Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසර සුභ කරන බොදු චින්තන

මිනිසා ජීවත්වන විශ්වය, එහි පරිසරය සහ මිනිසාගේ ජීවන පැවැත්ම ගැන බෞද්ධ දර්ශනය යථාර්ථ ලෙස කරුණු ඉදිරිපත් කොට ඇත. උසස් චින්තන ශක්තියක් ඇති මිනිසා සඳ හිරු ග්‍රහයන් ගේ ගමන් මග අනුව ගෙවෙන කාලය බෙදාගෙන තිබේ. රෑ දවල් ඍතු විපර්යාස ආදි ස්වාභාවික බලපෑම් ද ගණනය කොට ගෙවෙන කාලය පිළිබඳ දින, මාස, වර්ෂ වශයෙන් කාල වකවානු සම්මත කොටගෙන ඇත.

මොහොතින් මොහොත විශ්වය ඇතුළු විශ්වයේ ජීවිත වෙනස්කම් වලට ලක් වෙමින් සිටිති. බුදුරජාණන් වහන්සේ මේ ලෝක නියාමය විවරණය කර වදාළේ අනිත්‍ය (ස්ථිරව නොපැවැත්ම) දුක්ඛ (පීඩන හා වේදනා) අනාත්ම (ආත්ම ස්වභාවයක් නැතිකම) යන ත්‍රිලක්ෂණය පදනම් කරගෙන ය. ලොව වෙසෙන සියලු දෙනා විශ්වය ද 2008 වර්ෂය ගෙවී යත්ම ත්‍රිලක්ෂණ ධර්ම නියාමයට පත්ව තිබේ. ඒ ගැන විමර්ශනශීලි වීම පරමාර්ථ වශයෙන් විශ්වය හා ජීවින් ගැන වටහා ගැනීමකි. එහෙත් බුදු දහම ව්‍යවහාරික ලොවෙහි ඇති සම්මත ප්‍රතික්ෂේප නොකරයි. දේශනා පාලියේ සම්මුති, පරමත්ථ වශයෙන් කරුණු දක්වා ඇත්තේ එබැවිනි.

මිනිස් ලොව ඉපදීමත් දුර්ලභ කරුණක් වග “ දුල්ලභං ච මනුස්සත්තං “ යන්නෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. අප වසන මේ ලොව හා අපගේ ජීවිතය පැවැතී වැනසෙයි. එබැවින් උපන්නා තරමට නොව , විමසුම් බුද්ධියෙන් කුසලයට නැඹූරුව ජීවත්වීමට නව වසරෙහි ආරම්භයේ අප විසින් අදිටන් කරගත යුතුය.

මිනිස්සු ලෝක සමාජයෙහි වෙසෙද්දී විවිධ ගැටලු වලට මුහුණ දෙති. දුප්පත්කම, ප්‍රාර්ථනා සමෘද්ධ නොවීම ඒ අතර ප්‍රධාන ය. මේවාට මුහුණ දෙන ඇතැම් අය ඒ සඳහා විවිධ විසඳුම් නිර්දේශ කරති. ධනවාදය සමාජවාදය , ත්‍රස්තවාදය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී වශයෙන් විවිධ සමාජ පාලන ක්‍රම බිහි ව ඇත්තේ එම ගැටලු වලට විසඳුම් වශයෙනි.

මෙබඳු න්‍යායවා ලොව පුරාම දක්නට ලැබෙයි. මේවා සැනසුමත් විමුක්තියත් අපේක්ෂා කරති. බුදු දහම ලෝකෝත්තර විමුක්තිය සඳහාම දේශනා කරන ලද්දක් බව ඇතැම්හු පවසති. ඔවුන් එසේ පවසන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය සැලකිල්ලට ගැනීමෙනි. එසේ වුවද ශාන්ති නායකයාණන් වහන්සේ ගිහි දිවියේ සාර්ථකත්වය සඳහා ද දේශනා කොට ඇති සිඟාලෝවාද ව්‍යග්ඝපජ්ජ ආදි සූත්‍ර ධර්ම විමසීමෙන්, ඉහත මතය අන්තවාදි එකකැ’යි පැවසීමට සිදුවෙයි.

