Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි.  

වර්තමාන ලෝකයේ ළමා දිනයක් සමරනු ලැබේ. ඒ ඔක්තෝම්බර් පළමු වැනිදා ය. ළමා අයිතීන් පිළිබඳ මෙදින මහා ඉහළින් කතා බහ කරනු ලැබේ. ළමයා යනු, ළපටි මෙලෙක් ගතිගුණ වලින් හෙබි අයෙකි. ඔහු සුන්දරත්වය දකින්නෙකි. නව ලොව සොයා ගමන් කරන ළමයා, තමා අවට පරිසරය පිළිබඳ ඉතා විමසිල්ලෙන් යුතුව කාලය ගෙවයි. සුන්දර ළමා ලෝකය තුළ අසුන්දර කතන්දර සිය දහස් ගණනක් ලියැවී ඇති බව ද ඔබ දන්නවා ඇති. වර්තමානයේ පමණක් නොව ඉතා ඈත අතීතයේ දී පවා ළමයා පිළිබඳ නොසැලකිලිමත්කම් සමාජය තුළ දක්නට තිබිණ.

ඒ පිළිබඳ පැහැදිලි වන අවස්ථා කිහිපයක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන්නේ ය. සමාජයේ ජීවත්වන වැඩිහිටි හෝ ළමා පරපුර තලා පෙලා පොඩිකර විනාශ කරනු ලබන අයුරු අප විවිධ අයුරින් අසා ඇත. ලංකාව තුළ වර්තමානයේ දී ළමා හිංසන සිය ගණනින් සිදුවෙයි. ළමයින්ට අපරාධ විවිධ ක්‍රියා සිදුවන අයුරු, පුවත් පත් හා විද්‍යුත් මාධ්‍ය මගින් දක්නට ලැබේ. මේවා කුමන අයුරින් සිදු වූව ද ළමා ලෝකය තුළ ඇති සුන්දරත්වය විනාශ කිරීම සුදුසු නැත. මේ වන විට ළමා දිනය වෙනුවෙන් ලිපි බොහෝ ගණනක් ලියැවී ඇත.

වර්තමානයේ ලෝකය පුරා ළමා ශ්‍රමිකයෝ බොහෝ පිරිසක් වෙසෙති. ළමයින්ගේ ශ්‍රමය සූරා කෑම ඔවුන්ගේ දිවිය අඳුරු කරවයි. ළමයා යනු, වැඩ කාරයකු නොවන බවත්, කම්කරුවකු නොවන බවත්, සමාජයට අවබෝධ කර දිය යුතු ය. රාජ්‍ය මට්ටමින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර ළමා මෙහෙවරකම් කරවන අයට නිසි දඬුවම් ලබාදිය යුතු යි.

ළමයින් විකිණීම ද බරපතල අපරාධයකි. මුදල් වෙනුවෙන් ළමයින් විකුණා තමන්ගේ වාසිය ගැන පමණක් සිතන මිනිසුන් වර්තමානයේ සිටිති. මෙය ඉතා පහත්, අධම ක්‍රියාවලියකි. ළමයින් පැහැර ගැනීම් ද අප සමාජයේ බහුලව සිදුවෙයි. විවිධ කල්ලි කණ්ඩායම් ළමයින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ගැනීමද වර්තමානයේ සුලභව දක්නට ලැබේ. මෙම ක්‍රියාදාමය ශිෂ්ට ලොව අනුමත කරන්නේ නැත. ළමා ලොව තුළ ඬසි ලෙස සැරිසැරීමට ක්‍රියාකිරීමට ඉඩ ප්‍රස්ථා වැඩිහිටි පරපුර විසින් නිර්මාණය කර දිය යුතු ය.

මේ අතර නවීන අධ්‍යාපනය තුළින් ළමයා ඉගෙනීමේ මැෂිමක් බවට පත් කර තිබේ. ළමා කාලයේ කෙළි දෙලෙන් සිටීමට ඇති ඉඩකඩ, මේ වන විට සීමා සහිත කර තිබේ. තරගකාරී අධ්‍යාපන හා විවිධ විද්‍යුත් මාධ්‍ය මඟින් ළමයා අද වැඩිහිටියන්ගේ තත්ත්වයට පත් කර ඇත.

