UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතින් සිතාගත නොහැකි මහැ'දුරු මහ ගුණ කද

සුනාමි රළ පහරින් මුහුදුබඩ ගේදොර වතුපිටි ගස් කොළන් රථවාහන මහත් විනාශයකට පත්විය. දුම්රිය , දුම්රිය මාර්ග තට්ටුගෙවල් පොඩිපට්ටම් කිරීමට තරම් සැහැසිවු ඒ රළපහරට මැටියෙන් සිමෙන්ති බදාමයෙන් තනන ලද බුදු පිළිම වහන්සේට කිසිම උපද්‍රවයක් කිරීමට නොහැකි විය. බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලය උන් වහන්සේ සංකේතවත් කරන ඒ බුදු පිළිම වහන්සේගෙන් ද නිරූපණය විය.

දියෙහි හට ගන්නා උපුල්, නෙලුම්, මානෙල් ආදී මල්, ජලයෙහිම ඉපදී ජලයෙන් මතුවී ජලයේ නොගෑවී ඇත්තේ යම් සේද තමන් ද මනුෂ්‍ය පියකුට දාව , මනුෂ්‍ය මවක කුස තුළ ඉපදී මනුෂ්‍ය ලොව තුළම වැඩී ලෝකය මැඬ ගෙන ලෝකයට ඉහළින් ලෝකයෙහි නොඇලී වාසය කරන බව දෝණ බ්‍රාහ්මණයාට බුදුන් වහන්සේ දේශනා කර ඇත. මිනිසකු වශයෙන් ඉපදී එහි උච්චම ස්ථානය වන වීතරාගී, වීත දෝසී’ වීතමෝහී බුද්ධ රාජ්‍යයට පත්ව අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සතුන්ගේ මොහඳුර දුරුකර ශාන්ත වූ නිවනේ දොරටුව හැර දීමට බුදුපියාණන් වහන්සේ සමත් වූහ.

සියලු කෙළෙසුන්ගෙන් මිදුණු බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළහ. එනිසා සියලු ලෝකයාගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වූ සේක.

අරි අට මඟින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර උතුම් බුද්ධ රාජ්‍යයට පැමිණි සේක.

ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගතයහ.

බුදුපියාණන් වහන්සේගේ රූ සපුව නායනාභිරමණීය ය. උන්වහන්සේගේ දැමුණු ශාන්ත ඉරියව් ශාන්ත ගමන, සිත සමාධි ගත කරවයි. මිහිරි කටහඬ හා වචන මාලාව අනන්ත, බුදු ගුණ විදහා දක්වයි. බුදු පියාණන් වහන්සේ සත්ව සංස්කාර හා අවකාශ සියලු ලෝක දුටුවේ දියුණුකරන ලද බුද්ධියේ බලයෙනි. අනන්ත වූ බුදු ගුණ වල බලය පෙන්වමින් දමනය කිරීමට හැකි මනුෂ්‍ය, බ්‍රහ්ම, යක්ෂ තිරිසන් ආදී සතුන් ප්‍රාතිහාය¸යෙන් ධර්ම දේශනයෙන් දමනය කළහ.

තිලෝවට තිලක වූ අමා මෑණියන් වහන්සේ සියලු ලෝක සත්වයාටම ශාස්තෘ වූයේ අනන්ත වූ බුදුගුණ බලය නිසා ය.

ගුරු උපදේශ රහතව චතුරාය්‍ය සත්‍ය අවබෝධ කර උතුම් බුද්ධ රාජ්‍යයට පැමිණ අනෙක් සියලු සතුන්ටද එය අවබෝධ කරවා නිවන් මඟ හෙළි කර දුන් සේක.

අනන්ත වූ වාසනා ගුණයෙන් පිරි බුදු පියාණන් වහන්සේගේ ගුණ කාට නම් පවසා නිම කළ හැකි ද?

