Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

ප්‍රශ්නය
සං: නි: වේළුද්වාර සූත්‍රයෙහි එන “අත්තුපනායික “ධම්ම පරියාය” නමින්ද “අත්තානං උපමං කත්වා නහනෙය්‍ය න ඝාතයේ “ යනුවෙන් “ ධම්මපා ද පාලියෙන්ද අවධාරණය කරන පෙළ දහමෙහි එන “ධම්මපාරියාය “ හෙවත් “ හොඳ හා නරක “ මිනීමේ “ නිර්ණායකය “ (තීරකය ) කුමක්ද?

පිළිතුර
අදාළ පිළිතුර පැහැදිලි කිරීමෙහිදී සූත්‍රදේශනාවන්හි එන ඇතැම් යෙදුම් පිළිබඳව පැහැදිලි කරගැනීමක් කළ යුතුය. බුදුන් වහන්සේගේ ඇතැම් දේශනාවන්හිදි අනුමානය යන මූලධර්ම යෙදුම් හමුවෙයි. අනුමානය යනු සිංහල භාෂාවෙහි දී යෙදෙන සැක සහිත දැනුම යන අර්ථය සඳහා යෙදෙතත් “අනුමානය “ යන යෙදුම පෙරදිග දර්ශන ඉතිහාසයේ අනුමානය යන්න යෙදී ඇත්තේ ප්‍රත්‍යක්ෂය මෙන් නිවැරැදි ස්ථිර ඥානය සඳහාය. ඒ අනුව ධර්ම පරියායෙහි එක් ලක්‍ෂණයක් නම් අනුමාන කිරීමයි. තමා ඇසුරුකොටගෙන අන් අය ගැන අනුමාන කිරීමයි. මජ්ඣිම නිකාය ග්‍රන්ථාගත සූත්‍රයක එන පරිදි “ආයුෂ්මතුනි! භික්‍ෂුවක් විසින් තමා තමාටම සාපේක්‍ෂකව මෙසේ මැන බැලිය යුතුය. පාපී වූ පාප චේතනාවන් ගේ ග්‍රහණයට හසුවී සිටින එම පුද්ගලයා මට අපි‍්‍රයය. අමනාපය එම ආකාරයෙන්ම මම පාපී පුද්ගලයෙකු වන්නේ නම් පාප චේතනාවන්ගේ ග්‍රහණයට හසු වී සිටින්නේ නම් මා අන් අයට අපි‍්‍රය වනු ඇත. අමනාප වනු ඇත. (ම.නි. 197 )

අනුමාන කිරීම කළ යුතු දෙවන ආකාරය නම් තමා ඇසුරුකොටගෙන අන් අය ගැන අනුමාන කිරීමයි. මට අපි‍්‍රය වු අමනාප වු යමක් වේද? එය ඔහුට ද එසේමය. මට යමක් අපි‍්‍රය නම් අමනාප නම් එය මා කෙසේ නම් අන් කෙනෙකුට කරම් ද? මේ ආකාරයට කල්පනා කිරීමේ ප්‍රථිඵලයක් වශයෙන් ඔහු පාණාතිපාතයෙන් වළකයි. එයින් වැළකීමට අන් අයද ධෛර්යමත් කරවයි. පාණාතිපාතයෙන් වැළකීම ප්‍රශංසාවට ලක්කරයි. මේ අයුරින් අනෙකුත් සදාචාර මූලධර්මයන් පිළිබඳ එලෙසම සිතන්නට බුදුන් වහන්සේ කරුණු පහදා දෙති. තම කායික චර්යාව (හැසිරීම ) සම්පූර්ණයෙන්ම පාරිශුද්ධිය හෙවත් සද්ගුණවත් බවට පැමිණියේ වෙයි.

බුදුන් වහන්සේ ශ්‍රාවක සමූහයාට මෙයින් වටහා දෙන්නේ පුද්ගලයන්ගේ හෙවත් සත්වයන්ගේ ඇති පූර්ණ (නෛසර්ගික) වටිනා කමයි. තමා වටා ඇති ප්‍රාණවාචී ලෝක සත්වයාගේ වටිනාකමක් ඇති බවට සාධකයක් වශයෙන් උන් වහන්සේ වටහාදෙන්නේ පුද්ගල සහෘද සංවේදිතාව මගිනි. එනම් තමාගැන තමා සිතන අයුරින් අන් අය ගැන සිතන ආකාරයෙකි. මෙම විශ්ව ලෝකයේ පවතින්නා වු ශ්‍රේෂ්ඨ වු ද පූජනීය වූද එකම වටිනා දෙය ‘සබ්බේසං ජීවිතං පියං “ ලෙස බුදුන් වහන්සේ සැලකුවේ ජීවිතයයි. හෙවත් ජීවයයි.

