Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දික්වෙල ශ්‍රී විශුද්ධාරාමය

1903 වසරේ දී ඇරඹුණු බවට ලිඛිත සාක්ෂි සහිත යෝගියාන ,දික්වෙල ශ්‍රී විශුද්ධාරාමය මේ වන විට ඉතා විශාල දියුණුවක් ලබා ගෙන ප්‍රදේශවාසී බොදු ජනයාගේ මෙන්ම අන්‍ය ආගමිකයන්ගේද නැණ පහන දල්වන ප්‍රමුඛ පෙලේ සදාචාර වර්ධන මධ්‍යස්ථානය ලෙස පත් වීමට සමත් වී ඇත. ශ්‍රී රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථානයක් වන මෙකී පුදබිම පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්කය වෙන් කරන සුන්දර මා ඔයේ බටහිර ඉවුරට යාබදව කෙත් හා පොල් රුප්පා මධ්‍යයේ ඇති රමණීය භූමි භාගයක පිහිටා ඇත.

කොළඹ - කුලියාපිටිය ප්‍රධාන මර්ගයෙන් පැමිණ දංකොටුවෙන් බැස නැවත කුරුණෑගල මාර්ගයේ කි.මී. හතරක් ගිය විට හමුවන වෑකඩ මන්සන්ධියෙන් දකුණු පසට දිවෙන දික්වෙල මාර්ගයේ කි.මීටර යක දුරක් ගිය පසු විහාරස්ථානයට ළඟා විය හැක.

මේ ගමේ මුල්ම පදිංචිකරුවන් වන වික්‍රමසූරිය, වර්ණකුලසූරිය, මුහන්දිරම් වැනි පවුල් වලින් පරිත්‍යාග කෙරුණු ඉඩම් හා ද්‍රව්‍යමය සම්පත් යොදා ගෙන මුල්ම විහාරය කරවූ බවට සාක්ෂි තිබේ.

මුල් භාගයේ සිටම මාතලේ ධම්මසිද්ධි, වලහපිටියේ ඥාණේස්වර, තබ්බෝවේ සිරිධම්ම විජය. බිංගිරියේ විජේවංශ, දික්වෙල පියනන්ද යන හිමිවරුන්ද මෙහි විහාරාධිපති ධූර හොබවා තිබේ. වර්තමාන විහාරාධිපති විචිත්‍ර භාණක තොලබෝවත්තේ විමලනාග ස්වාමීන් වහන්සේ 1992 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව 16 වසරක් නායකත්වය හොබවති. උන් වහන්සේ දිවයිනේ සුප්‍රසිද්ධ පිරිත් ද්ශකයකු හා ධර්ම කථිකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. එමෙන්ම මෙම හිමියන්ගේ නායකත්වය හෙබවූ කෙටි කාලය තුළ විහාරස්ථානයට විශාල අභිවෘද්ධියක් අත් කර ගැනීමට හැකි විය.

ඒ අතර බෝධි ප්‍රාකාරය සමඟ අට විසි බුද්ධ වන්දනාමාන කුටි, නව සංඝාවාසය, සීමාගෙය සමඟ පුස්තකාල ශාලාව, පහන්ගෙය හා මෑතකදී ප්‍රතිසංස්කරණය කළ විහාර මන්දිරය ප්‍රමුඛතම ඉදිකිරීම් අතර වේ.

විහාරවාසී කලුගල ධම්මසිරි හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ශ්‍රී ඥානේස්වර දහම් පාසල ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ. එමගින් ධර්ම අධ්‍යාපනය ලබා උසස් නිල වලට පත්වූ පිරිස අසීමිතය. ශ්‍රී විශුද්ධාරාම අවමංගල්‍යාධාර, සමිතිය, විහාරස්ථ කුලගන සමිතිය මගින් සාර්ථක සමාජ සත්කාරක සේවාවන් රාශියක් ද පසුගිය වසර ගණනක සිට පවත්වාගෙන යාමට හැකි වී ඇත.

මීට වසර තිහකට පමණ පෙර අතිපූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩම කර මෙහි රෝපණය කිරීමත් සමග ශ්‍රී විශුද්ධාරාමය ප්‍රදේශවාසි බොදු ජනයා අතර තවත් ගෞරවාදරයට පාත්‍ර වූහ.

විහාර මන්දිරයේ ඇති දුර්ලභ, අනර්ඝ බිතු සිතුවම් මගින් බුද්ධාලම්බන පී‍්‍රතිය නිතැනින්ම ජනිත කරවීමට සමත්ය. එමෙන්ම විහාර භූමිය තුළ පිහිටි ශ්‍රී විෂ්ණු දේවාලයට බාර හාර වීම ඉතා හාස්කම් ජනක බවට ප්‍රදේශවාසීන් තුළ වන විශ්වාසය නිසාම එහි භාරහාර වීමට ඈත පළාත් වලින් ජනයා පැමිණීම ද මෙහිලා සඳහන් කළ යුතු විශේෂත්වයකි. තවද, බෝධී පුජා පැවැත්වීම සඳහාද බොහෝ පිරිස් මෙම විහාරයට පැමිණීම ද විශේෂ කරුණකි.

ඇමෙරිතාවේ කලක් විහාරාධිපති ධූරයක් හෙබවූ එමෙන්ම මුල්ම යුගයේ ජාත්‍යන්තර තලයට බොදු දහම ප්‍රචාරය කිරීමේ අනගි ශාසනික මෙහෙවරක් සිදු කළ පූජ්‍යපාද දික්වෙල පියනන්ද ස්වාමීන්වහන්සේ ජන්මලාභය ලැබුවේ ද මෙම දික්වෙල ගමේ වන අතර උන්වහන්සේ පැවිදිබවට පත්ව මෙම විහාරස්ථානයේ නායක ධූරය දැරීම විශේෂයකි.

උන්වවහන්සේ පරිශීලනය කළ හා ඉතා වටිනා පුරාණ ග්‍රන්ථ රාශියක් විහාරස්ථානය සතු වන අතර ඒවා අනාගත පරපුර වෙනුවෙන් තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම දැනට පවතින විශාලතම අඩුපාඩුවකි.

ගරුතර නායක ස්වාමින් වහන්සේගේ යෝජනාවක් අනුව සංඝාවාසය උඩු මහලේ තැනීමට යෝජිත මහල තුළ මෙකී ජාතික වටිනාකමකින් යුතු පුස්තක පරිශීලනය කිරීම් වස් තැන්පත් කිරීමට සැළසුම් කළද පැවති මූල්‍ය අඩුපාඩු නිසා එම උත්සාහ සාර්ථක කර ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.