UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ළමයින්ට නිදහසේ ඉගෙනීමට ඉඩ දෙමු

ජීවන ගමන් මඟේ අප සැම දෙනා සොයා යන්නේ සහනය හෙවත් සතුටයි. දරුවන් ගේ අනාගත අභිලාෂයන් ද ඉටුකර දීමට වෙර දන්නේ තමන්ට නොලැබුණ සතුට, සහනය දරුවන්ට හෝ ලබාදීමේ අටියෙනි. එහෙත් වැඩිහිටි ඔබ දරුවාගේ ළමා කාලය ගැන කල්පනාකාරී වූයේදැයි සිතන්න කාලය එළඹ ඇත.

බොහෝ සාහිත්‍යධරයන් දරුවන් මල් වලට උපමා කරති. එහි සත්‍යතාවයක් ද තිබේ. මන්ද මල් මෘදුය, මටසිළුටුය, එහෙත් බොහෝ දෙනෙක් පි‍්‍රයකරන්නේ සුවඳ හා ලස්සන මල්වලටය, මලෙහි ඇති ගුණය එහි ඇති සුවඳයි, දරුවාගේ ඇති සුවඳ නම් ගුණවත්කමයි.

“රූ සිරි යොවුන් ගුණ නැණ සියල්ලෙන් නොවඩු වී මුත් නොදත හොත් සිල්ප සත සුවඳ නැති කැලෑ මල් සම වේ.” (ලෝකෝපකාරය)

රූපශ්‍රීය, තරුණ බව ගුණ යහපත්කම්, නුවණැති බව යන මේ සියල්ලෙන් අනූන වූවත්, ශිල්ප, ශාස්ත්‍ර දැන නොසිටිය හොත් ඒ තැනැත්තා සුවඳ නැති කැලෑ මල් හා සමාන වේ. දරුවන් ඔබට නිර්මාණය කිරීම ලෙහෙසිය. එහෙත් ‘ගුණ නැණ බෙළෙන් යුතු’ දරුවන් තැනීම ලෙහෙසි වනු නැත.

අධ්‍යාපනයෙහි මුඛ්‍ය පරමාර්ථය පිරිපුන් දරුවෙකු නිර්මාණය කිරීමයි. ඒ සඳහා ඉගෙනීමේ ක්‍රියාවලියෙහි යෙදීමට දරුවන්ට නිදහස් මානසික වටපිටාවක් ඔබ නිර්මාණය කර තිබේද? අද සෙල්ලම් ගෙවල් හදන දරුවන් සිටීද? සෙල්ලම් බත් උයාගෙන නෑගම් යන දරුවන් කොහිද? මේ තත්ත්වයට වග කිව යුත්තේ අපේ බලධරයින් හා වැඩිහිටියන් ය.

ඩෙමන්මාර්කය වැනි රටවල දරුවන්ට නිදහසේ ඉගෙනීමට, සෙල්ලම් කිරීමට වට පිටාව මෙම රජයන් විසින් ලබා දී තිබේ. කිසිම දරුවෙක් වරදක් කළද උසාවියේ කූඩුවට නන්වන්නේ නැත. ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යනම් මනෝ වෛද්‍යවරයෙකු ද සමග අදාළ පාර්ශ්වය පැමිණ ඉතා සුහඳශීලීව විස්තර සටහන් කර ගනී. සෑම දරුවෙකුටම එක සමාන අයිතීන් ලැබෙන අතර ළමයින්ට දඬුවම් කිරීමක් පාසලේ දී හෝ නිවසේදී වත් සිදු නොවේ. මෙහි දරුවන් සියයට අසූවක් විතරම බොරු නොකියති. ඒ ඔවුන්ට එය පුරුදු නැති නිසාවෙනි. ඉගෙනීම් ක්‍රියාවලියෙහි තරඟ විභාග මෙහි නැත. එහෙත් ක්‍රීඩා තරග ආදිය ඇත. ළදරු පාසල් වැනි වයසේ දරුවන්ට දිවා ආහාරයෙන් පසු පැය දෙකක් පමණ නිදා ගැනීමේ පහසුකම ද සළසා තිබේ. දරුවන්ට අධ්‍යාපනය බරක් වී නැත. බොහෝ පාසල්වල දරුවන්ට සෙනසුරාදා, ඉරිදා ගෙදර වැඩ දෙන්නේ නැත. ඒ දරුවන්ට එම දවස් දෙක නිදහසේ දෙමාපියන් සමඟ සිටීමටය. දරුවන්ට පරිසරය ගැන අවබෝධයක් ලබා දීමට පාසලේ පන්ති කණ්ඩායම් කැළයට රැගෙන ගොස් පුංචි කාලයේදීම පරිසරයට ආදරය කරන්න පුරුදු කරනු ලබයි. පාරේ ඇවිදින විට අතට අසුවන පැළෑටි වල දළු, අතු මෙහි දරුවන් කඩන්නේ නැත. තමා කන ටොෆි කොළය තම සාක්කුවේ දමා ගැනීමට මේ දරුවන් පුරුදු වී සිටින අතර බොහෝ ළමුන් සුරතලයට සුනඛයන් ඇති කරති. එහෙත් ඔවුන්ගේ මළපහ එකතු කිරීම සඳහා මේ ළමුන් වෙන උරයක් ගෙන යයි. මෙවැනි වටිනා ආචාර ධර්ම පද්ධතියක් මොවුන් සතු ය. ප්‍රාථමික අධ්‍යාපනයේ පමණක් නොව උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ද විශ්වවිද්‍යාලයට තේරුනේ නමුත් වසර දෙකක හෝ එකක කාල සීමාවක් වෙනත් රැකියාවක හෝ වෙනත් රටක ගොස් සිට නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි ය. මෙවැනි කාරණා හේතු කොට ගෙන දරුවන් මල් මෙන් වැඩෙති.

