Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු වදනෙන් හෙළි වූ කර්ම නියාමයේ යථාර්ථය

බුදුසමය සදාචාර අධ්‍යයනය මගින් සදාචාරයට අදාළ වන ලෝක නියමයක්ද නිර්දේශ කරයි. කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය වන්නේ එය බාහිර අධිකාරයක මෙහෙයවීම මත නොව , පුද්ගලයාගේ ස්වච්ඡන්දතාව හෙවත් ස්ව කැමැත්ත මත සිදුවන්නක් බවයි. කරන සියලු දේ ඔහුගේ හෝ ඇයගේ විනිශ්චය අනුව සිදු කරන දේ ය. මිනිස් පෞරුෂය තුළ එනි නෛසර්ගික ක්‍රියාකාරිත්වයක් ඇති බව බුදු සමය පිළිගනියි.

කර්මය, සදාචාර විෂයට අදාළ වූවකි. විවිධ ආගම්වල විවිධ දර්ශනවල විවිධ අදහස් මේ පිළිබඳ පවතී. එක ගුරු කුලයක් කියා සිටින්නේ සදාචාරයක් කියා දෙයක් නොමැති බවයි. සියලු කල්හි ආදේශ කර ගත් ආචාර ධර්මයක් ගැන කථා කළ නොහැකි බවකි. මේ පිළිබඳ බුදුසමය කරුණු දක්වයි. එහිදී එම මතය බැහැර කර ඇත.

සදාචාරය ගැන කථා කිරීමේ දී බුදු දහම , ක්‍රියා පිළිබඳ වර්ගීකරණයක් අපට පෙන්වා දෙයි . ඒවා වන්නේ,

කුසල , අකුසල
පුඤ්ඤ , පාප
කරණීය, අකරණීය
සෙවිතබ්බ, අසේවිතබ්බ
අනවජ්ජ , සාවජ්ජ

වශයෙනි. එමෙන්ම කුසල අකුසලංති තථාගතෝ සුපඤ්ඤත්තං වශයෙන් සූත්‍රවල සඳහන් වෙයි. කුසල අකුසල, පින් පව්, හොඳ නරක නොදත් තැනැත්තාට සම්මා දිට්ඨිය ලැබිය නොහැකි බවත් ඔහුගේ දැක්ම ඍජු නොවන බවත්, නිවැරැදි නොවන බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරති. එම ප්‍රභේද නොදත් තැනැත්තා, මෝඩයෙකි. යමෙක් ලෝභයෙන් ද්වේෂයෙන් ,මෝහයෙන් යම් දෙයක් සිදු කරයි ද, එය පවක් හෝ පිනක් විය හැකිය. යමෙක් අලෝභයෙන්, අදෝසයෙන් අමෝහයෙන් යම් දෙයක් සිදු කරයි ද එය කුසලයකි. අප සිදු කරන්නේ පිනක්ද, කුසලයක් ද, යන්න පිළිබඳ හොඳම විග්‍රහය , බුදු දහම පැහැදිලි කරයි. අපි සිදු කරන්නේ පිනක් නම් ලැබෙන්නේ දෙව්, මිනිස් සැප යි. අපි සිදු කරන්නේ කුසලයක් නම්, අපි ප්‍රාර්ථනා කළත් නොකළත් නිවන ලැබීමට එය හේතු වෙයි.

බුද්ධ කාලයේ මෙන්ම අදත් කුසලය ගැන ඇසූ විට, අකුසල ගැන කථා කරන, අකුසල ගැන ඇසූ විට කුසලය ගැන කතා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. එම අය අඹ ගැන ඇසූ විට, ලබු ගැන කථා කරති. ලබු ගැන ඇසු විට අඹ ගැන කථා කරති. යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් සතුන් මැරීම, හොඳ නැතැයි ප්‍රකාශ කරන්නේ නම් ඔහු සත්‍යයක්ම ප්‍රකාශ කරයි. හොඳ නරක, පින් පව්, කුසල්, අකුසල් වශයෙන් ධර්ම සමූහයක් ඇති බව බුදු දහම පිළිගනියි.

