UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් මහිම

ඓතිහාසික වාග් විද්‍යාවේ මූල ධර්මයන්ට අනුව සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් ලිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් ලොප් වී නොහොත් භාවිතයේ දී උච්චාරණ පහසුව සඳහා හැලී ගොස් ඉහිල් වී පසු කාලයකදී ‘හි’ කාරය ද හැලී ගොස් ඉල් බවට පත් වූ බව සිතිය හැකි ය. එසේ බිහිවන ඉල් යන වචනය ඉල් මාසය හැඳින්වීම සඳහා යොදා ගැනීම ඉල් මාසයේ ස්වභාවික ලක්ෂණ අනුව අර්ථාන්විත වෙයි.

උතුරු දඹදිව අහස වළාකුළු වලින් තොර සරත් සමය අවසන් වී හිම වැටෙන හේමන්තය ආරම්භ වන්නේ ඉල් මාසයේදී යි. ඉල් මාසයෙන් පසු පැමිණෙන උඳුවප් දුරුත්තේදී උත්තරාර්ධ ගෝලයෙහි ගහකොළ හිමෙන් වැසී යන හිම ඍතුවට සූදානම් වන ගස්වැල් කොළ හැලී ඉපල් බවට පත් වන්නේත් ඉල් මාසයේදීය.

ඉල් මාසයෙහිදී ඇත්තේ උඳුවප් දුරුත්තේදී මෙන් තද ශීතලක් නොව, ගත සිතට සුව දෙන සිහිලකි. සිහිල් යන්න භාෂා ව්‍යවහාරයේදී සිදුවන භාෂා විපරිණාමය නොහොත් වාග් පරිණාමය අනුව සිහිල් ඉහිල් ඉල් ඉල් යනුවෙන් ඉල් විය හැකි නිසා සිසිල් වූ ඉල් මහ එනමින් හැඳින්වීම පර්ථාවිතය.

ලිහිල් නොහොත් බුරුල් යන තේරුම දෙන ශිථිල නමැති සංස්කෘත වචනයද භාෂා පරිණාමයේදී ඉහතකී පරිදි ඉහල් වී පසුව ඉල් විය හැකිය. ධර්ම ප්‍රදීපිකාව කව්සිළුමිණ කාව්‍යශේඛරය රුවන්මල් නිඝණ්ඩුව වැනි පැරැණි සිංහල ග්‍රන්ථවල ඉහිල් යන්න යෙදෙන්නේ බුරුල්වූ, ලිහිල් වූ නොහොත් ලිහුණු යන අර්ථයෙනි. කව් සිළුමිණෙහි 29 වන ගීයේදී එන ‘රඟොත මතඟනක ඉහිල් වසත්” යනුවෙන් කියවෙන්නේ මත් වී නට අඟනකගේ ලිහී බුරුල් වූ වස්ත්‍ර ගැනය. ඉහිල් වයන් යනු එසේ ලිහිල් වූ නොහොත් බුරුල් වූ වස්ත්‍ර යි.

ඉහත කී පරිදි උත්තරාර්ධ ගෝලයේ ගස්වැල්වල කොළ ලිහිල් වී නොහොත් බුරුල්ව ඇද වැටී ගස්වැල් ඉපල් වලට පත් වන්නේත්, හිම වැටෙන හේමන්තයට පෙර හුරුවක් ලෙස වාතය සිහිල් වන්නේත් ඉල් මාසයේයය. වළාකුළු නමැති වස්ත්‍ර ලිහිල්ව ඇද වැටී නිරුවත් වන අහස තද නිල් පැහැය ගැන්වෙන සරත් සමයේ උච්චම අවස්ථාවත් ඉල් මහ ය.

වායු පීඩනය වැඩි වී තදවෙන වාතය රත් වී උණුසුම් වන අතර වායු පීඩනය අඩු වී බුරුල් නොහොත් ලිහිල් වන වාතය සිහිල් වේ. අරාබිකරයේ කාන්තාරවල දැඩි උෂ්ණත්වයක් ඇත්තේ ඝන වායුවක් ඇති එහි වායු පීඩනය අධික හෙයිනි. හිමාලය කඳු මත තද සීතලක් ඇත්තේ එහි ඉතා තුනී වායුපටලයක් හා ඉතා අඩු නොහොත් බුරුල් වායු පීඩනයක් ඇති හෙයිනි. සිත ද තද වන විට රත්වෙන අතර බුරුල් වන විට සිහිල් වන්නකි. නිවන යනු සිතක මතු විය හැකි උපරිම සිසිලයි. ලිහිල් බවයි.

