Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සති පිරිතයි පුද සිරිතයි

තල් ගොක් අත්ත පිළිගැනීමෙන් අනතුරුව ලිත කීමට හා තල්පත ලිවීමට තෝරාගත් චිරරාත්‍රඥ මහ තෙරනමක් විසින් ලිත බලා දේව දූතයා ගමන ආරම්භ කළයුතු හෝරාව හා නැකත දැනගෙන එය තල් කොලයක ලියනු ලැබේ. නියමිත සුබ මුහුර්තයට විනාඩි කිහිපයක් තිබියදී පිරිස පන්සිල්හි පිහිටුවති. අනතුරුව මඟුල් බෙර වාදනය සිදුකෙරේ. පසුව ඉන්ද්‍රඛීලය අසල එලන ලද පාවාඩයක් මත නැගී සිටගත් මහතෙරුන් වහන්සේ, ශබ්ද නගා ලිත කියවා එය මහා සංඝරත්නයට ද දන්වා සිටිති.

සති පිරිත් දේශනාවන් පැවැත්වෙන අවස්ථාවන්හිදී ඊට සමගාමීව ඉතා ප්‍රකට ‘අස්න දේශනා’ තුනක් පැවැත් වේ. එනම්,

1. විහාර අස්න දේශනය

2. අනුශාසනා අස්න දේශනය සහ

3. දොරකඩ අස්න දේශනය යි

මෙම රචනාත්‍රයම වෘත්තගන්ධි ශෛලියෙන් යුක්ත ය. නාට්‍යමය ලක්ෂණ ගැබ්ව පවත්නා මෙම චාරිත්‍ර තුළින් බුදුදහම හා ගැමි ඇදහිලි අතර වූ සංකලනයක් පිළිබිඹු වේ.

සති පිරිත ඇරඹෙන මුල් දිනයේ දී සවස හයට පමණ චාරිත්‍රානුකූලව පිරිත් පැන් කළ පිරිත් මණ්ඩපය තුළ තැන්පත් කෙරෙයි. එහිදී පූජා අර්ථයෙන් භේරි වාදන පැවැත්වේ. පිරිත් පැන් කලස් තැන්පත් කිරීමෙන් අනතුරුව ද හැන්දෑදුර භේරි වාදනය සිදු කෙරෙයි. පුරාතනයේ සති පිරිත් දේශනයක් පැවැත්වීම ගම්වාසීන්ට සන්නිවේදනය කළේ අඬබෙර වාදනය මගිනි. (බෞද්ධ පුද පූජා සහ භේරිවාදන සංස්කෘතිය - වෛද්‍යවතී රාජපක්ෂ , 2002, 2 පිට)

පිරිත ආරම්භ කිරීමේදී සති පිරිත් දේශනා සඳහා ඉටු කෙරෙන විශේෂ ශබ්ද පූජාවක් වන ‘ජාම’ (යාම) භේරි වාදනය සිදු කෙරෙයි. මෙහිදී සියලුම භේරි වාදකයෝ විහාරස්ථානයේ බුදු මැදුරට වැඳ නමස්කාර කොට ඔවුහු ද එකිනෙකාට ආචාර සමාචාර කර ගනිති. ඉක්බිතිව ‘ජාම පද පිරීම’ සිදුවන අතර එහිදී භේරි වාදකයෝ දෙපේළියට සිට ගනිති. පසුව සියුම් භේරි වාදනය සඳහා පැය භාගයක පමණ කාලයක් ගත කරති. රාත්‍රී අටයි තිහට පමණ වලිනඩ පදයක් සමග පද හමාර කිරීමෙන් එම භේරි වාදන කොටස නිමාවට පත්වෙයි.

මෙකී ඡාම භේරි වාදන අවස්ථාවෙන් පසු රාත්‍රී 8.30 ට පමණ සුරප්පට්ටුව වාදනය කෙරෙයි. එය භික්ෂූන් වහන්සේට පිරිත සඳහා සූදානම් වීමට කාලවේලාව හඟවන භේරී වාදනයයි. ඉක්බිතිව රාත්‍රී 9.00 ට පමණ පංචතූර්ය භේරි වාදන මධ්‍යයේ සධාතුක කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ භික්ෂූන් වහන්සේ පිරිත් මණ්ඩපයට වැඩම කරවීම සිදුකෙරේ. මෙහිදී ‘වඩම්මන බෙර පද’ වාදනය කෙරෙයි. මේ සඳහා දවුල්, තම්මැට්ටම් වාදනය අනුව හොරණෑ වාදනය ද පවත්වයි.

