Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපමා රූපකවලින් දහම් පණිවිඩ ගෙන එන සද්ධර්ම රත්නාවලිය

සිංහල බෞද්ධ සාහිත්‍යයේ අගනා ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හැදින්විය හැකිය. දඔදෙණි යුගයේ විසූ ධර්මසේන මාහිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට පාත්‍ර වූවකි. දඹදිව සිදු වූ කථා ප්‍රවෘත්තින් වුවද, මෙරට පොදු ජන සමාජය තුළ භාවිතා වූ උපමා රූපක ආදිය යොදා ගනිමින් ලාංකේය සමාජයේම අත්දැකීමක් බවට පත් කරන්නට උත්සාහ දරා ඇත.

විශේෂයෙන් තමා කියන්නට උත්සාහ කරන දෑ උපමා රූපක මගින් පැහැදිලි කිරීමට උන් වහන්සේ උත්සාහ දරා ඇත. හාස්‍ය රසය , උපහාස රසය ආදි විවිධ රසයෙන් යුත් ඒ ඒ අවස්ථාවට උචිත එමෙන්ම පහසුවෙන් වටහා ගත හැකි උපමා රූපක භාවිතා කර ඇති අන්දම සද්ධර්ම රත්නාවලිය පුරාම ඇති විවිධ කතා වස්තූන් තුළින් පැහැදිලි වේ.

සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තූන් අතරින් ඉතාම රසවත් කතා වස්තුවක් ලෙස මට්ටකුණ්ඩලී කතා වස්තුව දැක්විය හැකිය. කතුවරයා විසින් යොදාගෙන ඇති උපමා රූපක වල රසවත් බව නිසාම එය වරක් කියවූ පාඨකයා නැවත වරක් කියවයි. මෙහි විස්තර වන අදින්නපුබ්බක සිටාණෝ දැඩි මසුරෙකි. ඔහුගේ මසුරුකම කොතෙක්දැයි විස්තර කරන කතුවරයා තණපත අග තැවරුණ තෙල් බිදුවක තරම් දෙයක් වත් අනුන්ට නොදෙන බව පවසයි. හෙතෙම තම වස්තුව විය පැහැදම් කිරීමට දැක්වූ දැඩි ලෝභය නිසා තම එකම පුතුට කුණ්ඩලාභරණයක් සාදා දීමට රන්කරුවකු කැදවීමට බිය වෙයි. රන්කරුට වැය වන මුදල ඉතිර කර ගනිමින් තෙමේම එම කාර්යය සිදු කරයි. ඔහුගේ එම මෝඩ ක්‍රියාව ධර්මසේන හිමියන් විසින් උපහාසයට ලක් කර ඇත්තේ අකුරු ලියන සේ නොදත්තවුන් පත්වල හිරි අදනා සේ යනුවෙනි. අකුරු ලියන්නට නොදන්නා කෙනෙක් පොතක් ගෙන ඉරි ඇන්දත්, එහි අකුරක හැඩය හෝ නිවැරදි අකුරක් ලියවෙන්නේ නැත. අදින්නපුබ්බක සිටාණන් කළ කාර්යයද එබදුමය. හෙතෙම රත්රන් ටිකක් ගෙන තලාපියා ආභරණයක් තැනවුවද, එහි ශිල්පියකු විසින් කළ ආභරණයක ඇති සියුම් බව මටසිලුටු බව හුරුබුහුටි බව නොමැත. එය පැළදීමෙන් පසු ඔහුගේ පුතුට මට්ටකුණ්ඩලී යනුවෙන් නමක් පට බැඳුණා පමණි.

