Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්තර් ජාතික බොදු මහ සමුළුව

අනුරාධපුර භික්‍ෂු විශ්ව විද්‍යාලයේ දී මුළු දුන් වගයි

ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යා යන සංගමය මෙහෙය වූ තුන්වන අන්තර් ජාතික බෞද්ධ මහා සම්මේලනය (2008) පසුගිය දෙසැම්බර් 08.09.10 යන දින තුනක් මුළුල්ලේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාල ප්‍රධාන ශාලාවේදී මහත් හරසර හා අභිමානවත් අයුරින් පැවැත්විණි.

දෙස් විදෙස් ගිහි පැවිදි විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති එම මහා සම්මේලනය ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ හා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නා හිමිවරුන් ගේ සෙත්පිරිත් සජ්ඣායනාවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ සහ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමාරම්භක උළෙලේහි මුලසුන හොබවන ලද්දේ සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක රුවන්මැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් විසිනි.

එම ඓතිහාසික උළෙල සාර්ථක කර ගැනීම උදෙසා බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය ,ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමියන්ගේ සහ සම්බන්ධිකාරක මිරිස්වත්තේ විමලඤාණ හිමියන් ඇතුළු භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි සැමගේ කැපවීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

උත්සවය ආරම්භයේ අනුරාධපුර ස්වර්ණපාලි ජාතික බාලිකා මහවිදුහල්පතිනියගේ උපදෙස් මත එහි ශිෂ්‍යාවන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනයෙන් උත්සවය සංස්කෘතික හා ආගමික පසුබිමක් ගෙන දීම කාගේත් ප්‍රසාදයට හේතුවක් විය.

එම උළෙල වෙනුවෙන් ඓතිහාසික අනුරපුර නගරය හා ඒ අවට මාර්ග සියල්ල බෞද්ධ ධජයන් ගෙන් අලංකාරවත් කර තිබූ අතර සියලු ආරක්‍ෂ අංශ මගින් අවශ්‍ය පහසුකම් පැමිණි පිරිස් වෙනුවෙන් ලබා දී තිබිණි.

හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ජේ. කලුපහන මහතා ප්‍රමුඛ විදෙස් රටවලින් පැමිණි විද්වතුන් එම උළෙලට සහභාගිවීම උළෙලේ අභිමානයට විශේෂ හේතුවක් විය .

එම උළෙල අමතා උතුරුමැද පලාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මෙසේ කීය.

ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහම රැකගත්ත, රැකගන්න රන්කරඬුව කියලයි අප හිතන්නේ. ඒ අතරින් අනුරාධපුරය විශේෂත්වයක් ගන්නවා. අපේ සංස්කෘතියේ ජීවදායකයා අනුරාධපුරයයි. මේ බිමෙන් තමයි බෞද්ධ දර්ශනය රට පුරා ගලා ගියේ මහා ඇත් රජෙකු තමන්ගේ දළ තුල ගජමුතු රැක ගන්නවා වගේ තමයි මහ සඝරුවන ඉමහත් කැපවීමෙන් ශාසනය රැක ගන්නේ. මෙවැනි යහපත් කටයුතු තව තවත් අර්ථවත් වේවායි කියා ප්‍රාර්ථනා කරන බව ද කීය.

උතුරුමැද මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා එහිදී මෙසේ කීය.

අපේ රටට බුදු දහම වැඩම කළා. ඒ වගේම දළදා වහන්සේ ද ප්‍රථමයෙන්ම වැඩම කළ ලෝක පූජිත බෞද්ධ පූජනීය ස්ථානයන්ගෙන් පිරි අනුරාධපුර යේ මෙම සම්මේලනය පැවැත්වීමට ගත් තීරණය ඉතාම කාලෝචිතයි.

මෙය අතිශයින්ම සාර්ථක හා ආදර්ශවත් කටයුත්තක් වන අතර මෙය සංවිධානය කළ මහා සංඝරත්නය ප්‍රධාන සැමට උතුරුමැද ජනතාවගේත් පළාත් සභාවේත් පෞද්ගලිකව තම ප්‍රණාමය ඉතා බැතිසිතින් පල කරන බව කීය.

බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාල භූමිය තුළ මෙම ජාත්‍යන්තර සමුළුව සිහිපත් වීම උදෙසා පලාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහාචාර්ය , ඩේවිඩ් ජේ.කළුපහන යන මහත්වරු ප්‍රධාන විද්වතුන් විසින් රුක්රෝපණය කිරීම භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරිණි.

එම සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු සමාන්තර සැසි හතරකින් සමන්විත විය. එසේම දෙස් විදෙස් විද්වතුන් විසින් බුදු දහම් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා එකසිය තිහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ලදී.

සමුළුව වෙතට ආරාධිත දේශනය කළ හවායි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ සම්මාන මහාචාර්ය ඩී.ජේ. කළුපහන මහතා විසින් රචිත කෘති හතරක් සහ බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ “ප්‍රවචන” ශාස්ත්‍රීය සඟරාව එළිදැක්වීමද සිදු කැරිණි.

මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියෝ මෙසේ පැවසූහ.

බුදුදහම පිළිබඳව විවිධ පර්යේෂකයන් විසින් ලබා තිබෙන නව දැනුම් සම්භාරය අන්‍යෝන්‍යය වශයෙන් හුවමාරු කරගනිමින් , බෞද්ධ අධ්‍යායනය පිළිබඳව එකී දැනුම ලොව පුරා පතුරුවා හැරීම මෙම සමුළුවේ අරමුණයි. මෙවර පැවැත්වෙන මේ සමුළුව මෙරට බෞද්ධ අධ්‍යායන ක්‍ෂේත්‍රයේ පැවැත්වෙන විශාලතම අධ්‍යායන සමුළුව බවත් පැවැසූහ.

එම සමුළුවට නුවරගම් පළාත ප්‍රධාන සංඝ නායක, රුවන්මැලි ;;චත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන , භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණ වැවේ ඤාණතිලක, ඉසුරුමුණිය විහාරාධිපති මතව ශ්‍රී සුමංගල ජේතවනාරාමාධිපති ඉහලහල්මිල්ලෑවේ රතනපාල පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද මුව ඇටගම ඥානානන්ද යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක , හවායි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය ඩේවිඩ් ජේ. කලුපහන ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමයේ සභාපති මහාචාර්ය පී.ඩී. පේ‍්‍රමසිරි , සමලේකම්වරුන් වන මහාචාර්ය ජී.ඒ.සෝමරත්න, මහාචාර්ය අසංක තිලකරත්න භාණ්ඩාගාරික මහාචාර්ය ටොෂිචිඑන්ඩෝ , අනුරාධපුර මහ දිසාපති එච්.එම්. කේ. හේරත් ප්‍රධාන ලේකම් ඒ තලාකොටුන ටෙලිකොම් සභාපති එල්.සිල්වා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ආර්. එම්.බී. මුතුබණ්ඩා යන මහත්වරුද උතුරුමැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ඇතුළු අති විශාල ගිහිපැවිදි පිරිසක් මෙම සමුළුවට සහභාගි වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.