Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඡන්දස් හා වේද පටලැවිල්ල

බුදුසරණ 2008.12.09 දින පත්‍රයේ පළ වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී ගොම්බද්දල නන්දාරාම නාහිමිගේ ලිපියට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලියමි. ගරුතර අධිකරණ නාහිමිපාණන් වහන්ස, මා මෙම සංවාදයේ දී ශාස්ත්‍රීය වශයෙන් කරුණු සාකච්ඡා කළා මිස නාහිමිපාණන් වහන්සේට අගෞරවයක් මදි පුංචිකමක් වන කිසිවක් නො ලීවෙමි. බැරිවීවත් සිත් රිදෙන වචනයක් යෙදුණා නම් දෙපා නමැද සමාව අයැදිමි. එසේම මෙය ම සත්‍යයි, අනෙක් සියල්ල අසත්‍ය යි (අයමේව සච්චං මෝඝමඤ්ඤං) යන දෘෂ්ටි ග්‍රාහකයෙක් නො වෙමි. පිළිගත හැකි කරුණු සහිතව යමක් ඉදිරිපත් කරනවා නම් ඒවා නිහතමානී ව පිළිගැනීමට විවෘත මනසක් ඇත්තෙමි.

මා නන් දොඩවනවා යැයි කියන්නේ නාහිමිපාණන් මහා කවි කාලිදාසයන්ගේ රඝුවංශයේ මුල් ම ශ්ලෝකය වරද්දා ලිවීම නිවැරැදි කළ නිසා ද? නැති නම් ඝෝණ කුටිකන්න තෙරුන්ගේ කථාව දැක්වු ආකාරය සාවද්‍ය බව පෙන්නා දුන්නිසා ද? එසේම මම කිසි විටෙක මෙම වාදයෙන් බැහැර යමක් ලිවීමට නො ගියෙමි. මම සෑම විට ම මේ ඡන්දස් පිළිබඳ වාදයක් ලෙස සලකා කරුණු ඉදිරිපත් කළෙමි. මගේ මුල් ලිපියෙනුත් කළේ ජයමංගල ගාථා ලියා ඇති වෘත්තය සෙත් ශාන්තියට නුසුදුසු බව පෙන්නා දීමයි. හේතුව, එම වෘත්ත නියමයට අනුව අසුබ ගණ යෙදිය යුතු හෙයිනි. වෘත්තය, ගණ පිළිබඳ සාකච්ඡා කළ නිසා මේ ඡන්දස් පිළිබඳ වාදයෙකි.

අප නාහිමිපාණෝ ගණවලට හා අකුරුවලට සුබ අසුබ බලයක් යමෙක් ලබාදී ඇත්නම් ඔහු කර ඇත්තේ අපරාධයකි. හේතුව යම් කිසි කවියකුට තමා කැමැති ආකාරයෙන් වචන යොදා කවියක්, ගාථාවක් තනා ගැනීමට ඉඩ නො ලැබෙන නිසා ය. (බුදුසරණ 2008 ඔක්තෝබර් 14 ) යනුවෙන් වෘත්ත නියමය ඇතිකළ වුන් අපරාධකරුවන් ලෙස දැක්වූහ. මම ඒවාට පිළිතුරු ලීවෙමි. එසේ නැතුව දැන් ඡන්දස් අලංකාර වාදයක් බවට පරිවර්තනය කිරීමට, නාහිමිපාණන්ට බොරු චෝදනා කිරීමට මට වුවමනාවක් නැත.

බුදුරජාණනන් වහන්සේ ඡන්දසට ගරු කළා පමණක් නොව කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ විශාරද දැනුමක් ද උන්වහන්සේ සතුව තිබුණි.අපේ ප්‍රධාන අධිකරණ නාහිමිට ඡන්දස් හා වේදය පටැලවී ඇති බව පෙනේ. “ ගායත්ති ඡන්දසෝ මුඛං” යන ගාථා පදයෙන් කියැවෙන්නේ “අක්ඛර නියමෝ ඡන්දං “ යන අක්ෂරයන්ගේ නියමය හෙවත් ඡන්දස යි. ඡන්දස යනුවෙන් සංස්කෘත භාෂාවටත් කියන බව සැබවකි.

