UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව දී යළි පණ ලැබූ දම්‍පල් මෙහෙවර

සසර කතරෙන් මිදෙන මඟ පාදා දුන් බුදු දහම ලොවට ගලා ගියේ බරණැස ඉසිපතනයේ මිගදායෙනි. අද ඒ පෙදෙස සාරානාත් නමින් හැඳින්වේ.

දඹදිව කසී ජනපදය මැදින් ගලා බස්නා ‘වරුණ’ සහ ‘අසී’ ගංගා දෙක අතර පිහිටි බාරාණාසී බෞද්ධ සාහිත්‍යයේ දී ‘බරණැස’ නම් වේ. සෘෂිවරුන් පොළවට ගොඩ බැසී ස්ථානය යන අදහසින් මේ පෙදෙසට ඉසිපතනය යන නම ලැබිණ. බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කළේ ද, භික්ෂූන්වහන්සේ හැට නමකගෙන් සමන්විත ප්‍රථම ධර්මදූත සේවාව ආරම්භ වුයේ ද බරණැස ඉසිපතන භූ®මියේ දී ය.


පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ

මේ පින්බර පුද බිමේ සුවිශේෂි වූ පින්කමක් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා පැවැත්විණි. ඒ බුදුරදුන් උපන් දේශයේ බෞද්ධ සලකුණ වෙනුවෙන් සටන්වැදි අනගාරික ධර්මපාලතුමා ගේ 144 වැනි ජන්ම දිනය සිහිපත් කෙරුණු “බෝසත් දම්පල් හරසර වන්දනා’’ වැඩසටහනයි.

1890 දී දඹදිව වන්දනාවේ ගිය ධර්මපාලතුමා, බරණැස ඉසිපතන මිගදායට පැමිණෙන විට එය මහ වනයෙන් වැසී තිබිණ. මහ රහතන්වහන්සේ වැඩ සිටි විහාරාරාමවල ගල් කණු මිනිසුන් තම ප්‍රයෝජනය පිණිස කරත්තවල පටවාගෙන යන අයුරු දැක කම්පාවට පත්විය. බුදු පා පහස ලද මේ පින්බිම පුරාම දක්නට ලැබුණේ කඩා විනාශ කරන ලද වෙහෙර විහාරවල නටබුන් ය. අනගාරික ධර්මපාලතුමා මිගදායට සිදු ව ඇති විපත දැක මහත් සංවේගයට පත් විය.

සියලු බුදුවරයන් වහන්සේ දම්සක් සූත්‍ර දේශනාව පවත්වනු ලබන ඉසිපතන මිගදායේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මුල් ම ගඳකිළිය පැවැති මූලගන්ධ කුටි විහාර භූ®මියේ එනමින්ම විහාරයක් කරවා, කසාවතින් බැබලවිය යුතුය යන්න ධර්මපාලතුමාගේ පරම අදිටන විය.

1920 බරණැස ඉසිපතනයෙන් ඉඩම් කොටසක් මිලට ගෙන එහි නැවතී විහාර කර්මාන්තය ඇරැඹීය. එහෙත් එතුමාට වරින්වර නොයෙකුත් විරෝධතා එල්ල වන්නට විය. ඒ සියලු බාධක මැඩගෙන 1928 දී නව මූලගන්ධ කුටි විහාරය ඉදිකළේ ය. මෙය ඉසිපතන පුරාවිද්‍යා ඉඩමට යාබදව පිහිටා ඇත.

අනගාරික ධර්මපාලතුමා 1933 ජනවාරි 16 වැනිදා සිරිදේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූයේ ද, 1933 අපේ‍්‍රල් 29 වැනිදා අවසන් හුස්ම හෙළුවේ ද, මිහිදන්වූයේ ද බරණැස ඉසිපතන මිගදාය භූ®මියේ දී නිසා, ‘දම්පල් හරසර වන්දනා’ පින්කම පැවැත්වීමට සුදුසුම ස්ථානය වූයේ ද බරණැස ම ය.

පසුගිය සැප්තැම්බර් 16 වැනිදා උදෑසන ලංකාවේ හේවිසි හොරණෑ මෙන්ම උඩරට නැටුම්කරුවන් පෙරටු කරගත් පෙරහර, බරණැස මහබෝධි සමාගමේ සිට බරණැස ඉසිපතනය බලා නික්මුණි. ශ්‍රී ලංකාවේ සිට පැමිණි හත්සියයකට අධික උවසු උවැසියන් පිරිසක් සහභාගි වූ මේ පෙරහර, කිලෝ මීටර් භාගයක් පමණ දිගුªවිය.

මේ හැම අයකුම සිල් ඇඳුමින් සැරසී, බුද්ධ පූජා, දැහැත්, ගිලන්පස, මල්වට්ටි රැගෙන, මුතුකුඩ යටින් ගමන් කළ දර්ශනය නෙත් සිත් පහන් කරන්නක් විය. කෝට්ටගල ගෝතම හිමියෝ මේ පෙරහර සංවිධානය කිරීමට මූලිකව කටයුතු කළහ.

