Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආරක්ෂක බලකොටුවක් ලෙස ආරම්භ වූ කෝට්ටේ පළමුවරට රාජධානියක් බවට පත්වන්නේ හයවන පරාක්‍රමබාහු රජතුමා නිසාය. එතුමාගේ රාජ්‍ය සමය ක්‍රි.ව. 1412 - 1467 දක්වා වූ වසර 55 ක කාලයකි. රට එක්සේසත් කළ ඒ කීර්තිමත් රජතුමාගේ උසස් නාමයට ගෞරව කිරීමක් වශයෙන් සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානය ඇරඹෙන්නේ මීට සිය වසරකටත් එපිට වර්ෂ 1875 දීය.

18 වන සියවසෙහි භික්ෂූන් වහන්සේ වස් විසූ ස්ථානයක් ලෙස හැඳින්වෙන එදා රජ දවස රාජ භාණ්ඩාගාරය පැවැති භූ®මිය ගබඩාවත්ත නම් විය.

පසුව මෙතැන විහාරස්ථානයක් ගොඩනැගුණු නිසා මෙය ගබඩාවත්ත පන්සල නමින් හැඳින් විය. වසර 1875 දී සිරි පැරකුම්බා ශාත්‍ර ශාලාව ආරම්භ වේ. එය 1911 දී සිරි පැරකුම්බා පිරිවෙන නමින් ලියාපදිංචි කරන ලදී. සියම් මහා නිකායේ මහා සංඝ සභාවන්ගේ උත්තරීතත්ත්වය මල්වතු අස්ගිරි මහා විහාරීය සංඝ සභාවට උරුමයෙන් හිමිවේ. එය හැරුණු විට විහාර සංඛ්‍යාවෙන් ද මහා සංඝයා වහන්සේ සහ ඉපැරණි හා ජ්‍යෙෂ්ඨත්වය හිමිවන්නේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවටය. මෙම සංඝ සභාවට අයත් විහාරස්ථානයක් වශයෙන් මෙන්ම ඉපැරණි අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙම සංඝ සභාව හා පවත්නා සහබන්ධනය නිසාද මෙම පිරිවෙන් විහාරස්ථානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.


1 පැරැණි සංඝාවාසය ,2 අත්තිඩියේ ධම්මසිරි නා හිමි , 3 ඓතිහාසික කොටු බැම්මේ නටබුන්, 4 නව සංඝාවාසය, 5 පැරැණි සෙල් ලිපි, 6 පැරැණි ළිඳක් 7 මාල තුනකින් යුතු ඝන්ඨාර කුළුණ

ඉහත සංඝ සභාවේ මූලාරම්භය සනිටුහන් කළ මහා සංඝ පීතෘවරුන් පස් නමක් සිටි අතර ඉන් ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරාධිපතිව වැඩ විසූ මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගල මහනායක හිමියන්ගේ ඇරයුමෙන් හා අනුශාකත්වයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය හිඟුල්වල ජිනරතන හිමිපාණන් වහන්සේ විසින් ඇරැඹි මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති හා පිරිවෙන් අධ්‍යක්ෂ ධූරය දරන්නේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක අත්තිඩියේ ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ ය. පෙර සංඝපීතෘ වහන්සේලාගේ ගමන් මගේ යමින් 90 වැනි වසරද පසුකළ උන්වහන්සේ ආගමික ශාසනික සමාජ මෙහෙවරක යෙදෙනා සංඝපීතෘන් වහන්සේ නමකි.

විහාර භූමියට ඇතුල්වන තැන ඇති වාහල්කඩ පැරැණි ගෘහ නිර්මාණ ශිල්පි ලක්ෂණයන් ද මුහුකරගත් අංගයකි. මෙහි ඇති චෛත්‍යය අඩසිය වසරකට එපිට ය. විචිත්‍රවත් ලෙස ගොඩනංවා ඇති විහාර මන්දිරය හා ඒ තුළ නිමවා ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුවන් නෙත්සිත් සනහන සුළුය.

විහාර භූමියේ සංඝා වාසයද වසර 125 කට වඩා පැරැණි වේ. මහල් දෙකකින් සමන්විත පිරිවෙන් ගොඩනැගිල්ල වසර හැටකට වඩා පැරණි ය.

බෝධීන් වහන්සේගේ ඉතිහාසය නිශ්චිත වශයෙන් ම කීමට නොහැකි වුවද අනුමාන වශයෙන් මෙය වසර 150කට පමණ වඩා පැරැණිය.

භික්ෂූන් වහන්සේ 50කට පමණ එකවර දානය වැළදිය හැකි දාන ශාලාව වසර 120කට වඩා පැරැණි වේ. මේ තුළ වන විශේෂිත මේසය ගොඩනැගිල්ලේ දිගටම නිමවා තිබේ. මේසයේ දිග අඩි 31 ක් වන අතර පළල අඩි 4 කි.

ශ්‍රී ලංකාවේ මෙන්ම දේශ දේශාන්තර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට සෙවන සළසන අනවමදස්සී ශිෂ්‍ය නේවාසිකාගාරය මහල් දෙකකින් සමන්විතය. මෙහි කාමර 24 ක් තිබේ.

වසර 77 කට වඩා පැරැණි ඝන්ටාර කුළුණ විහාරස්ථානයේ අභිමානවත් බව සංකේතවත් කරයි. මෙහි උස අඩි 42 කි. මාල තුනකින් යුක්ත ය.

කෝට්ටේ රාජ්‍ය සමයේ ශ්‍රී ජයවර්ධනපුර අගනගරයේ ආරක්ෂාවට තනා තිබූ කොටු බැම්ම අඩි 30ක් පළල වේ. එහි දිග සැතපුමක් පමණ වී යැයි සඳහන් වේ. කොටුබැම්මෙන් ආරක්ෂා වූ කොටස ඇතුල්කෝට්ටේ ලෙසත් පිටත කොටස පිටකෝට්ටේ ලෙසත් නම් විය. ඒ කොටු බැම්ම මත රජ දවස දළදා පෙරහර ගමන් කළ බව කියැවේ. දැනට පිරිවෙන් භූමියෙහි ඇති කොටුබැම්මේ නටබුන් කොටසක් දැක ගැනීමට පුළුවන. මෙසේ ඉතිහාසයක මග සළකුණු ඔස්සේ උදාරතර ශාසනික ආගමික සමාජ මෙහෙවරක නියැලෙන සිරිපැරකුම්බා පිරිවෙන් විහාරස්ථානය තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.