පිරිත් මණ්ඩපයේ සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ වඩා හිඳුවීමෙන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූ®ලව සිදු කෙරෙනුයේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පිරිස පන්සිල්හි පිහිටුවා පිරිත් අවවාදය ලෙස කෙටි අනුශාසනාවක් පැවැත්වීමයි. පිරිත ආරම්භ කරනුයේ තෙවරක් සක් පිඹීම සිදුකොට මඟුල් බෙර හා තේවා බෙර වාදන මගින් ශබ්ද පූජාව සිදු කිරීමෙන් පසුව ය. එම භේරි වාදන ශබ්ද පූජාව පැවැත්වීම සඳහා සක් පිඹින්නා ඇතුළු ගැටබෙර වාදකයෝ පිරිත් මණ්ඩපය අභිමුඛයෙහි දෙපෙළ සෑදී සිට ගනිති. සති පිරිත් දේශනා පැවැත්විමේදී සාම්ප්‍රදායික පිළිවෙත වනුයේ ගැට බෙර, දවුල්, තම්මැට්ටම්, හොරණෑ සක්, තලි ආදී වාද්‍ය භාණ්ඩ වැඩි සංඛ්‍යාවක් වාදනය කරවීමයි. පූර්වෝක්ත තූර්ය වාදනවලින් පසුව පිරිත ආරම්භ කෙරේ. ඉක්බිතිව යුග කියන භික්ෂූන් හැර සෙසු භික්ෂූන් වහන්සේ ලැගුම්හල වෙත වැඩමවනුයේ ‘ගමන්තාල බෙරපද වාදනය’ සමගිනි. මේ සඳහා භාවිත කරනුයේ දවුල, තම්මැට්ටම, හා හොරණෑව පමණකි. රාත්‍රී භේරි වාදන අවස්ථා මෙයින් නිමාවට පත්වෙයි.

සති පිරිතක දී මහ පිරිත සජ්ඣායනා කිරීම සිදුවනුයෙ අලුයම 6.00 ට පමණ ය. එහිදී ‘අලුයම් දූරය’ වාදනය කෙරේ. තව ද සති පිරිතක දී පළමු දිනට වඩා දෙවන දින භේරි වාදනය විශේෂත්වයක් ගනියි. එනම් එහි දී ‘වට හේවිසි’ නමැති භේරි වාදනය සිදු කිරීමයි. මෙහිදී භේරි වාදකයෝ පිරිත් මණ්ඩපය වටා ප්‍රදක්ෂිණා කිරීම හා සතර කොණ සිට නර්තන අනුසාරයෙන් නමස්කාර කිරීම සිදු කරති. භක්ති රසය උද්දීපනය වන අයුරින් මෙහි වැයෙන බෙරපද ඛණ්ඩ සකසා තිබේ. බුදුන් වහන්සේ පිදීම මෙහි මුඛ්‍ය අර්ථය යි. සති පිරිත් දේශනාවක් පැවැත්වීමේ දී එහි සයවන දින පිරිත් මණ්ඩපය අලුත් කිරීමක් සිදුවෙයි. සයවන දිනයේදී භේරී වාදකයෝ වෙනදා මෙන් පිරිත් මණ්ඩපය අබියසින් ඉවත් නොවෙති. එදින ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ දී යෙදෙන වාක්‍ය කොටස් පුනරුච්ඡාරණය වීම වැළැක්වීම සඳහා ඒ වෙනුවට සංකේත බෙරපද භාවිතා කරති. ඒ අනුව භික්ෂූන් ‘සද්ධ මනුස්සාවේසුං’ යනුවෙන් පිරිත් සජ්ඣායනා කිරීමේදී භේරි වාදකයෝ ‘පෙය්‍යාලම්’ බෙරපද ඛණ්ඩය වාදනය කරති.