යමේලු -තෙකුල භික්ෂූන් දෙනම බුද්ධ වචනය ඡන්දසට නැගීමට අවසර ඉල්ලූ බව චුල්ලවග්ග පාළියෙහි ඛුද්දකවත්ථු ඛන්ධකයෙහි සඳහන්වේ.එම ඉල්ලීමට බුදුරදුන්ගෙන් අවසර නො ලැබුණි. උන් වහන්සේ දේශනා කළ සේක්, බුද්ධ වචනය ඡන්දසට නො නැගිය යුතු බවත්, ස්වකීය නිරුත්තියෙන් පවත්වා ගෙන යා යුතු බවත්ය. ( න භික්ඛවේ බුද්ධවචනං ඡන්දසෝ ආරෝපේතබ්බං යෝ ආරොපෙය්‍ය ආපත්ති දුක්කටස්ස, අනුජානාමි භික්ඛවේ සකාය නිරුක්තියා බුද්ධවචනං පරියාපුණිතුං) මෙම භික්ෂූන් දෙනම ඉල්ලා ඇත්තේ නම් බුද්ධ වචනය ඡන්දස හෙවත් සංස්කෘත භාෂාවට නැගීමට යි. එය අටුවාවෙහි ද සඳහන් කොට ඇත්තේ “වේද විය සක්කත භාෂාය” යනුවෙනි. “ ගායත්ති ඡන්දසෝ මුඛං” යන්නෙන් අදහස් කොට ඇත්තේ ඡන්දස් ශාස්ත්‍රය ගැන යි.

ංයුක්ත නිකායෙහි දේවතා සංයුත්තයේ ජරා වග්ගයෙහි එන “කවි” සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ කාව්‍ය නෛපූණ්‍යය මනාව පැහැදිලි වෙයි. එක්තරා දෙවියෙක් පැමිණ බුදුරදුන්ගෙන් මෙසේ විමසී ය.

“කිංසු නිදානං ගාථානං කිංසු තාසං වියඤ්ජනං
කිංසු සන්නිස්සිතා ගාථා කිංසු ගාථානමාසයෝ “

මේ ගාථාවෙන් ඇසූ ප්‍රශ්න සතරට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

“ඡන්දෝ නිදානං ගාථානං අක්ඛරා කාසං වියඤ්ජනං
නාම සන්නිස්සිතා ගාථා කවි ගාථානමාසයෝ “

ගාථාවන්ගේ නිදානය ඡන්දස බවත්, ප්‍රභවය අක්ෂර බවත්, ගාථා නාමය ආශ්‍රය කොට පවතින බවත්, කවියා නිසා ගාථා බිහිවන බවත් මේ ගාථාවෙන් පැහැදිලි කොට ඇත. මේ පිළිබඳව සංයුක්ත නිකාය අටුවාව කරන විස්තරය අපේ අධිකරණ නාහිමිපාණන්ගේ පටැලවිල්ල නිරාකරණය කර ගැනීමට අතිශයින් උපකාරවත් වෙයි.

“ඡන්දෝ නිදානන්ති ගායත්ති ආදිකෝ ඡන්දෝ ගාථානං නිදානං පුබ්බපට්ඨපතා ගාථා ආරභන්තෝ හි කතර ඡන්දේන හෝතීති ආරභති’ ව්‍යඤ්ජනන්ති ජනනං , අක්ඛරන්ති පදං ජනේති. පදං ගාථා ජනෙති. ගාථා අත්ථං පකාසේති.” මෙයින් ගායත්ති ආදී ඡන්දස් අක්ෂර නියමය යනුවෙන් ගැනෙන ඡන්දස් ශාස්ත්‍රය ගැන යෙදූ බව පැහැදිලිව ම ප්‍රකාශ වී ඇත. සාවිත්‍රී ඡන්දස, ගායත්‍රී ඡන්දස ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ප්‍රකට ව පැවති ඡන්දස් දෙකකි. මේ විස්තරයෙන් “ගායත්තී ඡන්දසෝ මුඛං “ යි මා දැක්වූ නිදර්ශනය හාස්‍යෝද්පාදක කරුණක් නොවන බව පැහැදිලිව පෙනේ.