ශ්‍රී ලාංකික අධ්‍යාපන බලධරයින් ද එක්ව අධ්‍යාපනය නව මඟකට යොමුකරන්නේ නම් සැබෑ සුන්දර පරපුරක් තැනිය හැකි නොවේද? සුන්දරත්වය රැඳී ඇත්තේ හදවත් තුළ ය. ශ්‍රී ලාංකික දරුවන්ට අධ්‍යාපනය කොතරම් පීඩනයක් ගෙන දී තිබේද? පහ වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වන දරුවන්ට සැනසිල්ලක් වූවත් අසමත් වන දරුවන්ට ඇතිවන මානසික පීඩනය ගැන සොයා බලන්නේ කවුරුන් ද? වසර දහයේ දීම බිදුණු මානසිකත්වයෙන් යුතුව මේ සමාජ පද්ධතියටම ඔහු වෛර කරන්නෙක් නොවේද? එබැවින් මා යෝජනා කරන්නේ පහ වසර ශිෂ්‍යත්ව අහෝසි කොට එවැනි විභාගයක් අවශ්‍ය නම් නවය වසර වැනි වසර වලදී පැවැත්වීම උචිත බවයි. පහ වසර සිසුන් අතර මේ විභාගයට කැමැත්ත අකමැත්ත විචාරා සමීක්‍ෂණයක් පැවැත්වුවහොත් සිසුනගේ රුචිකත්වය සොයා ගත හැකි ය. අධ්‍යාපනවේදීන්ගේ අර්ථකථන වළට අනුව අධ්‍යාපනයේ මූලික පරමාර්ථයන් තුනකි. එනම් දැනුම, ආකල්ප, කුසලතා යන්නයි.

දැනුම නම් විෂයානුබද්ධව පොත පත ආශ්‍රයෙන් ලබන න්‍යායාත්මක දැනුමයි. ඒ ලබන්නා වූ දැනුමෙන් තමාගේ චර්යා රටාවේ වන වෙනස්වීම ආකල්පයමය වර්ධනයයි. කුසලතා නම් ඒ මගින් බිහිවන නවීන සොයා ගැනීම් හා දක්‍ෂතාවයන් ය. අද ශ්‍රී ලංකාවේ දරුවන්ට මෙන්ම වැඩිහිටි දරුවන්ට ද වැඩිහිටියන්ට ද න්‍යායාත්මක දැනුම උපරිමයෙන් තිබේයැයි කිවහොත් එය නිවැරදි ය. එහෙත් බාහිර ක්‍රියාකාරකම් හෝ ප්‍රායෝගික දැනුමින් සමහර විට පහළ මට්ටමක සිටින්නේ යැයි කිවහොත් මා සමඟ එකඟ වනු ඇත. කුසලතා පිරිපුන් දරුවන් ද රටක ජීවනාලියයි. නිවැරැදිව දැනුම එකතු කර ගන්නා පුද්ගලයා තුළ ඉබේටම මෙන් හික්මීම වර්ධනය වේ. “විද්‍යා දදාති විනයං” කීවේත්, “පිරුණ කළේ දිය නොසැළේ” කීවේත් මේ හික්මීමම නොවේද?