සති පිරිත් දේශනාවක් පැවැත්වීමේ දී ඒ හා සමගාමීව විහාර අස්න, අනුශසනා අස්න හා දොරකඩ අස්න යන අස්න දේශනා තුනක් පැවැත්වෙන බව මෙහි ආරම්භයේදී සඳහන් කෙරිණි. මේ අතුරෙන් ප්‍රථමයෙන් ම ආරම්භ කරනුයේ ‘විහාර අස්න’ යි. එය පිරිතෙහි අවසන් රාත්‍රියට පළමුදින පෙරවරු හතත්, එකොළහත් අතර වූ සුබ මුහුර්තයකදී ආරම්භ වෙයි. විහාර අස්න දේශනාව ඇතුළුව මතු කී අස්න දේශනාත්‍රය ආරම්භ කිරීමට ප්‍රථම ඒ වෙනුවෙන් සම්පූර්ණ කළයුතු උපචාර විධි රාශියක් පවතී.

ඉන් එක් චාරිත්‍රයක් වනුයේ විහාරස්ථානයේ හෝ පිරිත් දේශනාව සිදු කරන ස්ථානය පිහිටි ඉඩමේ හෝ නො එසේ නම් ඊට ආසන්න වෙනත් ඉඩමක හෝ පිහිටි තල් ගසකින් තල් ගොක් අත්තක් කපාගෙන ඒමයි. දේව දූතයාට අවශ්‍ය එම තල්පත කපා ගැනීම පිණිස තල්ගස පේ කිරීමක් ද සිදු කෙරේ. එය සිදුවන්නේ සති පිරිතේ පස්වන දින සවස් කාලයේ ය. පළමුවෙන් ම තෝරාගත් තල්ගස අවට සුද්ධ පවිත්‍ර කොට කහ දියර ඉසියි. ඉක්බිතිව ඒ හාත්පස ත්‍රිවිධ රත්නය උදෙසාත්, සතරවරම් දෙවියන් උදෙසාත්, තලාටු භූමාටු දෙවියන් උදෙසාත්, මල්පැල් සාදනු ලබයි. තල්ගස අවට පිච්චමල් හා විලඳ සහිත ලදපස්මල් ඉසීම සිදු කරයි. පසුව පංචතූර්ය වාදන සහිත පෙරහරකින් භික්ෂුන් වැඩමවීමේදී ‘ගමන්තාල’ බෙරපද වාදනය කරයි. ඉක්බිතිව තල්ගස අවට සුවඳ දුම් අල්ලා තල්ගස වටා තබා ඇති සියලු මැටි පහන් දල්වා ඒ අවට ආලෝකවත් කරවීම ද සිදු කරයි. මෙහිදී තත් වෘක්ෂය හා අධිගෘහිත දේවතාවා සතුටු කරවීමේ පරමාර්ථයෙන් මඟුල් බෙර වාදනය පවත්වයි. එය අවසන්වීමෙන් පසු භික්ෂූන් වහන්සේ විසින් තුන් සූත්‍රය දේශනා කරනු ලැබේ.

සයවන දින පෙරවරු කාලයේ තල් ගොබය කැපීම සඳහා කුඩා පෙරහරකින් සැදුම්ලත් පිරිසක් තල්ගස අසලට පැමිණෙති. මෙම අවස්ථාවේදී ද දවුල්, තම්මැට්ටම් හා හොරණෑ වාදනය සිදුකෙරෙයි. මෙහිදී ගසට නගින්නේ පිරුවට හැඳගත් අයෙකි. තල්ගොක් අත්ත කැපීම සිදුකරනුයේ සුවඳ පැනින් සේදු පිහියකිනි. එසේ කපාගත් තල්ගොක් අත්ත බිම නොදමා එය ද රැගෙන ගසෙන් බැස එය තවත් එවැනිම පිරුවට හැඳ සුදු ජටාවක් බැඳගත් අයෙකු වෙත දීම සිරිතකි. ඉක්බිති හෙතෙම තල්ගොක් අත්ත සුදු රෙද්දකින් වසා මහත් ගෞරවාකාරයෙන් එය හිස මත තබාගෙන විහාර සීමාව තුළට ගෙනවිත් තැන්පත් කැරේ. ඔහු කැඳවාගෙන ඒම සිදුවනුයේ උඩුවියන්, හේවිසි, දවුල්, තම්මැට්ටම් සහිත පුද පෙරහරිනි. අනතුරුව තල්පත් ලිවීම සඳහා භාවිතා කරන එක් පන්හිඳක් හෝ දෙකක් ද ඒවා මදින කරගල ද පිරිසුදු තෙල් ද, කොළ කැපීම සඳහා යොදාගන්නා පිහිය ද පංචාංග ලිතක් ද ගෞරව බහුමානයෙන් යුතුව මණ්ඩපයට ගෙනව යයි.

