Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ

අධිගම ලාභය ලබා ගැනීමට ශිෂ්‍යයා පොළඹවනු ලැබීම එකල අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථයක් විය. ඒ සඳහා කම්මට්ඨාන ගුරුවරු ද වූහ. අධ්‍යාත්මික වර්ධනයෙන් තොර හුදෙක් ලෞකික ලාභ සත්කාර සඳහා ඉගෙනීමට කාලය ගත කරනවාට වඩා නිදාගැනීම හොඳයැයි මජ්ඣිම නිකාය අටුවාවේ දක්වා ඇත

අධ්‍යාපනය යනු බහු විධ පරමාර්ථ අරමුණු කොටගත් සංකීර්ණ මනෝමය ක්‍රියාවලියකි. පුද්ගලයා කායික හා මානසික වශයෙන් උසස් තත්ත්වයකට පමුණුවාලීම බුදුදහමේ අධ්‍යාපන පරමාර්ථය වන්නේ ය. ඒ අනුව අනුරාධපුර යුගයේ ආරාම අධ්‍යාපනය ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ ක්‍රියාත්මක විය.

1. දැනුම ලබාදීම
2. ආකල්ප වර්ධනය
3. කුසලතා වර්ධනය යනුවෙනි.

දැනුම ලබාදීම, එකල ක්‍රියාත්මක වූ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණකි. ග්‍රන්ථධුරික භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන වශයෙන් ආරාමවල ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරත විය. තමාගේ නැණ පමණට එක නිකායක් හෝ දෙනිකායක් හෝ සියලු ත්‍රිපිටක බුද්ධ වචනය හෝ ඉගෙනගත හැකි විය. එය ධාරණය, කථනය, ග්‍රන්ථධුරය ලෙස ධම්මපදට්ඨ කථාවේ දැක්වේ.

අනුරාධපුර යුගයේ දෙවන භාගය වන විට ආරාම අධ්‍යාපන විෂය මාලාවට වෙනත් බොහෝ විෂය ද ඇතුළත් විය. ඒ අනුව බුද්ධ වචනය සමග වෙනත් භාෂා ශාස්ත්‍ර, දර්ශන හා ශිල්ප කර්මාන්ත පිළිබඳ දැනුම ලබාදෙන ලදී.

ශිෂ්‍යයන් තුළ හොඳ ගති පැවතුම් හා යහපත් සිතිවිලි ඇති කිරීමට පැරැණි ගුරුවරු ප්‍රයත්න දරා ඇත. ශිෂ්‍යයාට හොඳ නරක කියාදී චරිතවත් සදාචාර සම්පන්න පුද්ගලයකු බවට පත්කිරීම තමන්ගේ යුතුකම ලෙස ආචාර්යවරුන් සලකා ඇත. පැරැණි ලංකාවේ ආරාමික ගුරුවරු උපජ්ඣාය හා ආචරිය යන විශේෂ නාමවලින් හඳුන්වා ඇත්තේ ද මේ නිසා ය. උපජ්ඣාය යනු ශිෂ්‍යයාට වරද කියා දී ඔහු යහපත් කරන්නා ය. ආචාර්ය යනු හික්මවිය යුතු ධර්මයන්හි ශිෂ්‍යයා හික්මවන්නා ය. කාලදීඝවාපියට ගිය එක් තරුණ භික්‍ෂුවකට ඉගැන්වීම ආරම්භ කළේ ඇතුළු ගමේ නොහැසිරෙන ලෙස අවවාද කිරීමෙනි. ගෝලයාගේ චරිත ශුද්ධිය ආරක්‍ෂා කර ගැනීමට ගුරුවරයා තුළ පැවැති දැඩි අපේක්‍ෂාව මෙයින් පෙනේ.

