Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා ප්‍රදර්ශනය 6 වන දා සිට

වසර පහකට පසු ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් මාර්තු මස 06 වනදා සිට 16 වනදා දක්වා පුරා දින 11 ක් මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා හා පූර්ණ ආශිර්වාදය මත පැවැත්වීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තීරණය කැර ඇත.

ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ රට තුළ ගොඩනැගෙමින් පවතින සාමකාමී වාතාවරණයත් සමඟ රටට සහ ජනතාවට ආශිර්වාද පතා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට තීරණය කළ බව දියවඩන නිළමේ නිලංග දෑල මහතා පවසයි.

සෑම දිනකම පස්වරු 1.00 සිට 5.00 දක්වා පැය 04 ක කාලයක් දළදා වහන්සේ මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර සාමාන්‍ය ජනතාව සඳහා පිවිසුම් මාර්ග 03 ක් ද මහා සංඝරත්නයට හා රණවිරුවන් වෙනුවෙන් වෙනම පිවිසුම් මාර්ග 02 ක් ද ස්ථාපිත කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කැර ඇත.

දළදා ප්‍රදර්ශනය නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂිත අතර ඔවුනට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු පොදු පහසුකම් සැපයීම රජයේ මෙහෙයවීම මත සිදුකෙරේ.

අදාළ කාලය තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස තුන්දහසක පමණ පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් සේවයේ යොදවන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීය.

දළදා වහන්සේ ඡායාරූපගත කිරීමට අවසර නොමැති බැවින් කැමරා ජංගම දුරකතන වැනි විද්‍යුත් උපකරණ රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසත් සුදුවතින් සැරසී ආගමික පරිසරයට ගැලපෙන ලෙස පැමිණෙන ලෙසත් දියවඩන නිළමේ තුමා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.