අපේ අධිකරණ නාහිමිපාණෝ පුන පුනා අසන ප්‍රශ්නයකි. ගණවලට සුබාසුබ බලය ආරෝපණය කළේ කවරහුද? යන්න. මා එයට පිළිතුරු වශයෙන් ඡන්දස් වල මූලාරම්භය පිළිබඳ කථාව ඉදිරිපත් කෙළෙමි. කෙළින් ම පිළිතුරු දෙනවා නම් අගස්ති ඍෂිවරයා හා පිංගලාචාර්යවරයා ය.

මා දේවකතාවක් ඉදිරිපත් කළේ එය පිළිගන්නා නිසා නොව පොත පතෙහි සදහන් වන නිසා ය. එහි දී මා “ මේ දේව කතා කෙසේ වෙතත් එයින් පැහැදිලි වන්නේ ඡන්දස් ශාස්ත්‍රයේ පෞරාණික බවයි “ (2008 නොවැම්බර් 12 බුදුසරණ) යනුවෙන් ලියා තිබූ වැකිය නාහිමිපාණන් ද කියවන්නට ඇතැයි සිතමි. එයින් අදහස් කළේ එය සත්‍යමය කථාවක් නොවන බවයි.

පසු කාලීනව රචිත පිරිත් සූත්‍රවලට මහායානා බලපෑම් ඇතුළු වී ඇති බව සත්‍යයකි. සෙත් පිරිත් රහතුන් වහන්සේ ද දේශනා කොට ඇති බව ත්‍රිපිටකයෙන් හෙළි වේ. ඒ අතර අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් දේශිත ‘අංගුලිමාල පිරිත ‘ ඉතා ප්‍රකට ය.

“සියපින් සරින් සරු “ යන කවිය ලියා ඇති ගී වෘත්තය මාත්‍රා ඡන්දසට අයත්වන බව සැබෑවකි. එම ගී වෘත්තයේ මුල් පාදයේ මාත්‍රා 9 කි. දෙවන පාදයේ 11 කි. තෙ වන පාදයේ 9 කි. සිවු වන පාදයේ 15 ක් නොව 14 කි. මාත්‍රා ඡන්දසට අයත් කවිවල ගණ නැතැයි කියන්නේ නාහිමිපාණන්ට දැන් ඡස්දස් ටිකක් අමතක වී ඇති හෙයිනැයි සිතමි. ‘සියපින්’ යන තැන ඇත්තේ ලඝු දෙකක් හා ගුරකි. එය ‘ස’ ගණය නො වන්නේ ද? නම් යෙදීමේ දී පවා ගණ සලකා යොදන නිසා සිංහල දරුවන්ගේ නම් කුමන භාෂාවකට අයත්දැයි සිතා ගැනීමට පවා අපහසු වී ඇතැයි චෝදනා කළ නාහිමිපාණෝ මාත්‍රා ඡන්දසෙහි ගණ නො යෙදේ යැයි කීම අමතක වීමක් මිස වෙන දෙයක් නො වේ. ඒ ගැන පාඨකයා ද සැලකිල්ල යොමු කිරීම මැනවි.

ගරුතර ප්‍රධාන අධිකරණ නාහිමිපාණන් වහන්ස, මංගලාදී සුත්‍ර දේශනා කොට ඇත්තේ සෙත් ශාන්තිය පිණිස නොව ධර්ම කරුණු පැහැදිලි කිරීමටය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරම සත්‍යය නිසා බුද්ධ දේශිත ඕනෑම සූත්‍රයක් කියා සත්‍ය ක්‍රියා කිරීමෙන් සෙත් ශාන්තිය ළඟාකර ගැනීමට ද බැරිකමෙක් නැත. සම්බුද්ධ ආඥා චක්‍රය පතුරුවා ඇත්තේ රතන සූත්‍රය - ධජග්ග සූත්‍රය -මෝර පරිත්තය - ඛන්ධ පරිත්තය ආටානාටිය යන සූත්‍රවල බව මා කියන්නක් නොව චතුභාණවාරට්ඨ කථාවෙහි සඳහන් වන්නකි.