ිතක් ලිහිල් වී සිසිල්ව සුවපත් වන්නේ සිතක් දැඩිකොට බැද තබන උපාදාන නමැති බන්ධන බිඳී ගියවිට යි. ඒ උපාදාන බැඳී තිබෙන කණුව නොහොත් ග්‍රහණ කේන්ද්‍රය නමැති ගහකටය. බුද්ධත්වයේදී සිඳී බිඳී ගිය බවයි. ‘ගහකූටං විසංඛිතං’ යන බුද්ධ උදාන පාඨයෙන් කියවෙන්නේ ආත්මීය හැඟීමේ මුල මේ ගහකූටය යි.

සංයුක්ත නිකායේ උපාදාන සූත්‍රයෙහි උපාදාන වර්ග හතරක් ගැන සඳහන් වේ.

අක්තවාද උජාදානය යනු මමය මාගේය යන ආත්මීය හැඟීමට තදින් බැඳීම යි. දිට්ඨි උපාදානය යනු තමන්ගේ පූර්ව නිගමන මතිමතාන්තරවලට තදින් බැඳීමයි. සීලබ්බත උපාදාන යනු තමන්ගේ ශීලාදී ප්‍රතිපත්තිවලට තදින් බැඳීමයි. කාම උපාදාන යනු තමා ඇලුම් කරන පංචක්‍රම වස්තූන්ට දැඩිව සිතෙන් බැඳීමයි.

ආත්ම, දිට්ඨි හා සීලබ්බත යන ත්‍රිවිධ උපාදාන මගින් කෙරෙන්නේ තම සිතේ පහළ වන සංකල්ප වලට සිතෙන් දැඩිකොට බැඳීමක් වන අතර කාම නමැති උපාදාන මගින් කෙරෙන්නේ සිතෙන් බාහිර වූ කාමීය වස්තූන්ට සිතෙන් බැඳීමයි.. නිවන යන පරම විමුක්තිය යනු මේ සියලු බැඳීම් වලින් සිත සම්පූර්ණ මිදීමයි. සිතක් නිතරම බැඳෙන්නේ සිතිවිලි මගින් නිර්මාණය වන සංකල්ප වලට ය. බුද්ධත්වයේ දී සිදු වූ ‘විසංඛාරගතං චිත්තං’ යනුවෙන් කියැවෙන්නේ සංකල්ප නිපදවන සිතිවිලි නිර්මාණය වීම නතර වූ බවයි. චෙතො විමුක්ති යනුවෙන් කියැවෙන්නේ ද මෙය යි.

නිවනෙහිදී පමණක් නොව නිවන් මගෙහිද සිතන්නෙක් නැති බව ය. බුද්ධඝෝෂ හිමියන් විශුද්ධිමාර්ගයේදී කියා සිටින්නේ සිතීමට; සිතන්නකු සිටිය යුතු ය. නිවන් මගෙහිත් නිවනෙදිත් එවැන්කු නැත. නිවන් මග හරියාකාරව ආරම්භ වන්නේ සොවාන්වීමෙන් මමය මාගේ ය යන සක්කාය දිට්ඨිය නමැති ආත්මීය මතයනැතිවීමෙනි. ඉන්පසු නිවන් දකින මාර්ගයක් තිබුණද ඒ මාර්ගයෙහි ගමන් කරන්නකු නැති බව ය. ‘මග්ගමත්ති ගමිකො නවිජ්ජති’ යන බුද්ධඝොෂ පාඨයෙන් කියවෙන්නේ නිවනක් තිබුණද නිවන් දුටුවකු දැකිය නොහැකි බවය. ‘අක්ෂි නිබ්බුති න නිබ්බුතො’ යන බුද්ධඝෝෂ පාඨයෙන් කියැවෙන්නේ.

නිවන් දුටු බුද්ධ ශ්‍රාවකයන් සැටනමක් පහළ වූ පසුව බොහෝ දෙනාගේ හිත සුව පිණිස බුදු හිමියන් විසින් ඒ සැට නම සියලු දිසා භාගයන්හිම පිටත් කර හරින ලද්දේ ඉල් මස පුර පසළොස්වක පෝ දිනක ය. එසේ කරන ලද්දේ කාම භෝගී ලෞකික ජීවිතයට බැඳී සිටින විනෙය ජනයන්ගේ සිත් සතන් කාම බන්ධනයන්ගෙන් ලිහිල් කොට, සිසිල් කර නිවන් දක්වනු සඳහා ය.