සති පිරිතක් පැවැත්වීමේදී දින හයක් පුරාම උදෑසන හයට මහ පිරිත සජ්ඣායනා කෙරේ. එහෙත් අවසාන (හත්වෙනි) දිනයෙහි එය එසේ සිදු නොවෙයි. එදින පෙරවරු 8.30 ට පමණ මහපිරිත් දේශනය සඳහා මණ්ඩපයට වැඩමවීම භික්ෂූන් වහන්සේගේ සිරිත ය. එසේ වැඩමවන භික්ෂූහු පෙරදිනවල මෙන් පිරිත් පේ කිරීමකින් තොරව (ඇද පැද නොගයා) පැය භාගයක පමණ කාලයක් තුළ දී මහ පිරිත දේශනා කොට නිම කරති. මහ පිරිත අවසන් වූ විගස දේව දූතයෙකු ලෙස වෙස්ලා ගත් පිරිමි ළමයෙකු විසින් මතු සඳහන් කළ තල් ගොක් අත්ත පිරිත් මණ්ඩපයේ වැඩ සිටින මහා සංඝයා වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ.

තල් ගොක් අත්ත පිළිගැනීමෙන් අනතුරුව ලිත කීමට හා තල්පත ලිවීමට තෝරාගත් චිරරාත්‍රඥ මහ තෙරනමක් විසින් ලිත බලා දේව දූතයා ගමන ආරම්භ කළයුතු හෝරාව හා නැකත දැනගෙන එය තල් කොලයක ලියනු ලැබේ.

නියමිත සුබ මුහුර්තයට විනාඩි කිහිපයක් තිබියදී පිරිස පන්සිල්හි පිහිවූවකි. අනතුරුව මඟුල් බෙර වාදනය සිදුකෙරේ. පසුව ඉන්ද්‍රඛීලය අසල එලන ලද පාවාඩයක් මත නැගී සිටගත් මහතෙරුන් වහන්සේ ශබ්ද නගා ලිත කියවා එය මහා සංඝරත්නයට ද දන්වා සිටිති. ඉක්බිතිව සිදුවන්නේ කලින් තෝරා නම්කළ තවත් භික්ෂූ නමක් විසින් ‘විහාර අස්න’ කියවනු ලැබීමයි. ලක්දිව විවිධ පළාත්වල පිහිටි ප්‍රකට පෞරාණික විහාරස්ථාන හා දේවස්ථානයන්හි නාමාවලියක් පරිද්දෙන් මෙම විහාර අස්න සකසා ඇත.

මෙය “නම්පොත “ නම් ගම් පොත “ යන නම් වලින් ද හැඳින්වේ. විහාර අස්න නමින් මෙය හැඳින්වෙන්නේ විහාර දේවාල ආදී සිද්ධස්ථානයන්හි අධිගෘහිත වූ දෙවිවරුන්ට නිකුත් කෙරෙන පණිවිඩයක් මේ තුළින් කියවෙන බැවිනි.

මෙහි “සගම” පටන් “ශ්‍රී දංෂ්ට්‍රා දළදා මන්දිරය “ දක්වා වූ ස්ථාන නාම 267 ක් නාමාවලියක් ලෙසින් ඇතුළත් ය. මහනුවර යුගයේ සාම්ප්‍රදායික සිංහල භාෂා අධ්‍යයන ග්‍රන්ථ මාලාවේ දෙවැනි කෘතිය වනුයේ ද මෙය යි.

මෙය මුල දී රචිතව ඇත්තේ සති පිරිත් දේශනාව අවසන ආටානාටිය දේශනා මුලින් කියන “ විහාර අස්න “ වශයෙනි. මෙම විහාර අස්න දේශනාවේ දී පිරිත් දේශනා කරන ස්ථානයේ සිට දේව පෙරහර යන දේවස්ථානය, තත් විහාරස්ථානයට දිසා වශයෙන් නම් කොට කියා එතැන් සිට කිසියම් පිළිවෙලකට අනෙක් ස්ථාන දේශනා කිරීම සිදු කැරේ. මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරස්ථානයේ පිරිත් දේශනාවක් නම් “ සගම “ යන තැනින් පටන්ගෙන දළදා මාලිගාවෙන් අවසන් කෙරෙයි. එබැවින් මෙහි ආරම්භය ඒ ඒ පළාත්වල දී ඊට ගැලපෙන අයුරින් යොදාගනු ලැබේ.

