Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු වදනෙන් හෙළිවූ කර්ම නියාමයේ යථාර්ථය

බෞද්ධ කර්මවාදයේ දී සිත, කය වචනය තුන් දොරට මුල් තැන හිමි වෙයි. අනෙක් ආගම් දර්ශනවල ඇත්තේ කය හා වචන මුල් කරගෙන කර්මය සිදු වන බවයි. කර්මය සිදු කිරීමේදී සිතට මුල් තැන හිමි වන බව බුදු දහම පවසයි. විවිධ තපස් ක්‍රම, විවිධ තපස් චර්යා ව්‍රත සිදු කරන්නේ කර්ම තැවීමක් හැටියට බව පැහැදිලි ය. සීලයෙන් මානසික සංවරය ද, කය වචන දෙක හික්මීම ද සිදුවන බව බුදු දහම අවධාරණය කරයි. බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන මානසික සංවරය, ඉන්ද්‍රිය සංවරය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි.

බුදුරජාණන් වහන්සේ ජෛනයන් ඉදිරිපත් කළ කර්ම වාදය ප්‍රතික්ෂේප කළා පමණක් නොව, පෙර භවයේ සිට ආ කර්මය ක්‍ෂය කිරීමට උත්සාහ කිරීමෙන් කර්ම විපාක වලින් වැළකී සිටීමට කෙනෙකුට හැකියාවක් නැති බව ද පෙන්වා දෙති. කෙසේ වුව ද විමුක්තිය ලැබීමට කර්ම හට ගැනීමේ ශක්තිය ක්‍ෂය කළ යුතුය. තවද ආජීවකයන් ඉදිරිපත් කළ පුබ්බේකත හේතුවාදය (සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස) බුදුසමය ප්‍රතික්ෂේප කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස ජෛනයන්ගේ කර්ම ක්‍ෂය කිරීමේ අදහසටත් වඩා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර තිබීමද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. පුබ්බේකත හේතුවාදය, මිථ්‍යා දෘෂ්ටියක් බව මහා තිත්ථායන සූත්‍රයේදී දේශනා කොට ඇත.

සියල්ල කර්මයෙන් සිදු නොවන බව පෙන්වා දෙන බුදුසමය කර්ම නියාමයේ යථාර්ථය ද එයට හේතු ද පෙන්වා දෙයි.

01. මිනිසාට වැළෙඳන රෝග වලට ද හේතු ගණනාවක් පැවතිය හැකිය. ඉන් එක් කොටසක් කර්මයෙන් සිදුවිය හැකිය.

02. මිනිසාට සිතෙන් ද රෝග හට ගනී. එමෙන්ම ඍතු විපර්යාසයෙන්ද රෝග හට ගනී. මිනිසාට වාතය මුල් කොට ගෙන රෝග ද , සෙම මුල්කරගෙන රෝග ද හට ගන්නා බව, ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වේ. එමෙන්ම නුසුදුසු ආහාර නිසා ද රෝග හට ගන්නා බව පෙන්වා දිය හැකිය.

යම් අයකුගේ ශරීරය තුළ වාතය සිටි කල, එයට හේතුව විමසා, එම තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කරන්නා නුවණැත්තෙකි. කෙනෙකුගේ උපතට හේතුව ආශාව සමග පවතින කර්මය යි. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අනුව ගන්ධබ්බ අවස්ථාවට පැමිණි පසු, දේව, බ්‍රහ්ම , මනුෂ්‍ය, තත්ත්වයට පැමිණීම සිදුවන බව පෙනී යයි. සියල්ල කර්මයෙන් සිදු නොවන අතර මවුපියන්ගේ ආරක්‍ෂාව හා පෝෂණය හේතු කොට ගෙන වැඩීම සිදුවෙයි. සත්වයාගේ වැඩීමට ආහාර, ශීතෝඋෂ්ණය ආදිය අවශ්‍ය බව පෙනී යයි. මිනිස් සිරුර තුළ චිත්ත රූප මෙන්ම , කර්මජ රූප ද පවතින අතර, ශරීරයට ලැබෙන ආහාර දිරවන්නේ උෂ්ණයෙනි. කර්මයෙන් එය සිදු නොවන අතර තේජෝ ධාතුවෙන් එය සිදුවේ. සිතද ශරීරය වැඩීමට අවශ්‍ය බව බුදුදහම පිළිගනියි. නිතර කේන්ති ගන්නා ද්වේෂයෙන් යුතු තැනැත්තා දුර්වර්ණ වන අතර, අල්ප ආයුෂ්ක ද වේ. නිතර සතුටෙන් සිටින අයගේ (සන්තුට්ඨි පරමං ධනං) වර්ණය හෙවත් පැහැය ද යහපත් වන අතර දීර්ඝ ආයුෂ ද ඔවුනට හිමි වෙයි.

