UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කැලණි රජ මහා විහාරය

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ සභාපති එම්.ඒ. හේරත් මහතාගේ මූලිකත්වයෙන් 37 වැනි වරටත් නොවැම්බර් මස 12 වැනි ඉල් පොහෝ දින පැවැත්වේ.

මෙවර කඨින චීවරය හිමිදිරි පාන්දර 04.30 ට පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය ලියෝ මාවත රංජිත් විමලගුණරත්න මහතාගේ නිවසේ සිටයි. පෙරවරු 6.30 ට කඨින චීවරය සඝසතුකර පූජාකෙරේ. හීල්දානය, ඒ. පෙරේරා සිල් මාතාව අතින් සිදුවන අතර දවල් 25 නමකට අධික මහසඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. කප්රුක මෙවර පූජා කරනු ලබන්නේ ශීල භාවනා සමිතියේ උවසු උවැසියන් විසින් ය. අනතුරුව රාත්‍රී 8.00 ට කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වේ.


ගන්නෝරුව

පේරාදෙණිය ගන්නෝරුව රජමහා විහාරයේ විහාරාධිකාරී කර්මාචාර්ය අඹන්පොල සුමංගලහිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම නොවැම්බර් 11, 12 දිනවල සිදුකෙරේ.


පානදුරේ රන්කොත් විහාරය

පානදුරේ රන්කොත් විහාරාධිපති, මහාචාර්ය කහපල සුගතරතන අමරපුර මහා නිකායේ අනුනාහිමියන්ගේ අනුසාසකත්වයෙන් පානදුරේ ඓතිහාසික රන්කොත් විහාරස්ථානයේ කඨින පූජා පින්කම ඉල් පෝය දින පැවැත්වේ. එදින අලුයම 04 ට කඨින පූජා පෙරහර පානදුර රණවිරු ලුතිනන් නොලින් චමින්ද පීරිස් මාවතේ අංක 56 දරන නිවසින් පිටත් වෙති. උදෑසන 06.30 ට කඨින චීවර පූජාව පවත්වා හීල්දානය පිරි නැමීමත් දවල් 11.30 ට සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනැමේ.

සවස 5 – 6 දක්වා කඨිනානිසංස ධර්ම දේශනාව මහාචාර්ය කහපල සුගතරතන අනුනාහිමියන් විසින් දේශනා කරනු ලබයි. තෙවන රණගොස ක්‍රියාන්විතයේ දී සිය තරුණ දිවිය පුදකල රණවිරු ලුතිනන් නොලින් චමින්ද පීරිස් රණවිරුවාට පින්පැමිණවීම සඳහා දෙමාපියන් ඥාතීන් විසින් වස් ආරාධනය කරමින් පවත්වන එම පින්කම් මාලාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවා සේවයේ නිරතව සිටි 1 වන සිංහ බල ඇණියේ පූර්ණ අනුග්‍රහය ලබාදී ඇත.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩල සංඝා වාසයේ කඨින චීවර පූජාව මෙම ඉල් පුරපසළොස්වක පොහෝ දින සිදුකිරීමට නියමිත ය. ඉදිකරන ලද විශේෂ මණ්ඩපයකදී අත් යන්ත්‍රයක් උපයෝගී කර ගෙන පහන් දල්වා සුවඳ දුම් විහිදුවා සෙත් පිරිත් හා මඟුල් බෙර වාදන මධ්‍යයෙහි මෙම කඨින වස්ත්‍රය පවීම ආරම්භ කරන්නේ මධ්‍යම රාත්‍රියේ ය.

එදින අලුයම වන විට වියා අවසන් කරන ලද වස්ත්‍රය විනයානුකූලව කපා මසා ගැනීමෙන් පසු කැලෑ කොළ පොතු මල් යොදා තම්බා සකසා ගත් පඬු වලින් එම චීවරය පඬු පොවාගනු ලැබේ. අනතුරුව එදින දවල් තිස් නමකට අධික මහ සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර මහා දානයේදී එම කඨින චීවරය පූජා කැරේ. කඨිනානිසංස ධර්මදේශනාව එදින සවස බෞද්ධ මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම පින්කමට සමගාමීව පෙහෙවස් සමාදන් වූ සැදැහැවතුනට අවශ්‍ය හීල් හා දවල් දානය පිරි නැමීමත් සිරිත් පරිදි කෙරෙන බණ භාවනා වැඩසටහනද සිදු කිරීමටත් බෞද්ධ මණ්ඩලය කටයුතු යොදා ඇත.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