තමන්ගේ එකම පුතු වූ මට්ටකුණ්ඩලී රෝගාතුර වන්නේ ද නිසි ප්‍රතිකාරයක් කිරීමට අදින්නපුබ්බක මුදල් වියදම් නොකළ නිසාය. වෙදුන් කැඳවා ප්‍රතිකාර කිරීමේදී මුදල් වියදම් වන නිසා හෙතෙම ගොඩේ වෙදුන් සොයා ගොස් අසවල් ලෙඩේට කුමන බෙහෙතක් සුදුසුදැයි අසා දැන ගැනීමට උත්සාහ කරයි. ඔහුගේ මසුරුකම වටහා ගන්නා වෙදුන්ද පාණ්ඩු රෝගයට නොව වෙනත් රෝගයක් සඳහා භාවිතා කරන ඖෂධයක නම ඔහුට කියයි. ඒ පිළිබඳ විශ්වාස කරන හෙතෙම එම බෙහෙත් ගෙනවිත් තලා අඹරා පුතුට පොවයි. එම නොගැළපෙන ප්‍රතිකාරය කතුවරයා පැහැදිලි කර ඇත්තේ රසවත් උපමා තුළිනි. එනම් “ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා සේ “ ඇස සරසන්නට තොල අදුන් ගානා සේ “ යනුවෙනි.

සද්ධර්ම රත්නාවලියෙහි එන තවත් රසවත් කතා පුවතක් නම් ථුල්ලතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතයි. වත් පිළිවෙත් කිරීමට සුදුසු තරුණ , කාලයෙහි ගිහිගෙයි ගතකොට මහලු කල පැවිදි වූ උන් වහන්සේ උපහාසයට ලක්කොට ඇත්තේ ඔබ වැළිත් ගොයම් කළ මනාවක තිබියදී කල් පසුකොට කරන ගොයමක් සේ යනුවෙනි. කුඹුරකින් සරු අස්වැන්නක් ලැබීමට නම් නිසි කලට බිජුවට වැපිරිය යුතුය. කල් පසුකොට බීජ වැපිරීමෙන් සරු අස්වනු ලැබිය නොහැක. සසුනෙහි පැවිදිව එහි පිළිවෙත් ගරු ධර්ම අවබෝධ කර ගැනීමට නිසි කාලයක් ඇත. සාමාන්‍ය ජනතාවට සමීප ජීවන වෘත්තියක් වන කෘෂිකර්මාන්තය ආශි‍්‍රත උපමාවක් යොදා ගනිමින් දහම් පණිවිඩයක් දීමට උන් වහන්සේ ගත් උත්සාහය සාර්ථක වී ඇත.

ථුල්ලතිස්ස කතා පුවතේ අතීත කතා වස්තුවද රසවත් උපමා රූපකවලින් සැරසුණකි. අතීත කතා වස්තුවට අනුව එහි එන නාරද හා දේවල තවුසන් දෙදෙනා අතර ඇතිවන මත ගැටුමේදී දුසිල්වත් දේවල තවුසා නාරද තවුසාට සාපයත් කරයි. එහෙත් එම සාපය පෙරලා සාපය කළ තැනැත්තා වෙතම ගොස් පල දෙන බව නුවණැති නාරද තවුසා දකියි. එය ධර්මසේන හිමියන් දක්වා ඇත්තේ දෙනුන් හැදින වස්සන් යන්නා සේ යනුවෙනි. ‘උඩු සුළගට දැමූ රොඩු දැමුවන්් කරාම යන්නා සේ “ යනුවෙනි. වසු පැටවුන් කිරි සුවද ඔස්සේ තම මව හදුනාගෙන ඔවුන් වෙතම දිව යති. උඩු සුළඟට රොඩු දැමු කළ ඒවා ආපසු ඇද වැටෙන්නේ දැමු පුද්ගලයා වෙතමය. එසේම දුසිල්වත්ව සිටිමින් දේවල තවුසා කල සාපය පෙරළා ඔහු වෙතම ඇදෙයි. අවසානයේදී සාපයෙන් මිදීමට සිල්වත් නාරද තවුසාගෙන් සමාව ගැනීමට දේවල තවුසාට සිදු වෙයි. මෙය කතුවරයා දක්වා ඇත්තේ “ සමහර විෂයක් බානා කල දෂ්ඨ කළ සර්පයා ලවාම උරවා ගන්නා සේ “ යනුවෙනි.

