UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘මාර දූවරුන්’ පැමිණි කතාව මුසාවක් නොවේ!

සෙනෙවිරත්න මහලේකම

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගෙන පස් වන සතිය ගත කරද්දී, තණ්හා, රතී, රඟා යන මාර දූ වරුන් තිදෙනෙකු අජපාල නුගරුක මුලට පැමිණ බුදුන් වහන්සේ කාම පාසයට බඳවා ගැනීමට උත්සාහ කළ බව කියනු ලැබේ. මේ විස්තරය බුත්සරණ, ථූපවංශය යන ග්‍රන්ථවල ඉතා සිත් ගන්නා අන්දමින් විස්තර වී ඇත. එසේ ම අපේ බොහෝ විහාර සිතුවම්වල ද මාර දූවරුන් තිදෙනෙකු විසින් නොයෙක් විලාසිතා දක්වමින් බුදුරදුන් පෙළෙඹ වීමට උත්සාහකොට ඇති බවද දක්නට ලැබේ. අන්තිමේ දී බුදුරදුන් ජයගත නොහැකි ව මරඟනෝ පලා ගියහ. බුදුරජාණන් වහන්සේ තණ්හාව නසා බුද්ධත්වය ලැබූ හැටි මරඟනන්ග් පරාජයෙන් සංකේතවත්වේ යැයි අයෙක් අදහස් කරති. බුද්ධත්වයෙන් පස්වන සතිය වෙද්දී බුදුන් වහන්සේ සියලු කෙලෙස් නසා බුදු වී සිටි බව ද අපි දනිමු.

අතීතයේ පොත්වල මාර දූවරුන්ග් රැගුම් දැක්වෙතත්, මෑත යුගයේ දසක කීපයක සිට පාසල්වල බෞද්ධ පාඨ ග්‍රන්ථ වලත් බෞද්ධ දහම් පාසල් පොත්වලත් අජපල නුගරුක මුල මාර දූවරුන්ගේ පෙළඹවීමේ දර්ශනය ඉවත් වී තිබෙන බව පෙනෙයි. සමහර විට ගුණ දහම් ඉගැන්වීමට එය පිහිටක් නොවන නිසා යැයි සිතුවා විය හැකිය.

මා උපාධියට පාලි ඉගෙන ගන්නා කාලයේ දී පරිවර්තනය සඳහා මට පාලි අධෘතයක් ලැබිණ. එහි සඳහන් ගාථා දෙකක් පහත දැක්වේ.

දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
නාහෝසි ඡන්දෝ අපි මෙථූනස්මිං
කිම්මෙවිදං මුත්ත කරීස පුණ්ණං
පදාපිතං සම්ඵුසිතුං න ඉච්චේ

එතා දිසං චේ රතනං න ඉච්ඡසි
නාරිං නරින්දේහි බහූහි පත්ථිතං
දිට්ඨිග්ගතං සීලවතානුජීවිතං
භවූපපත්තිඤච වදෙසි කී දිසං

(සුත්ත නිපාතය , මාගන්දියා සූත්‍රය)

මේ ගාථා දෙකේ අරුත් දක්වන්නට පෙර ඒ හා සම්බන්ධ කථා පුවතෙහි ලුහුඬු අදහස දැක්වීම සුදුසු ය.

කොසඹෑ නුවර මාගන්දියා නමැති බමුණාටත් එම, බැමිණියටත් අභිරූපි දියණියක් වූවා ය. බමුණා බලා සිටියේ රූමත් කඩවසම් තැනැත්තෙකුට තම දියණිය විවාහ කර දීමට යි. ඒ අතර හදිසියේම දිනක් මාගන්දියා බමුණාට තම දූ විවාහ කරදීම සඳහා සුදුසු පුරුෂයකු හමුවිය. ඒ පුරුෂයා නම් කොසඹෑ නුවරට වැඩි ගෞතම බුදුරජාණන් වහන්සේ ය.