ජයමංගල ගාථාවල ඇති ගණ දෝෂ මා නිර්මාණ කොට පෙන්නුම් කළ දෙයක් නොවේ. මා කළේ ඡන්දස් ශාස්ත්‍රයෙහි දක්වා ඇති ගණ දෝෂ පෙන්නුම් කර දීම පමණකි. අති පූජනීය වැලිවිටියේ සෝරත නාහිමිපාණන්ගේ සංඥාපනය බුදුසරණට එවා ඇත්තේ විශ්‍රාමලත් විදුහල්පති කේ.ජී.කුඩාබණ්ඩා මහතාය. එම ලිපිය මට කියවන්නට ලැබුණේ ද බුදුසරණෙහි පළ වූවාට පසුව ය. කුඩා බණ්ඩා මහතා එම ලිපිය බුදුසරණට යොමු කොට කළ මෙහෙය ප්‍රශංසනීය ය. ශාස්ත්‍රීය වාදයක් කිරීමේ දී නින්දා අපහාස කිරීම්, බිය වැද්දීම් මම කිසිසේත් අනුමත නො කරමි.

මගේ මුල් ම ලිපියෙන් ජයමංගල ගාථාවල ඇති “ජයමංගලානි භවතු””යන තැන උක්ත ආඛ්‍යාත වැරැදි බව පෙන්නා දුනිමි’’ ගරුතර සෝරත නාහිමියන් ද එය එසේම පෙන්නා දී තිබුණි.

මේ අදහස් සාම්‍යත්වය පෙන්නුවා මිස මගේ දැනුම සෝරත නාහිමියන්ගේ දැනුමට සමාන බවක් නො පෙන්වීමි. සෝරත නාහිමිපාණන් ළඟ මා හිරු ළඟ කදෝපැණියෙන් හා සමානය. “ කත්වාන කට්ඨමුදරං” යන ජයමංගල ගාථාවේ අපේ ගොම්බද්දල නාහිමිපාණන් කියන අදහස ගත හැක්කේ චිංචාව පිළිබඳ සිද්ධිය දන්නා නිසාය.

ගාථාවේ පදාර්ථ දෙස බලා සිංහලට නැගුවහොත් කියැවෙන්නේ, බුදුරජාණන් වහන්සේ දරබඩක් මවාගෙන චිංචාවගේ දුෂ්ඨ වචනය පැරද වූ බව යි.අප අධිකරණ නාහිමිපාණන් වහන්සේ ද පනස් වසරක පමණ කාලයක් තිස්සේ සෙත් කවි රචනා කරන බව සඳහන් කොට ඇත. නාම යෝනි පරීක්ෂාවක් නැතුව, සුබාසුබ ගණ නො තකා, පංච කාල හෝරාදිය ගණන් නො ගෙන වේදාක්ෂර, අ වො ත ල චක්‍රය නො සලකා සාදන සෙත් කවිය වස් කවියක් බවට ද පරිවර්තනය විය හැක.

ගොම්බද්දල නන්දාරාම නාහිමියෝ විවාදාත්මකව කරුණු පහදා දීමෙන් පාඨකයන්ට දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකි වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතු ය.

නාහිමිපාණන් වහන්සේ මේ පිළිබඳ කරුණු දැක්වීම අවසන් කරන බව සඳහන් කොට ඇති හෙයින් වගකිව යුතු විද්වතුන් ජයමංගල ගාථා ගැන සාකච්ඡා කොට නිගමනයකට එළඹෙන්නේ නම් ඉතා මැනවි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.