විහාර අස්න දේශනා කරන දේශකයා ඊට පෙරදින ධම්ම චක්කප්පවත්තන සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලට පෙර දේශනා කරන මහ පිරිතෙන් පසුව පිරිත්පැන් ලබාගත් තෙරනමක් වීම ආදී විශේෂතා කිහිපයක් ඇති කෙනෙකු විය යුතුය. මෙම දේශනයෙන් සිදු කෙරෙනුයේ රට පුරා පැතිරී පවත්නා විහාර දේවාල වලට අධිගෘහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේ එදින රාත්‍රියෙහි පැවැත්වෙන මංගල සූත්‍ර හා ආටානාටිය සූත්‍රය සජ්ඣායනාව ශ්‍රවණය කිරීමට පැමිණෙන ලෙස දන්වන පූර්ව ආරාධනයකි. විහාර අස්න කියවා නිමවනතුරු අවශේෂ භික්ෂූන් වහන්සේ පිරිත් මණ්ඩපය වටා ඔතා ඇති පිරිත් හුය අල්වාගෙන සිටිති.

විහාර අස්න දේශනය නිම වූ පසුව මුල දී ලිත කිය වූ භික්ෂුනම “දේවාල තල්පත “ ලිවීම අරඹයි. දේවාල තල්පත යනු දේවස්ථානය වෙත මහා සංඝ රත්නය වෙතින් යවන අස්නයි. දේවාල තල්පත ලිවීම සඳහා මණ්ඩපය තුළ එක් කොටසක් ආවරණය කර ගනියි. මෙහි දී දේවාල තල්පත ලිවීම සහ හේමක් සකස් කිරීම ද සිදු කෙරෙයි. පිරුවට ඇතිර වූ විවෘත බඳුනක අස්න ලිවීමට හා හේමක් සකස් කිරීමට අවශ්‍ය උපකරණ මණ්ඩපය වෙත ගෙන ඒම සිදු වේ. විහාර අස්න සඳහා සංඝ රත්නය රැස්වන අවස්ථාවේ දී ම එය රැගෙන එයි.

මෙම උපකරණ ප්‍රයෝජනයට ගනිමින් දේවාලය වෙත ගෙන යෑම සඳහා එක සමාන වූ හසුන් පත් සතරක් සකස් කෙරෙයි. තල්පත් වල ලියැවෙන මෙම හසුන්පත් අකුරෙන් අකුර නොගැටෙන පරිදි ඉස්පිලි පාපිලි ආදි පිල්ලම් කොටස් පැහැදිලිව පෙනෙන සේ වචනවල අකුරු ලංකොටත් වචන අතර පරතරය වෙන්කොටත් ඉතා සැලකිලිමත්ව ලිවිය යුතු වන්නේ ය.

මෙය ඉතා ගෞරවණීය කාර්යයක් වන බැවිනි. මෙය ලියා අවසන් වූ පසු කහ කැබැල්ලකින් හෝ පහන් දැලි ආදියෙන් හෝ තල්පත් කළු මැදීම සිදු කෙරෙයි. මෙම දේවාල තල්පත වනාහි අසල පිහිටි දේවාලයන්හි අධිගෘහිත දෙවිවරුන්ට පිරිතට පැමිණ පින් ලබා ගන්නා මෙන් සිදුකෙරෙන සංඝාණත්තියකි.

එම සංඝාණත්තිය ඔවුන් උල්ලංඝණය නොකළ යුතු බව කියවෙයි. මෙම තල්පත් සතර ලියවෙන අතරතුර අවශේෂ භික්ෂූහු පිරිත් මණ්ඩපයෙන් ඉවත්ව යති. යළි භික්ෂූන් පිරිත් මණ්ඩපයට වැඩම කරනුයේ සවස හතරට පමණ ය.

ඉක්බිති ව අලංකාරවත්ව සකස් කෙරුණු කත් ලීයක දෙකොනෙහි තල්පත් සතර එල්ලා එය භික්ෂුනමක් අතින් “දේවදූතයා “ ලෙස වෙස්වලාගත් තැනැත්තාට බාරදෙනු ලැබේ. සිරිත් පරිදි දේවදූතයා ලෙස යොදාගන්නේ යහ ගතිගුණ ඇති පිරිත ආරම්භයේ දී ම පේ වූ හුරුබුහුටි පිරිමි ළමයෙකි.

