Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළොස්මහේ පිරිත් පින්කමට දෙමසක් සපිරෙයි

ශ්‍රී ලංකාව තුළ පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කිරීමේ උදාර අරමුණ මුල් කරගෙන සියලු මිනිසුන්ට සාමකාමීව සහජීවනයෙන් ජීවත්විය හැකි එක්සේසත් කළ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ඇප කැපවී දිවා රෑ වෙහෙසෙන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සද්ධර්මයේ ආශීර්වාදය හා ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරමින්, එක්සේසත් රට ස්වයංපෝෂිත දේශයක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමින්, අනුරාධපුර මහමෙවුනා උයනේ ස්වර්ණමාලී සෑ රඳුන් සෙවනේ පවත්වාගෙන යන දොළොස් මහේ මහා පිරිත් පින්කම් මාලාවේ මංගල මාසය ඉකුත් පසලොස්වක පුන් පෝදාට යෙදී තිබිණි. ගෞරවණීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හා සැදැහැවතුන් ගේ සහයෝගයෙන් උදාර සමාජ මෙහෙවරක්ද මුල් කරගෙන පවත්වාගෙන යනු ලබන මේ පිරිත් පින්කම් මාලාවේදී සමාජ මෙහෙවර කීපයක්ද සිදුකෙරෙන බව සම්බන්ධිකරණ කටයුතු සඳහා ඇප කැපවී වෙහෙසෙන පියල් වික්‍රමසිංහ මහතා පවසයි. සැදැහැවතුන්ට දොළොස්මස පුරාම අතිශයින් ප්‍රයෝජනවත් වන අලංකාර දින දර්ශනයක් සකස්කර සැදැහැවතුන් අතර නොමිලයේ බෙදා දී ඇති අතර, සැම පසලොස්වක පෝය දිනකදීම දිලිඳු පාසල් දරුවන් දහසකට පොත්පත් හා ඇඳුම් ලබාදීමේ හා දිළිඳු මාපියන් දහසකට ආහාර ලබාදීමේ සමාජ මෙහෙවරක් දියත් කිරීමට කටයුතු සූදානම් කෙරෙන බවද පියල් වික්‍රමසිංහ මහතා කීය.

සමාජ මෙහෙවර රැසක්ම මුල් කර ගෙන පවත්වාගෙන යනු ලබන මෙම පිරිත් පින්කමට දායක වීමට දිවයිනේ ඕනෑම සැදැහැවතෙකුට අවස්ථාව උදාකර දෙන අතර, ඒ සඳහා වැඩි විස්තර රුවන් වැලි සෑ මහා විහාරයෙන් විමසා දැන ගත හැකිවෙයි.

ජපානයේ වෙසෙන ලාංකික බෞද්ධ ව්‍යාපාරික සැදැහැවතෙකු වන ක්‍ෂත්‍රිය රාජ පුත්‍ර වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අනුරාධපුර රත්නමාලී චේතියාරාමාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි දොළොස්මහේ පිරිත් පින්කම් මාලාව පැවැත්වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.