සද්ධර්ම රත්නාවලියෙහි එන සිරිගුත්ත කතා වස්තුවෙන් සැවැත් නුවර විසූ මිතුරන් දෙදෙනෙකු ගැන කියැවේ.මිතුරන් වුවත් දෙදෙනාගේ ගති පැවතුම් එකිනෙකට වෙනස් ය. සිරිගුත්ත ඉතා පවිත්‍ර වූ අදහස් ඇත්තෙකි. ගරහදින්න ඉතා පවිටු අදහස් ඇත්තෙකි. මොවුන් දෙදෙනාගේ චරිත ලක්ෂණවල වෙනස උපමාවන් තුළින් ගෙනහැර දක්වා ඇත්තේ මෙසේය.පවිත්‍ර වූ අදහස් ඇති සිරිගුත්ත ‘රාජහංසයින් පියුම් වල ඇලෙන්නා සේ” යනුවෙනි.පවිටු අදහස් ඇති ගරහදින්න “ ගම් හුරන් කසලගොඩ ඇලෙන්නා සේ, යනුවෙන් පවිටු අදහස් ඇති දෑ වෙතම ඇති නැමියාව පැහැදිලි කර ඇත.

සද්ධර්ම රත්නාවලියෙහි එන ගංගාරෝහණ කතා වස්තුවෙන් විශාලා නුවර ඇති වූ තුන් බිය පිළිබඳ විස්තර වේ. රෝග බිය අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය නිසා නගරය තුළ වූ විපතින් මිදීමට පිළියම් සෙවීමේදී යමෙක් යෝජනා කරනුයේ ෂඩ් ශාස්තෲන් එම නගරයට වැඩම කළහොත් එය නිම වන බවයි. නමුත් එසේ කලත් කිසිදු වෙනසක් සිදු නොවීය. මේ ක්‍රියාව දුටු එක් නුවණැති පුද්ගලයෙක් පවසන්නේ බුදු රදුන්ට මෙම කාර්යය කළ හැකි බවත් එබදු හැකියාවක් ඇති උතුම් පුද්ගලයෙක් සිටියදි ගැටලුවට පිළියමක් නොවන ප්‍රතිකර්ම යෙදීම උපහාසයට ලක්කොට ඇත. “පාන ඇවිලෙමින් තිබියදී ගිනි සොයා ගොසින් කණමැදිරියකු දැක ගිනි යැයි සිතා පිඹින්නාක් වැන්න “ යනුවෙනි. කිරෙන් ප්‍රයෝජනයක් ඇති විටෙක දෙනගෙන් දෙවගන්ට පිළිවන්ව තිබෙන මොළොක්ව තිබෙන තන තිබියදී කොතෙක් වේලා දෙවයත් අතට වන ආයාස පමණක් මුත් කිරක් නැති භග අල්වාගෙන සැලෙන්නවුන් වැන්න “ යනුවෙනි.

සද්ධර්ම රත්නාවලියෙහි එන සිරිමා වස්තුව තුලින් මනුෂ්‍ය ශරීරයෙහි ඇති අනිත්‍ය බව වටහා දෙන්නට ගත් උත්සාහයක් කැපී පෙනේ. සිරිමා මළ කල්හි ඇය ආදාහනය නොකොට ඇගේ දේහය අමු සොහොනකට ගෙන ගොස් බලු කපුටු ආදින්ගෙන් හානියක් නොවන ලෙස තැබීමට බුදු රදුන් උපදෙස් දෙයි. දින තුනක් ඉක්ම ගිය කල්හි ඇගේ සිරුර ඉදිමි කුණු වී පණුවන් වැගිරෙන්නට විය. එම අවස්ථාව අපුර්ව මනෝ චිත්‍රයක් මැවෙන අයුරින් දක්වා ඇත. සියල් සිරුරත් බිදී ගිය හැල් සාලේ බත් සැළියක් මෙන් විය යනුවෙනි. හැල් සාලේ බත් සැලිය කලු පාටය.

බත් ඇය සුදු පාටය. එය බිම වැටී බිදුන කල බත් ඇට තැන තැන විසිරේ. සිරිමාවන්ගේ ශරීරයෙන් පණුවන් පිට වන්නේ ද එලෙසිනි.

මේ ආකාරයෙන් රසවත් උපමා රූපක යොදා ගනිමින් උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට බාධාවක් නොවන පරිදි අගනා දහම් පණිවිඩයක් සමාජය වෙත තිළිණ කිරීමට සද්ධර්ම රත්නාවලි කතුවරයා අනුගමනය කළ ක්‍රමවේදය අතිශයින් ප්‍රශංසනීයය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.