බුදුසමය සදාචාර අධ්‍යයනය මගින් සදාචාරයට අදාළ වන ලෝක නියමයක් පෙන්වා දෙයි. කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය වන්නේ එය බාහිර අධිකාරයක මෙහෙයවීම මත නොව , පුද්ගලයාගේ ස්වච්ඡන්දතාව හෙවත් ස්ව කැමැත්ත මත සිදුවන්නක් බවයි. කරන සියලු දේ ඔහුගේ හෝ ඇයගේ විනිශ්චය අනුව සිදු කරන දේ ය. මිනිස් පෞරුෂය තුළ එවැනි නෛසර්ගික ක්‍රියාකාරිත්වයක් ඇති බව බුදු සමය පිළිගනියි.

මිනිස් පෞරුෂය තුළ යමක් තීරණය කරන්නට, එය ක්‍රියාත්මක කරන්නට, එය පවත්වාගෙන යන්නට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට බුදු දහම අපට පෙන්වා දෙයි. බෞද්ධ විග්‍රහය අනුව එම කරුණු අප්‍රකාර, පුරිෂකාර, පුරිෂථාම , අභික්ඛම ධාතු, නික්ඛමධාතු වශයෙන් හඳුන්වයි. එසේම මිනිසා හොඳ කරන්නේ නරකින් වෙන්කොට ගත හැකි, යහපත් ප්‍රතිඵල ඇති නිසයි. නරක කරන්නාට හොඳ කරන්නාට ලැබෙන ප්‍රතිඵලම ලැබෙන්නේ නම්, මිනිසා හොඳ කිරීමට නොපෙළඹෙයි.

මිනිසා නරක ක්‍රියා අත් හැරීමට, හොඳ ක්‍රියා ප්‍රගුණ කිරීමට පෙළඹෙන්නේ, කර්ම ඵලය සහ නැවත නැවත සසර ඉපදෙන බව පිළිගන්නා නිසයි. එකම ආකාරයට සැප විඳීමට මිනිසා කැමැති නොවෙයි. පුද්ගලයකු එකම ආහාරයක් වුවද දිගු කලක් ආහාරයට ගැනීමට සූදානම් නැත. සසර කොපමණ දීර්ඝ වුවද කිසියම් දිනක අප එය නතර කළ යුතුය. එවැනි හැඟීමක් යම් කෙනෙකුට පවතීයිද ඔහුට සසර ගමන නතර කිරීමට, නිවන් දැකීමට එය උපකාරි වෙයි. පුද්ගලයකුට දිගු කලක් හොඳ ප්‍රතිඵල භුක්ති විඳීමට , එසේම විමුක්තිය ලබා ගැනීමට තමන් සිදුකරන යහපත් කර්ම හේතු වෙතැයි බුදුසමය කියා සිටියි. මෙම අදහස පෙන්වා දෙන්නේ මිනිස් චින්තනය තේරුම් ගත් දහමක් වශයෙනි.

බෞද්ධ කර්ම වාදය වර්තමානයටත්, අතීතයටත්, අනාගතයටත් පරම සැපත වන නිවනටත් සම්බන්ධ වෙයි. මේ තුළින් බුදුරජුන්ගේ උපාය කෞශල්‍යයද පෙන්වයි. එසේම මූලික ඉගැන්වීම්වල කර්මයට මුල් තැනක් ලැබෙයි. පටිච්ච සමුප්පාදයෙහි සංඛාර ධර්ම තුළ කර්මය තුළ කර්මය නිරූපණය වෙයි. එහි එන ද්වාද සාංග තුළ පුද්ගල සංසාර ප්‍රවෘත්තිය විස්තර වෙයි.

පුද්ගලයකු හොඳ ක්‍රියා සහ නරක ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ අවිජ්ජාව හෙවත් නොදැනීම නිසයි. “පුඤ්ඤ - පාප පහීනස්ස නත්ථි ඡායාරතෝ භයං “ අවිද්‍යාව දුරුකොට විජ්ජාව ඇති කරගත් රහතන් වහන්සේට බියක් නොමැත. මන්ද රහතන් වහන්සේ පින් පව් දුරු කොට ඇති බැවිනි. රහතන් වහන්සේ සංසාර ක්‍රියාවලියේ නිරත නොවේ. උන් වහන්සේගේ ක්‍රියා කර්ම ඵල රහිතයි. හොඳ නරක කර්ම ඇත්තේ පෘථග්ජනයාගේ ක්‍රියා තුළය. ඒවාට සංස්කාර (සංඛාර) යැයි ව්‍යවහාර කරති. වෙනස් දෙයක් ඇති කිරීමේ ශක්තියට , සංඛාර යැයි කියනු ලැබේ.