මාගන්දියා බමුණත් බැමිණියත් තමන්ගේ අභිරූපී තරුණ දියණිය සරසාවාගෙන බුදුරදුන් වෙත කැඳවාගෙන විත් ඇය පෙන්වා ඇය බුදුරදුන්ගේ බිරිය කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට දුන් පිළිතුර ඉහත සඳහන් පළමුවෙන ගාථාවෙන් දැක්වෙයි.

‘තණ්හා, රතී, රඟා යන මාර දූවරුන් තිදෙනා දැකීමෙන්වත්, මට මෙවුන්දම් හී කැමැත්තක් ඇති නොවී ය. මළ මූත්‍රයෙන් පිරුණු මේ සිරුරු දැක කවර හෙයින් මට කැමැත්තක් ඇතිවේද? (ඇති නොවේම ය) ඒ මේ සිරුරු මගේ පයින් ස්පර්ශ කිරීමටවත් මම කැමැති නොවෙමි’.

ඊට බමුණා දුන් පිළිතුරු දෙවනි ගාථාවෙන් දැක්වෙයි. ‘බොහෝ රජවරුන් විසින් මාගේ දියණිය ප්‍රාර්ථනා කරන ලදී. මෙබඳු ස්ත්‍රී රත්නයක් ඔබ නොකැමැත්තේ නම් ඔබගේ දෘෂ්ටිය කෙබඳු ද? ඔබගේ් සිල් රැක්ම කෙබඳු ද? ඔබගේ භවයේ උපත කෙබඳු දැ යි මට කියන්න’ යනුවෙන් පැවසී ය.

අනතුරුව බුදුරජාණන් වහන්සේ තවත් ගාථා එකොළහකින් එම බමුණු යුවළට දහම් දෙසූ හ. ඒ බමුණු යුවළ සෝවන් ඵලය ලැබ, පසුව රහත් ඵලයට පත්වූහ.

ඉක්බිති මාගන්දියා නමැති තරුණ බැමිණිය ඇයගේ සුළු පියා වෙත භාර කරන ලදී. ‘සිරුර පයින් ස්පර්ශ කිරීමටත් නොකැමැති වෙමි’ යි බුදුරදුන් ප්‍රකාශ කළ බැවින් ඈ බුදුරදුන් වෙත වෛර බැන්දා ය. අනතුරුව උදේන රජුගේ අග බිසොවක් බවට පත් වූ ඈ මැරවරයන් යොදා පිඬු සිඟා වඩිනා බුදුරජාණන් වහන්සේ හා භික්ෂූ සංඝයාට හිරිහැර කළාය. ඉක්බිති ආනන්ද හිමියෝ ‘නගරයේ පිඬු සිඟා වඩින්නට නොහැකි ය. වෙනත් පෙදෙසකට යමු’ යැයි බුදුරදුන්ට යෝජනා කළ හ.

මෙකල උදේන රජුට සාමාවතී නමැති තවත් බුද්ධ භක්තික බිසවක් වූවාය. ඇය බුදුහිමියන්ට බෙහෙවින් ගෞරව සැලකිලි කරන බැවින් මාගන්දියා බිසව ඇය කෙරෙහිද කෝපාවිෂ්ට වූවාය. එබැවින් දිනක් පන්සියයක් සහිත සාමාවතී බිසව විසූ මාලිගය මාගන්දියා බිසවගේ මෙහෙය වීමෙන් ගිනිබත් කරනු ලැබී ය.

මේ විපත් සියල්ල සිදු වුයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය නිසා ය. ‘තණ්හා, රතී, රඟා, යන මාර දූවරුන් දැකීමෙන් වත් මට මෙවුන්දම්හී යෙදීමට කැමැත්තක් ඇති නොවී ය. එබඳු මම මේ සිරුරු පයින් ස්පර්ශ කිරීමටවත් කැමැති නොවෙ මි’ යනුවෙන් බුදුන් වහන්සේ කළ ප්‍රකාශය නිසා ය.

බුදුරජාණන් වහන්සේ බොරු නොකියති. උන්වහන්සේ පෙළඹවීමට මාර දූවරුන් පැමිණි බව අපට දැන් සිතා ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේට හා රහතන් වහන්සේට දෙවියන්, මරුන් හා බඹුන් සමඟ කතාබහ කිරීමට හැකිකම ලැබුණේ උන්වහන්සේලා සමාධියට සමවැදුණු විට බව මා දැනගත්තේ මේ නොබෝ දා ය.