සමාජයක ජීවත්වන මිනිසාගේ සැනසීමට ආත්ම සංයමය අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාළහ. එබැවින් පුද්ගලයා පංච ශීලය ඇතුළු සිල් සුරැකිය යුතු බව වදාළහ. කය වචන දෙක එමගින් සංවර වීම ද සමෘද්ධියට ද හිතකර ය. ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය , බොරුව, කේළම ,ඵරුෂ වචන දෙඩීම හා හිස් වදන් බිණීම ද එමගින් දුරු වෙයි. යහගුණ දහමින් පිරි සාමකාමි ලෝක සමාජයක් උදාවීමට මිනිසා ගේ සංවරය කොතරම් අවශ්‍ය ද මතින් තොර දිවියක් ගෙවීමද වටිනා බෞද්ධ පිළිවෙතකි. පංච සීලයේ පස් වෙකි සික පදය මගින් පෙන්වා දී ඇත්තේ එයයි. අවංකකම , නිවැරැදිකම, විශ්වාසය , සත්‍යවාදී බව ආදි යහගුණ සංවර්ධිත සමාජයක් සඳහා අත්‍යවශ්‍ය වෙයි.

සේම මෛත්‍රිය , කරුණාව , මුදිතාව හා මධ්‍යස්ථ බව (උපේක්ඛා) ජනතාව අතර පැවැතිය යුතුය.

පංච ශීල ප්‍රතිපදාව මේ සමාජයීය අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ ය. මේ ජීවන ප්‍රතිපදාව අද ජනතාව අතුරින් තුරන් වී ඇති බව පෙනෙයි. එසේ නොවේ නම් සාපරාධී මිනීමැරුම්, කපටිකම් හොරමැරකම් මෙතරම් වර්ධනය වන්නේ ද නොවේ.

රජයේ ඇතැම් නිළධාරීන් මහජනතාව ගේ වැඩ කල් දමමින් අල්ලස් ගැනීම වැටුපට සරිලන පරිදි කාර්ය ඉටු නොකිරීම , මංමාවත් සැකසීම ආදි සුබ සාධන කටයුතු වලදී මුදල් වංචා කිරීම ආදිය සොරකමටම අයත් වෙයි. එයට බුදු දහමෙන් අවධාරණය කැරෙන සම්මා ආජීව පිළිවෙතට පිටුපෑමකි. අවංක හචදවතක් තුළින් සැමවිටම තම නිර්දෝෂීකම පැහැදිලිවම නිරූපණය කළ යුතු ය. එවන් අය දෙලොවම සතුටුවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. (ඉධ නන්දති, පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති”) මෙසේ ලැබූ ජීවිතය සතුටු සහගතව පවත්වා ගැනීමට මෙසමයෙහි අධිෂ්ඨානශීලි විය යුතුය. මෙම යහගුණ ධර්ම රැකීම තම දුදරුවන් ඇතුළු අනාගත පරපුරට ද ප්‍රදානය කරන අගනා තිළිණයකි. එසේම අනුකරණයෙන් තොරවූ ස්වකීය විමංසා නුවණින් කටයුතු කිරීම අද සමාජය හුරු පුරුදු විය යුතු පිළිවෙතකි. ඇතැමෙක් දේශීය සංස්කෘතියට නොගැලපෙන දෑ දේවත්වයෙන් පිළිගැනීමේ හේතුවෙන් ජාතික අනන්‍යතාව නැති කරගෙන පරගැති තත්ත්වයට පත්ව සිටිති. එවැනි චින්තන හා පිළිවෙත් අත හැර දැමීම දේශීය සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත වීමට අනුබලයකි.

දේශයක් ආර්ථිකයෙන් හා යහගුණ දහමෙන් පෝෂණය වීමට පළමුවෙන් එහි වෙසෙන ජන සමූහයා මානසික වශයෙන් නිවැරැදි දෘෂ්ටියක හා පිළිවෙතක පිහිටිය යුතු ය. මේ සදහා දේශනා කොට ඇති ව්‍ය්ගඝපජ්ජ සූත්‍රය මගින් පුද්ගලයන් ද සංවර්ධනය කොට , සමාජයක දියුණුවට ද මාවත විවෘත කොට ඇත. ලැබූ නව වසරෙහි එම දහම් පිළිවෙතට යොමුවීම තෘප්තිමත් දිවි ගමනකට මාවත උදා කර ගැනීමකි. ව්‍යග්ඝපජ්ජ දේශනා මෙලොව සුබ සාධනයට හේතු වූ කරුණූ සතරකින්ද පරලොව සාර්ථකත්වයට හේතු වන පිළිවෙත් සතරකින්ද යුක්ත වෙයි. එහි සඳහන් මෙලොව අභිවෘද්ධිය සඳහා හේතු වු දහම් පිළිවෙත් සතර මෙසේ ය.