කොසොල් රජතුමා දීඝකාරායන නම් ඇමැතිවරයා සමග ගමනක් යන විට අතරමඟ උයනක සන්සුන්ව භාවනා කරන භික්ෂූන් වහන්සේ දුටුවේය. ඇතැම් අය පලඟක් බැඳ භාවනා කරති. ඇතැම් අය සක්මන් භාවනා කරති. මේ දර්ශනය දකින විට රජතුමාට සිහි වුණේ බුදු පියාණන් වහන්සේ යි. බුදු පියාණන් වහන්සේ උයනට නුදුරු “මේදපදුම්ප” නම් ගම්මානයේ ඒ අවස්ථාවේ වැඩ සිටින බව රජතුමාට දැනගන්නට ලැබිණි. රජතුමා බුදුපියාණන් වහන්සේ බැහැ දකින්නට ගියේය. බුදු පියාණන් වහන්සේ දකින විට කොසොල් රජතුමා පී‍්‍රතියෙන් පිනා ගියේය. ඔහු බුදු ශ්‍රී පතුල සිඹිමින් වන්දනා කළේය.

බුදු පියාණන් වහන්සේ කොසොල් රජතුමා අමතා ඇයි මෙතරම් ගෞරවයක් දක්වන්නේ කියා විමසූහ. එවිට කොසොල් රජතුමා මෙසේ විස්තර කළේය.

“ශාන්තිනායකයාණන් වහන්ස, දඹදිව අනන්ත ආගමික නායකයන් සිටිනවා. ඒත් ඔබ වහන්සේ වැනි ආශ්චර්යවත් කෙනෙක් මේ මුළු දඹදිවම මා දුටුවේ නැහැ. ඔබ වහන්සේ නව අරහාදි බුදු ගුණ වලින් බබළනවා. ඔබ වහන්සේ වදාරන ශ්‍රී සද්ධර්මය , ස්වාක්ඛාත යි. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න යි. ඔබ වහන්සේ වැනි අයෙක් මේ තුන් ලෝ තලයේම නැහැ.

මේ දඹදිව් තලයේ අවුල් වියවුල් නැති තැනක් නැහැ. ගෙදර මවුපිය දරුවන් අතර අනේක ගැටලු . ගමක නගරයක බැලුවත් ගැටලු, අවුල් වියවුල්, රණ්ඩු දබර, ආරවුල් ඉවරයක් නැහැ. පිරිසක් එකතු වුණෙත් ඒ අය අතර වාද භේද, ඔබ වහන්සේ වාදභේද කරන්නේ නැහැ. එ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය වාද භේද කරන්නේ නැහැ. හරිම එකමුතුයි. හරිම ශාන්තයි.

ඔබ වහන්සේ බුදු පියාණනි, හරිම ශාන්තයි. හරිම පි‍්‍රය මනාප යි. ඔබ වහන්සේගේ , ශ්‍රාවක සංඝරත්නයත් රන් ආභරණ පැළඳුවේ නැතිවට පාංසුකූල චීවරය දරා සිටියට හරිම පි‍්‍රය මනාප යි. බුදු පියාණනි, ඔබ වහන්සේ දකින විට පුදුම ලෙන් ගතුකමක් පහන් සිතක් ඇති වෙනවා.

බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේ මෙන්ම ශ්‍රාවක සංඝ රත්නයත් හරිම නිශ්ශබ්දයි. හරිම ශාන්ත යි. ඔබ වහන්සේත්, ශ්‍රාවක සංඝරත්නයත් කැමැති නිසසල පරිසරයට, ජීවිතය සැහැල්ලුවෙන් ගතකරන්නේ කොතරම් සැප පහසු ආරාම තිබුණත් වැඩිපුරම කල්ගත කරන්නෙ ස්වභාව ධර්මය සමඟ මෙය දකින විට මට සිතෙනව කොපමණ නිවුණු සැහැල්ලු ජීවිතයක්ද කියල.

ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ආවත් ස්වාමීනි ඔබ වහන්සේ දකින විට ඒ සියල්ල අමතක වෙනවා. ඔබ වහන්සේ අහන්න කලින් හිතේ තියන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. ඔබ වහන්සේගේ ඒ පිළිතුරු වලින් පුදුම සැනසීමක් හිතට දැනෙනවා. ඔබ වහන්සේ කොතරම් පිරිසකට ධර්ම දේශනා කළත් එය මට හිතෙන්නේ මටම දේශනා කරනව කියලා. ඔබ වහන්සේ බුදු පියාණනි, හරිම ආශ්චර්ය ය යි. ඔබ වහන්සේගේ ගුණ අනන්ත යි, බුදු පියාණනි, ඒත් ඒ බුදුගුණ ඔබ වහන්සේවත් ශ්‍රාවක සංඝයා වහන්සේවත් ප්‍රකාශ කරන්නෙ නැහැ. ඒ අනන්ත ගුණ දැනගත හැකි වන්නේ ඔබ වහන්සේ ඇසුරු කිරීමෙන්ම පමණයි.

