Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන කවියා දුටු බුදු ගුණ


ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම් දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියෝද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින් පෙනේ.

ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය වීමත් සමග සංස්කෘතියේ සියලු අංගෝපාංග බෞද්ධ මුහුණුවරකින් හැඩ ගැසෙන්නට පටන් ගත්තේය. ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම් දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියන්ද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ ජන කවියන්ද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින් පෙනේ.

ජන කවිය ජන අවිය සමග තදාත්මිකව බැඳී පවතී. සාම්ප්‍රදායික කවි කල්පනාවලින් පිරි සම්භාව්‍ය කාව්‍යය විදග්ධයන්ගේ මනදොළ සපුරාලුවා සේම ජන කවිය පොදු ජනතාව අතරින් බිහි වී පොදු ජනතාවම රසයෙන් පුරවාලීය. තම දිවි පෙවත තුළ දෛනික කටයුතුවලදී තම හදවතේ් පැන නැගුණු අදහස් කියා පෑමටත් පාලුව කාංසිය මගහරවා ගැනීමටත් ජන කවියෙන් ලැබුවේ අපමණ සේවයකි. ඊට බෞද්ධ ස්වරූපයක් ආරෝපනය කිරීමෙන් බුදු දහමින් උගන්වන මෛත්‍රීය උපේක්ෂාව හා අටලෝ දහමින් නොසැලෙන බව පලට කිරීම ජනකවියාගේ අරමුණ වූ බවද පෙනේ. එසේම සම්භාව්‍ය කාව්‍යයට සමගාමීව ජනකවියද ව්‍යවහාරයේ පැවැතියේ ය.

කෙතක ගොයම් රැකි ගෙවිලියන් තාලයට ගයන ලද බුදුගුණ ගී අසා භික්ෂූන් වහ්නසේ හැට නමක් රහත් වූ බවද නෙළුම් විලක මල් නෙලූ දැරියන් ගැයූ බුදුගුණ ගීයක් ඇසූ තිස්ස නම් භික්ෂුවක් රහත් වූ බවද බුදුගොස හිමියෝ කියති. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියූ කවීන් අතරද ජන කවියන් සිටි බව

නිල් කට්රොල් මලෙකැ ඇවුණු වැට් කොල්මල් සෙයි
දැන් දැගැ සිහි වන්නෙයි මහනිල් වනක් හයිරන් වන්හුන්

යන ගීයෙන් පෙනේ.

පොදු ජනතාව තම දිවි පෙවෙතත් බුදුදහමත් එකක් කොට සැලකූ®හ. ඒ නිසාම ඔවුන් අතරින් පහළ වූ ජන කවියන්ද සිය සිතැගි පැවසීමේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත් තම ට්ත්තාභ්‍යන්තරයේ පැවති ගෞරවය සිහිපත් කිරීමට අමතක නොකළහ. ගොවිතැන, ආශි‍්‍රත කවි, ජන කවි අතර බෙහෙවින් දක්නා ලැබේ. වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය පතමින් ගොවියා කරන ගොවිතැන අපේක්ෂා නොකළ පරිදි නියඟින් විනාශ වී යයි. තමන්ගේ පමණක් නොව තම අඹුදරුවන් ගේ ද කුසගිනි නිවාලනු සඳහා මහත් වෙහෙස දරා කරන ලද කුඹුරු පාලුවීම ඔහුට ඉවසිය නොහැකි වේදනාවකි. සංසාරය මෙවන් දුක් වේදනාවලින් ගහන වූවක් බවත්, ඇති එකම පිළියම නිවන් දැකීම බවත් බුදුදහමින් ඔහුට උගන්වා ඇත. එය තම එකම අපේක්ෂාව බව කවියා පවසන්නේ මෙසේ ය.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද     පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැසිපල      නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද             දකින්නේ

තවත් ගැමියෙකු තම කෙත පාලුවීමෙන් උපන් වේදනාව බුදුරජාණන් වහන්සේට පවසමින් තම දුක නිවා ගන්නේ මෙසේය.

