Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක මත පිහිටි ලෝකය‍

අනිත්‍ය දර්ශනය ගැන හරිහැටි තේරුම් නොගැනීම නිසා දුක ගැන ද හැඟීමක් ඇති නොවන බව ‘යදනිච්චං තං දුක්ඛං’ යන බුදු වදන තුළින් පැහැදිලි කරගත හැකි ය. අස්ථිර සියල්ල දුක බව ඉන් උගන්වයි. මෙලොව ඇති දේ ස්ථිර යැයි සිතන පෘථග්ජනයා එහි මොහොතින් මොහොත ඇති වන වෙනස්වීම් සමඟ දුක, දොම්නස, ශෝකය හට ගන්නා බව නොදනියි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිලක්‍ෂණ ධර්ම වලින් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ දුක්ඛ ලක්‍ෂණය පිළිබඳය. මීට පෙර අනිත්‍ය ලක්‍ෂණය ගැන විස්තර කළ අතර, මෙවර එහි දෙවන ලක්‍ෂණය වන දුක පිළිබඳ විමසා බලමු. මෙය දුක්ඛාර්ය සත්‍යය ලෙස ද හැඳින්විය හැකි ය.

නොකැමැති වින්දනය, සිතට කයට පීඩාකාරී ස්වභාවය ඇති කරන වින්දනය, දුක ලෙස නම් කළ හැකි ය. මේ වචනය අසෙත්ම ඉතා සරල දෙයක් ලෙස හැඟී ගියත් මෙහි නියම අරුත කෙලෙස් භරිත අපට එක්වර අවබෝධ නොවෙයි. ජීවිතයේ දී නොයෙක් දුක් විපත්ති කරදර වේදනා අමාරුකම් වලට මුහුණ දෙන අතර, ඒ සියල්ල දුක් ලෙස හැඳින්වෙයි. “දුක්ඛේ පතිට්ඨතෝ ලෝකෝ” මේ ලෝකයම දුක මත පිහිටා ඇති බව, බෞද්ධ මතය යි. මෙහි ලෝකය ලෙස පංචස්කන්ධ ලෝකය සහ ඉන් පිරී ගිය අපේ පියවි ඇසට පෙනෙන මේ ජීව ලෝකය ද ඇතුළත් වෙයි. එහෙත් එය දුකක් බව බොහෝ දෙනාට තේරුම් ගත නොහැකි මමත්වය හෙවත් අවිද්‍යා තෘෂ්ණා දෙකින් වෙලී සිටින නිසයි. එසේම අනිත්‍ය දර්ශනය ගැන හරිහැටි තේරුම් නොගැනීම නිසා දුක ගැන ද හැඟීමක් ඇති නොවන බව ‘යදනිච්චං තං දුක්ඛං’ යන බුදු වදන තුළින් පැහැදිලි කරගත හැකි ය. අස්ථිර සියල්ල දුක බව ඉන් උගන්වයි. මෙලොව ඇති දේ ස්ථිර යැයි සිතන පෘථග්ජනයා එහි මොහොතින් මොහොත ඇති වන වෙනස්වීම් සමඟ දුක, දොම්නස, ශෝකය හට ගන්නා බව නොදනියි. සැප යැයි සිතන සෑම දෙයක් ම දුක් ගෙනදෙයි. සියල්ල දුක් සහිත යි.

දම්සක් පැවැතුම් සූත්‍රයේ දී දුක පිළිබඳ මෙසේ විග්‍රහ වෙයි. ‘ඉදං ඛොපන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං. ජාතිපි දුක්ඛා, පරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගො දුක්ඛා, පියෙහි විප්පයෝගෝ දුක්ඛා යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං, සංඛිතේතන පඤ්චුපාදනක්ඛන්ධා දුක්ඛා ති, මෙම පාඨය තුළ සත්වයාට මුහුණ පාන්නට සිදුවන සියලු දුක්, දොම්නස් වර්ග කොට ඇත. එම දුක්ඛ එකිනෙක විග්‍රහ කොට බලමු.