මා එසේ දැන ගත්තේ පූජ්‍ය ආචාර්ය මන් භූරිදන්ත තෙරුන් වහන්සේගේ ජීවිත කථාව කියැවීමෙන් පසුව ය. ආචාර්ය මන් බූවාඥාන සම්පන්නෝ නමැති තෙරුන් වහන්සේ විසින් තායි භාෂාවෙන් ලියන ලද එකී චරිතය ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත්තේ ඩික් සීලරතන නමැති භික්ෂූන් වහන්සේ විසිනි. එකී ඉංගී‍්‍රසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ගුරු විද්‍යාල කථිකාචාර්ය නිමල් අභයවර්ධන මහතා විසිනි.

ආචාර්ය මන් භුරිදත්ත රහතන් වහන්සේ වනවාසී ධූතාංගධාරී තෙර නමක් වූ අතර උන්වහන්සේ වනවාසි ධූතාංගධාරී තෙරුන් වහන්සේගේ උපදේශක කෙනකු ද වූහ. 1870 දී උඩෝන්තානි ප්‍රාන්තයේ උපත ලබා 1893 දී පැවිදි බිමට බැස මැනවින් ධර්මය ඉගෙන, ධූතාංගධාරිව පිළිවෙත් පුරා ලෝ සසුන වැඩකොට 1949 දී පිරිනිවන් පෑ බව කියනු ලැබේ. දිවැස්, දිවකන් හා පරිචිත්ත විජානනය ලද බව උන්වහන්සේගේ් හැසිරීමෙන් ම ප්‍රකාශ වෙයි.

ආචාර්ය මන් තෙරුන් වහන්සේ තමන් වෙත පැමිණි බොහෝ දෙවිවරුන් සමඟ සාකච්ඡා කළහ. ඒ සාකච්ඡා වලින් අදහස් කීපයක් පමණක් මම මෙහි දක්වමි.

‘........ එතුමෝ රාති‍්‍රය එළඹෙන තුරුම භික්ෂූන්ට ධර්මය දේශනා කළහ. සෑහෙන දුරකින් සිට දේවතාවුන් ධර්මයට සවන් දෙනු එතුමෝ දුටහ. ඒ වේලාවට එතුමා සමාධියට සම වැදී දෙවිවරුන් සමග පෞද්ගලිකවද සාකච්ඡාවේ යෙදුණහ. මෙය කෙළේ තමන් කරමින් සිටි දේශනය නැවැත්වීමෙන් අනතුරුව ය. දේවතාවෝ භික්ෂූන් කෙරෙහි මහත් ගෞරවයක් දැක්වූහ.

එතුමා දැකීමට එන දේවතාවෝ අන් භික්ෂූන්ට බාධාවක් නොවන පරිදි ඈතින් සිටියහ. එසේ පැමිණෙන ඔවුහු තෙවරක් එතුමා පැදකුණු කොට එතුමා වටා රැස් වූහ. ..... දේශනය අවසානයේ ඔවුහු තෙවරක් සාධුනාද පැවැත්වූහ. ඒ හඬ මුළු ආධ්‍යාත්මික තලය / Spiritual Plain ) දක්වා ම පැතිර ගියේ ය. මේ නාදය ඇසෙන්නේ දිව්‍යමය සවන් ඇති අයට පමණකි. ධර්ම දේශනාව අවසානයේ දී සියලු දේවතාවෝ ආචාර්ය මන් තෙරුන්වහන්සේ පැදකුණු කොට, ඉතා සන්සුන්ව ගමන් කර පුළුන් රොදවල් සේ ගුවනට පා වී ගියහ. (පිටු 59, 60)