වර්තමානයේ විශ්ව ළමා දිනය සැමරීම වැදගත් වූව ද, දිනකට පමණක් ළමා අයිතීන් ගැන කතා කිරීම, පලක් වන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ ළමයි කෙරෙහි දයානුකම්පාව දැක්වූහ. සුන්දර ළමා ලෝකයට අවශ්‍ය දහම් කථා හා උපදෙස් ද ලබා දුන්හ. නිවැරැදි ජීවන මඟ පෙන්වා දුන්හ. ඔබ කවුරුත් දන්නා සෝපාක ගැන අවධානය යොමු කරන්න.

සෝපාක යනු, එදා මානව හිමිකම් සංවිධානයන් නොතිබුණු යුගයක හිංසාවට ලක් වූ ළමයෙකි. තම සුළු පියාගේ අනේක විධ කරදර බාධාවලට මුහුණදීමට කුඩා සෝපාකට සිදුවිය. අන්තිමේ දී සුළුපියා වද දී අමු සොහොනට ගෙන ගොස් ඔහු මළ මිනියක බැඳ දමා ගිය අයුරු, ඔබට මතක ඇත. මේ අසරණ දරුවාගේ අයිතිය වෙනුවෙන් එදා පෙනී සිටියේ, බුදු සමිඳුන් ය. සෝපාක ඒ බැමි වලින් මුදාගෙන ජේතවනාරාමයට කැඳවාගෙන ගොස් පැවිදි කරවා, ශාසනයේ උසස් ඵල කරා ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් හා ආරක්‍ෂාව ඔහුට ලබා දුන්නේ, අප බුදුපියාණන් වහන්සේ ය. සුනීත යනු ද එවැනිම ළමයෙකි. තරුණ වයසට පත්ව සිටි ඔහුට සමාජයේ හොඳ තැනක් හිමි වූයේ නැත. පහත් සම්මත කුලය නිසාම විවිධ දුක් පීඩාවලට මුහුණ දීමට සිදුවිය. බුදුහිමියෝ ඔහුට පිහිට වූහ. රහත් ඵලය ලබා ලොව පූජනීය තත්ත්වයට පත් වීමට මඟ සැලසූහ. බුදුරජාණන් වහන්සේ ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මුල්ම පුද්ගලයා ය. සිඟාලෝවාද සූත්‍රය මඟින් ද ළමා මනස සකස් කළ යුතු ක්‍රම තුනක් අවධාරණය කැරේ. ඉන් එකක් නම් ජීවීන් වැළැක්වීමයි. වැඩි හිටි ඔබ දරුවාට පව පින පිළිබඳ කුඩා කළ සිට අවබෝධය ලබා දීම කළ යුතු ය.

සතුන්ට හිංසා කිරීම හොඳ නැති බවත්, සොරකම් කිරීම, බොරු කීම, මත්පැන් පානය ආදිය තම අනාගත දිවිය විනාශ වීමට හේතුවක් බවත් ඔවුනට හොඳින් පහදා දී, නිවැරැදි මඟට ගත යුතු ය.

ළමා අපරාධකරුවන් අතර මහා මං කොල්ලකරුවන්ද සිටින බව පුවත් පත් මඟින් අප දැක ඇත. මෙවන් පසුබිමක් ඇතිවන්නේ දහමින් තොරව නිසි ගුණධර්ම වටහා නොදී, දරුවා ගැන අවධානය යොමු නොකරන නිසා ය. වැඩිහිටි පරපුරේ යුතුකම වන්නේ, ළමයා පවින් මුදා ගැනීමයි.