මෙහි සඳහන් පළමු වැනි දුක ජාති දුක යි. ජාතිය යනු, ඉපදීමයි.’යා තෙසං නෙසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජාති, සංජාති’ ආදී වශයෙන් සච්ච විභංග සූත්‍රයේ දී කිසියම් භවයක හට ගැනීමක් ප්‍රතිසන්ධියක් ඉන්ද්‍රියන්ගේ පහළ වීමක් වේ නම්, එය ජාති ලෙස විග්‍රහ කොට ඇත. මෙය පංචස්කන්ධය මුල් කරගෙන සිදුවන දෙයක් නිසා දුකක් බව සඳහන් කළ යුතු ය.

සත්වයාගේ ප්‍රතිසන්ධිය සිදු වන්නේ මළ මුත්‍රාදියෙන් පිරුණු ඉතා පිළිකුල් සහගත මහාන්ධකාර ගුහාවක් හා සමාන මවු කුසක යි. මෙහි නව මසක්ම අත්පා හකුළුවාගෙන ජරාවෙන් පිරුණු අන්ධකාරයේ දුක් විඳියි. එම මව ආහාරපාන ගන්නා හැම විටදීම, උණුදිය බොන හැම අවස්ථාවකදීම, එම සත්වයා ඉමහත් දැවීම්, තැවීම් දුක් වේදනාවන්ට පාත්‍ර වෙයි. මෙසේ දුක් විඳ මව්කුසින් බිහි වූ විට වඩා ගන්නා හැමවිටම අත ගාන හැම අවස්ථාවකම සෝදන හැම විටම අතගාන හැම අවස්ථාවකම සෝදන හැම විටම තුවාලයකට අනින විට ඇතිවන වේදනාව හා සමාන දුක් ගෙන දෙයි. මෙසේ දුකින්ම උපන් සත්වයා, එතැන් සිට ද දුකම කර ගසාගෙන ඉදිරියට ගමන් කරයි. උපදින හැම සත්වයෙක්ම හඬ හඬා උපදින්නේ, මේ ජාති දුක ඉවසිය නොහැකි නිසා ය.

මේ ඉපදීම දුකසේම, උපන් සත්වයා කෙරෙහි බලපාන ජරාව නිසාද ඉමහත් දුකක් ගෙන දෙන බැවින් එය දෙවන දුක ලෙස මෙහිදී විස්තර කෙරෙයි. ජරාව ලෙස හඳුන්වා ඇත්තේ වයස්ගත වීමයි. ‘ජරා ජීර්ණා ඛණ්ඩිච්චාපාලිච්චං වලිත්තතාච ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො අයං චුච්චති ජරා’ යන දේශනා පාඨයට අනුව මේ ලැබූ ශරීරය දිරීමට පත්වීම අඩපණ වීම ජරා දුක ලෙස හඳුන්වා ඇත. සිරුර දුර්වල වූ විට සියල්ල විකෘති වී යයි. කෙස් සුදු වී, ඇස් ආදී ඉන්ද්‍රිය අඩපණ වී මුළු ශරීරයම දුර්වල වී යයි. පුංචි දරුවා තරණයකු වී වැඩිහිටි වයසට පත්වෙයි. අවසානයේ මේ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජරා දුක විඳිමින් ආ ගමන කෙස් සුදු වී දත් ගැලැවී හම රැළි වැටී, ඇස් නොපෙනී යෑමත් සමඟ මිනිසාට මෙය තරමක් දුරට වැටහෙයි. සමහර අය තම මවුපියන් ජරා දුක් විඳින විට එය පිළිකුල් කරමින්, ඒ අය සිය නිවසින් පවා එළවා ගනිති. නොසළකති. මේ නිසාම මේ බෞද්ධ රටේ වැඩිහිටි නිවාස ද වැඩිවෙමින් පවතියි.

යම් කෙනෙක් තමන් ද ජරා දුකට පත් වන බව තේරුම් ගතහොත් ඔහු තුළ ධනමදය, රූප මදය, යෞවන මදය ආදිය ඇති නොවෙයි. සමාජ හිංසාකාරී පුද්ගලයකු ද නොවී සාමකාමී දැහැමි අයකු ද වෙයි.

