Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එළමල් දෙණිය රාජමහා විහාරය

 

දිවි මග ගෙවන ගොවිතැන ගැන පළ පුරුදු එලමල්දෙණිය නම් ගම් වරය පරසිඳු සිරිලක් මවගෙ රූමත් දියණියක බ ඳු ය.

සද්ධාතිස්ස කුමරු දිගාවැව ප්‍රදේශයේ වෙසෙමිනේ ක්‍රි.පූර්ව 161 සිට 137 දක්වා කාලය රෝහණ රාජ්‍ය පාලනය කර ඇත. මේ වකවානුවෙහිදී රෝහණ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් කර ඇත. එළමල්දෙනිය රාජමහා විහාරය එම වකවානුව තුළ කළ බව සඳහන් වේ.


කඳු මුදුනේ පිහිටි චෛත්‍යරාජයා

රෝහණ රාජධානියට අයත් තුරු ලතාදියෙන් ගහන වූ ඉතා රමණීය සුන්දර ප්‍රදේශයකි. මෙම වන පෙත වූ කලී පලු, මොර, වීර, අඹ, දඹ ආදී පලතුරු වලින්ද අනේක විධ වූ පුෂ්පයන්ගෙන්ද ගැවසී ගත්තේ ය.එළමල්දෙණිය විහාර භූමිය හරිත විමානයක් බඳුය. දැවැන්තව ශාන්තව ඉහළට නැගි උත්තුංග වෘක්‍ෂයෝ පරිවාර සේනාව සමග නිසලව විරාජමාන වී සෙවන සපයති. සූර්යෝදයත් සමග අවදි වූ කුරුලු කෙවිලි නාදය මදනල හා මුසු වී සියලු ගහකොළ, සතා සිව්පාවා වන ගීතයෙන් මුසපත් කෙරෙයි. සුදු පැහැ මල් වලින් ගහනදෙණිය එළමල්දෙණිය ලෙස ව්‍යවහාර වූ බව පිටබැද්දර එළමල්දෙණිය විහාරාධිපති මොරවක් කෝරලයේ ප්‍රධාන සංඝ නායක කීර්ති ශ්‍රී සාරානන්දාහිධාන ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය (වර්තමාන විහාරාධිපති) පූජ්‍ය එළමල්දෙණියේ උපනන්ද නාහිමි ‘බුදුසරණ’ සමග පැවසූහ.


ලෙන් විහාරය

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොටසේ එළමල්දෙණිය රාජ මහා විහාරය අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දර සිට සැතපුම් 05 ක් පමණ දුරින් පිහිටා ඇත. මේ රාජ මහා විහාරයේ විශාල අතු පතර විහිදී ගිය ගස් සහිත වන මැද්දෙන් වූ උස් කඳු මුදුනෙහි අක්කර දෙක හමාරක තුනක පමණ විහිදී ගිය ගල්තලාවක, ලෙනක් තුළ ඓතිහාසික විහාරමන්දිරය පිහිටා ඇත. දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, සමාධි පිළිම වහන්සේලා දෙනමක් හා හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් නිර්මාණය කර ඇත.

එළමල්දෙණිය රාජ මහා විහාරය ඉදි කරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණ තිබේ. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන්දැයි විමසූ විට පවසා ඇත්තේ තමන් මේ වනාන්තරයේ ආරක්‍ෂකයා සහ අධිපති පුද්ගලයා බවයි. මොහු කෙරෙහි පැහැදුනු රජු ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ පැවසේ. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ වූ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාවේ සිරස පිටුපස නෙලා ඇති ප්‍රතිමාව එම දෙවියන්ගේ බවද කියැවේ.


ඝන්ටාර කුලුන

ලෙන් විහාරයේ විශේෂිත දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය නිරූපණය වන ආකාරයට නෙලා ඇත. මෙම බුද්ධ ප්‍රතිමාවෙහි සිවුරෙහි රැලි පෙනෙන ලෙස ඒකාංශ කොට පොරවා ඇත. ප්‍රතිමාව නිර්මාණයේ දී කිසියම් විශේෂිත මැටි වර්ගයක් භාවිතා කොට ඇති අතර වර්ණ සංකලනය ඉතා මැනවින් ගැලපේ. තවද බුද්ධ ප්‍රතිමාවේ දෙනෙත් අඩවන් වූ ස්වරූපයකින් නිරූපිතය. එසේම බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ පා වල චක්‍ර ලක්‍ෂණ සිතුවම් කර තිබේ. මහා පුරුෂ ලක්‍ෂණයන් නිරූපණය වන ලෙසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට දායක වී ඇත. ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය කැරලි ස්වරූපයකින් දක්වා ඇති අතර දැවයෙන් සකස් කළ නුවර යුගයේ බහුල වශයෙන් භාවිතා කර ඇති සිරස් පතද දැකිය හැක.