ගුරුවරයා ද මනා චරිතවත් සදාචාර සම්පන්න පුද්ගලයකු විය යුතු ය. බැමිණිටියා සාය කාලයේ දී (ක්‍රි.පූ. 89 – 77) මහානිද්දේස පාළිය දැන සිටියේ එක් දුශ්ශීල භික්‍ෂුවක් පමණි. එම භික්‍ෂුවගේ අභාවයෙන් එම පොත අභාවයට යාමට ඉඩ තිබිණි. එම පොත ආරක්‍ෂාකර ගැනීම පිණිස එම භික්‍ෂුවගෙන් එය ඉගෙන ගන්නා ලෙස භික්‍ෂූන් වහන්සේ මහාරක්‍ඛිත තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. එහෙත් දුශ්ශීල ගුරුවරයකුගෙන් ඉගෙන ගැනීමට එම තෙරුන් අකැමැති විය. අවසානයේ දී සංඝයාගේ බලවත් ඉල්ලීම මත එම ධර්මය විනාශ වී යාම වැළැක්වීමට තවත් තෙර නමක් ළඟ හිඳුවා ගනිමින් එය ඉගැනීමට කැමැති විය. ගෝලයා මෙන්ම ගුරුවරයා ද සම්භාවනාවට පත් වූයේ දැනීම නිසාම නොව සදාචාර සම්පන්න වූයේ නම් පමණි. උගත්කමින් යුත් බහුශ්‍රැතයා ඉතාම උසස් පුද්ගලයකු ලෙස සලකා ඇත. කුඩා ශික්‍ෂා පදයක් වූවද දිවි දෙවෙනි කොට රැකී අය වූහ.

අධිගම ලාභය ලබා ගැනීමට ශිෂ්‍යයා පොළඹවනු ලැබීම එකල අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථයක් විය. ඒ සඳහා කම්මට්ඨාන ගුරුවරු ද වූහ. අධ්‍යාත්මික වර්ධනයෙන් තොර හුදෙක් ලෞකික ලාභ සත්කාර සඳහා ඉගෙනීමට කාලය ගත කරනවාට වඩා නිදාගැනීම හොඳයැයි මජ්ඣිම නිකාය අටුවාවේ දක්වා ඇත. කෙතරම් උසස් පෙළේ බහුශ්‍රැතයෙකු වූවද අධ්‍යාත්මික වර්ධනය ඇතිකර නොගතහොත් ඔහු සමාජයේ ගෞරවයට පාත්‍ර නොවී ය. සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ (ක්‍රි.පූ.137 – 119 ) විසූ කීර්තිමත් බහුශ්‍රැතයෙකු වූ කාලබුද්ධරක්‍ඛිත තෙරුන් වහන්සේ ත්‍රිපිටක ධර්මය ඉගෙන අවසන් කොට ගෝලයන් ද පිරිවරාගෙන තම ගුරුවරයා බැලීමට පැමිණියහ. ගුරු හිමියෝ තම ගෝලයාට මුහුණ දී එක වචනයක්වත් කථා නොකළහ. ගුරුවරයාගේ හැසිරීම ගෝලයාගේ විමතියට හේතු විය. එයට කරුණු විචාල කල්හි ගුරුවරයා පැවසුවේ මෙබන්දකි.

ගුරුවරයා - “බුද්ධරක්‍ඛිත, නුඹ මෙපමණකින් පැවිදි කිස නිමවන ලදද?”
ගෝලයා - “මම කුමක් කරම්ද?”
ගුරුවරයා - “ශිෂ්‍ය පිරිස අතහැර ප්‍රපඤ්චය සිඳ ගිරිගල් වෙහෙරට ගොස්, මහණදම් පුරවයි” කීය.