සංඛාර නිසා ඇතිවන දේ සංඛත යැයි බුදු සමය විස්තර කරයි. ඒ අනුව ජීවී, අජීවි සියල්ලම සංඛත ය. මිනිසාද , මුළුමනින්ම සංඛතයකි.

එම සංඛතයේ දීර්ඝ කාලීන පැවැත්ම, විඤ්ඤාණය නිසා සිදුවෙයි. සංඛාර පච්චයා විඤ්චාණං සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවන බව මෙන්ම පුද්ගල ප්‍රවෘත්තියේ මූලික බලවේගය කර්මය බව ද පැහැදිලි ය.

අංගුත්තර නිකයේ පඤ්චක නිපාතයේ සඳහන් ආකාරයට නියාම ධර්ම 5 ක් පෙන්වා ඇත. පුද්ගලයා සහ බාහිර ලෝකය අතර ක්‍රියාත්මක වන මූලධර්ම ලෙස ඒවා හැඳින්විය හැකි ය. සෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම වශයෙනි. ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ කාලවල සුළඟ හැමීම, වැස්ස අඩුවැඩිවීම, ආදිය සෘතු නියාම වශයෙන් දැක්විය හැකි ය.

සූරියකාන්ත මල් හිරු දෙසට හැරී සිටීම, කොසඹ තිත්ත රසයෙන් යුත් ඵල ඇතිවීම, පොල් ගෙඩිය මුදුනේ සිදුරු තුනක් ඇතිවීම ආදිය බීජ නියාමය අනුව සිදුවෙයි.

අලෝභ, අදෝස, අමෝහ මූලික කරගෙන සිදු කරන ත්‍රි හේතුක කුසලයකින් දිව්‍ය, මනුෂ්‍ය, සැප මෙන්ම නිවනද ලැබිය හැකිවීම, කම්ම නියාමයට අනුව සිදුවන දෙයකි.

බෝසතුන්ගේ ඉපදීම, බුදුවීම, දම්සක් පැවැත්වීම ආයු සංස්කාරය අත්හැරීම යන අවස්ථාවලදී දස දහසක් ලෝක ධාතු කම්පාවීම ආදිය ධම්ම නියාමයට අනුව සිදුවෙයි.

චිත්ත නියාම වශයෙන් හඳුන්වන්නේ් ඇස, කණ, නාසය, දිව, ශරීරය මනස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු මගින් විවිධ සිත් ඇති වීම යි.

බුද්ධ කාලීන ප්‍රාග් බෞද්ධ ආගම් දර්ශනවල කර්මවාදයක් ඉගැන්විණි. එසේ වුවත් බෞද්ධ කර්ම නියාමය පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල න්‍යායට භාරතීය අනික් සියලු ආගම්, සර්ව බලධාරී දෙවියන්ට, අවිශ්චර ආත්මයකට සම්බන්ධ බැවින්, කර්මය ද ඒ හා සම්බන්ධ වෙයි. මේ නිසා ස්ව විසන්‍දතාවයට එමගින් බාධා පැමිණෙයි. පසුකාලීන බෞද්ධ ග්‍රන්ථවල ප්‍රවිශ්ටව ඇති ‘කම්මස්සකාරකො නත්ථි විපාකස්සච වෙචිතො’ කර්මය කරන්නෙක් නැත. විපාක විඳින්නෙක් නැත. යන්නද, එවැනි බලපෑමකි.

එය එසේ වුවත්, බෞද්ධ සූත්‍රවල ඉගැන්වෙන කර්මවාදය අනුව කර්මය කරන්නෙක් සිටියි. කර්මය කරන්නේ ක්‍රියාව කරන පුද්ගලයාමයි. එසේ නම් එහි විපාක විඳින්නේ වෙන කෙනෙක් නොව ඔහුම බව පැහැදිලියි. මෝඩ තැනැත්තා නරක ක්‍රි‍්‍රයාවල යෙදෙන්නේ එහි විපාක නොදැනයි. ඔහු එම පව් සිදු කරන්නේ මී පැණි පානය කරන්නාසේ ය. එහි විපාක විඳින විට එහි බරපතලකම පැහැදිලි වෙයි.

