වහන්සේ, මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගීකර ගනිමින් පුද්ගලයින් සුවපත් කළහ. මහා පන්ථක හිමියන්, තම සොහොයුරු චුල්ලපන්ථකට, ඉගැන්වූ එකද ගාථාවක්වත් මතක තබා ගැනීමට නොහැකි වූ බැවින්, තමා කෙරෙන් ඉවත් කිරීමට, සූදානම් වන අවස්ථාවේදී බුදුන්වහන්සේ, චුල්ලපන්ථකගෙන් කරුණු විමසා, ඔහුට පිරිසුදු රෙදිකඩක් දී රජෝ හරණං රජෝ හරණං යන වාක්‍ය කියවමින් අඛණ්ඩව පිරිමැදීමට සැලැස්විය. අතේ දහඩිය සහ දූවිලි ස්පර්ශ වීමෙන්, ක්‍රමයෙන්, පිරිසුදු සුදු රෙදිකඩ දුර්වර්ණ වන ආකාරය පිළිබඳ චුල්පන්ථක තම සිත යොමු කිරීමෙන් අනිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඔහු තුළ ඇති වීය.

ඒ මඟින් චුල්ලපන්ථක මාර්ගඵල ලාභියෙක් බවට පත් කරවීමට බුදුන් වහන්සේට හැකි විය. තම එකම දරුවා මළ සොවින්, සිහිවිකල්ලෙන් දිවගිය කිසාගෝතමීද, දරුවන් සහ තම සැමියාද තම පවුලේ සියල්ලන්ම එකමදින මරණයට පත්වීමෙන් ඇඳිවත පවා නොමැතිව සිහිවිකල්ව, දිවගිය පටාචාරාවන්ද සුවපත් කළේ සියුම් මනෝ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගැනීමෙනි.

දහම් පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ මානසික තත්ත්වය සියුම් ලෙස අධ්‍යයනය කර, ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට බුදුන්වහන්සේ උපයෝගී කරගත් අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් දහම් පාසල්වල ගුරු භවතුන්ට ඉතා ප්‍රයෝජනවත් ය. ඒ, ඒ, වයස් කාණ්ඩ වලට ගැලපෙන පරිදි අධ්‍යාපනය කෙසේ ලබාදිය යුතුද යන්න සම්බන්ධව, “රාහුලෝවාද සූත්‍රයෙන්” අපට බොහෝ කරුණු ඉගෙනගත හැකි ය. වර්තමාන අධ්‍යාපන මනෝ විද්‍යඥයෝ දරුවන්ගේ වයසට අනුරූප වන ආකාරයෙන් අධ්‍යාපනයක් ලබාදිය යුතු බව පෙන්වා දෙති.

වයස අවුරුදු හතක් වූ රාහුල හිමියන්ට, සත්‍යයෙන් තොර තැනැත්තා, හිස් පුද්ගලයකු බව වටහා දුන්නේ, රාහුල සාමණේරයන් ලවා වතුර පිරවූ බාල්දියක් උඩු යටි කරවීමෙනි. මෙය වර්තමාන කාලයේ අධ්‍යාපන විශේෂඥයින් හඳුන්වා දෙන සංයුක්ත ලෙස ඉගැන්වීමේ ක්‍රමයයි. ඇතැම් කරුණු රාහුල හිමියන්ට උගැන්වූයේ, දෙදෙනාම පිඬු සිඟා සතුටින් පන්සලට පැමිණෙන අවස්ථාවේදී ය. රාහුල හිමියන්ට ත්‍රිලක්‍ෂණ අන්තර්ගත ගැඹුරු දහම කියා දුන්නේ වයස අවුරුදු 17 දී ය. මෙම වයස ගැඹූරු දහම ග්‍රහණය කරගත හැකි, කාලවකවානුවක් ලෙස පිළිගැනේ. සාකච්ඡා සහ ප්‍රශ්න විසර්ජන ක්‍රම මගින් බුදුන් වහන්සේ, බොහෝ කරුණු ඉගැන්වූහ. මහණෙකු විසින් පිළිපැදිය යුතු විනය කරුණු රාහුල හිමියන්ට ඉගැන්වූයේ වයස අවුරුදු 21 සම්පූර්ණ වූ විට ය. බුදුන් වහන්සේ රාහුල සාමණේරයන්ට ලබාදුන් අධ්‍යාපනයේ මනෝ විද්‍යාත්මක මූලධර්ම, දහම් පාසල් වල උගන්වන ගුරු භවතුන්ට ඉතාම ප්‍රයෝජනවත් ය.

