Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරේ

මෑත යුගයේ ලෝකයේ බොහෝ රටවල බුදු දහමේ ව්‍යාප්තියක් දකින්නට තිබේ. දියුණු යැයි අප පවසන රටවල මෙන්ම නොදියුණු රටවල ජීවත්වන මිනිසා ද විවිධ ආකාරයෙන් විසඳා ගත නොහැකි මානසික ගැටලු තුළ සිර වී දුක්විඳීණු පෙනේ. මේ නිසාම ජාති, කුල, ආගම් භේදයකින් තොරව එකී ගැටලුවලට විසඳුම් සොයා කළයුතු නොකළයුතු දෑ තෝරා බේරාගැනීමටද නොහැකිව, විටෙක මිථ්‍යාදෘෂ්ඨිකව ද සම්ම්‍යක්දෘෂ්ඨිකවද කටයුතු කරන බව පෙනේ. පරම පවිත්‍රත්වයෙන් පූජනීය වූ බුදුදහම මිථ්‍යාදෘෂ්ඨික සංකල්ප හා එකී මතවාද බැහැර කරනු ලබයි. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ, ඇවිත් බලන්න, විමසා බලා, නිවැරදියැයි ඔබට වැටහෙන්නේ නම් පිළිගන්නා ලෙසයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සංසාරික දුක්ඛයන්ගෙන් අත්මිදී, අරිඅටමග ගමන්කොට සදාකාලික විමුක්තිය ලබාගත හැකි බව පෙන්වා දී තිබේ. මෑතයුගය වන විට බෞද්ධ පඬිවරුන්ගේ පමණක් නොව, අන්‍යලබ්ධික බුද්ධිමතුන්ගේද අවධානයට බුදුදහම පත්ව තිබේ. ලෝක ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වන එච්.ජි.වේල්ස් මහතා බුදුන්වහන්සේ පිළිබඳව කර ඇති ප්‍රකාශයන් අපට වැදගත් වේ.

බුදුන්වහන්සේ ස්වකීයඥානයෙන් අවබෝධකරගත් පරම සත්‍යය වූ චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්‍ෂණය, පටිච්ච සමුත්පාදය, වැනි සත්‍යවාදී දහම්කොටස් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට විදේශීය බුද්ධිමත් ජනතාව පෙළඹී සිටීම සතුටට කරුණකි. බොහෝ ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම බෞද්ධ සංවිධාන විදෙස් රටවල ක්‍රියාත්මක කරන ධර්මප්‍රචාරක කටයුතු මෙකී නැඹුරුව ප්‍රධාන හේතුවකි. ස්වීස්ටර්ලන්තය ද අන්‍යාගමික යුරෝපීය රටකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රමණීය, සුන්දර රටක් බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත. සංඛ්‍යාත්මකව 5000 කට ආසන්න සිංහල පිරිසක් රැකීරක්‍ෂාවල නියුතුව ජීවත්වෙන අතර, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ටිබෙටය වැනි රටවල වැඩි බෞද්ධ පිරිසක් වාසය කරයි. මේ නිසාම ස්වීස්ජාතිකයින් තුළ ද බුදුදහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වී තිබේ.

ඔවුන්ගේ දහම් පිපාසය සංසිඳවීම අරමුණුකොටගෙන, හා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ආගමික, සාමාජික කටයුතු වෙනුවෙන් අභිනවයෙන් ශ්‍රී ලාංකීක විහාරස්ථානයක් 2009 ජනවාරි මස පළමු වැනි දින ආරම්භ කරන ලදී. එය සිවීස්ටරලන්තයේ, ශ්‍රී ලංකා විහාරය, ලෙස නම් කළ අතර එහි විහාරාධිපතින්වහන්සේ ලෙස කටයුතු කරන්නේ ලේඩ්යන්ගල සුදස්සී ස්වාමීන් වහන්සේ ය. සිවිස්ටර්ලන්තයේ සුරීව් හි පදිංචි සරත් කුමාර මහතා හා අනෝමා අධිකාරි එම මහත්මියගේ ධනපරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාවේ නිමකරවා වැඩම කරවූ බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කර සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමන ලදී. ඒ සඳහා මෙරට වාසය කරන භික්‍ෂූන්වහන්සේ හා දෙස් විදෙස් බොහෝ බෞද්ධ පිරිසක් සහභාගි විය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.