“කරණීය මෙත්ත සූත්‍රාගත තොරතුරු අනුව උපත ලබා ඇති සත්වයෝද ඉපදීමට සුදුසු තැන් සොයන්නා වූ සත්වයෝද යන “ සබ්බේ සත්තා භවන්තු සුඛීතත්තා “ සැපවත් භාවයට පැමිණෙත්වා. කුමන ස්වරූපයෙන් පෙනී සිටියත් ජීවිතය යන්න ජීවයයි. සෑම ජීවියකටම අප ගරුකළ යුතු යන්න සදාචාර සංයුතියති. මහායානිකයන් කියන පරිදි සියලුම ජීවිහු පූජනීයහ. මක්නිසාද සැම ජීවයක් තුළම බුද්ධත්වයේ හෙවත් පරමාදර්ශි තත්වයේ බීජය (බෝධිසත්ව) අඩංගු වන නිසාය.


ප්‍රශ්නය
“ දායක දානපති “ යන සද්ගුණවාචක පදය දහමෙහි බොහෝ තැන්වල දක්නට ලැබෙයි. ‘දායක දානපති “ නැමැත්තාගේ පාරලෞකික (පරලොව ) පැවැත්ම පිළිබඳව පෙළ දහමෙහි “ දායකො දානපති කායස්ස හො පරම්මරණා “ සුගතිං සග්ගං ලෝකං උප්පජ්ති “ යනුවෙන් ඔහු මරණින් මතු සුගතිගාමි වෙයි. එහෙත් දායක දානපතිගේ සාන්දෘෂ්ඨික දාන ඵල (මෙලොවදීම දැකගත හැකි) පිළිබඳව පෙල දහමෙහි එන අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර
අං :නි. 05 සුමන වග්ග සීහසේනාපති සූත්‍ර බුදුරජාණන් වහන්සේ සීහ සේනාපතිට මෙසේ වදාළහ. සීහ සේනාපති විසින් වහන්ස තමන් විසින්ම දැකිය හැකි සාන්දෘෂ්ඨික දානඵල කවරේද? යන්නට සීහය දානපතිදායක බොහෝ දෙනාට පි‍්‍රය මනාප වයි. ඔහුට සත්පුරුෂ ආශ්‍රය නිශ්‍රය කරන්නට ලැබෙයි. දානපති දායකගේ යහපත් කීර්තිය දසත පැතිර යයි. තවද දානපතිදායක පිරිස් ඉදිරියෙහි විශාරදව තේජස්ව සිටිය හැකිය. සීහය! ඇස්පනාපිට (සාන්දෘෂ්ඨික) දානඵල විපාක මෙසේ නිසා පරලොව සුව කැමැති නුවණැත්තෝ මසුරු මල දුරුකොට දන් දී දෙව් සැප විඳ ගනී.


ප්‍රශ්නය
දානය නිර්වාණගාමි ප්‍රතිපදාවට හේතුකාරක වන බව බුදුරදුන් වදාළහ. ලෝහ දෝස මෝහ කුසල මූලයන් තාවකාලිකව හෝ යටපත් කොට දන්දීම චෙතනාමය පාරිශුද්ධිය නිවනට යහපතකි. මේ නිසාම දේශනාවන්හි දානයෙහි ආනිශංස විචිත්‍රව දක්නට ලැබේ. එබඳු අවස්ථාවක් දක්වන්න.

පිළිතුර
අංනි. 05 . සුමන වග්ග 1.4.5 පංචිමෙ භික්ඛවෙ දානෙ ආනිසංසා කතමේ පංච, මහණෙනි දානයෙහි මේ අනුසස්හු පස්දෙන මොනවාද ?

බොදෙනා අතර ජනපි‍්‍රයත්වයට පත්වෙයි.
සද්ගුණවතුන්ගේ ඇසුර ලැබෙයි
යහගුණ කීර්තිය දසත පැතිරේ
පන්සිල් නිරතුරුව රකියි
මරණින් මතු සුගතියෙහි උපත ලබයි

දානපති දායක තැනගේ ප්‍රතිග්‍රාහකයෝ (පිළිගන්නා තැනැත්තන්) බහුවිධ වෙයි. ඒ අනුව දානයෙහි සුවිශේෂ අංග එකතු කොට ඇත. ඒ මොනවාද මෙහිදි දන් ලබන ප්‍රතිග්‍රාහකයෝ පස්දෙනෙක් නාමිකව පෙළ දහමෙහි සඳහන් වන අතර ඒ හේතුවෙන් දානපතිදායක ලබන්නා වූ ප්‍රතිදානයන් ගැනද සඳහන් වෙයි.

(අංගු: නි. 5.1.4.6 ) (කාලදාන සූත්‍ර)

පංචිමානි භික්ඛවෙ කාලදානානි කතමානිපංච මහණෙනි මෙම පංච විධ වු කාල දානයෝ කවරහුද ? ආගන්තුක, ගමික, ගිලාන, දුර්භික්ෂයෙහි දෙන දානය , නවශෂ්‍ය දානය , දායක දානපතී දන්දීමෙහි පූර්ණ නිමිත්ත විවිධ වූ බව පෙනේ. බුදු දහමට අනුව දෙන්නා හා ලබන්නා යන කොටස් දෙකටම (ප්‍රතිග්‍රාහක හා දායක ) දාන ප්‍රතිදාන යනුවෙන් මහත් ඵල ලැබෙනු ඇත.