බෞද්ධ සාහිත්‍යය තුළ යහපත් කර්මවල විපාක විඳි අය සිටියහ. ඒ අය අතර අනාථපිණ්ඩික සිටාණෝද ධම්මික උපාසකයාණෝ ද සිටිති. එසේම අයහපත් කර්මවල විපාක විඳි අය වශයෙන් දෙව්දත් තෙරුන් සහ අජාසත් රජු පෙන්වා දිය හැකි ය. ඉහත ආත්මයේ සිදු කළ කර්ම නිසා මහා මොග්ගල්ලාන රහතන් වහන්සේටද කර්ම විපක බලපෑ අතර අංගුලිමාල මහරහතන් වහන්සේට ද කර්ම විපාක බලපෑවේ ය. මුල් බුදු සමයට අනුව ආත්මයක් නැත. එහෙත් පංචස්කන්ධය සහිත පුද්ගලයෙක් ඇති බව බුදු සමයේ ස්ථාවරය යි.

කිසියම් දහමක දර්ශනයක කර්මය කරන්නේත් විපාක විඳින්නේත් නැතැයි යන අදහස ප්‍රකාශ කරන්නේ්නම් එවැනි ආගම් සමාජයට විශාල බලපෑමක් කරනු ඇත. එය පුද්ගල වගකීමට කරන හානිය මෙන්ම, යහපත් ක්‍රියාවලට අකුල් හෙළන අනවශ්‍ය ප්‍රකාශයක් ද වෙයි. කර්මය ජීවිතය සහ ලෝකයේ ක්‍රියාත්මක බලවේග හඳුනා ගැනීමට උපකාර වන ධර්මතාවයකි. බුද්ධ කාලය අන්‍ය ආගම් තුළ දැක්වෙන කර්ම පිළිබඳ අදහස් දෙකකි. ජෛන ධර්මවාදය (කර්ම ක්‍ෂයවාදය) ආජීවක දර්ශනයේ කර්මවාදය (පුබ්බේකත හේතුවාදය) යන එම අදහස් දෙක බුදු සමය ප්‍රතික්‍ෂේප කරයි.

අකුසල ක්‍ෂය කිරීම, තපසින් කළ යුතු ය. සැපෙන් සැප ලැබිය නොහැකි ය. සැප ලැබිය හැකි වන්නේ දුක් විඳීමෙන් යැයි ජෛනයෝ ප්‍රකාශ කළහ. එම නිසා සිරුරට දුක් දීමෙන් ව්‍රත සමාදන් වීමෙන් එහි නියැලීමෙන්, කර්ම නැති කිරීමට ජෛනයෝ උත්සාහ ගත්හ. එසේ ව්‍රත සමාදානයේ යෙදුණ ජෛනයන් අමතා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කෙළේ, කෙනකු පෙර සිටි බව නොදනී. පෙර කී දේ නොදනී. පෙර කළ කර්ම ද නොදනී, එහි ප්‍රමාණද නොදනී. ව්‍රත දමාදානයෙන් ක්‍ෂය වන කර්මය ද ඔහු නොදනී. ඒ පිළිබඳ තීරණ ගැනීමට ඔහුට නොහැකි ය. කෙනෙකුගේ පව් ක්‍ෂය විය හැකි ද ඒවා ක්‍ෂය වීමට කොපමණ කාලයක් දුක් විඳිය යුතු ද යන නිගමනයට ඒමට, කිසිවකුට ඉඩක් නොමැත.

ජෛනයන් ඉහත ආත්මයන්හි කරන ලද කර්ම ක්‍ෂය කිරීමට දැන් දරන උත්සාහයින්හි ප්‍රතිඵලයක් නොමැති බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ. මන්දයත් ප්‍රතිඵලය නිර්මාණය වූයේ කළ ක්‍රියා මගිනි. ජෛනයන්ට අනුව සැපතක් අනුභව කරන පුද්ගලයා සේනිය බිම්බිසාර රජු ය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ් සේනීය බිම්බිසාරට වඩා වැඩි සැපතක් තමන් වහන්සේ භුක්ති විඳින බව යි. බුදුන් වහන්සේ තමන් වහන්සේට හැඟීම් වේදනා ආදියෙන් තොරව සිටිය හැකි බව ප්‍රකාශ කරති. බිම්සාර රජුට මොහොතක්වත් එසේ සිටිය නොහැකි ය.

මතු සම්බන්ධයි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.