පාට හොඳයි පැලවෙන ගොයමේ  නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ        රොල්ල
යාල දෙගොඩ හඬනා මැඩියන්  ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු         මුල්ල

නිල්ල වැසී ගිය තම කෙත වට මහ වැස්සෙන් පාලු වී ගිය බව කවියා කියයි. ඔහුට පිහිටට ඇත්තේ දෙවියන් බුදුන් පමණි. දුකක් කරදරයක් පැමිණි විට බුදු හිමියන් සිහිපත් වීම බොදු ගැමියාගේ ආවේනික පුරුද්දක්ව ඇති බව මෙයින් පෙනේ.

අම්මා ගෙදර බුදුන් සේ සැලකීම බොදු සිරිතය. අම්මාට සැලකීම බුදු හිමියන්ට කරන සැලකීමක් සේ ගැමියා සිතයි. මෙය සෙසු සමාජයට ද සිහිපත් කරදීමට ජන කවියා උත්සාහ ගනියි. ඔහු ඒ සඳහා වස්තු කොට ගන්නේ අපූරු සිදුවීමකි. කුසගිනි වූ මවක සිය බාල පුතාගේ ගෙදරට යයි. ඇය අපේක්ෂා කළේ ආහාරයකි. නමුත් සිය බිරියගේ උපදෙස් පිළිපැදි පුතා තම මවට වී ස්වල්පයක් මල්ලක දමා දෙයි. මෙය දුටු ජන කවියා අයියාගේ මුවට ආරෝපනය වෙමින් මෙසේ කියයි.

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ    අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි             දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි       දෙන්නාට
බුදුන් වඳින ලෙස වැදපන්               අම්මාට

තමාට පිහිට තමාම යයි බුදු දහමින් උගන්වයි. එහෙත් ලාංකික බෞද්ධයෝ තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමටද බුදුරදුන්ගේ පිහිට පතති. දරුවන් නොලද කාන්තාවක් තමන්ට පුතෙකු ලබාදෙන ලෙස ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ මහත් බැතියෙනි.

ගෙදර සිටන් පේවි පේවි තිසා වැවට   යන්ඩයි
තිසා වැවේ රතු නෙළුමේ බත් බෙදාන කන්ඩයි
එතැන සිටන් පේවි පේවි උඩමලුවට      යන්ඩයි
උඩ මලුවේ බෝ රජුනේ පිරිමි පුතෙක් දෙන්ඩයි

මෙය බෞද්ධයන්ගේ විශ්වාසයය. ජන කවියාගේ් මුවින් පිට වූ මේ වදන් සෙස්සන්ටද කදිම මග පෙන්වීමක් බව පෙනී යයි.

ගැමියෝ නිතර පන්සල් යති. මල් පහන් පුදති. බණ අසති. තම දිවිපෙවෙත යහපත් සේ ගත කරයි. එහෙත් ගැමියන් අතර වුව සමහරු නමින් බෞද්ධයෝ වෙති. බණ දහම් ගරු නොකරති. ඔවුන් පින්මද වුන් ලෙස ජන කවියා දකින්නේ් තමා තුළ ඇති බැතිමත් බව නිසාය.

පීල්ලේ යටට කළයක්                 තිබුවත්
නොපිරේ කළේ සැට පැයකින් බැලුවත්
පින් මද එකා බණ දහමින්     වෙලුවත්
උගේ ගතිය ඌ නොහරී          මැරුවත්

ආගම දහමට ගරු නොකරන අය ජන කවියා අවඥාවට ලක්කරන අයුරු කදිමය. ජන කවියාගේ බොදුනු සිත ඇදී ගියේ මිනිසුන් ගැහැණුන් වෙත පමණක් නොවේ. තිරිසන් සතෙකුගේ දුක පවා ඔහුගේ සිත කම්පනයට පත් කෙළේය. සියලු සතුන්ට මෛත්‍රී කරන්නැයි පැවසෙන දහම් පදය ඔහුට සිහිවෙයි

මියගිය මුව දෙනකට තුසිත පුරේ සුව ප්‍රාර්ථනා කරන කවියා මියගිය තලගොයි පැටියෙකුට බුදුන්දැක නිවන් දකින්නැයි ප්‍රාර්ථනා කරයි.