විහාරාධිපති නා හිමිපාණෝ

එක් හිටි බුද්ධ ප්‍රතිමාවක් දැවයෙන් නිර්මාණය කර ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණකදම්භය සහ මහා පුරුෂ ලක්‍ෂණ නිරූපණය වන ආකාරයට දැව කඳකට පණ පෙවූ කලාකරුවා එයට පුජනීයත්වයක් එක්කර ඇති අයුරු අපූරු ය. විෂ්ණු, කතරගම, රජ්ජුරු බණ්ඩාර දේව ප්‍රතිමා මෙහිදී දැකිය හැක.

සද්ධාතිස්ස මහ රාජා - තෙජො සද්ධාධිකොපුරේ රාජ මහා විහාරංයං - කාරෙසිධනතො පරං

යනුවෙන් ලෙන් විහාර පිවිසුම් දොරටුවේ සඳහන් කර ඇත. ගල මතුපිට සිත්තම් නිර්මාණය කිරීම තරමක් දුෂ්කර කාර්යයකි. සුන්දර වනාන්තරයක් මැද පිහිටි මෙම පූජනීය ලෙන් විහාරයට රමණීය බවක් එක්කර ඇත්තේ අඳින ලද දර්ශනීය සිතුවම්ය. විහාර ලෙන මල් වියනක් ඇතිරුවාක් මෙන් නෙළුම් මල් මෝස්තරයකින් අලංකාර කර ඇති අපූරුව විස්තර කළ නොහැක.

විහාරස්ථානයක අංග සම්පූර්ණ බව සඳහා එම විහාරස්ථානය ත්‍රිවිධ චෛත්‍යයෙන් සමන්විතය. එළමල්දෙණිය රාජමහා විහාර චෛත්‍ය ගල්තලාව ඉහළ තනා ඇත.


රූස්ස ගස් අතරින් ඇති පියගැටපෙළ

ඝන්ටාර කුලුන පෞඪත්වයක් ගෙන එන්නේ විහාරස්ථානයට නගින පඩිපෙල සමගය. විහාර මළුව තෙක්ම විහිදී යන ලෙස ගල් අතුරා සාදන ලද පියගැට පෙළ එළමල්දෙණිය රාජමහා විහාරයේ පෞඪ බව හඬගා කියයි. මුල්ම පියගැට පෙළ විහාර දොළ හෙවත් සීත ගඟුලයි. මුවකට සෝදා පිරිසුදු වී සැදැහැවත්තු අසීමිත ගෞරවයකින් හා ශ්‍රද්ධාවකින් නැවත ගමන් කරති. පියගැට පෙළ විහාර මලුව තෙක් විහිදී ඇත. මෙම පියගැටපෙළ අත්වාරු කලු ගලින්ම නිමවා ඇත.


ශෛලමය සිවිලිමේ මල් සැරසිලි

ලෙන් විහාරය පිහිටි ගල් පර්වතය එක් ස්ථානයක ජල උල්පතෙකි. එහි පස් බිඳුවකුදු නැත. කෙතරම් නියගයක් පැවැතියත් ජලයෙහි අඩුවක් නොවන බවත් කොපමණ වැස්සත් එය උතුරා නොයන බවත් පැවැසේ. එළමල්දෙණිය රාජ මහා විහාරය පූජා භූමියක් බවට අද රජය නම් කර ඇත. සංඝාවාසයට ජල පහසුකම් නොමැතිවීම මහත් අඩුවකි. එය නොපිරිහෙලා ඉටුකළ යුතු කාර්යයකි. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමත්හු වෙසක්, පොසොන් කාලවලදී මෙම විහාරස්ථානයට පැමිණෙති.

 


රජ්ජුරු බණ්ඩාර දේවාලය

 

 

 

සටහන සහ ඡායාරූප

චිත්‍රාරත්න කළුආරච්චි

හිදෝගම සමූහ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.