Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම හා චින්තන නිදහස

චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි. බුදු දහම භාරතය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වත්ම, බ්‍රාහ්මණ, ජෛන ආදී අන්‍යගාමික අනුගාමිකයෝ බුදු සසුනේ පැවිදි වූහ. බොහෝ දෙනා බුදු දහම පිළිගත්හ. ඇතැම් අවස්ථාවල දී අන්‍යාගමික නායකයෝ පවා බුදුරදුන්ගේ බණ අසා බෞද්ධ උපාසකයන්, හා පැවිදි ශ්‍රාවකයන් බවට පත් වූහ. ඔවුන්ට තම, අභිමතය පරිදි බුදු දහම කැමැති නම් පිළිගැනීමටත්, අකැමැති නම් නොපිළිගැනීමටත් නිදහස තිබිණි.

 

කිස්තු පූර්ව හය වන සියවසේ ඉන්දීය සමාජය තුළ විවිධ ආගමික හා දාර්ශනික මතවාද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතිණි. මේ යුගයේ අනෙකුත් සියලු ආගමික මතවාද පසුබස්වමින් මුළුමහත් සමාජය තුළ ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියේ ඊශ්වර නිර්මාණවාදය යි. මුළු මහත් සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යනුවෙන් කුල හතරකට බෙදා දැක් වූ බමුණෝ එය මහා බ්‍රහ්මයාගේ මැවීමක් ලෙස ඉදිරිපත් කළහ. තම මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බව ප්‍රකාශ කළ ඔවුන් ඒ ඒ කුලයන්ට නියමිත කාර්ය, සිය අභිප්‍රාය මත වෙන් කර දැක්වූහ. සමාජයේ ඉහළම ගෞරව වරප්‍රසාද ලැබිය හැකි කාර්ය බමුණන් තමන් වෙත පවරා ගත් බව පෙනෙයි. ඒ බව ‘සෘග් වේදයේ දහ වන මණ්ඩලයේ’ එන

“අධ්‍යයන මධ්‍යපනං
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්ගහං චෛව
බ්‍රාහ්මණං මකල්පයත්’

යන පාඨයෙන් පැහැදිලි වෙයි. මේ අනුව ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, දන් දීම හා දන් පිළිගැනීම බමුණන් සතු කාර්ය විය. රාජ්‍ය පාලනය පිළිබඳ කටයුතු ක්ෂත්‍රිය කුලයටත්, ගව පාලනය, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ආදී කටයුතු වෛශ්‍ය කුලයටත් උපතින්ම වෙන් විය. ක්ෂුද්‍ර කුලය අනෙක් කුල තුනෙහි අයට ඊර්ෂ්‍යා නොකර දාසකම් කළ යුතු විය.එයට හේතුව ලෙස බමුණන් ප්‍රකාශ කළේ ක්ෂුද්‍රයන් මහා බ්‍රහ්මයාගේ දෙපතුලෙන් උපත ලැබීම යි. මේ ආකාරයට පුද්ගලයාගේ දක්‍ෂතාව හැකියාව පිළිබඳ අවධානය යොමු නොකොට ඒ ඒ පුද්ගලයාගේ උපත පදනම් කරගෙන කළ යුතු කාර්ය නිර්ණය කොට තිබිණි. මේ නිසා පුද්ගල හැකියා දක්‍ෂතා එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා විය. නව අදහස් සිතුම් පැතුම් අනුව ක්‍රියා කිරීමට ඇති අවකාශයට දොරගුළු ලා තිබිණි. ප්‍රශ්න කිරීමට තර්ක කිරීමට නිදහස් චින්තනයට තහනම් නියෝග නිකුත් වී තිබිණි. මෙලෙස පුද්ගල නිදහස සීමා කරමින් ස්වකීය ආධිපත්‍යය සමාජය තුළ තහවුරු කර ගනිමින් බමුණන් ප්‍රභූත්වයෙන් සිටි යුගයක බුදුසමයේ උදාව සිදු විය. සමාජය දැඩි ලෙස පීඩාවට පත් කළ ඊශ්වර නිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කළ බුදු හිමියෝ නිදහස් චින්තනයට මූලිකත්වය දෙන දහමක් දේශනා කළහ. පන්සාළිස් වසරක් මුළුල්ලේ බුදුරදුන් ඉදිරිපත් කළ සූත්‍ර දේශනා කුළ චින්තන නිදහස අගය කොට ඇති ආකාරය පැහැදිලි වේ.

“මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.

“තුමේහභි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා” යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.

ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.

“පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති”

යන දේශනාවට අනුව ධර්මය නුවණැත්තන් විසින් ප්‍රතිවේධයෙන්ම දැනගත යුතු ය. සතර මහෝපදේශ දේශනා කරමින් බුදුරදුන් ප්‍රකාශ කළේ අසවල් විහාරයේ නායක තෙරුන්ගෙන් මම මෙය අසා දැන ගතිමි, කියා හෝ අසවල් විහාරයේ නායක තෙරුන්ගෙන් මම මෙය අසා දැන ගතිමි, කියා හෝ අසවල් විහාරයේ උගත් ධර්මධර විනයධර තෙර නමකගෙන් මම මෙය අසා දැන ගතිමි කියා හෝ කිසිවක් පිළිනොගන්නා ලෙස යි. අදාළ ගැටලුව විමසා බලා එය ධර්මය හා විනය සමග සංසන්දනය කොට එහි නිවැරැදි බව තමන් විසින්ම අවබෝධ කර ගත යුතු බවයි.

බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්‍රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.

බ ුදු දහම භාරතය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙත්ම බ්‍රාහ්මණ, ජෛන ආදී අන්‍යගාමික අනුගාමිකයෝ බුදු සසුනේ පැවිදි වූහ. සෙස්සෝ බුදු දහම පිළිගත්හ. ඇතැම් අවස්ථාවල දී අන්‍යාගමික නායකයෝ පවා බුදුරදුන්ගේ බණ අසා බෞද්ධ උපාසකයන්, බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් වූහ. ඔවුන්ට තම, අභිමතය පරිදි බුදු දහම කැමැති නම් පිළිගැනීමටත්, අකමැති නම් නොපිළිගැනීමටත් නිදහස තිබුණි. වාද විවාද, තර්ක විතර්ක පවත්වා, බුදු දහම පිළිබඳ ගැටලු විමසා දැනගැනීමට බුදුරදුන් සෑම විටම අවස්ථාව ලබා දී ඇත.

කිසිදු අන්‍යාගමික සාමාජිකයකු බලෙන් බුදු දහමට අවනත කර ගැනීමේ ප්‍රයත්නයක් බුදුන් වහන්සේ තුළ නොවී ය. “උපාලි සූත්‍රය” එයට කදිම නිදසුනකි. නිගණ්ඨනාථපුත්තගේ ප්‍රබල අනුගාමිකයකු වූ උපාලි ගෘහපතියා බුදුරදුන් සමග තර්ක කිරීමට ගොස් පරාජය විය. අවසානයේ දී සත්‍යය වටහා ගත් හෙතෙම තමන් බෞද්ධ උපාසකයකු ලෙස පිළිගන්නැයි බුදු රදුන්ගෙන් තෙවරක්ම අයැද සිටියේ ය.

බුදුරදුන් ඔහුට පවසා සිටියේ තමාට එය සත්‍ය යැයි හැඟේ නම් පමණක් පිළිගන්නා ලෙස යි. අන්‍යාගමිකයන් වෙත පවා දැක් වූ සහනශීලී පිළිවෙත තවදුරටත් සනාථ වන්නේ, උපාලි ගෘහපතියා, බෞද්ධාගමිකයකු වීමෙන් පසු ද බුදුරදුන් දෙන උපදේශය තුළිනි. එනම්, උපාලි, මෙතෙක් ඔබේ නිවස නිගණ්ඨයන්ට පැන පිරුණු පොකුණක් බඳු විය. බුදු සමය වැළඳ ගත්ත ද ඔබගේ ශාස්තෘවරයාට කළ සත්කාර සම්මානවලින් අඩුවක් නොකරන්න. ඔබගේ ශාස්තෘවරයාට පෙරසේම සලකන්න. යනුවෙනි.

බුදුරදුන් පිරිනිවන් මඤ්චකයෙහි දී හැසිරුණු විලාශය තුළින් ද චින්තන නිදහස ගරු කළ ශාස්තෘවරයකුගේ ගති ලක්‍ෂණ ප්‍රකට විය. ගිලන් වී වෙහෙසට පත්ව ජීවිතයේ අන්තිම හෝරාව ගෙවමින් පිරිනිවන් මඤ්චකයේ වැතිර සිටි බුදු හිමියෝ එම මෙහොතේ පවා ශ්‍රාවකයන්ගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වූහ. මේ සියලු කරුණු තුළින් තහවුරු වන්නේ පුද්ගලයාට තම මනස, ප්‍රඥාව මෙහෙයවා ස්වාධීනව සිතීමේ හා ක්‍රියා කිරීමේ නිදහස කුමන අවස්ථාවක හෝ උල්ලංඝනය කර නොමැති බවත්, චින්තන නිදහසට බුදුසමය තුළ සුවිශේෂ ස්ථානයක් හිමිව තිබෙන බවත් ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.