පෙරහරින් ඉසිපතනයට පැමිණි පිරිස ධම්මික චෛත්‍ය අසලදි පෙහෙවස් සමාදන් වූහ. එදින සවස කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්, බරණැස් නුවර පිළිබඳත්, අනගාරික ධර්මපාලතුමාගේ යුග මෙහෙවර පිළිබඳවත් සුමධුර ධර්ම දේශනාවක් පවත්වා එතුමාට පිංපෙත් අනුමෝදන් කළහ.

එදින සවස බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ධර්මරාජික ස්ථුපය මත රෝසමල් දසලක්ෂයක් ඇතිරිණි. ඊට අමතරව ලක්ෂයකට ආසන්න පහන් ප්‍රමාණයක්, සම්මුඛ චෛත්‍ය, මූලගන්ධි කුටි විහාරය, ධර්මරාජික ස්ථූපය හා, ධම්මික චෛත්‍ය ඇතුළු බරණැස් භූ®මිය පුරාම තැබිණි.

මේ උත්සවය සඳහා බරණැස ඉසිපතනයට වැඩම කළ පදලංගල ධම්මදේව හිමියන්, ජනාධිපතිතුමාට රටට ත්‍රිවිධ හමුදාවට සෙත්පතා කවියෙන් බෝධිපූජා පැවැත්වූහ. උන්වහන්සේ ගේ සුමධුර හඬ ඉසිපතනය සිසාරා පැතිරෙන්නට විය. බෝධිපූජාව අතරතුර පහන් එකින් එක දැල්වෙන්නට විය. සිංහල බොදුණුවෝ අප්‍රමාණ බොදු බැතියෙන් පහන් දල්වන්නට වූහ. පහන් සියල්ල දල්වා අවසාන වන විට රාත්‍රී හතට ආසන්න වෙමින් තිබිණි.

හාත්පස පැතිරුණු අඳුරත් සමග දැල්වුණු පහන්වල ආලෝකයෙන් මුළු ඉසිපතනය ම ඒකාලෝක විය. ඉන්පසු සැමටම දැල් වූ පන්දමක් ලබාදුණි. පන්දම් දැල් වූ උවසු උවැසියෝ බුදුගුණ ගයමින් පෙරහරකින් ඉදිපතන පූජා භූ®මිය වටා ගමන් කළහ. මෙවැනි පහන් පින්කමක් ඉසිපතන පූජා භූ®මියේ දී ඉතිහාසයේ කිසිම දිනක තමන් දැක නොමැති බව ඉසිපතන භූමියේ සේවයේ නියුතුª ඉන්දීය ජාතිකයෝ අප සමඟ පැවසූහ.

ධර්මපාලතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ශාන්ති බුද්ධ භූ®මි සංවිධානය මගින් අන්තර් දහම් පාසල් රචනා තරගයක්ද පැවැත්විය. කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශවල ශිෂ්‍යාවන් තිදෙනක් එහිදී ජයග්‍රහණය ලබා තිබුණි. එහි පළමු ස්ථානය ගාල්ල යක්කලමුල්ල ශ්‍රී‍්‍ර සරණපාල දහම් පාසලේ සුමුදු ලක්සලා ද, දෙවැනි ස්ථානය නුවරඑළිය සුමනජෝති දහම් පාසලේ තිලිණි පූර්නිමා ද, තෙවැනි ස්ථානය පදවි ශ්‍රීපුර මෙත්තාලෝක දහම් පාසලේ නුවන්තිකා මිහිරාණි ද දිනාගෙන තිබිණි.

මීට අමතරව ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරයෙන් පාලනය කෙරෙන පාසල් අතරද රචනා තරගයක් පැවැත්විණි. මේ සියලු ජයග්‍රාහක දරුවෝ සැප්තැම්බර් 17 වැනිදා මූලගන්ධ කුටි විහාරයේ පැවැති ධර්මපාල තුමාගේ ගුණ සිහි කිරීමේ උත්සවයට පැමිණ සිටියහ. මේ සියලුම සිසු දරුවන්ට ත්‍යාග ප්‍රදානය, බරණැස මිගදායේ මූලගන්ධිකුටි විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් විසින් සිදුකරන ලදී. එදින දහවල් ඉන්දියානු මහබෝධි සමාගමේ දාන ශාලාවේ දී භික්ෂූන් වහන්සේ දෙසිය නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණි. මේ උතුම් පින්කමට සහභාගි වීමට ලැබීම පිළිබඳ සියල්ලෝම බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඉපිල ගියහ.

බෝසත් දම්පල් හරසර වැඩසටහනේ අනුශාසක ලෙස දඹගොල්ලේ ශාන්තභද්‍ර, ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද රත්මලාන ශ්‍රී ගෝතම විහාරාධිපති කෝට්ටගල ගෝතම, බණ්ඩාරවෙල නන්දාලෝක, මූණගම සමිතමූර්ති, දාගම මෛත්‍රීය, කැස්බෑවේ ඉන්ද්‍රානන්ද යන හිමිවරු කටයුතු කරති.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]