කර්ම විපාක දීමේදී අවශේෂ බලවේග ද , ඊට ලැබෙන අවකාශය ද එය විපාක දෙන අයුරු තීරණය වීමට හේතු වෙයි. කුසල කර්මයකදී බලපාන කරුණු වන්නේ

ගති සම්පත්තිය - උපදින තැන
උපධි සම්පත්තිය - පෞරුෂ ලක්ෂණ
කාල සම්පත්තිය - උපදින කාලය
පයෝග සම්පත්තිය - උත්සාහය ආදිය

අකුසල කර්මයකදී ගති විපත්ති , උපධි විපත්ති, කාල විපත්ති සහ පයෝග විපත්ති බලපාන බව පෙන්වා දිය හැකිය. සූත්‍රවල දැක්වෙන අන්දමට කර්මය හඳුන්වා ඇත්තේ “ චේතනාහං භික්ඛවේ, කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා “ කර්මයේ පදනම චේතනාව වන අතර, සිත මුල් වී කරන ක්‍රියා කර්ම වේ. සිතා මතා කරන ක්‍රියාව තුළ විපාක ඇත.

යම් කිසි ක්‍රියාවක විපාක දෙන ශක්තිය නැත්නම්, ඒවා කර්ම නොවේ. රහතන් වහන්සේ සිදු කරන්නේ, එවැනි කර්ම යි.

යම් අයෙකු තෝරා බේරාගෙන ක්‍රියාවක් සිදු කරයි ද, ඔහුට ඒ පිළිබඳ වගකීමක්, බැඳීමක් පවතියි. එහෙයින් එය කර්මය ලෙස දැක්විය හැකි ය. මමත්වය තහවුරු කැරෙන ක්‍රියාව කර්මය වශයෙන් දැක්විය හැකි යි. මේ අනුව පෙනී යන කරුණු තුනකි.

01. චේතනාව කර්මය වන බව
02.සිතාමතා කර්ම කරන බව
03.කර්මයට ප්‍රතිඵලයක් ඇති බව

බෞද්ධ කර්මවාදයේ දී සිත, කය වචනය තුන් දොරට මුල් තැන හිමි වෙයි. අනෙක් ආගම් දර්ශනවල ඇත්තේ කය හා වචන මුල් කරගෙන කර්මය සිදු වන බවයි. කර්මය සිදු කිරීමේදී සිතට මුල් තැන හිමි වන බව බුදු දහම පවසයි. විවිධ තපස් ක්‍රම, විවිධ තපස් චර්යා ව්‍රත සිදු කරන්නේ කර්ම තැවීමක් හැටියට බව පැහැදිලි ය. සීලයෙන් මානසික සංවරය ද, කය වචන දෙක හික්මීම ද සිදුවන බව බුදු දහම අවධාරණය කරයි. බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන මානසික සංවරය, ඉන්ද්‍රිය සංවරය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි.

ඉන්ද්‍රිය සංවරය තුළින් අප බලාපොරොත්තු වන්නේ “ මගේ” යන සංකල්පය අඩු කිරීම යි. ඒ සඳහා ක්‍රමානුකූලව ලෝභ,ද්වේශ, මෝහ අකුසල යටපත් කොට අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූල වර්ධනය කළ යුතු ය. යම් දිනක සසර නතර කර ගත හැකි වන්නේ එසේ ක්‍රියා කිරීමෙන් බව පැහැදිලි ය. කර්මය පිළිබඳ තේරුම් ගත හැකි වන්නේ පඤ්ඤා විමුක්ත ක්‍රමයට සත්‍යය දකින නිවන් දකින බුදුපියාණන් වහන්සේට සහ රහතන් වහන්සේට පමණකි.