වත්මන් ශ්‍රී ලාංකික දෙමාපියන්ටත්, අධ්‍යාපන බලධරයින්ටත්, මෙම අධ්‍යාපන පරමාර්ථවලින් ආකල්ප, කුසලතා යන දෙඅංශයම අමතක වී ගොසින් බවත් පෙනේ. එහෙත් දැනුම නමැති ඒකකය ඔස්සේ පමණක් නොනවතින මහා තරගයක දිවීමට පටන්ගෙන තිබේ. මෙම යන ගමනෙන් නිර්මාණශීලී සදාචාර සම්පන්න දරුවෙක් නිර්මාණය කරගත හැකියැයි ඔබ කල්පනා කරන්නේද?

දරුවාගේ ළමා කාලය සම්පූර්ණයෙන්ම වැඩිහිටියන් උදුරාගෙන ඇති බවක් පෙනේ. වෙල් ඉපනැල්ලේ බෝවිටියේ, ඇළ දොළේ දුව පැනය ඇවිදින, සෙල්ලම් ගෙවල් හදාගෙන කෝම්පිට්ටු උයා ගෙනයෑමේ යන දරුවන් අද නැත. නිදා ගන්නාතුරු දරුවන් උකුලේ හොවාන කතාන්දර කියාදුන් තාත්තලා ද නැලවිලි ගී කියමින් දරුවන් ගේ රසඥතාවය වර්ධනය කරන අම්මලාද අද සමාජයෙන් සමහරවිට සොයාගැනීමට නැත. දෙමාපියන් ද මෙහිදී අසරණ වී ඇතැයි මට හැඟේ. මේ මහා ප්‍රවාහය තුළ දිවීමට හැකි අය දිනුම් කණුව ළඟට ගියත් පරදින අයට වන්නේ කුමක්දැයි බලන කෙනෙක් ද නැත. Computer, DVD, CD වල හිරවුණ කොටුවුණ දරුවන් පිරිසක් ඇතැයි කිවහොත් එය සාවද්‍යයක් නොවනු ඇත. නවීන විද්‍යාත්මක චින්තනය මෙන්ම තාක්ෂණික ඥාණය දරුවන්ට දිය යුතු බව විවාදයක් නැත. එහෙත් ඒවා සමගින්ම නිදහස් මනසින් ක්‍රියා කිරීමේ අයිතිය ලබාදිය යුතුය. සෑම මවුපිය දෙපළකගේම අභිලාෂය තමාගේ පුතා වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවෙක් කිරීම මිස රටට වැඩදායී, ඵලදායී යහපත් ගුණවත් පුරවැසියෙක් කිරීම නොවන බව පැහැදිලිය. එයින් අදහස් කරන්නේ වෛද්‍යවරයාගෙන් ඉන්ජිනේරුවරයාගෙන් රටට වැඩක් නැති බව නොවේ.

දින පහක් තිස්සේම මනස වෙහෙස වන දරුවාට මනසට සහනයක් දෙන තැනක් දකින්නට නැත, ඇතැම් විට පන්සලේ පල්ලියේ පැවැත්වෙන ඉරුදින පාසල් ද දිනපතා පාසල්වල ක්‍රියා පටිපාටියම අනුගමනය කිරීම පෙළඹී සිටී. අපේ අධ්‍යාපන රටාව රටට උචිත වන අයුරින් සකසා නොගතහොත් නොදුරු අනාගතයේ එහි දුර්විපාක අපටම විඳින්නට සිදු වනු අත. එනිසා උසස් අධ්‍යාපනයෙන් රැකියා විරහිත සිසුන්ගේ පෝලිම දික් ගැසීමට ඉඩ ඇත. යුරෝපයේ බොහෝ රටවල උසස් අධ්‍යාපනය දරුවා නිමකරනවාත් සමඟම රැකියා බැංකු මගින් ඒ ඒ විෂයයන්ට අදාළ ආයතන වලට සිසුන් තෝරා ගෙන අවසන් ය. මෙවැනි ක්‍රමෝපායන් අනුගමනය කිරීම දියුණුව කරා යන අප රටට ද ඇතැම් විට උචිත වන්නේ ය. තවත් ළමා දිනයක් අවසන් වන මොහොතක පාලක පක්‍ෂය හා අධ්‍යාපනවේදීන් එක්ව ඉදිරි අනාගතය සඳහා උචිත වන ශ්‍රී ලංකාවට ගැලපෙන, ප්‍රයෝජනවත් වන අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කොට ළමයින්ට නිදහසේ ඉගෙනීමට අවශ්‍ය වටපිටාවක් සකසන මෙන් අවධාරණය කරන්නට කැමැති වෙමි.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]