Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යහපත් මිතුරා හා නූතන සමාජය

සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් පවති.

කිසිම පුද්ගලයෙකුට සමාජයේ හුදකලාව ජීවත්විය නොහැකි අතර, ස්වකීය අභිවෘද්ධිය මෙන්ම සමාජ අභිවෘද්ධිය උදෙසා, යහපත් ආශ්‍රය අවශ්‍ය වේ. එහෙත් නූතන සමාජයේ ආශ්‍රය සඳහා යහපත් මිතුරන් සොයා ගැනීම ඉතා කල්පනාකාරීව කළ යුතු වේ. විශේෂයෙන්ම මනුස්සකම, ගුණවත්කම, අධ්‍යාත්මික ගුණ වගාව, මිනිස් හදවත් තුළින් ඉවත්ව ගොස් රුපියල් ශත රජකරන යුගයක, මේ ගැන වඩ වඩාත් කල්පනාකාරීවීම අවශ්‍ය ය.

පුද්ගල අභිවෘද්ධිය මෙන්ම, සමාජ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය යහපත් ආශ්‍රය පිළිබඳ බුදු දහම තුළින් පෙන්වා දෙන උපදෙස් මාලාවක් වේ. මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කරුණු අතුරින් මුලින්ම දක්වනු ලැබ ඇත්තේ ‘අසේවනාච බාලානංච’ නරක පුද්ගලයන් ඇසුරින් ඉවත්විය යුතු බවය. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී අන්‍යොන්‍ය යුතුකම්, මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා උසස් ලෙස අවධාරණය කරනු ලැබ ඇත. එහෙත්, නූතන සමාජයේ යහපත් මිතුරන් අසුර සඳහා සොයා ගත්තේ කෙසේද? හඳුනාගත්තේ කෙසේද? යන ගැටලුව පැන නගියි. ඊට හොඳ පිළිතුරක් බුදු දහම තුළින් පෙනේ. එනම්

පියෝච ගරු භාවනීයෝ
වත්තාච වචනක්ඛඛෝ
ගම්භීරෝච කථං කත්තා
නෝවට්ඨානේ නියෝජයේ”

මෙහි දැක්වෙන අන්දමට යහපත් මිතුරකු සතු ලක්‍ෂණ හතක් වේ.

1. මනා ගතිපැවතුම් වලින් යුතු පි‍්‍රයජනක පුද්ගලයකු වීම.
2. ගරු බුහුමන් ලැබීමට සුදුස්සකු වීම.
3. වැරැදි නිවැරැදි බව මනාව පෙන්වා දෙමින් අවස්ථාවෝචිත උපදෙස් දීම.
4. මිතුරාට සාවධානව සවන් දෙන්නකුවීම.
5. ඉවසීම
6. ගැඹුරු ගැටලු පිළිබඳ මනා ලෙස කරුණු පහදා දීම.
7. අයහපත් ක්‍රියාවන්ගෙන් මිතුරා වළක්වාලීම.

නමුත්, නූතන සමාජයේ ඇසුරු කිරීම සඳහා සුදුසු ගුණාංගයන්ගෙන් සපිරි පුද්ගලයන් සෙවීම අසීරු ය. නූතනයේ බොහෝ කණ්ඩායම් තුළ, යහපත් පැවතුමෙන් යුත්, හරි වැරැද්ද පෙන්වාදීමට සමත්, සාමජයේ පිළිගැනීමට ලක් වූ, ඉවසීමේ ගුණයෙන් සපිරි පුද්ගලයන් සෙවීම ඉතා පරිස්සමින් කළ යුතුව ඇත. සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් වෙති.

මේ අනුව, ඇසුරට නොගතයුතු මිත්‍ර ප්‍රතිරූපකයන් සිවු දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ දක්වනු ලැබ ඇත.

1. අඤ්ඤදත්ථුහර
2. වචීපරම
3. අනුප්පියභාණී
4. අපාය සහාය යනුවෙනි.

අඤ්ඤදත්ථුහර

විවිධ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් පැමිණෙන මිතුරන් ය. නූතන සමාජයේ මෙවැනි පුද්ගලයන් බහුලය. ඔවුන්ගේ අපේක්‍ෂාව විවිධ තනතුරු, මිල මුදල්, ඉඩකඩම් ආදී තම අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඇසුර පතයි. මෙම පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යාමේ දී විවිධ දූෂණ, දේපොළ හානි, ජීවිත හානි පවා සිදුවීමට පුළුවන. මෙවැනි මිතුරන් හා සබඳකම් පැවැත්වීම මගින් තමාද අනාරක්‍ෂිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි ය. පුද්ගල හා සමාජ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම්,මෙසේ ලාභ අපේක්‍ෂාවෙන් ඇසුර පතන්නන්, දුරු කොට, හුදකලාව වුව ජීවත්වීම යහපත්වේ.

වචීපරම

මෙම ගණයට අයත් වන මිතුරන් ඕනෑම කටයුත්තකදී වචනයෙන් පමණක් සුහදව සංග්‍රහ කෙරේ. තම මිතුරා වෙනුවෙන් යම් අවස්ථාවක් උදා වූ විට හොඳයි සලකා බලන්නම් කිසි දේකට බියවන්න එපා. ඕනෑම දේකට මම ඉන්නවා. ආදී වශයෙන් පවා රැවටීමට සලස්වයි. ලාබ ප්‍රයෝජනයක් අත්වුවහොත් ඉන් උපරිම ඵල විඳ සතුටට පත් වෙයි. වචී පරම ගණයට අයත් වන මිතුරන් එදා මෙන්ම අද සමාජයේ ද බහුල වශයෙන් දැකිය හැකි ය. මෙවැනි මිතුරන් ඇසුරින් දුරුකිරීම බුද්ධිමතාගේ ලක්‍ෂණයකි.