පිරිසුදු බව තකා කරන චාරිත්‍රය. එය නමුත් එවැන්නෙකු නැති තැන ධාර්මික වැඩිහිටියෙකු හෝ ඊට සහාය කර ගැනේ. ඉහත කී තල්පත් සතර පිළිගැනීමට දේවදූතයා පැමිණෙන්නේ දොරටුපාලයන් අටදෙනෙකු විසින් පිරිවරන ලදුව රාජවේශයෙන් සැරසීගෙනය. දේව දූතයා දේවාල තල්පත පුද පෙරහරින් දේවාලය වෙත ගෙන යයි. භික්ෂූන් වහන්සේ ද පෙරහරෙහි වැඩමවති. පෙරහරේ වැඩමවන භික්ෂූන් අතර දේවාල තල්පත ලියූ භික්ෂුනම අස්න ප්‍රකාශක භික්ෂුනම වෙනුවෙන් චාරිත්‍ර උපචාර විධි ප්‍රවීණ භික්ෂු නමක්, තේවාකරණය භාර භික්ෂුනම නොවේ නම් තමා වෙනුවෙන් නම් කළ වෙනත් භික්ෂුනමක් සමග පස්නමක් වත් මහා සංඝරත්නය සහභාගි විය යුතුය. තරු එළිය පෙනෙන තරම් වේලාව වන විට නියමිත දේවස්ථානයට යා ගත හැකිවන සේ වේලාව නියම කර ගැනීම ද වැදගත් ය.

දේවාලයේ දී විෂ්ණු හෝ කතරගම දෙවියන්ගේ රූපයක් ඉදිරියෙහි භික්ෂූහු කරණීයමෙත්ත සූත්‍රය සජ්ක්‍ධායනා කරති. පසුව මගුල් බෙර වාදනයක් සිදු වෙයි. එය අවසානයේ දේවදූතයා විසින් දේවාල තල්පත කියවනු ලැබේ. එයින් දේවදූතයා විසින් දේවාල තල්පත කියවනු ලැබේ. එයින් පසුව පෙරහරින් ගෙන ගිය තෙල් වලින් පහන් දල්වා පිරිත් පැන් ඉසීම ද සිදු කරයි. තල්පත් සතර දේවාලයෙහි සතර දිසාවෙහි එල්ලා පෙරහර ආපසු විහාරයට යයි. පෙරළා විහාරයට පැමිණි දේවදූතයා කාමරයක දමා කඩුගත් රැකවලුන් විසින් මුර කරවනු ලබයි. පිරිත සඳහා භික්ෂූන් වහන්සේ වැඩම කරනතුරු ම දේවදූතයාට එසේ ආරක්‍ෂිතව සිටීමට සිදුවේ. දේවදූතයා පිරිත් මණ්ඩපයට පැමිණෙන්නේ අනුශාසනාව කීම සඳහා පත් කළ භික්ෂුව ද කැටුව සෙසු භික්ෂූන් වහන්සේ වැඩම වන පෙරහරේ ම ය. පිරිත් දේශනාවක දී පවත්වන ශාසනික උපචාර විධීන් මැනවින් ප්‍රගුණ කළ පළපුරුදු භික්ෂූන් වහන්සේ නමක් ම අනුශාසනා අස්න දේශනය සඳහා තෝරාපත්කර ගනියි. අනුශාසනා අස්න සහ දොරකඩ අස්න දෙසීමට ප්‍රථම මණ්ඩපය මැනවින් සකස් කෙරෙයි. පහන් දල්වා සුවඳ දුම් අල්ලා ලද පස් මල් ඉස පූජා විධි පවත්වයි. අනතුරුව ද පුද පෙරහරින් වැඩම වූ භික්ෂූහු පිරිත් මණ්ඩපයෙහි වැඩ සිටිති. දේවදූතයා දොරටුව අසල සිටියි. කඩුගත් දොරටුපාලයෝ ඔහු දෙපස සිටිති. අනුශාසනා අස්න දේශනා කරන භික්ෂුව මහඟු සිවුරක් පොරවා විචිත්‍ර වූ විජිනිපතක් ද අතැතිව පිරිත් මණ්ඩපයෙහි තිබෙන යුග පුටුව අසල එලන ලද පාවාඩය මත නැගී සිටියි. එම ස්ථානය බඹ එක හමාරක් පමණට කොලත් සමග කපා කැටයම් කරන ලද පුවක් කරටියකින් මනා ලෙස සරසා ඇත්තේ ය. අනතුරුව භික්ෂූන් වහන්සේ හා දේවදූතයා අතර ඇතිවන සංවාදය නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කෙරේ.