‘දේවතාවන් පැමිණෙන වේලා ආචාර්ය මන් තෙරුන් වහන්සේ කලින් දන්නා සේක. නියම වේලාවට උන්වහන්සේ සමාධියට සම වැදී දේවතාවුන් පැමිණෙන තෙක් සිටියහ. සිත සමාධියෙන් මුදාගෙන ඔවුන් පැමිණ අත්දැයි බලන්නා හ. නැතිනම් නැවතත් සමාධියට සමවදිති. නැවත ඉන් මිදී පරීක්ෂා කර බලන ඔවුන් ප්‍රමාද වෙනවා නම් අලුයම එක දෙක හෝ තුන දක්වා විවේක සුවයෙන් පසුවෙති. අවශ්‍ය වූ විට නැවතත් සමාධියට සම වදිති. (60 පිට)

‘දේවතාවුන් ඇමතීම එතුමා සැලකුවේ මහත් වගකීමක් ඇති දෙයක් හැටියට යි. (60 පිට)

‘දේවතාවුන් සමඟ කරන සාකච්ඡාවල දී එතුමා භාවිතා කෙළේ ‘හදවතේ භාෂාව යි’. කුමන අන්දමකින් පැවසුව ද එය අසන්නාට අවබෝධ වෙයි. සාමාන්‍ය භාෂාවක් භාවිතා කිරීමේ දී මෙන් නොව මෙහිදී සිය අදහස් නිවැරැදිවත් පැහැදිලිවත් හුවමාරු කර ගැනීමට හැකිවූයේ, එය සෘජුවම හදවතින් හදවතට ගමන් කරන නිසා ය.

‘.... එතුමා පැවසුවේ හදවතේ භාෂාව සෑම කෙනෙකුටම පොදු බව ය. ධර්මයේ අර්ථය ඕනෑම හදවතකට හොඳින් ගැලපෙන බව එතුමා පැවසූහ...(60 පිට)

‘උඩෝන් තානි හා නොංඛායි යන කඳුකර ප්‍රදේශයන් හී එතුමා විසූ කාලයේ දී විවිධ ලෝක තලවල දේවතාවෝ පැමිණ එතුමා ධර්ම දේශනා කරන විට සවන් දුන්හ. සමහර කණ්ඩායම් දෙසතියකට වරක් පැමිණි අතර තවත් සමහරු මසකට වරක් පැමිණියහ. (75 පිට)

‘ලඕස් හි ලො ආං නගරයේ බටහිරින් පිහිටි, නාගයන්ගේ විශාල නගරයක් පිළිබඳ ආචාර්ය මන් තෙරුන් වහන්සේ පැවසූහ. එහි ගත කරන කාලය තුළ දී නාගයන්ගේ ප්‍රධානියා තම පිරිසද කැටුව පැමිණියේ ය. දේවතාවරුන් මෙන් ඔවුන් ප්‍රශ්න ඇසුවේ නැත. එතුමා පැවසූ දේ සාවධානව අසා සිටියහ. (75 පිට)

‘සමහර අවස්ථාවල දේවතාවුන්, බ්‍රහ්මයන් හා නාගයන් රැස් වී සිටින විට ඔවුනට දහම් දෙසූහ. අවස්ථාවට අනුකූලව රාත්‍රි කාලයේ මුල් කොටස වෙන් කරන ලද්දේ භික්ෂූන්ට ය. 76 පිට

‘ආචාර්ය මන් තෙරුවන් වහන්සේ පැවසුවේ මිනිසුන් හා දෙවිවරුන් අතර වෙනස්කම් තිබෙන බව ය. සියලු තලවලින් පැමිණෙන දෙවිවරුන්ට මිනිසුන්ට වඩා හොඳින් ධර්මය අවබෝධ කළ හැකි බව එතුමෝ පැවසූහ. දේශනාවසනයේ ඔවුන් නඟන සාධු හඬ ආධ්‍යාත්මික විශ්වය පුරා පැතිර ගියේ ය.