එනම් ,

ආයුං ඛො දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්වා ආයුෂය දී දිව්‍ය වු හෝ මානුෂික වු හෝ ආයුෂයට හිමිකම් ලාභීවෙයි.

පංච සම්පත් නම් ආයුෂ වර්ණය , සැප ශක්තිය ප්‍රඥාවය මේ දෙව් මිනිස් සම්පත් දායක හා ප්‍රතිග්‍රාහක දෙපිරිසම හිමිකරගනී.

දානපති දායකගේ දන් දීමෙහි පිළිවෙල අනුව සද්පුරුෂ හා අසත්පුරූෂ නාමික වශයෙන් වෙන්කොට හඳුනාගැනීමට හැකිබව දේශනාපාලියෙහි (අංනි. 5 - 3.5.7.9 ) දක්නට ලැබේ. මෙහිදි දානයෙහි සත්පුරුෂභාවය පිළිබඳව හැඳීන්වීමෙහි දී ප්‍රතිවිරුද්ධ අසද්පුරූෂභාවයද හඳුනා ගත හැකිය.

පංචමානි භික්ඛවෙ සප්පුරිස දානානි කථමෙ පංච මහණෙනි! සත්පුරුෂභාවය ඇති දාන පසෙකි ඒවා මෙසේය.

ශ්‍රද්ධාවෙන් දන්දෙයි
සද්ධාය දානං දෙති
මහණෙනි සැදැහැ සිතින් දුන් දානයෙහි විපාක වශයෙන් මහාධන ඇති වෙයි.

මහාභෝග ඇතියේ - රූපවත් ප්‍රිදර්ශන වූයේ දැකුම්කලු සිත් පහදවන පුද්ගලයෙක් වෙයි.

2. සක්කච්චං දානං දෙති
සකසා දන් දෙයි

මහණෙනි සකසා දන්දීමෙහි විපාක වශයෙන් ඉහත සඳහන් සම්පතට අතිරේකව අඹුදරු කම්කරු, දැසි දස් , සමපතත් සුවච කීකරු පිරිවර සම්පතත් ඔහුට ලැබෙනු ඇත.

3. කාලෙන දානං දෙති
සුදුසු කල්හි දන් දෙයි

මහණෙනි! නිසි කල්හිදී දන් දි විපාක වශයෙන් ඉහතින් සඳහන් සම්පත් සමග පස්කම් සැපතින් ආඩ්‍යව ඉෂ්ඨාර්ථය සපුරා ලන්නේය.

4.අනග්ග හිත දානං දෙති

දෙන දෙයෙහි නිර්ලෝභීව දන්දෙනුයේ සම්පතින් බහුලව පස්කම් සැපතට සිත නැමී යයි.

5. අත්තානංච පරංච අනූපහච්චදානං දෙති තමන්ට හා අනුනට පීඩාවක් නැතිව දන්දෙයි.

මහණෙනි තමන් හා අනුනට අහිතකර යමක් නොකොට ,

දන් දුන් දායක තැනැත්තට රජුන් ගෙන් හෝ සොර සතුරු බියක් හෝ තමන්ට අපි‍්‍රය වූවන්ගෙන් හෝ තමන් උපයාගත් ධන සම්පතට හානියක් නො වන්නේ ම ය. අසත්පුරුෂ දාන නම් ශ්‍රද්ධාවෙන් තොරව තමා වෙතින් නොදෙන අතර ඉවතලන දැයක්ම දනට දෙන්නේය. කලකින් දන්දෙන මොහු දාන විපාක කිසිවක් නොදෙන දෙන දානය අසත්පුරුෂ දානය වේ. දානය මෙලොව පරලොව දෙක්හිම සැප විපාක ලබාදෙන කුසලකර්මයකි. දනානිසංශ වශයෙන් සම්පත් පහක් ලැබෙන අතර එයින් දෙකක් හේතුවෙන් මතු දෙව්ලොව උපත ලැබීමට හේතුකාර වන්නේමය. පංචිමා භික්ඛවෙ සම්පදා කතමාච පංච මහණෙනි! මෙලොව පිනැතියෙකුට ලබා ගත හැකි සම්පත් පහකි. එනම් ඤාති සම්පත්, ධන සම්පත් ,ආරීග්‍ය සම්පත්, සීල සම්පත් හා දෘෂ්ඨි සම්පත් යන පසයි. සීල සම්පත් ලැබීමෙන් දෘෂ්ටි සම්පත් ලැබීමෙන් මරණින් මතු සුගති ගමනට හේතු සාධක වනු ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.