ඒ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිස ඔබ වහන්සේට හරිම ලෙන්ගතුයි. හරිම ගෞරවයක් තියෙනවා. ඔබ වහන්සේ වැඩ සිටින දිසාවට පය දා නිදන්න වත් ඒ අය කැමැති නැහැ. නින්දට යන විටත් ඔබ වහන්සේට වන්දනා කරලයි නින්දට යන්නේ. එනිසා බුදු පියාණන් වහන්ස මේ අසීමිත ගුණයන්ගෙන් පිරුණු ඔබ වහන්සේගේ ශ්‍රී පතුල කොතරම් වන්දනා කළත් මට ඇතිවන්නේ නැහැ . කොසොල් රජතුමා එදා මෙසේ බුදු ගුණ වර්ණනා කෙළේය.

සුනාමි රළ පහරින් මුහුදුබඩ ගේදොර වතුපිටි ගස්කොළන් රථවාහන මහත් විනාශයකට පත්විය. දුම්රිය , දුම්රිය මාර්ග තට්ටුගෙවල් පොඩිපට්ටම් කිරීමට තරම් සැහැසිවු ඒ රළපහරට මැටියෙන් සිමෙන්ති බදාමයෙන් තනන ලද බුදු පිළිම වහන්සේට කිසිම උපද්‍රවයක් කිරීමට නොහැකි විය. බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලය උන් වහන්සේ සංකේතවත් කරන ඒ බුදු පිළිම වහන්සේගෙන්ද නිරූපණය විය. සොබා දහමද අනන්ත බුදුගුණ හමුවේ උකටලීව නිසොල්මන් විය. බුදු පිළිම වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටීමට හැර අවට ගෙවල් දොරවල් ගහකොළ වාහන සත්ව මනුස්ස ජීවිත අඹරා පොඩිපට්ටම් කෙළේය. අනන්ත බුදු ගුණ බලය අචේතනික වූ බුදු පිළිම වහන්සේ මගින් සංකේතවත් විය.

බුදු පියාණන් වහන්සේ දෙපයින් අල්ලා පරසක්වළ ගැසීමට පැමිණි ආලවක යක්‍ෂයා බුදු ගුණ බලයෙන් මෙල්ල වී බුදුසරණ ගිය සුවච කීකරු ගෝලයකු විය. මුළු රටම භීතියට පත් කළ අංගුලිමාල ශාන්ත ඉඳුරන් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් කිරිමට බුදුන් වහන්සේට හැකි විය. බක බ්‍රහ්මයාගේ ඔදතෙද බිඳ දමා , සුවච කීකරු, ශ්‍රාවකයෙකු බවට පත් කළේ බුදුගුණ බලය නිසා ය. රා කළ සොළසක් බී මත්ව මගතොට විනාශ කරමින් පැමිණි නාලාගිරි හස්තියා අමතන බුදුපියාණන් වහන්සේ,

මා කුඤ්චජර නාග මාසදෝ
දුක්ඛන්හි කුඤ්ජර නාග මාසදෝ
නෙමිනා ගහතස්සි කුඤ්ජරේ
සුගතිහෝති ඉතෝපරංයතෝ

හස්තිරාජයා මා සමඟ ගැටීමෙන් ඔබට දුක්වන්න වනවා. ඔබ කරදරේ නොවැටී සිත පහදාගෙන සුගතියට යන්න. බුදුපියාණන් වහන්සේගේ කරුණාභරිත හඬ කන් වැටුණු ඇත්රජ සොඬ හකුළා ආපසු හැරිණි. බුදු පියාණන් වහන්සේගේ කරුණා මෛත්‍රියෙන් තිරිසන් සතා ද දමනය විය. පාරිලෙය්‍ය වනයේ හුදකලාව වැඩ සිටි බුදුරජාණන් වහන්සේට පාරිලෙය්‍ය ඇතු උවටැන් කළේ ද අනන්ත වූ ගුණයට දමනය වූ නිසා ය.

