Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

මිනිසත් බව දුබලය

උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජා භය) දෙක .එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කිචෙඡා මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිචෙඡා බුද්ධානං උප්පාදොති

පින්වත්නි,

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඒරතපන්න නාගරාජයා අරභයා දේශනා කරන ලද ගාථා ධර්මයකි ඉහත සඳහන් කෙළේ. එහි සරල අදහස නම් ‘මිනිසෙකුව ඉපදීමත්, මිනිස් ජීවිතයක් මනාව පාලනය කිරීමත්, බණ අහන්න ලැබීමත් ලොවුතුරා බුදුවරයකුගේ ඉපදීමත් යන කරුණු සතර ලෝකයෙහි ඉතාම දුර්ලභ අමාරු කලාතුරකින් සිදුවෙන දේවල් යන බවයි.’ පින්වත! මිනිස් ජීවිතයක් ලබා ගැනීම ඉතාම අපහසු කාරණාවක්. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා අපහසුයි.

අප එම අපහසු, දුර්ලභ කරුණු ඉටුකරගෙන හමාරයි. ඔබ සහ මම මේ ගෞතම සම්බුදු සසුන පවතින යුගයක මිනිසුන්ව ඉපදීමත්, සියලු ඉන්ද්‍රිය ඇතිව ඉපදීමත්, එයටත් වැඩිය දුර්ලභයි. එය සම්පත්තියක්. එයට කියන්නේ ‘ක්‍ෂණ සම්පත්තිය’ කියලයි. බුදු වීමට, පසේ බුදුවීමට, රහත්වීමට පළමුව මිනිස් බවක් ලබා ගත යුතුමයි. එම දුර්ලභ කරුණු අප ඉටුකරගෙන හමාරයි. එය රැක ගැනීම මගෙත් ඔබගෙත් වගකීමක් බව නිතර සිතන්න.

ලෝකයෙහි පහළවන සත්වයන් අතුරෙන් මිනිසා උසස්කොට සැලකිය යුතු යි. උසස් නිර්මාණශීලී මනසක් ඇත්තේ මිනිසාට පමණයි. මිනිස් ජීවිතය පහත් තත්ත්වයට ඇද වැටෙන්න දෙන්න හොඳ නැහැ. එසේ වුවහොත් ඔහු පහත් මිනිසකු වෙනවාමයි. මිනිස්කම රැක ගැනීම ඔබගේ පරම වගකීමක්. උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජාභය) දෙක තිබිය යුතු යි.

එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා. යමෙකුට පුණ්‍ය සම්පත්තිය තිබේනම් ඔහුට පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන්නට අවකාශ තිබෙනව. පැවිදි, ගිහි, ස්ත්‍රී, පුරුෂ, දේව, බ්‍රහ්ම ආදීන්ට පමණක් නොව, තිරිසන් ආත්මයක ඉපදුණත් පින අවශ්‍ය බව පෙනේ. බොහෝ සැප විඳින තිරිසන් සතුන් සිටින බවද ඔබට දැකිය හැකි ය.

පෙර ජාතිවල කරන ලද දානාදි පින්කම් වල ප්‍රතිඵලයක් ලෙස රූප සම්පත්තියෙන් හා පරිවාර සම්පත් සහිතව දෙවියන් වුවත් මනුස්සයෙකුව වුවත් ඉපදී සැප විඳිනවා. පින් කළ මවුපියන් කී දෙය කරන, තමන් දුර්වල කාලයේ දී කෑම් බීම් ආදිය සපයාදී පෝෂ්‍ය කරන පාරම්පරික සිරිත් කඩ නොකරන ආගම දහම කෙරෙහි ශ්‍රද්ධාව ඇති පන්සිල් රකින ලෝකයාගෙන් ප්‍රසංසා ලබන යහපත් දරුවො ලබා පී‍්‍රතිමත් වන බව දහමේ දැක්වේ. ඒ බව ලෝකය දෙස බැලීමෙන් ඔබට දැනගත හැකි වන වා ඇත. කරුණු මෙසේ හෙයින් පින නොපමාව කර ගන්නා ලෙස ඔබට සිහිගන්වමි. පින කාටත් උපකාර වන දෙයක් බව සලකා දෙලොව දියුණුව ඇතිකර ගැනීමට උත්සාහවන්ත වන්න.

ඔබ පුරුෂයකු හෝ ස්ත්‍රියක වුවත් එය ජීවිතයට බාධාවක් නොවේ. ඉතා සතුටින් යුක්තව කටයුතු කිරීමට උත්සාහවන්ත වන ලෙස කාරුණිකව සිහිගන්වමි. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සැමට සෙත සැලසේවා.!

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.