දහම් පාසල් අධ්‍යාපනයේ දුර්වලතා

01. දහම් පාසල් වල උගන්වන ඇතැම් ගුරුවරු ආදර්ශවත් නොවීම.

(බොහෝ විට මෙම වරද සිදුවන්නේ, ආධුනික දැනුමක් ඇති තරුණ ගුරු මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලබන ඉගැන්වීම් කටයුතු වලදීය.)

02. දහම් දැනුම සහ චරිත වර්ධනය ඇතිකරලීම වෙනුවට සාමාන්‍ය පාසල්වල මෙන් බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි තැනක්ලබාදීම. (මේ නිසා දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය මඟින් අපේක්‍ෂා කරන ගුණ, නැණ දෙකින් පිරිපුන් දරුවකු සෑදීමේ අවස්ථාව මඟ හැරීයයි.)

03. තරග ආදියට දහම් පාසල් දරුවන් සහභාගී කරවීමට වැඩියෙන් අවධානයට යොමු කරවීම. (මේ නිසා සහජ දක්‍ෂතා ඇති දරුවන් අතළොස්සකට පමණ විශේෂ වරප්‍රසාද හිමිවන අතර, බහුතරයක් දරුවන් මේ නිසා මන්දොත්සාහි වෙති.

04. ප්‍රමාණවත් අධ්‍යාපන දැනුමක් නැති, අත්දැකීම් වලින් අඩු අය ගුරුවරුන් වශයෙන් දහම් පාසල් වල ඉගැන්වීමේ කටයුතු වලට බඳවා ගැනීම. (මෙය, බොහෝවිට සිදුවන්නේ ප්‍රමාණවත් අධ්‍යාපන දැනුමක් ඇති ගුරුවරු සොයා ගැනීමට ඇති අපහසුකම නිසා විය හැකි ය. අවම වශයෙන් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හෝ සමත් අය ගුරුවරුන් වශයෙන් බඳවා ගන්නේ නම් මැනවි.

05. දහම් පාසල් දරුවන්, ධර්මය සම්බන්ධ ලියැවුණු ලිපි ලේඛන පොත්පත් පරිශීලනය කිරීම ඉතා අඩුවීම. (කුඩා දහම් පුස්තකාලයක් පවත්වාගෙන යාමට කටයුතු කර, දරුවන්ට එම පොත්පත් කියවීමට උනන්දු කරවීම මඟින් දරුවන්ට විශේෂ දහම් දැනුමක් ලබා ගැනීමට කටයුතු සැලැස්විය හැකි ය.)

06. එක පන්තියක ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණය ඉක්මවා සිටීම. (ඉඩකඩ මදිකම හා ගුරු හිඟය නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ය.

කෙසේ වෙතත්, මේ නිසා ගුරුවරයාට සියලුම ළමයින් කෙරෙහි අවධානය යොමු කොට කටයුතු කිරීම අපහසු වන අතර ඉගෙන්වීමද අසීරු කටයුත්තක් බවට පත්වේ.

අවම වශයෙන් එක පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම 25 – 30 අතර තබා ගැනීම සුදුසු ය.)

07. ඉරිදා දිනවල ඇතැම් පෞද්ගලික පන්ති පැවැත්වීම නිසා දහම් පාසල් වලට පැමිණීමට ශිෂ්‍යයින් මැළිවීම.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.