Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඳාන පොල්පිටිමූකලාන දාගැබේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දස දහස් නමක්

බස්නාහිර පළාතේ ගම්පහ දිසාවේ කදාන පොල්පිටිමූකලාන ග්‍රාමයේ පිහිටා තිබෙන අශෝකාරාමයේ ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ දස දහස් (10,000) නමක් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය දා සිදුකැරිණි. සමස්ත අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත සංස්කෘත භාෂා චක්‍රවර්ති දවුල්දෙණ ඤාණිස්සර මහ නා හිමියන් ප්‍රමුඛ තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නය විසින් ජනවාරි 28 වනදා උදෑසන පිළිම වහන්සේ ධාතු ගර්භය තුළ තැන්පත් කිරීම සිදුකරන ලදී. ඉන් පසුව පෙබරවාරි 4 වනදා පෙරවරු 10 පමණ වනතුරු මෙරට සතරදිග් භාගයේ සිට දහස් ගණන් බෞද්ධ අබෞද්ධ සියලු ජනතාව පැමිණ එම චෛත්‍ය ගර්භය තුළ බුදුපිළිම වහන්සේ ශ්‍රද්ධාවෙන් බුදුගුණ සිහිපත් කරමින් තැන්පත් කිරීමෙහි යෙදුණි.

එම උතුම් පුණ්‍ය කර්මය සිදුකිරීමෙහි පුරෝගාමී මෙහෙවර සිදුකරන ලද්දේ අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ හා නැගෙනහිර වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, හිටපු විදුහල්පති, පොල්පිතිමූකලාන අශෝකාරාමය හා හල්ගහවේල්ල අභය ශ්‍රී‍්‍ර වර්ධනාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත උතුරුමාගල නන්දසිරි නාහිමියන් විසිනි. උන්වහන්සේ තුළ කුඩා බීජයක් ලෙස හටගත් මෙම උතුම් සිතිවිල්ල කාලාන්තරයක් තිස්සේ පෝෂණය වෙමින් පැමිණ මල්පල ගත් අවස්ථාව ලෙස එය හැඳින්වීමට පුළුවන. එවකට කරන්දෙණියේ ඥාණවිමල නායක ස්වාමීන්වහන්සේ විසින් මැටියෙන් සාදන ලද ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුත් පිළිම වහන්සේ නමක් මෙම තරුණ ශිෂ්‍යයාට ලබාදී ඇති අතර ඔහු එය ඉතා ගෞරවයෙන් පිළිගෙන නිවසෙහි තැන්පත් කර වන්දනා මාන කරමින් සිටින අතරතුර දී උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වී 1966 දී කඳාන, පොල්පිටිමූකලාන අශෝකාරාමයට වැඩම කර එම විහාරය මුල්කරගෙන ආගමික ශාසනික සේවාව ආරම්භ කරන ලදී. එවකට විහාරාධිපතිව වැඩ විසූ කරන්දෙණියේ නිමලජෝති හිමිපාණන් විසින් තම ගුරුදේවෝත්තම පාදයාණන් වහන්සේ විසින් 1956 බුද්ධ ජයන්තියට දඹදිව වැඩම කොට ගෙනෙන ලද ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුත් මැටි පිළිම වහන්සේ නමක්ද උන්වහන්සේට 1966 දී ලබා දී තිබේ. මෙම පිළිම වහන්සේ දෙනමම වසර 40කට අධික කාලයක් ආරක්ෂා කර ගත් නාහිමිපාණන් වහන්සේ කවදා හෝ ද දිනයක චෛත්‍යයක් සාදන අවස්ථාවකදී බුදුපිළිම වහන්සේ කීප නමක් නිදන් කළයුතු බවට කල්පනා කොට තිබේ. නමුත් පසුකාලීනව බුදුපිළිම වහන්සේ විශාල ප්‍රමාණයක් නිදන් කළ යුතු බවට එම අදහස් පුළුල් විය.

විහාරස්ථානයට චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් නොමැති අවධියක ප්‍රදේශයේ ඉතාමත් ශ්‍රද්ධාවන්ත නම සඳහන් කිරීමට අකමැති බෞද්ධ පවුලක සාමාජික පිරිසක් මේ උතුම් කර්තව්‍ය සඳහා ඉදිරිපත් වීම නාහිමිපාණන් වහන්සේට ඉතාමත් අස්වැසිල්ලක් වූ අතර ස්වකීය උතුම් සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමට මෙය අවස්ථාවක් කරගත් උන්වහන්සේ එහි ගර්භය තුළ පිළිම වහන්සේ දස දහසක් තැන්පත් කිරීමට තීරණය කරන ලද්දේ දස දහසක් සක්වල දස දහසක් ලෝක ධාතුව ආදී වදන්බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වීම නිසාය. මෙම පුණ්‍ය කර්මයට සමගාමීව බුදුගුණ ඇතුළත් කුඩා ධර්ම ග්‍රන්ථයක්ද බුදුපිළිම වහන්සේ තැන්පත් කරන පින්වතුන්ට ලබාදෙන ලද අතර ඒ තුළින් බලාපොරොත්තු වූයේ බුදුගුණ ඉගෙන ගෙන ඒවා සිහි කිරීමට අවස්ථාවක් සලසා දීමයි. ඒ තුළින් මෙම උතුම් පින්කම තවත් අර්ථවත් විය.


උතුරුමාගල

නන්දසිරි නා හිමි

ජනවාරි 23 වනදා සිට 27 වනදා දක්වා විහාරස්ථ කාර්ය සාධක සමිතිය ඒ ඒ ප්‍රදේශ වලින් සංවිධානය කරන ලද පෙරහර 5 ක් මගින් පිළිම වහන්සේලා විහාරයට වැඩම කරවන ලද අතර ඒ ඒ දිනවල උතුම් බුද්ධ පූජාවන් පවත්වන ලදී. මේ කටයුතු වලදී විහාරස්ථ කාර්ය සාධක සමිතිය, කළ්‍යාණ මිත්‍ර ශීල භාවනා සමිතිය, සිරි විමලසිරි සිංහල හා ඉංගී‍්‍රසි දහම් පාසල්වල දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් හා ප්‍රදේශයේ තරුණ පිරිස විශාල වශයෙන් උපකාර කරන ලද අතර විහාරවාසී බෙලිගස්වේල්ලේ විජිතවාසී හිමි, ධම්මසිරි හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලාද උපරිම ශක්තියෙන් දායක විය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.