1.උට්ඨාන සම්පදා

2.ආරක්ඛ සම්පදා

3. කළ්‍යාණ මිත්තතා

4. සමජීවිකතා

උට්ඨාන වීර්යය නම් කම්මැලි නොවී චිත්ත ධෛර්යයෙන් වැඩ කිරීම යි. මෙම පිළිවෙත විශේෂයෙන් දක්වා ඇත්තේ ජීවත්වීම සඳහා කරන රැකී රක්ෂා ආදිය සම්බන්ධයෙනි. ජීවනෝපාය සලසා ගැනීමේ දී විවිධ බාධක පැමිණෙයි. දිරි සිතක් ඇත්තා ඒ සියල්ල මැඩගෙන සිය අභිමතාර්ථ ඉටු කර ගන්නේ ය.

මෙහිදී විශේෂයෙන් අවධානයට ගත යුතු කරුණක් වෙයි. මහා පරිමාණයෙන් යමෙක් රැකියා ව්‍යාපාරයක් කරන්නේ නම් ඔහු දේශයකට දිරිය දෙන ස්වාමියෙකි. එවැනි අය විශේෂයෙන් කරන කටයුතු උට්ඨාන වීර්යයෙන් සම්පාදනය කළ යුතු ය. එසේම ඒ චිත්ත ධෛර්යය මානව සමාජයට සම්පතකි. ලොව අනුස්මරණීය ශ්‍රේෂ්ඨ උතුමන් පහළ වී ඇත්තේ, දිරියෙන් කටයුතු කිරීමෙනි.

කොතරම් ධන නිෂ්පාදනය කෙළේ ද ඒවා ආරක්ෂා කිරීමට නොදන්නේ නම් ඒ ධන නිපැයුමෙන් ප්‍රයෝජනයක් නැත. බෞද්ධ ධන ආරක්ෂණ පිළිවෙත ආරක්ඛ සම්පදා නාමයෙන් මෙහි හඳුන්වා ඇත.”ගිහි විනය” නම් වූ සිඟාලෝවාද සුත්‍ර දේශනාව උපයන ධනය කොටස් සතරකට බෙදිය යුතු බව දක්වයි. ඉන් පළමු කොටස පරිභෝජනයට ද කොටස් දෙකක්ම ව්‍යාපාරයේ දියුණුවට ද යෙදිය යුතුය . සිවු වැනි කොටස මතු ලෙඩ දුක් ආදී අවස්ථාවල දී භාවිතයට ගැනීමට රැක ගත යුතු වෙයි.

මිනිසකු ගේ දියුණුවට තවත් හේතුවකි. ඔහු ඇසුරු කරන සමාජය. දුසිරිත් වලින් පිරුණූ අය ඇසුරු කිරීම පරිහානියේ දොරටුවකි. එසේ නොවී යහපත් ඇසුර ලැබීම “කල්‍යාණ මිත්තතාව “ නම් වෙයි. නිපදවන ආදායමට වැඩියෙන් යමක් වියදම් කරයි නම්, හේ සදාකාලිකව ණය බරින් මිරිකෙමින් අසහනයට පත්වෙයි.බෞද්ධයනට එවන් දිවි පෙවෙතක් ගත කිරීමට දහමින් ඉඩක් නැත. නිෂ්පාදිත ධනය නිසි කළමනාකරණය කින් වියදම් කර ජීවත්වීම “ සමජීවිකතා” නම් වෙයි.මෙම පිළිවෙත ජාති ආගම් බේදයෙන් තොරව සැමට සාධාරණ ය. සුදුසුය.

දැහැමි දිවියක් ගෙවන ගෘහස්ථයාට සිය දිවියට මඟ පෙන්වන දහම් මාර්ගයක් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ග බෞද්ධයාගේ ජීවන මාවතයි. එය සීල, සමාධී, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සමන්විතය. එසේ ආගමික පදනමක් ඔස්සේ දිවි ගෙවීමට ඇවැසි පිළිවෙත් සතරක් ව්‍යග්ඝපජ්ජ දේශනාවේ සඳහන් වෙයි.

1. සද්ධා සම්පදා

2.සීල සම්පදා

3. චාග සම්පදා

4.පඤ්ඤා සම්පදා යනු ඒ හතරයි.

විමංසා බුද්ධියෙන් යුතුව ආගමික පිළිවෙතට සමීපවීම, පළමු කරුණෙන් අවධාරණය වෙයි. ජීවිත සංවරය, පරිත්‍යාගශීලි බව විමුක්ති මඟෙහි නිරතවීම අනෙක් පිළිවෙත් තුනෙන් අවධාරණය වෙයි. ලැබූ නව වසර පුරා මේ යහපත් පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා අදිටන් කර ගැනීම , ඔබගේ සහ රටේම දියුණුවට මාවතක් වනු ඇති බව මෙහිදී අවධාරණය කරමු.

සුබ නව වසරක් වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.