ඉක්බිතිව දේවදූතයා විසින් දොරකඩ අස්නේ පෙළ කියනු ලබයි. එහි ත්‍රිවිධ රත්නය පිළිබඳව ද, සතරවරම් රජදරුවන් සහ ශක්‍රදේවේන්ද්‍රයා පිළිබඳව ද රට, පළාත හා පින්කම සිදුකරන ස්ථානය පිළිබඳ ව ද, දායක පිරිස පිළිබඳ ව ද කියවේ. එමතු නොව දායකකාරකාදීන්ට විවිධාකාර අපල උපද්‍රව රෝග පීඩා ඇති නොවන ලෙස අභිවෘද්ධිය සැලසීමට සියලු දෙවිවරුන් පැමිණ සිටින බව දැන්වීම ද දොරකඩ අස්න තුළ අන්තර්ගතව පවතී. දොරකඩ අස්න කියවා අවසන අනුශාසනා අස්න දේශනා කරන භික්ෂූන් වහන්සේටත්, දොරකඩ අස්න කිය වූ දේව දූතයාටත්, පිිරිත්පැන් දෙයි. ඉක්බිතිව කලින් පත් කරන ලද දේවදූතයා හා සංවාදයක යෙදුණු ව්‍යක්ත භික්ෂුව විසින්ම අනුශාසනා අස්න දේශනා කරනු ලබයි. සත් දවසක් මුළුල්ලෙහි දායකකාරකාදීන් මහ සංඝයා විෂයෙහි සිදු කළ දාන මානාදියෙහි පින් අනුමෝදන් කරවීම ද, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවීම ද, සියලු දායක සමූහයාට සකල ආකාරයෙන් වන්නා වූ සියලු උවදුරු දුරුකොට අභිවෘද්ධිය සැලසිය යුතුය යන නියමයක් දෙවියන්ට විධාන කිරීමක් ද ඇතුළුව පින් අනුමෝදන් කරවීමේ හා ආශිර්වාද කිරීමේ කාර්යය මෙම “අනුශාසනා අස්න “ කීම තුළින් සිදු කෙරෙයි.

මෙම දේශනාව ද හමාර වීමෙන් පසුව දොරකඩ අස්න පැවැත් වූ තැනැත්තාටත් , අනුශාසනා අස්න දේශනා කළ භික්ෂූන් වහන්සේටත්, මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාදාත්මක පුණ්‍යානුමෝදනාවක් සිදු කෙරේ. පසුව දේශකයන් වහන්සේට පුද පිරිකර හා දේව දූත කාර්යය සිද්ධ කළ තැනැත්තාට ත්‍යාග පිරිනැමේ. ඉක්බිතිව යුග පුටුවේ වැඩ සිටින භික්ෂූ දෙනම ප්‍රමුඛව භික්ෂූන් සිවු නම බැගින් හමාර නමින් හඳුන්වන ආටානාටිය සූත්‍රය පසුදින අලුයම වනතුරු දේශනා කරති. පිරිත් දේශනාව අවසන් කරනුයේ උදෑසන සෙත් පිරිත් දෙසීමෙනි. අනතුරුව යළිත් තිසරණ සහිත පන්සිල් සමාදන් කරවා සැමට පින්පෙත් දී ආරක්ෂක ද්‍රව්‍ය වශයෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ද බෙදා දීම සිදු වේ. සති පිරිත් වලදී එය ආරම්භ කොට තුන්වනදා පටන් පිරිත් පැන් දෙන නමුත්, පිරිත් නූල් දෙන්නේ සති පිරිත අවසානයේ දී ය.

සති පිරිත් දේශනා උත්සවය හා සබැඳී පූර්වෝක්ත චාරිත්‍රයන් හි එක් එක් පළාත්වලට ආවේණික සුළු සුළු වෙනස්කම් පැවතුණ ද එහි හරයේ කිසිදු වෙනසක් නොමැත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.