කෙනෙක් සතර වන ධ්‍යානයෙන් පසුව ත්‍රිවිද්‍යා කරා සිත යොමු කරන්නේ නම්, උන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය (අතීත කර්ම ද) දිබ්බ චක්ඛු (සත්ත්වයා සසර නැවත උපදින ආකාරය) මෙන්ම ආසවක්ඛය (නිවන ද ) ලබා ගත හැකි ය. ප්‍රඤ්ඥා විමුක්ත ක්‍රමයට අමතරව, අර්හත් භාවයට පත්විය හැකි ක්‍රම 12 ක් තිබේ. එවැනි ක්‍රම වලට නිවන් දකින, රහත් වන අයට , කර්මය පිළිබඳ තොරතුරු දත නොහැකි ය.බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා බව ප්‍රකාශ කර සිටිති. යම් අයෙක් අයහපත් ක්‍රියාවල යෙදෙන්නේ නම්,ඔහු මරණින් පසු නරකයෙහි උපදියි. මේ සම්බන්ධව කරුණු මහා කම්ම - විභංග සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇත. එහි කර්මය හා කර්ම විපාකය, හේතු ඵල න්‍යාය යටතේ විස්තර කර ඇත.

පර පණ නසන්නාට දීර්ඝ ආයුෂ ලැබීමට නොහැකි ය. පර පණ නොනසන්නාට දීර්ඝ ආයුෂ හිමි ය. අන් අයට කරදර කරන්නාට ඉදිරි කාලය අප්‍රසන්න ය. අන් අයට කරදර නොකරන්නාට ඉදිරි කාලය ප්‍රසන්න ය. ඔවුන්ගේ ඡවි වර්ණය (පාට)පැහැපත් වෙයි. ලස්සන වෙයි. උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනා සිදු කරන්නා සැමට පි‍්‍රයවෙයි. එමෙන්ම කර්මය, කුසල අකුසල, අව්‍යකෘත වශයෙන් තෙවැදෑරුම් ය.

ජනක කර්මය යනු යම් භවයක සත්වයකු උපදවන කර්මය යි
උපත්ථම්භක (ජනක කර්මයේ විපාක ශක්තියට සහාය දෙන කර්මයි)
උපපීඩක කර්ම (ජනක කර්මයේ බලයට බාධා කරන කර්මයි)

උප ඝාතක කර්ම (ජනක කර්මයේ ශක්තිය බිඳ දමන කර්මයි) එය, කර්මය කෘත්‍ය වශයෙන් පෙන්වා දීමකි. මරණින් පසුව ප්‍රති සන්ධි ලබා දෙන ආකාර වශයෙන් ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය වශයෙන් කර්ම වර්ග කොට ඇත.

එමෙන්ම දිට්ඨධම්ම වේදනීය , උපපජ්ජ වේදනීය , අපරාපරිය වේදනීය හා අහෝසි කර්ම වශයෙන්ද විපාක දෙන කාල වශයෙන් කර්ම වර්ග කොට ඇත. කාම භූමි, රූප භූමි, අරූප භූමි වශයෙන් කර්ම විපාක දෙන භූමි වර්ග කොට ඇත. මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය.

කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය. කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කය ඔබේ ද , මාගේ ද, වෙන කෙනෙකුගේ ද නොවන බව “ කායං කායේන දට්ඨානං නත්ථි අඤ්ඤේසමං යන සූත්‍ර ධර්ම පාඨය අවධාරණය කරයි. සිරුර සම්බන්ධව එසේ වුවද , වෙනස් වෙමින් ගමන් කරන සිත ක්‍රියා කරන ඔහුගේ ම ය. එක් භවයක සිදුකරන දෙය, අන් භවයට යන්නේ එය සිතේ නොනැසී පවතින නිසා ය.

මේ කරුණු අනුව පෙනී යන්නේ කර්මයේ කොටසක් ද, බුද්ධිය ද සසර පුරුදු ද ඊළඟ භව වලට බලපාන බව යි. අප කරන සියලු දේ කර්මය අනුව සිදු නොවන බවත්, ඒවා කර්මයට භාර නොදී උත්සාහයෙන් කටයුතු කොට භෞතික දියුණුව, මානසික දියුණුව, ආදී සියලු අංශයන්හි දියුණුව ලබා ගත යුතු බවත් බුදු සමය අවධාරණය කරයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.