ඊළඟට ව්‍යාධි දුක ලෙස හඳුන්වන්නේ රෝගාබාධ වලට ලක්වීම යි. උපන් දා සිට මරණය දක්වාම හැම කෙනෙක්ම විවිධ රෝගාබාධ වලින් පීඩා විඳියි. ලෝභ, දෝස, මෝහාදී අකුසල කර්ම උත්සන්න වී මානසික රෝග හට ගනියි. මෙම ව්‍යාධි දුක ඇති වන විට ධන බල නිලබල සියල්ල වියැකී යයි කොපමණ ප්‍රබල දරුවන් ඤාතීන් සිටියත් එවිට ඉන් කිසි පලක් වෙන්නේ නැත.පෙර කරන ලද අකුසල කර්ම සහ මෙලොව දී සිදු කරන විවිධ අපරාධ ද මේ ව්‍යාධි දුකට හේතු වෙයි.

ඊළඟ දුක ලෙස ‘මරණ්ම්පි දුක්ඛං’ යන්නෙන් විග්‍රහ කැරෙයි. මරණය ගැන කියන විට බොහෝ අයට විශාල බියක් ඇති වෙයි. මරණය ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජීවිතයට එල්ලවන දෙයකි.

ඒ ඒ ආත්මභාව වලින් චුත වීම, ස්කන්ධයන්ගේ බිඳී යෑම කාලක්‍රියා කිරීම සම්මුති මරණය ලෙස විග්‍රහ කැරෙයි. සත්ත්වයා ගෙන එන ජීවන කාලය හෙවත් ආයුෂ ක්‍ෂය වීමෙන් ජීවන ශක්තිය ගෙන දෙන ශාරීරික උෂ්ණත්වය ගිලිහීමෙන්, අපගේ පංචස්කන්ධය ක්‍රියාත්මක කරවන සිත හෙවත් විඤ්ඥාණය ඉවත් වීමත් සමග මේ ශරීරය අක්‍රිය වෙයි. මෙය මරණ දුකයි. අප ජීවත් වනවා යැයි කියන්නේ අප කළ කී දේ පිළිබඳ අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය පිළිබඳ සිතෙන්, සම්බන්ධ වීමකි. එහෙත් අප ඒ මොහොතේ දී කරනා කියන සිතන දේ පිළිබඳ සම්මා සතියෙන් ගත කරන ලෙසත්, එය යහපත් දිවි පැවැත්මට සහ දිවියෙහි අස්ථිර බව තේරුම් ගැනීමට මඟක් බවත් බුදු දහම අවධාරණය කරයි.

සම්මුති මරණය යනු අප දකින ජීවිතයේ කෙළවර වීමයි. අපගේ ජීවිතයේ ක්‍රියා විරහිත වීම යි. මේ මරණය ආසන්න වන විට සෑම කෙනකුටම විශාල බියක් හා විශාල වේදනාවක් දැනෙයි. එවිට විකාර දෙඩීම්, බිය වී කෑගැසීම් ආදිය හටගැනියි. මරණයට පත් වී නැවත උපත ලබන ස්ථානයේ ලක්‍ෂණ දකියි. පාප ක්‍රියා කළ අය දුර්ගති දර්ශන දකිති. එවිට විශාල බියක් හට ගනියි. මේ දුශ්ගතිභය සමඟ දුකක්ද ඇතිවෙයි. මෙම මරණ දුක සෑම සත්වයෙක්ම ලබයි. මෙය සසර සැරි සරනා තෙක් දිගින් දිගට ඇතිවන දුකකි.