බුදුපියාණන් වහන්සේ සැර පරුෂ ලෙස කිසිවකු ඇමතුවේ නැත. කරුණාවෙන්,මෛත්‍රියෙන් , දේශනයෙන්, ප්‍රාතිහාර්ය පෑමෙන් සියල්ල දමනය කළහ. කිසිවකු හෝ බලයෙන් හෝ වංචාවෙන් තම ශ්‍රාවකයන් කරගත්තේ නැත. අද මෙන්, කිරිපිටි, ටකරන් තහඩු දී නමින් බොදුනුවන් අන්‍ය ආගමට හරවන අය ලෙස බුදු පියාණන් වහන්සේට කිසිවකු හෝ අයථා අන්දමින් තමන්ගේ ආගමට ගැනීමට අවශ්‍ය නොවී ය. කාලාම වැසියන්ට පහදා දුන්නේද කිව් පමණින්වත්, ඇසු පමණින්වත් පොතපත තිබුණු පමණින්වත් පිළිනොගෙන තම හෘද සාක්ෂිය අනුව ඇති තතු අවබෝධ කරගන්නා ලෙස ය. එක් එක් පුද්ගලයාගේ ඒ අවස්ථාවේ පවතින සිතුවිලි අනුව ධර්ම දේශනාවෙන් පමණක් නොව කලෝචිත උපක්‍රමශීලි ක්‍රියා තුළින්ද සත්‍යාවබෝධ කරවීමට බුදුපියාණන් වහන්සේ සමත් වූහ.

දරු සොවින් තැවෙන කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ ටිකක් ගෙනෙන්නට කියා ඇයට සියල්ල අනියත බව ප්‍රායෝගික උදාහරණයකින්ම පෙන්වා දුන්හ. චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට මාස හතරකින්වත් එක් ගාථා පදයක් පාඩම් කිරීමට නොහැකි විය. සිවුරු හැර යෑමට තම සහෝදර ස්වාමීන් වහන්සේ අණ කළ නිසා හිතට ලොකු දුකක් ඇති විය. එහෙත් චුල්ලපන්ථක හාමුදුරුවන් සසරින් මුදවාලීමේ මඟ බුදු නෙතට දිස්විණි. රෙදි කඩක් උන් වහන්සේ අතට දී රජොහරයං (කුණු ඉවත් කරනවා) කියා පිරිමැදීමට දැන්වීය. පිරිමදින රෙදිකඩ ටිකෙන් ටික කිළිටි විය. එයම අනිත්‍ය භාවනාවක් බවට පත් වී උන්වහන්සේ අර්හත් ඵලයට පත් වූහ. මනෝමය ඍද්ධි ලාභීන් අතරින් අග තනතුරු ලැබීමට ද සමත් වූහ. නන්ද භික්‍ෂූන් වහන්සේට දෙවඟනන් පෙන්වූයේ,ජනපද කල්‍යාණි කෙරෙහි වූ සිත වෙනස් කර මෝක්ෂ මාර්ගයට යොමු කිරීමට ය. රූ මඳයෙන් මත් වූ ඛේමාට, රූපයේ අනිත්‍යබව වටහාදීමට ඛේමාටත් වඩා රූමත් අඟනක් වයසට ගොස් විරූපී වන අන්දම මවා පෙන්වූහ. මේ අසිරිමත් ගුණ නැණ බලයෙන් අමා මෑණියන් වහන්සේ සියලු සතුන්ට නිවීම, සැනසීම එසේ ලබා දුන්හ.

මේ අසිරිමත් බුදු පියාණන් වහන්සේගේ මඟ අප නොයන්නේ නම්, අපට වෙනත් කවර සරණක් ද? බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී ගුණ අපට සිතුමිණකි. නව අරහාදී ගුණ මෙනෙහි කරන සිත ප්‍රභාශ්වර වෙයි. ලස්සන වෙයි. කරුණා, මෛත්‍රිය , පිරී ඉතිරීගිය සිතක් බවට එය පත්වෙයි. තණ්හාව , ඊර්ෂ්‍යාව , ක්‍රෙ‍්‍රීධය, වෛරය, සිතින් දුරු වූ මෛත්‍රී, කරුණාවෙන් එය පිරී යයි. මේ අනන්ත වූ බුදු ගුණ නිතර නිතර මෙනෙහි කර මෙලොව හා පරලොව ජීවිත සුඛිත කර ගැනීමට අදිටන් කර ගනිමු. බුදු ගුණ බලයෙන් ඔබගේ සිත් පහන් වේවා.

 

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]