එහෙත් සමහර මිනිසුන් ධර්ම දේශනාවලට පැමිණියේ තම තමන්ගේ දස්කම් දැක්වීමට ය. එවැනි අයෙකුට දහම් දෙසීම හරියට සුනඛයකුගේ පිටට ජලය වක් කරනවා වැනි විය. ඌ ගසා දැමූ කෙනෙහි ම ජලය ඉවතට විසි වී යයි. (77 පිට) කෙසේ වුවත් මිනිසුන්ට ඉගැන්වීම දුෂ්කර ය. (78 පිට)

‘දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක එකිනෙකින් ඉහළට පිහිටා ඇතැ ‘ යි අප සිතුවත් අපේ මිනුම් දඬු අනුව තට්ටු නිවාස මෙන් පිහිටා ඇතැයි නොසිතිය යුතු ය. මේවා ඇත්තේ අධ්‍යාත්මික රටාවක් අනුව ලෝකෝත්තර අරුතකට සම්බන්ධව ය. (84 පිට)

ආචාර්ය මහතෙරුන් වහන්සේ ‘අපේ පුස්තකාලවලට අනුව අපෙන් දුගඳක් පිටවෙන බව දෙවිවරුන්ට දැනෙනවා යැයි දක්වා ඇත. එසේනම් ඔබ නිතර මා හමුවට පැමිණෙන්නේ ඇයි?’ යනුවෙන් දෙවියකුගෙන් ඇසූහ.

‘ස්වාමිනි, උසස් ගුණදම් ඇති අය වෙතින් අපට දුගඳක් දැනෙන්නේ නැත. එවන් අය වෙතින් විහිදෙන්නේ සුවඳක් ම ය. පහත් දුගඳින් යුත් අය වෙතින් එන දුගඳ අපි පිළිකුල් කරමු. එවන් අය වෙත යෑමට අපි අකමැති වෙමු’ (91 පිට) යි දෙවියා පැවසීය.

ආචාර්ය මන් භූ®රිදත්ත තෙරුන් වහන්සේගේ් චරිත කථාවෙන් නිර්වාණ අවබෝධය සඳහා මහන්සි ගන්නා කෙනකුට ලද හැකි ප්‍රයෝජන බොහෝ යැයි මට සිතෙයි. මේ ලිපිය දිගුවෙන බැවින් තවත් එක් කරුණක් පමණක් සඳහන් කිරීමට කැමැති වෙමි. පරිනිර්වාණයට පත් උන්වහන්සේගේ් දේහය කලක් තබා ගැනීමට කටයුතු කළ බැවින් එය ආදාහනය කිරීමට තීරණය කරන ලද්දේ 1950 ජනවාරි මාසයේ දී ය. (249 පිට) පළත්වාසීන්ගේ් හා රාජ්‍ය නිලධාරින්ගේ් මහත් ගෞරවයෙන් ආදාහනය කොට බෙදාදෙන ලද උන්වහන්සේ ගේ ධාතු වසර කීපයකට පසු ස්ථටික ( Cristals ) බවට පත් විය. (256 පිට) ඒ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනකු වූ නිසා යැ යි කියනු ලැබේ.

සුභද්‍රය, මගේ් ශාසනයේ භික්ෂූන් යහපත් කොට පිළිපදින්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් වන්නේ නැත’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් මහාපරිනිබ්බාණ සූත්‍රයේ දී දේශනා කොට ඇති බව ද මෙහිදී සිහි කටයුතු ය.

මා මේ ලිපිය ලියන්නට අදහස් කෙළේ පස්වන සතියේ දී අජපල් නුගරුක මුල දී තණ්හා රතී රගා යන මාර දූවරුන් තිදෙනා බුදුහිමියන් කාමපාශයට බඳවා ගැනීමට කළ උත්සාහය පිළිබඳව පුවතේ සත්‍යයක් තිබේ ද යන්න පිළිබඳව ය. දැන් එය සත්‍යයක් ලෙස පිළිගත හැකි ය. එදා මාර දූවරුන්ගේ පැමිණීම බුදුරජාණන් වහන්සේ දුටුවේ සමාධි චිත්තයෙනි. සංයුත්ත නිකායේ එන දේවතා , දේවපුත්ත, මාර, බ්‍රහ්ම, සක්ක යන සිය ගණනක් සූත්‍ර ධර්මයන්ගේ් සිද්ධි ද බුදු හිමියන් දකින්නේ මේ අන්දමිනි. එය සූත්‍රවල සඳහන් නැත.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]