‘අපපියෙහි සම්පයොගො දුකේඛා’ යනු ඊළඟ දුකයි. තමන් පි‍්‍රය නොකරන පුද්ගලයින් සහ එවැනි වස්තු හා එක්වීම දුකක් බව ඉන් උගන්වයි. මේ සමාජයේ ජීවත් වන විට විවිධ විසම පුද්ගලයන් මුණ ගැසෙයි. තම දියුණුව වළක්වා විනාශය පවා ඇති කරවන දුර්ජනයන් සමඟ එකතු වීම ඉමහත් දුකකි. මානසික තැවුල් පවා මේ තුළින් ඇති කරවයි. ඒ සමඟම ‘පියෙහි විප්පයොගො’ යන්නෙන් පෙන්වා දෙන පි‍්‍රයශීලී අයගෙන් වෙන් වීම ද ඉමහත් දුක්ඛවේදනාවකි. තමා පි‍්‍රය කරන තමා ඇළුම් කරන මවුපියාදීන්ගෙන් ඈත්වීම. තමන් ආශා කරන ද්‍රව්‍යවලින් වෙන්වීම. මෙම දුකට ඇතුළත් වෙයි. මේ පි‍්‍රය විප්‍රයෝග දුක වැඩි වන්නේ මමත්වය වැඩි වීමත් සමගයි.

ඊළඟ දුක කැමැති දෑ නොලැබීම හා අකැමැති දේ සමඟ එකතු සමයි.’යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’ යන්නෙන් පැහැදිලි කැරෙයි. සෑම පෘථග්ජනයෙක්ම අනාගත පැතුම් වැඩි කර ගනිමින් ජීවත් වෙයි. තරගකාරී ලෝකයේ මේ ස්වභාවය වැඩිවනවා මිස අඩුවීමක් දක්නට නොලැබෙයි. ඒවා බිඳ වැටෙන සෑම මොහොතේම දුක් දොම්නස් ඇති වෙයි.

බුදුරජාණන් වහන්සේ මේ දුක් මාලාව ගැන සඳහන් කරමින් අවසානයේ සංඛිත්තේන පඤ්චුපාදාන ක්ඛන්ධා දුක්ඛා යනුවෙන් ඒ සියල්ල කැටි කරමින් මේ සත්වයා සතු පංචස්කන්ධයම දුකක් බව පෙන්වා දෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය පිළිබඳ අප තුළ හට ගන්නා, අවිද්‍යා (නොදැනීම) තෘෂ්ණා (මමත්වය) දෙක නිසා මේ දුක් වේදනා හට ගනියි. මෙහිදී රූපය උපාදානය කරගනියි. වේදනාදියද උපාදානය කර ගනියි. දැඩි ආශාවෙන් අල්වා ගැනීම ඇලීම උපාදානය යි. මේ උපාදාන නිසා නැවත නැවත ඉපදෙයි. පංචස්කන්ධය ලබයි. එය හටගන්නා තුරු සසර අපි දුක් විඳින්නෙමු. තෘෂ්ණාව පවතින තුරු භවයෙහි සැරිසරන අප සැම මේ දුක් වේදනා විඳින බව බුදු දහම අවධාරණය කරයි.

මේ දුක නැති කර ගැනීමට මඟ බුදු දහම පෙන්වා දී ඇත. ‘තණ්හක්ඛයෝ නිරොධො නිබ්බාණං’ යන්නෙන් පෙන්වා දෙන්නේ තෘෂ්ණාව හෙවත් ඇලීම් ස්වභාව නැති කළ යුතු බවයි. උපාදානයෙන් තොරවීම පිළිබඳ යථාර්ථවාදී දර්ශනයක් මින් උගන්වයි. පංචස්කන්ධ නමැති ලෝකයත් එවැනි ලෝකයන්ගෙන් පිරී පවතින මේ පෙනෙන විශ්වයත් දුක මතම පිහිටා ඇති බව අප තේරුම් ගත යුතු ය. ඒ අනුව තණ්හාව පවත්වාගැනීම මේ දුක් ප්‍රවාහය පවත්වා ගැනීමක් බවත් තේරුම් ගත යුතු ය. එසේ යථාර්ථය තේරුම් ගෙන දුක නසන මඟ හරිහැටි දැන එහි ගමන් කිරීමට උත්සුක වන්න. ඒ සඳහා ඔබ සැමට තෙරුවන් බෙලෙන් ශක්තිය උදා වේවා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.