අධ්‍යාත්මික වර්ධනය සඳහා උත්සාහ නොකර හුදෙක් ඉගෙනීමේ හා ඉගැන්වීමේ යෙදුන සමහර ගුරුවරුන්ගේ ජීවිත නිසරු කොට සලකන ලදී. අටළොස් ශිෂ්‍ය සමූහයාට ධර්මය ඉගැන්වීමට කාලය කැප කළ කීර්තිමත් ගුරුවයකු වූ ගාමන්තපබ්භාරවාසී මහාසීව තෙරුන්ට අධිගම ලාභය සඳහා තිස්වසරක් (30) මහණදම් පිරීමට සිදුවිය. එහෙත් මගපල ලබා ගැනීමට නොහැකි විය. අන්තිමේ දී උන්වහන්සේ ඇඬුවේ ය. එය දුටු දේවතාවියක් ද ඇඩීය. එයට කරුණු විමසූ කළ හැඬීමෙන් මගපල ලබන්නට හැකිනම් මම ද ඉන් එකක් දෙකක් උපදවාගනිමියි සිතා හඬමියි කීවේ ය. මෙය අධ්‍යාත්මික වර්ධනය ගැන නොසලකා හළ උගතුන්ට එල්ල කරන ලද සරදමක් බඳු ය. විශුද්ධිමාර්ගයේ ද දක්වන්නේ ගුරුවරයා කලකට ශිෂ්‍යයන්ට ඉගැන්වීම අතහැර වූවද මගඵල ලබාගැනීමට කාලය ගත කළ යුතු බවයි. එහිදී,

1. ශිෂ්‍යයන් පෙළෙහි හෝ අර්ථකථාවෙහි වැඩි කොටසක් උගත්තේ නම් ඉතිරි ස්වල්පය ද අවසන් කොට අරණ්‍යගත විය යුතු ය.
2. ඉගෙනගත් කොටස ස්වල්ප නම් යොදුනක් අතර වසන අන්‍ය ආචාර්යවරයකුට ශිෂ්‍ය පිරිස භාරදිය යුතු ය.
3. එබඳු ආචාර්යවරයකු ද නොලැබේ නම් අන් තැනකට ශිෂ්‍ය පිරිස පිටත්කර යැවිය යුතු ය.

මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් තොර උගත්කම පූර්ණ ලෙස පිළිනොගත් බවයි. ආරාමයක ඉගෙන ගන්නා ශිෂ්‍යයකු විසින් හුරු පුරුදු විය යුතු ඇමදීම, ගෙත්තම් පන්නම් කිරීම, පිළිසකර කිරීම, වැනි කටයුතු හා දිනපතා ඉටුකළ යුතු කුදු මහත් කාර්ය නිසිආකාරයෙන් කළ යුතු ය. ශිෂ්‍ය අධ්‍යාපනය පොතට පමණක් සීමා නොවිණි. හසුරු කෞශල්‍යය ඔහු විසින් ලබාගත යුතු ය.

මහවෙහෙර අක්‍ෂර ප්‍රගුණ කළ භික්‍ෂූන් සිටි බවද ඔවුන් ශිෂ්‍යයන් හට අක්‍ෂර ශාස්ත්‍රය පුරුදු පුහුණු කළ බවද මජ්ඣිමනිකාය අටුවාවේ සඳහන් වේ. මහා විහාරයේ ලෝවාමහාපායේ සැලැස්ම සකසන ලද්දේ භික්‍ෂූන් විසිනි. භෛෂජ්‍ය විද්‍යාව ප්‍රගුණ කළ භික්‍ෂූහු ආරාමවල සිටියහ. ගිහියන්ගේ නඩු හබ විනිශ්චය කළ භික්‍ෂුවක්ද විය.ක්‍රි.ව. 456 දී චීනයට ගිය නන්ද තෙර දක්‍ෂ ප්‍රතිමා ශිල්පියෙකි. එබැවින්, අනුරාධපුර යුගයේ පැවැති අධ්‍යාපනය හුදු ශාස්ත්‍රය සඳහා පමණක් සීමා නොවූ බව පෙනේ. කෞශල්‍ය වර්ධනය එහි ප්‍රධාන අරමුණක් විය.