යහපතෙහි යෙදවීම සඳහා ළමයාට නිවැරැදි පිළිවෙත් කියා දිය යුතු යි. මවට පියාට වැඳීම, ගරු කිරීම, තෙරුවන්ට ගරු කිරීම, තෙරුවන් වැඳීම ගුරුවරුන්ට ගරු කිරීම හා වැඳීම ආදී විවිධ යහපත් පිළිවෙත් වළට යොමු කිරීම, වන්දනා මාන වලට හුරු කිරීම, සිල් සමාදන් කරවීම ආදී යහපත් චාරිත්‍ර පුරුදු පුහුණු කිරීම සමාජයට ඉතා වටිනා සත් පුරුෂයකු ලබා දීමකි. එවන් පිළිවෙත් වලින් බැහැර වූ තැනයි හිරගෙවල් අවශ්‍ය වන්නේ මේ නිසා වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත.

හොඳින් ඉගැන්වීම ද කළ යුතු වෙයි. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි. ඒ අනුව ඉරිදා දහම් පාසලට දරුවා යොමු කළ යුතුම ය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන වැදගත් කරුණු අතර,

සක්කෝ - හැකියා වර්ධනය කිරීම, දක්ෂතා දියුණු කිරීම,
උජු - අවංකබව,
අනතිමානී – ආඩම්බර නොවීම
සුවචෝ - කීකරු බව

ළමයා වැඩිහිටි ඔවදනට කන්දෙන, ඒවා හොඳින් පිළිගැනීමට සූදානම් වන අයකු කළ යුතු ය. රාහුල පොඩි හාමුදුරුවෝ වැඩිහිටි අවවාද දිනපතාම ලැබේවායි ප්‍රාර්ථනා කළ අයෙකි. එවන් අයුරින් කීකරුකම කුඩා කළ සිටම තිබිය යුතු දෙයකි. ළමයා තුළ මෙවන් ආකාරයේ ගුණ යහපත්කම් වර්ධනය කිරීම තුළින් ගුණාත්මක ළමා පරපුරක් අපේක්‍ෂා කළ හැකි ය. පි‍්‍රය වචනය, සමානාත්මතාව ළමයා තුළ තිබිය යුතුම දෙයකි.

ඔහුට වෙනත් අය කෙසේ කතා කළ ද, ඔහු අනුන්ගේ සිත් නොරිදෙන, නොතැලෙන වචන කතා කිරීම වැදගත් ය. දරුණු වචන භාවිතා කිරීම, චරිත ඝාතන කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැනි වචනයෙන් වන වැරදි වලින් වැළකීම යහපත් දෙයකි. මේ නිසා කුඩා කළ පටන්ම පි‍්‍රයවාදී වචන කියන්නකු ඇදහිය යුතු කතා කියන්නෙකු බවට දරුවා පත් කළ යුතු යි. සමානාත්මතාව යනු, කාටත් එක අයුරින් සැලකීම යි. තම වත් පොහොසත්කම් ගැන සිතා, අසරණ ළමයින්ට විහිළු තහළු නොකිරීම දුප්පත් බවට නිගා නොකිරීම ඔවුන් සමාජයෙන් කොන් නොකිරීම ළමයින්ට පුරුදු කළ යුතු යහපත් ප්‍රතිපත්ති වේ. ධනය බලය මත ඔවුන් බෙදා වෙන් කිරීම නොකළ යුතු ය. ළමයා තුළ තමන් වැනිම වූ අනික් ළමයින් දෙස ද සමානව බැලීමට හුරු කළ යුතු ය. මෙවැනි යහපත් ප්‍රතිපත්ති දෙසට අවධානය යොමු කළහොත් ළමා ලොව සුන්දර ලොවක් බවට පත් කිරීමට හැකි බව තේරුම් ගන්න. වෛර සිතිවිලි ළමා මනසින් දුරු කර, ඊර්ෂ්‍යා සහගත බව ජනිත නොවන ලෙස උස්මිටිකම් නොපෙන්වා, ළමා මනස තුළට හොඳ පුරුදු හුරු කිරීම වැදගත් වෙයි.

අප බුදුරජාණන් වහන්සේ ළමා ලොව දුක දැක, ඔවුනට සරණ වූ උතුමෙකි. බුදුහිමියන් ගිය මග යමින් ළමා ලෝකය තුළ උදාර ගතිගුණ ජනිත කරලීමට උත්සාහ කරමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.