ශුන්‍යත්වය නොහොත් හිස් බව යන අරුත දෙන සුඤ්ඤත නමින් නිවන හැඳින්වෙන්නේ, එය සියලු ලෞකික ධර්මයන්ගෙන් ශුන්‍ය වූ නොහොත් හිස්වූ පරම පවිත්‍ර ධර්මයකි බැවිනි. ඉල් මස දක්නට ලැබෙන වළාකුළින් හිස් වූ සරදාකාශය නොහොත් සරත් කුල නිල් අහස ශුන්‍යතාව නමැති ලෝකෝත්තර නිර්වාණය සංකේතවත් කරන ලෞකික ධර්මයකි. නිවන ද අවකාශය නොහොත් අහස මෙන් අනන්ත වූ අකාලික ධර්මයකි. නිවනටද අහසට මෙන්ම ඇතිවීමක් හෝ නැතිවීමක් හෝ දේශ සීමාවක් හෝ නැත. දීඝ නිකායේ එන කේවඩ්ඪ සූත්‍රයේදී අනන්තං සබ්බතො පභං’ යනුවෙන් නිවන හැඳීන්වෙන්නේ, අහස මෙන්ම නිවනද අනන්ත වූත් හැම අතින්ම ප්‍රභාස්වර වූත් ධර්මයක් හෙයිනි. හිස් සිත වසාගෙන පාවෙන වළාකුළු වැනි සිතිවිලි වලින් තොර නිවන නමැති ශුන්‍යත්වය සංකේතවත් කරන තනිකර නිල් අහසක් ඇති ඉල් මාසයක බුදු හිමියන්ගේ ප්‍රථම ධර්ම දූතයන් පිරිස පිටත්කර හැරීම , කාලෝචිත ක්‍රියාවකි.

වස්සාන සමයේදී වැහි වලාකුළු රැගත් තෙත සුළං උතුරු ඉන්දියාවට හමා එන්නේ උෂ්ණත්වය නිසා ජල වාෂ්ප වලින් පිරී ඉන්දියන් සාගරයේ සිට ය. ඉල් මාසයේදී උතුරු ඉන්දියාවට සිසිල් වූ වියළි සුළං හමා එන්නේ ජල වාෂ්ප සියල්ලම හිම බවට පත්වන ශීතල හිමාල අඩවියේ සිට ය. මෙසේ ශාරීරික සෞඛ්‍යයට හිතකර වියළි සිසිල් සුළං හමන ඉල් මාසයක මානසික සෞඛ්‍යය ලබාදෙන නිවන් සිසිල පැතිරීමට ධර්ම දූතයන් පිටත්කර හැරීම අර්ථාන්විත ක්‍රියාවකි. එසේම ගස්වැල්වල කොළ හැලී ඇටසැකිලි වන් ඉපල් බවට පත්ව අනිත්‍ය සිහිපත් කරවන ඉල් මාසය අනිත්‍යාවබෝධයෙන් නිර්මාණාවබෝධය ලබාදීමට පහසු මාසයකි. මෙසේ ඉල් මාසයේදී උතුරු ඉන්දියාවේ ඇත්තේ නිර්වාණාවබෝධයට හිතකර ස්වභාවික පරිසරයකි.

හිම වැටෙන තරම් ශීතල වන උඳුවප් හා දුරුතු මාසවලට පෙර ලබන ඉල් මාසය ධර්ම ප්‍රචාරක චාරිකාවලදී විඳින්නට සිදුවන කායික වෙහෙස අඩු කිරීමට හිතකර වියළි සිසිල් දේශගුණයකින් යුක්ත කාලවකවානුවකි. මෙසේ ස්වභාවිකව ගමන් බිමන් පහසුව ඇතිවන ඉල් මාසයේ පුරපසළොස්වක් පෝ දිනක බුදු හිමියන් හැට නමක් රහතන් වහන්සේ නා නා දික් භාගයන්හි ධර්ම චාරිකාවල යෙදෙව්වේ උන්වහන්සේ මුළු මනින්ම සිත් සත්‍ය නිවාගෙන භුක්ති විඳින නිවන් සිසිල , එය ලබාගැනීමේ වාසනාව ඇති ලෝක සත්ත්වයන් අතර ලෝකානුකම්පාවෙන් බෙදා දී ඉල් මහ සිසිල බඳු ආධ්‍යාත්මික සිසිලක් ලොව පතුරවන්නයි.