අනුප්පියභාණී

මිතුරා කරන හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද අනුමත කිරීම අනුප්පියභාණිගේ ස්වභාවයයි. එය යහපත් කල්‍යාණ මිත්‍රයකුගේ ලක්‍ෂණයක් නොවේ. නිරතුරුවම සමජයට අවශ්‍ය වන්නේ හොඳ දේ අගය කරමින් ඒ අනුව ඹ්වත්වන මිනිසුන් ය. නූතන සමාජයේ බහුතරය අවංක මිතුරන් යැයි විශ්වාස කොට කරන හොඳ දේ මෙන්ම නරක දේවල් ද වේ. මින් නරක දේ අනුමත කිරීම තුළින් තමා හොඳ වූවත් එය පිරිහීමට ලක්වනු ඇත. අනුප්පියභාණි මිතුරන් ඇසුරින් දුරුකොට හුදකලාව ජීවත්වීම වුව යහපත් වේ.

අපාය සහායක

මිතුරු වෙසින් සිට මෙලොව පරිහානිය මෙන්ම පරලොව පරිහානිය උදාකරවන පුද්ගලයා අපාය සහායක ගණයට වැටේ. මත්කුඩු, සුරාව, සූදුව, පරස්ත්‍රී සේවනය ආදී දුසිරිත්වල යෙදෙන හෝ තම මිතුරා ද ඊට යොමු කරවයි. පොළඹවයි. නොදැනුවත්වම මෙයින් සිදුවන්නේ මහා විපතකි. සමස්ත ජීවිතයම අඳුරට හෙළා දැමීමකි. එබැවින් අපාය සහායක මිතුරු, මිතුරියන්ගෙන් වෙන්ව ජීවත්වීම යහපත් වේ.

මෙසේ ඇසුරින් වෙන් කළ යුතු, මිතුරු වේශයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයත් පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කරන, සිඟාලෝවාද සූත්‍ර දේශනාව, ඇසුරට සුදුසු යහපත්, කල්‍යාණ මිතුරන් සිවු දෙනෙකු, පෙන්වා දෙනු ලැබ ඇත.

1. උදව් උපකාර කරන උපකාරක මිත්‍රයා 2. දුක සැප දෙකේදීම කිසිදු වෙනසක් නොමැතිව එක්ව සිටින සමාන සුඛ දුක්ඛ මිත්‍රයා 3. දියුණුවට අත හිත දෙනා අත්ථක්ඛායි මිත්‍රයා 4. කරුණාවන්තව හා අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා යනුවෙනි. මෙකී, කල්‍යාණ මිතුරන් හතර දෙනා මැනවින් අවබෝධ කර ගෙන, ඇසුරට ගැනීම කළ යුත්තේ, සෙනෙහෙබර අම්මා කෙනෙකු ළයෙන් දරු සෙනෙහසින්, තම පුත්‍රයා රැක බලා අන්දමට බවට වදාළ සේක.

එතෙපි මිත්තෙ චත්තාරො
ඉති විඤ්ඤාය පණ්ඩිතො
සක්කච්චං පයිරුපාසෙය්‍ය
මාතා පුත්තංච ධරසං

මේ අන්දමට ඇසුරු නොකළ යුතු පාපකාරී මිත්‍ර ප්‍රතිරූපයන් ඇසුරෙන් බැහැර කර යහපත් කල්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කිරීම ප්‍රඥාවන්තයාගේ ස්වභාවයයි. කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබීම මහා පිනකි. මහා භාග්‍යයකි. මහා සම්පතකි. බුදු දහම පිළිනොපදින ජීවිත පරිඥානය, අඩු, බොහෝ තරුණ තරුණියන් පාපකාරී මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරට පත්වීම නිසා, ජීවිත විනාශ කර ගත් අවස්ථා වර්තමානයේ සුලභව දක්නට ලැබේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිළිබඳව කළ සමීක්‍ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ, ඔවුන්ට එම තත්ත්වය අත් වූයේ පාප මිත්‍ර සේවනය නිසා බවය.

මානව පරිණාමයේ අතීත යුගයේ සිටම මිනිසා සමූහ වශයෙන් ජීවත් වූ බව පෙනේ. එය අතීතයට මෙන්ම වර්තමානයට ද පොදු ය. ඒ අනුව මිනිසාට කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීම අත්‍යවශ්‍ය වේ. මීට ඇති හොඳම විසඳුම වන්නේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරි සමාජයක් ගෙැඩනැඟීමය.එය එක් රැයක් පහන් වෙද්දී කළ හැකි හාස්කමක් නොවේ. මෙය සමාජයේ වැඩිහිටි සෑමදෙනා විසින්ම ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කර ගත යුතු ය. තම දූ දරු සහෝදර සහෝදරියන්ට යහපත් මිනිසුන් ඇසුරු කිරිමට අත්‍යවශ්‍ය නිසා සැම දෙනාම එක්ව, අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරුණු, යහපත් සමාජයක් බිහිකිරීම සඳහා අත්වැල් බැඳ ගත යුතු ය. මේ සඳහා ගරුතර මහා සංඝරත්නය, පූජක පක්‍ෂය, උගතුන්, බුද්ධිමතුන්, සමාජ සේවකයන් මූලික වීම අත්‍යවශ්‍ය වේ.

“න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තෙ කල්‍යාණේ
භපේථ පුරිසුත්තමෙ (ධම්මපදය)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.