Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොත් පුවත්

ධාතු විස්තරය

කර්තෘ - ගයාන් චානුක විදානපතිරණ
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු 400/-

බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු ගැන දැනගත යුතු මූලික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. ශ්‍රී ලංකාවේ හා දඹදිව සිද්ධස්ථානයන්හි වර්ණ ඡායාරූප රාශියක් ද මේ කෘතියෙහි අඩංගුය.

මේ කෘතියට පෙරවදන සපයන නා උයනේ් අරියධම්ම හිමියන්ගේ අදහස මෙසේය.

‘ශාක්‍යමුනීන්ද්‍රනයන් වහන්සේ ගේ් ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා සහ පාරිභෝගික ධාතූන් වහන්සේලා පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් වන ග්‍රන්ථයක් බෞද්ධ ලෝකයට අවශ්‍යම වී ඇති අවධියක පින්වත් කෘතහස්ත ග්‍රන්ථකර්තෘ කෙනකු වන ගයාන් චානුක විදානපතිරණ මහතාණන් අතින් අතිශයින් ප්‍රශස්ත වූ මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. ශ්‍රී ලංකාව පුරා බොහෝ පුස්තකාලයන් ගෙන්ද විහාරස්ථානයන්ගෙන් ද සොයාබැලිය යුතු සෑම තැනකින් කරුණු විමසා දැන අතිශයින් පැරණි ධාතු විස්තර සහිත පුස්කොළ පොත්වලින් ද අවශ්‍ය තාක් කරුණු එක්තැන් කොට සම්පාදිත බැවින් මෙය අනර්ඝ වූ ධර්ම සංග්‍රහයකි.


 


බුදු සමය හා පාප සංකල්පය

කර්තෘ :- ගැමුණුපුර සෝමවංශ හිමි
ප්‍රකාශනය :- ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයකි
මිල :- රු. 600 /-

පාප සංකල්පය පිළිබඳ මූලික අර්ථ විග්‍රහය, පාප සංකල්පය පිළිබඳ භාරතීය ආගමික හා දාර්ශනික මත විමසුම, වක්තෘ ආගම්වල ඉගැන්වෙන පාප සංකල්පය , පාප සංකල්පය පිළිබඳ ආදී බෞද්ධ විග්‍රහය , පාප සංකල්පයේ පශ්චාත් කාලීන සංවර්ධනය , පාප සහ මාර සංකල්පයේ ඒකත්වය, පාප සංකල්පයේ ආචාර විද්‍යාත්මක පදනම යන මාතෘකා යටතේ මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබේ.

පාප සංකල්පය සම්බන්ධයෙන් කතු හිමියන් මෙහි මෙ සේ සඳහන් කැර ඇත. ‘පාපය වනාහී පුද්ගලයා කිළිටි කරන, අපිරිසිදු කරන, අනිටි විපාක ලබාදෙන සංකල්පයක් බව සෑම ආගමකම ඉගැන්වෙන දාර්ශනික ස්ථාවරයයි.

පාපයෙන් මුක්තවීම පුද්ගල සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයට ද අතිශයින් ඉවහල් වේ.

කෙසේ වුවද පාපය යනු කිසියම් ආගම ඉගැන්වෙන පරමාදර්ශි නිෂ්ටාවට පටහැනිව ගමන් කිරීමයි. ඒ බව අධ්‍යයනය කළ විවිධ ආගමික මූලාශ්‍රයන් තුළින් මනාව ස්ඵුටව පෙනෙන්නකි.’


 


ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය හා සංවර්ධනය

කර්තෘ:- දොඩම්කුඹුරේ ධම්මදස්සී හිමි
ප්‍රකාශනය :- දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල :- රු:180 /-

ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ ව ලියැවුණු ග්‍රන්ථයකි. බුද්ධ ප්‍රතිමා රාශියක ඡායාරූප ද ඇතුළත් ය.

මේ කෘතියට පසුවදනක් සපයන කැලණිය විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මෙ සේ සඳහන් කැර තිබේ.

“ශ්‍රී ලාංකික ප්‍රතිමා කලාවේ අග්‍රගණ්‍ය වූත් විශිෂ්ටතම වූත් නිර්මාණය බුද්ධ ප්‍රතිමාවයි. පූජනීය වස්තුවක් වශයෙන් මෙන් ම දර්ශනීය කලා නිර්මාණයක් වශයෙන්ද සම්භාවනා ලබන බුද්ධ ප්‍රතිමාව පිළිබඳ මේ වන විට විවිධ අධ්‍යයන සිදු වී තිබේ.

එම අධ්‍යයන හා පර්යේෂණ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කරමින් රචිත ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය හා සංවර්ධනය නම් වූ මෙම කෘතිය ශ්‍රී ලංකාවේ බුදු පිළිමය පිළිබඳ සමාලෝචනයක් මෙන් ම විවරණයක් ද වේ. ඒ සමගම ශ්‍රී ලාංකික බුද්ධ ප්‍රතිමාවේ දේශීය අනන්‍යතාව තහවුරු කරලීම සඳහා තර්කානුකූල උත්සාහයක් දැරීම ද මෙහි විශේෂත්වයකි.

කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දොඩම් කුඹුරේ ධම්මදස්සී හිමියෝ මෙහි කතුවරයාණෝ වෙති.

කලාශිල්ප විෂය පිළිබඳ වැඩි ප්‍රවීණත්වයක් පළ කරන උන්වහන්සේ බෞද්ධ සංස්කෘතියට අමතර ව ඉතිහාසය, පුරාවිද්‍යාව ආදී විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණ කාර්යවල නියැලී සිටිති. වසර කිහිපයක සිට කලා ශිල්ප විෂය ඉගැන්වීමෙන් හා පර්යේෂණ කිරීමෙන් ලද දැනීම හා අවබෝධය පදනම් වුණු මෙම කෘතිය, එම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ “
 


 

ධම්ම ආරෝග්‍යය සහ මිනිසා

කර්තෘ:- ලබුදූවේ සිරි සුජාත හිමි
ප්‍රකාශනය :- ආලෝචනා ශ්‍රී ධර්ම ප්‍රකාශන
රාජෝපවනාරාමය, පේරාදෙණිය
මිල :- රු: 250 /-

කතු හිමියන් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ බෞද්ධ මනෝ ප්‍රතිකාර විධික්‍රමයෙන් ගම්‍යවන මිනිසා පිළිබඳ සංකල්ප නමැති නිබන්ධය ඇසුරෙන් සැකසූ කෘතියකි. පරිච්ඡේද පහකින් යුත් මෙහි සමය දර්ශනය, මනස හා මනෝ ප්‍රතිකාර මනෝ වෛද්‍ය ක්‍රමවලට පසුබිම් වූ මිනිසා පිළිබඳ දර්ශනය, බෞද්ධ දර්ශනය තුළ මනෝවිද්‍යා ක්‍ෂේත්‍රය දරන ස්ථානය , මිනිසා සහ මනෝව්‍යාධි නිවාරණය පිළිබඳ නව ගම්‍යතා ආදී මාතෘකා යටතේ කරුණු ඉදිරිපත් කැර තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.