රහත් සිත්වල මතුවන නිවන් සිසිල දැනෙන්නේ නිවන දකින වාසනාව නොහොත් හේතු සම්පත් අවදි වී ඇති විඤ්ඤාණවන්තයන්ට යැයි කිව හැකි සහෘදයන්ට නොහොත් සංවේදී පුද්ගලයන්ට පමණකි. ‘වෙදිතබ්බො විඤ්ඤුහි’ යනුවෙන් නිවන ගැන සඳහන් වන්නේ එයයි. නිර්මාණවබොධය ලැබිය හැකි විනෙය ජනයන් යැයි කියනු ලබන්නේ එබඳු විඤ්ඤාණවන්තයන්ටයි. ‘වෙදිතබ්බො විඤ්ඤුහි’ යනු නිවන එබඳු පුද්ගලයන්ට පමණක් අවබෝධ කරගත හැකි ධර්මයක් බව ය.

පසු කාලයේදී ධර්මසේනාධිපති මහ සැරියුත් හිමියන් බවට පත්වූ උපතිස්ස පරිබ්‍රාජකයන් මුල්වරට අස්සජී මහ රහතන් වහන්සේ දුටු මොහොතේදීම ඒ උත්තමයන් සපුරා සිත නිවා සනසා ගත් ආර්යයන් වහන්සේ නමක් බව දැනුණේ උන්වහන්සේගෙන් බණ අසා නොවේ. ඒ වනවිට උපතිස්ස පරිබ්‍රාජකයන් තුළ මුහුකුරා ගොස් අවදි වී තිබුණු විඤ්ඤාණවන්ත භාවය නමැති සංවේදීතාව කරණකොටගෙන ය.

බුදු හිමියන් දම්සක් සුතුර දෙසා බරණැස ඉසිපතනයේදී වැඩ වසද්දී බරණැස් නගරයෙහි සිටි යසකුල පුත්‍ර නමැති මහ සිටු කුමරාට ගිහි සැප ගැන කළකිරී මහණ දම් පුරා නිරාමිස නිවී සැනසිල්ලක් සොයා යන සිත් පහළ වූයේ සියලු සපසාර බන්ධන ලිහා දමා සපුරා සිත්සතන් නිවා සනසාගත් බුදු හිමියන්ගේ බුද්ධ ශක්තිය විඤ්ඤාණගත වීමෙන් වියයුතු ය.

බුදු හිමියන් බුද්ධ ශාසනයේ ප්‍රථම ඉල් මස පුන් පොහෝදා රහතන් වහන්සේ සැටනමක් නානා දිශා භාගයන්ට පිටත් කර හැරියේ ඉල් මස සිසිල මෙන් විඤ්ඤාණවන්තයන් නමැති විනෙය ජනයන්ගේ සිත් සතන් සිසිල් කර නිවන් සුවය භුක්ති විඳිය හැකි අරිය මහ ලෝකයාට හෙළි කරනු පිණිස ය. කාමභෝගී ජීවිත පැවතුම් වලින් ගිනිගෙන දැවෙන පෘථග්ජන හදවත් ඉල්මහ සෞම්‍ය සිසිල මෙන් සිසිල් කරනු පිණිසය.

ගිම්හානය පසු කළ සරත් සමයත් තදින් සීතල වන හේමන්ත නොහොත් හිම සමයත් මුණගැහෙන ඉල් මහේදී අත්දැකිය හැකි වන්නේ ගිම්හානයේ දැඩි උෂ්ණත්වයක් හේමන්තයේ දැඩි සීතලත් අතර මධ්‍යස්ථ වූ නිවන් වන් මධ්‍යස්ථ සිසිලකි. නිවනෙහි ඇත්තේ අන්තගාමී ප්‍රතිපදා දෙකක් මැද ඇති මධ්‍යම ප්‍රතිපදාවෙන් මතුවන මධ්‍යස්ථ සිසිලකි. සිතටත් ගතටත් සුව දෙන සිසිලකි. මහා ඉල් මහිමය ද මෙය යි.

ඉල් මාසය නිවන් සිසිල ලබා ගැනීම සඳහා විඤ්ඤාණවන්ත විනෙය ජනයන්ගේ ලොවුතුරු නුවණ අවදි කරවන්නේ කොළහැලී ඉපල් බවට පත් වූ තුරුලිය දෙස බලන විට ඇතිවන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ අවබෝධ කරවීම මගිනි. ඒ සිසිල තම තමන් තුළින් මතු වන්නේ ඉල් මාසයේදී කොළ හැලී යන පරිදි ඇලීම් නමැති සංසාර බන්ධන ගැලවී වලාකුළින් තොර ඉල්මහ නිල් අහස මෙන් චිත්ත සන්තානයද කෙළෙස් වලා ගිලිහී ගොස් පවිත්‍ර වීමෙනි.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]