බූටාවත්ත පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය හා පින්නගොල්ල තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ඉල්පුර පසළොස්වක් පෝදා පින්කම් රැසක් සිදු කැරේ. 11 දින සවස විශේෂ බෝධි පූජා පින්කමක් හා මහපිරිත් දේශනයක් පවත්වා ත්‍රිවිධ හමුදාවටත් රජයටත් ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට කටයුතු යොදා ඇත.

12 දින අලුයම නව නිවාස යෝජනාක්‍රමයේ සිට කඨින වස්ත්‍රය පෙරහරින් රැගෙනවිත්, උදෑසන සීල සමාදානයද ආගමික කටයුතුවල නිරත කිරීමේ මෙහෙයවීම කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරදරාජකීය පණ්ඩිත වෙලේගම්මැද්දේ ශ්‍රී විමලජෝති නාහිමියන් විසින් සිදුකරනු ලැබේ.

12 දින දවල් 32 වැනි වරටත් පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ සිදු කරනු ලබන කඨින චීවර පින්කමට වැඩම කරන මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දානමය පින්කමක් සිදු කර අපවත්වී වදාළ බූටාවත්තේ ශ්‍රී රත්නජෝති ස්වාමීන් වහන්සේට හා රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවටත් විහාරස්ථාන සංවර්ධනය කිරීමෙහිලා ආධාර උපකාර කර පරලොව සැපත් දායක පින්වතුන්ට පින් අනුමෝදන් කිරීමට කටයුතු යොදා ඇත.


අස්ගිරිය විජයසුන්දරාරාමය

මහනුවර අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් මෙම මස 10, 11, 12 දිනයන්හි පැවැත්වේ. මෙම 12 වනදා කඨින පූජා පින්කම සිදුකෙරේ.


මඩපාත ශ්‍රී ශෛලතලාරාමය

පිළියන්දල මඩපාත ශ්‍රී ශෛලතලාරාමය පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මෙම 11, 12 යන දෙදින තුළ පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති මෙඬේරිගම නන්දාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, පුස්තකාල සංවර්ධන සමිතිය, දහම්පාසල ඒකාබද්ධව සංවිධානය කොට ඇත.

11 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් ආරම්භ කැරේ.

පසු දින (12) අලුයම 2.00 ට සර්වෝදය මාවතේ එම්.ඩී. ජයසේන මහතාගේ නිවසින් කඨින චීවර පෙරහර ඇරැඹේ. උදෑසන 6.00 ට කඨින චීවර පූජාව පැවැත්වේ. අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන හීල් දානමය පින්කමෙන් පසු පෙරවරු 8.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව කැස්බෑව ගොම්බද්දල දමිත හිමියන් විසින් පවත්වනු ලැබේ. මෙදින සවස අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වේ.


රතනපාල ධර්මායතනය

රත්නපුර ඓතිහාසික පොත්ගුල් රාජමහා විහාරාධිපති හා භාරකාර රතනපාල ධර්මායතන මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ප්‍රධාන සංඝනායක බෙංගමුවේ රතනපාල ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික කඨින පින්කම සහ සති පිරිත ධර්මායතනයේ සංවත්සරය ශ්‍රී රතනපාල ධර්මායතනයේ දී මෙම 8 වන දා සිට 12 වන දා දක්වා පැවැත්වේ.

12 වන දා කඨින චීවර පූජාව සිදු කැරේ.


අත්තනගල්ල රජමහා විහාරය

අත්තනගල්ල රාජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යකර්මය මෙම 11 වැනි දින ආරම්භ කැරෙන අතර, එදින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින කඨින මහා පූජාව සහ හැට නමකට මහා සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනැමීම සිදු කැරේ. විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ද විද්‍යාලංකාර මහා පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කුල දරුවන් තිදෙනකු සසුන්ගත කිරීමේ පුණ්‍යෙීත්සවය ද පසළොස්වක පෝය දින පෙරවරුවේ සිදු කැරේ.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]