Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 සිරිපා කරුණා කරන අයට උපදෙස්

ප්‍රථම වරට සිරිපා කරුණා කිරීමට යන අය කණ්ඩායමක් (නඩයක්) ලෙස සවස යෑම වඩාත් සුදුසු ය. කණ්ඩායම් නායකයා (නඩේ ගුරා) කිහිප වතාවක් සිරිපා කරුණාකර ඇති අයකු නිසා ඔහුගේ උපදෙස් පිළිපැදීම වැදගත් ය. ඔහුගේ අනුදැනීම ඇතිව මිස,කණ්ඩායමෙන් පිට නො යා යුතු ය. අතරමං වුවහොත් සොයා ගැනීම පහසු නො විය හැකි බැවිනි.

මේ සිරිපා කරුණා කරන සමයයි. උඳුවප් මස සිට වෙසක් මාසය දක්වා වන්දනාකරුවෝ ලක්‍ෂ ගණනින් එහි ඇදී යති. ඉහත කාලවලදී දේපළ ලියා තබා මේ ගමන ගියමුත් අද වැඩි අපහසුවකින් තොරව සිරිපා වන්දනා කළ හැකිව තිබේ. එහෙත් මේ ගමනේ දී සෞඛ්‍ය ගැටලු මතුවිය හැකිය. ඒවා මඟහරවා ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් ප්‍රයෝජනවත් වනු ඇත.

විශේෂයෙන් ම කඳු මුදුනේ ඇති තද සීතල නිසා හයිපතර්මියා නොහොත් අසාමාන්‍ය ලෙස ශරීර උෂ්ණත්වය අඩු වී යාමේ තත්ත්වය ඇති විය හැකිය. වන්දනාකරුවන් අවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් ගෙන යා යුතුය. ජලරෝධක (ජලය නොඋරණ) උඩ ඇඳුම් ද ප්‍රයෝජනවත් විය හැකිය. මේවා පහසු බෑගයක දමාගෙන යා හැකිය. පරිසරය විනාශ කරන පොලිතීන් උර මේ සඳහා භාවිතා නොකළ යුතු බව අවධාරණය කළ යුතුය. වන්දනාකරුවන් විස්කෝතු, සීනිබෝල, අලුවා, අග්ගලා, ටොෆී, තලබෝල, ග්ලුකෝස් පැකට් දෙකතුනක් වතුර බෝතලයක් හෝ දෙකක් “ සැහැල්ලුවේ “ (බෑගයක්) ගෙන යා යුතුය.

වෙහෙස ගෙන දෙන පරිදි එක හුස්මට නැග යාම සුදුසු නොවේ. අවශ්‍ය විවේකය ලබා ගනිමින් ගමන් කිරීම වඩාත් සුදුසුය.හැන්දෑ යාමයේ හෝ රාත්‍රී කාලයේ ගමන් කිරිමෙන් වෙහෙස අඩුවේ.

ප්‍රථම වරට සිරිපා කරුණා කිරීමට යන අය කණ්ඩායමක් (නඩයක්)ලෙස සවස යාම වඩාත් සුදුසුය. කණ්ඩායම් නායකයා (නඩේ ගුරා) කිහිප වතාවක් සිරිපා කරුණාකර ඇති අයකු නිසා ඔහුගේ උපදෙස් පිළිපැදීම වැදගත්ය. ඔහුගේ අනුදැනීම ඇතිව මිස කණ්ඩායමෙන් පිට නොයා යුතුය. අතරමං වුවහොත් සොයා ගැනීම පහසු නොවිය හැකි බැවිනි.

මත් වතුර බී ගමන් කිරීම හෝ ඒවා ගෙන යාම කිසිසේත් නොකළ යුතුය. “ සීතලට රත්කර ගැනීම සඳහා අඩියක් ගැහීම” යන්න මිත්‍යා මතයෙකි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එහි අනිත් පැත්තයි. මත් වතුර බිව් විගස කිසියම් උෂ්ණත්වයක් දැනුනත්, මද්‍යසාරය නිසා රුධිර නාළ පළල් වීම හේතුකොට ගෙන තිබෙන උෂ්ණවයත් ඉක්මනින් පිට වී යයි. එවිට හයිපතර්මියා තත්ත්වය පවා ඇති විය හැකිය . වන්දනාවේ යන විට මත්වතුර බීම කිසිසේත්ම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

කිසියම් සෞඛ්‍ය හෝ වෛද්‍ය ප්‍රශ්නයක් ඇති වුවහොත් ළඟම ඇති ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත යා යුතුය. සෞඛ්‍ය දාන ව්‍යාපාරය මගින් මෙවැනි මධ්‍යස්ථාන කිහිපයක් ම මග දිගට පිහිටුවා තිබේ. වෛද්‍යවරයෙක්, වෛද්‍ය ශිෂ්‍යයන්, හෙදියන් ප්‍රථමාධාර පුහුණු අය මේවායේ නිරන්තරයෙන්ම සේවයේ නිරතව සිටිති. පොහොය දිනවල වන්දනා නඩ විශාල සංඛ්‍යාවක් ලඟා වන නිසා උඩමළුවේ ඉඩකඩ බොහෝ සේ ඇහිරී යයි. එවැනි දිනවල එහි යාමෙන් වැළකී සිටීම වඩාත් උචිත විය හැකිය.

වැඩිහිටි අය (සැත්තෑවිය ඉක්ම වූ ) විශේෂයෙන්ම ක්ලෝමදාහය, ඇදුම , හෘදයාබාධ ඇති අය තනිවම සිරිපා කරුණා නොකළ යුතුය. හැම විටම තරුණ අයකු එක්කරගෙන යාමට වග බලා ගත යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.