අනුරාධපුර, පොලොන්නරු යුගවල ක්‍රියාත්මක වූ අධ්‍යාපනය හුදු සීමිත රාමුවක් තුළ ක්‍රියාත්මක වූවක් නොවේ. එකිනෙක ශිෂ්‍යයාගේ පෞරුෂ ස්වභාවය අනුව ඒ ඒ අයට ගැළපෙන විවිධ න්‍යාය අනුගමනය කිරීම මෙහි විශේෂත්වයකි. මේ යුගයේ ක්‍රියාත්මක වූ අධ්‍යාපනයෙහි ඉහත කී ප්‍රධාන අරමුණුවලට අමතරව තවත් විශේෂ ලක්‍ෂණ රාශියක් තිබූ බව පෙනේ.

1. ඒ ඒ පුද්ගලයාගේ චරිත ලක්‍ෂණ අනුව ඉගැන්වීම.
2. විවෘත නිදහස් වාතාවරණයක් යටතේ අධ්‍යාපනය ලබාදීම.
3. සිත කය වචනය හික්මවීම.
4. දැනුම සමග විනය ගරුකත්වය ඇති කිරීම.
5. විචාර ශක්තියට අනුබල දීම.
6. හැකි හැම විටම ස්වාභාවික පරිසරය අධ්‍යාපන මධ්‍යස්ථානය වශයෙන් තෝරා ගැනීම.
7. ස්ව ශක්තිය ධෛර්ය හා ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම.
8. අසීමිත ආශාවන්ගෙන් ඈත්ව නිරවුල් මනසක් හා සැහැල්ලු ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය අවබෝධයත් පිළිපැදීමත් ප්‍රගුණ කරවීම.

එකල ක්‍රියාත්මක වූ ආරාම ආශි‍්‍රත අධ්‍යාපනය පූර්ණ අධ්‍යාපන දර්ශනයක් ගොඩනැඟීමට ප්‍රමාණවත් විය. පොලොන්නරු යුගය දක්වා ක්‍රියාත්මක වූ මෙම අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රතිඵලය වූයේ විශිෂ්ට බහුශ්‍රැතයින් බිහිවීමයි.

1. අවුරුදු 19 ක් ඉගැනීම අතපසු කොට භාවනා කළදේව තෙර එකම තැනක්වත් නොවරද්දා මජ්ඣිම නිකාය කියන ලදී.
2. අවුරුදු 18 ක් ඉගැනීම අත්හැර සිටි කාලගිරිවාසි නාග තෙරුන් එකම තැනක්වත් නොවරද්දා ධාතු කතාව කියන ලදී.
3. රුහුණේ තුලාධාර පබ්බතවාසී ධම්මරක්‍ඛිත තෙරුන් අවුරුදු 30 ක් ඉගැනීම අත්හැර සිටියත් එකම තැනක්වත් නොවරද්දා මුළු ත්‍රිපිටකය ම කියන ලදී.
4. මහාගතිම්බ අභය හා දිඝභාණක අභය යන තෙරවරුන්ට තමන් පස් දවසක් හා නව දවසක් කුඩාකල වූ සිදුවීම් කීමට හැකිවිය.
5. ත්‍රිපිටක චුලාභය තෙරුන්ට අනුරාධපුර සියලු වැසියන්ගේ නම් කීමට හැකි විය. වරක් හඳුන්වා දුන් තැනැත්තකු දුටු තැන හැඳිනීමට ද හැකි විය.