ඈත හිටන් දුව ගෙන ආ මුව     වැස්සී
අපේ ගමේ වැව් කන්දෙන්    පෙරලිච්චී
දරුවා නොවෙයි මරුවා බඩට  වෙච්චී
තුසිත පුරේ බණ අහපත් මුව     වැස්සී

මං බාලේ ඇතිකළ තල ගොයි    පැටියා
මගෙ තනියට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඇවිදින් ඌ අරන්        ගියා
නිවන් පුරේ දැකපන් තල ගොයි  පැටියා

තමන් ගේ දිවි ගැට ගහ ගැනීමට හැමදාම ගැමියාට පිහිටවූයේ කෙතය. මහත් බලාපොරොත්තු ඇතිව කුඹුරු කරන ගොවියා ඉන් වැඩි අස්වැන්නක් අපේක්ෂා කරයි. ඒ නිසාම කෙත කමත, බැත දෙවියන්ට සේම බුදුන් වහන්සේට ද බාර කරයි. එපමණක් නොව ධර්මය හා සංඝයාටද බාර කරයි. මේ එවන් ගැමියෙකුගේ මුවින් පිට වූ වදන් වැලකි.

බුදුන් වඩින මේ          කමතට
සදුන් සුවඳ ඉතිරෙයි        වට
යොදුන් උසට තිබෙන  බැතට
බුදුන් අනින් එයි          කමතට

තවත් කවියෙකු කමත පසේ බුදුරදුන්ට බාර කරන්නේ මෙසේය.

මේ කමතා කයෙ    කමතා
පසේ බුදුන්ගේ        කමතා
පසේ බුදුන් දුන්නු     බැතා
අද පුරවන් මේ       කමතා

හේන් ගොවිතැනෙහි නිරත වන ගොවියාට රාත්‍රි කාලයේ පැල් රැකීමට සිදුවේ. පැල් රැකීම අතිශයින් වේදනාකාරි අත්දැකීමකි. තම නිවසින් දුර බැහැර වන සතුන් පිරි වනමැද හේනක පැලක රැය ගත කරන ගැමියාගේ සිත පාලුවෙන් බියෙන් පිරී යයි. ඇතැම් සතුන්ගේ හඬ පවා ඔහුට බිය දනවන සුළුය. උලලේනා එවන් සතෙකි.

ඔහුගේ් හඬ දෙසවන් වැකීම නුදුරු මහ විපතක නිමිත්තක් කොට ගැමියෝ සලකයි. එවන් අවස්ථාවක ඔහු පලවා හැරීම සඳහා ගයන කවිවලදී ද ආගම දහම සිහිපත් කිරීම ගැමියාගේ සිරිතය. එවන් අවස්ථාවක් ජන කවියාගේ් මුවින් ගිලිහී ඇත්තේ මේ අයුරිනි.

උලලේනිය උලලේනිය නාඬ           බොලේ
නාඬ ඉන්න තොට බලයක් ඇතිය බොලේ
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොලේ
බුදුනි නමෝ උලලේනි නාඬ           බොලේ

තරගයට තේරවිලි කියමින් ඒවා තෝරමින් තම පාලුව කාංසිය නිවා ගැනීමද සතුටක් ලැබීමද ගැමියාගේ් පුරුද්දය. තම දැනුම උරගා බැලීමක්ද මෙයින් කෙරේ. එකෙකු තම සගයාට තේරවිල්ලක් කීවේ මෙසේය.

අහසේ තරු මනින කෙන්ඩිය     කියන්නේ
පොළවේ වැලි මනින කෙන්ඩිය කියන්නේ
මුහුදේ දිය මනින කෙන්ඩිය       කියන්නේ

පසේ බුදුන්ගේ මුත්තා                කියන්නේ

කවියා තම මිතුරාගේ දහම් දැනුම විමසා බැලීම අපේක්‍ෂා කළ සේය. ඔහුට අවශ්‍ය වූයේ තුන් සරණය මතක් කරදීම හා එය සෙසු රසිකයාට ද ලබාදීමය. ඊට පිළිතුරු දෙන අනෙකා මෙසේ කියයි.

අහසේ තරු මනින කෙන්ඩිය බුද්දං      සරණේ
පොළවේ වැලි මනින කෙන්ඩිය ධම්මං සරණේ
මුහුදේ දිය මනින කෙන්ඩිය සංඝං        සරණේ
පසේ බුදුන්ගේ මුත්තා තුන්                     සරණේ

බුදුරජාණන් වහන්සේත්, බුදුදහමත් මේ රටේ සිංහල ගැමි හදවතේ් බැතිමත් බවින් තැන්පත්ව ඇති අයුරු හඳුනා ගැනීමට ජනකවිය ද මහාර්ඝ වස්තුවකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.