මෙම කරුණු වර්තමාන ශිෂ්‍යයන්ට ඇදහිය නොහැකි අද්භූත සිදුවීම් ලෙස පෙනෙතත් සත්‍ය නම් එවැනි බහුශ්‍රැතයන් සිටි බවයි. අනුරාධපුරය හා පොලොන්නරු යුගවල තිබූ අධ්‍යාපනයෙහි ප්‍රධානතම අභිමතාර්ථය වූයේ අධ්‍යාත්මික සංවර්ධනයයි. එහි ද්විතීය අරමුණ විෂයයන් පිළිබඳ පරතෙරට යාමයි. එයද එක් විෂයක් අරබයා සිදු වූවක් නොවේ. එවක ආරාම තුළ ත්‍රිපිටකය අට්ඨකථා සමග ඡන්දස්, අලංකාර, ව්‍යාකරණ ශාස්ත්‍ර, න්‍යාය ශාස්ත්‍ර, ඡ්‍යොතිෂ නීතිය, ඉතිහාසය, දේශපාලනය විද්‍යාව, ගණිතය, මිණිතය, වෛද්‍ය ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ මෙන්ම භාරත වීර කාව්‍ය වන රාමායනය, මහාභාරතය, ජානකීහරණය, වැනි වීර කාව්‍ය ද සකුන්තලා, හර්ෂචරිත, රගුවංශය, වැනි ග්‍රන්ථ ද වේද ග්‍රන්ථ ද උගන්වා තිබේ. එකල සෑම ශිෂ්‍යයෙකුටම මෙම විෂයයන් පිළිබඳ යම් ප්‍රමාණයක වූවද දැනුමක් තිබුණු බව පෙනේ. එහෙත් ප්‍රධාන අරමුණ වූයේ අධ්‍යාත්මික ශික්‍ෂණය ලැබීමයි. එම ශික්‍ෂණයෙන් යුත් ශිෂ්‍යයාට අතුරු දැනුම ලැබීම ද ඉක්මන් විය.

ප්ලේටෝ අධ්‍යාපනය යන්න නිර්වචනය කර ඇත්තේ නොපෙනෙන ඇසට එළිය දැකීමක් නොව පෙනෙන ඇස එළිය දෙසට යොමු කරවීමක් ලෙස ය.උගත්කමින් තොර පරාර්ථයත්, පරාර්ථයෙන් තොර උගත්කමත් විනාශදායකය. අධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර භෞතික සංවර්ධනය, පුද්ගලයාම විනාශ කරවන සුළුය. “අධ්‍යාපනය යනු මිනිස් පෞරුෂය හැඩගැසීමේ ක්‍රියාවලිය කරන පැරණිතම විද්‍යාවයි.” යනුවෙන් සෝවියට් අධ්‍යාපනය නිර්වචනය කර ඇත. පෞරුෂ සංවර්ධනයේ පළමු පියවර මානසික සංවර්ධනයයි. ඒ අනුව බෞද්ධ අධ්‍යාපනයේ පරමාර්ථ කිහිපයක් වේ.

1. තමාට හා සමාජයට සැපතක් මිස විපත් නොවන පරිදි පුද්ගල දැනුම, ආකල්ප, කුසලතා ලබාදීම.
2. සහජයෙන් ලත් උරුමයෙන් ප්‍රයෝජන ගත හැකිසේ පෞරුෂය සංවර්ධනය කිරීම.
3. තමා හා අවට පරිසරය පිළිබඳ යථාතත්වය අවබෝධ කොට ගත හැකි වනසේ දැනුම, ආකල්ප, හැකියාව ලබාගැනීමට අවස්ථා සැලසීම.
4. තමාට හා අන්‍යයන්ට යහපතක් වනසේ මිනිස් හැසිරීම් සැකසීමට ගන්නා පෞද්ගලික හා සාමූහික වෑයම.

මෙකී ලක්‍ෂණ සියල්ලක්ම අනුරාධපුර, පොලොන්නරු යුගයේ තිබූ අධ්‍යාපන ක්‍රමයෙහි තිබූ බව පැහැදිලි ය. එනම්, අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණ විය යුත්තේ හුදු රැකියා අවස්ථා සපයා ගැනීම පමණක් ම නොව පුද්ගල හා සමාජ සංවර්ධනයට මඟ හෙළි කිරීමය. රැකියාව යනු නිවැරදි අධ්‍යාපනයේ අතුරු ඵලයක් පමණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.